පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ විශ්වාසය බිඳ දැමුවා – රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය

පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ විශ්වාසය බිඳ දැමුවා – රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය


පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ විශ්වාසය බිඳ දැමුවා – රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනය

(17.02.2025 – 18:22 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය කෙරෙහි රාජ්‍ය සේවකයින් තැබූ විශ්වාසය සිය මංගල අයවැය මගින් රජය කඩා බිඳ සුණු විසුණු කර ඇති බව ‘රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ’ ප්‍රධාන ලේකම් අජිත්.කේ. තිලකරත්න පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (17) ඉදිරිපත් කළ අයවැය කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ‘රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තිය සමිති සම්මේලනයේ’ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න :

“රජයේ පළමු අයවැය ගැන ඉතා බලාපොරොත්තු සහිතව තමයි රාජ්‍ය සේවකයින් අයවැයට කන් දුන්නේ. නමුත් රාජ්‍ය සේවකයින් ඉතාමත් කලකිරීමකට පත් වන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

රාජ්‍ය සේවකයින් රවටන අයවැයක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. රාජ්‍ය සේවකයින් පසුගිය කාලවල පාරට බැහැල එක හඩින් කිව්වේ රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් ලබා දෙන්න කියලා. ඒ අරමුණ ඉටු කර ගන්න තමයි රාජ්‍ය සේවකයින් බහුතරයක් මේ ආණ්ඩුව පත් කර ගන්න මූලිකත්වය ගත්තේ.

රුපියල් 20,000 ක වැටුප් වැඩි කර ගැනීමේ අරගලවලට නායකත්වය දුන්නෙත් මේ පත් වෙලා ඉන්න ආණ්ඩුවමයි. ඒ රාජ්‍ය සේවකයින්ගේ බලාපෙරොත්තු අද සුනු විසුණු කරල දැම්මා. මේක රාජ්‍ය සේවකයින්ට ගැසූ බරපතල කණේ පාරක් හැටියයි අපි දකින්නේ.

රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000 දක්වා වැඩි කරනව කිව්වා. අපි හිතුවේ ඒක ජනවාරි මාසයේ ඉඳලම වැඩි කරලා හිඟ වැටුපත් එක්ක ලැබෙයි කියලා. එහෙම වැඩි වුනත් වැඩි වෙන්නේ 15,750 කින් ඒකත් දාල තියෙනවා 2027 වසර වෙනකම්. රාජ්‍ය සේවකයින්ට උඩ බලාගෙන ඉන්න වෙනවා මේ 15,750 ගන්න 2027 වෙනකකල්.

ඒ වගේම රාජ්‍ය සේවකයින්ට එල්ලල තිබුණා රුපියල් 7,500 ක්. මේකටත් තට්ටු කරල දාල තියෙනවා. ඒකත් එකතු කරල තමයි මේ 15,750 හදල තියෙන්නේ. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට හම්බ වෙන්නේ ඉතාමත් සොච්චම් වැටුප් වැඩි වීමක්. මේක රාජ්‍ය සේවකයින් කිසි සේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

රාජ්‍ය සේවකයින් අන්දලා තියෙනවා ලොවෙත් නැති විදිහටම. මේ අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළා කියල අපි පිළිගන්නේ නෑ. ඒ නිසා රුපියල් 25,000 කට වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයිකයින්ට අවශ්‍ය වෙනවා. එහෙම නොවුනොත් අපිට අරගලවලට යන්න සිද්ධ වෙනවා කියලා අපි අනතුරු ඇඟවීම් කරල තිබ්බා.

මේක මිට පෙර අරගල කරල අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට පවසපු දේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එහෙම අවබෝධයක් තියාගෙන තමයි මේ විදිහට රාජ්‍ය සේවකයින් නොමඟ යවල තියෙන්නේ ෴


යාපනයේ පුස්තකාලය විතරද පේන්නේ? (17.02.2025)

+


සරත් ෆොන්සේකාගේ නඩුවේ ලිපි ගොනු කිහිපයක් අස්ථානගතවී ඇති බවට අනාවරණයක්

(17.02.2025 – 16:09 +0530 – hirunews.lk/sinhala)

2006 වසරේ යුද හමුදා මූලස්ථානය ඉදිරිපිට දී එවක යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.

ඒ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේදීයි.

එහිදී සාක්ෂි ලබාදුන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. සුනිල් කුමාර කියා සිටියේ ප්‍රහාරයෙන් පසු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන කාන්තාවගේ හිස අසල තිබූ ගසක එල්ලෙමින් තිබූ බවත් පාද දෙක තවත් ස්ථානයක තිබූ බවයි.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මාලී කරුණානායක කියා සිටියේ සිද්ධියට අදාළව සාක්ෂිකාර වෛද්‍යවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තා හා ඊට අදාළ ගොනු මහාධිකරණයට කැඳවා තිබුණ ද අතපසුවීමකින් එම වෛද්‍ය වාර්තාව සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

ඒ අනුව අදාළ වාර්තා සොයා ගන්නා තෙක් සාක්ෂිකාර වෛද්‍යවරයා සතුව තිබෙන පිටපතක් මත සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු විරෝධය පළ කළා.

එහෙත් එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා එම ලේඛනය මත සාක්ෂි මෙහෙයවීමට අවසර ලබා දුන් බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සදහන් කළේ ෴


හෝටලයක රෑ සාදයේ බීමෙන් තරුණයෙක් සහ තරුණියක රෝහලට

(17.02.2025 – 18:00 +0530 – hirunews.lk/sinhala)

හෝටලයක පැවති සාදයක් අතරතුර හදිසි රෝගී තත්ත්වයක් නිසා තරුණයෙක් සහ තරුණියක අද (17) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වත්තේගම, පල්ලේ ගුන්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් සාදයක් පවත්වා තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

සතිඅන්තයේ පවත්වා ඇති සාදය අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු අද (17) අලුයම් කාලයේ රෝහල් ගත කළ බවයි පැවසෙන්නේ.

ස්වසනාබාධයක් හේතුවෙන් මොවුන් රෝහල් ගත කෙරුනු බවයි වාර්තා වන්නේ.

දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණිය 23 හැවිරිදි වියේත් තරුණයා 25 හැවිරිදි අයකු බවයි පැවසෙන්නේ.

ඔවුන් ‘පානය කළ යමක්’ විෂ වීමෙන් රෝගී වන්නට ඇති බවට සැක කරන බවයි රෝහල් ආරංචි මාරග පවසන්නේ.

මේ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

වත්තේගම පොලිසිය මේ ගැන විමර්ශන සිදුකරනවා ෴


උසාවිය ළඟ නවතා තිබූ විශ්‍රාමික පොලිස් සැරයන්ගේ ත්‍රිරෝද රථයේ බැටරිය උස්සලා

(17.02.2025 – 18:00 +0530 – hirunews.lk/sinhala)

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගයේ නතර කර තිබු ත්‍රිරෝද රථයක බැටරිය සොරගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී සිටිම ගිය විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අධිකරණය පිවිසෙන මාර්ගයේ ඉදිරිපට ප්‍රධාන මාර්ගයේ ඔහුට අයත් ත්‍රිරෝද රථය ගාල් කර නඩු කටයුත්ත අවසන් විමෙන් පසු යලිත් ත්‍රිරෝද රථය අසලට පැමිණි විට ත්‍රිරෝද රථයේ බැටරිය සොරකම් කර ඇති බවට තහවුරු විමෙන් පසුයි ඒ සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

අධිකරණයේ නඩු කටයුතු සදහා පැමිණෙන පිරිස් මෙම මාර්ගයේ තමන් පැමිණෙන වාහන ගාල් කිරිම සිදු කරන අතර, මෙම සොරකම ඉතා සුක්ෂම ලෙස සිදු කර ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනිමට විමර්ෂණ ආරම්භ කර ඇති බව හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සඳහන් කළා ෴


ටී-56 ගිනි අවියක් රැගෙන පළා ගිය ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්ගේ ගිනි අවිය සොයා ගැනේ

(17.02.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)

ටී-56 ගිනි අවියක් රැගෙන පළා ගිය ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයාගේ එම ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

ඒ, බඩෝවිට ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී බවයි පොලිසිය පැවසුවේ.

ඒ සමග ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඩුබායි රාජ්‍යට පළාගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

ඒ අනූව මෙම ගිනි අවිය පාතාලයට ලබාදෙන්නට ඇති බවට සැකයක් පැවතුණා.

ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30 ක් සමගයි සැකකරු අතුරුදන් වී තිබුණේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් ස්ථානයෙන් ටී-56 ගිනි අවිය සහ උණ්ඩ රැගෙන පිටත්ව ගොස් ඇත්තේ රාත්‍රී මාර්ග බාධක රාජකාරි සඳහායි.

කෙසේ වෙතත්, ඔහු රාජකාරිය පැවරී තිබූ ස්ථානයට වාර්තා කර නොතිබූ හෙයින් ඒ පිලිබදව සොයා බලා තිබෙනවා.

පසුව ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා දී ඇති අතර, ඔහු ඊට ද ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ මෙම සැකකාර නිලධාරිවරයා එදිනම රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි බලා පිටව ගොස් ඇති බවටයි.

මෙලෙස පළාගොස් ඇත්තේ අනුරාධපුර – හැළඹගස්වැව ප්‍රදේශයේ පදිංචි කවිදු ප්‍රකාශ් ජයකොඩි නැමැති 25 හැවිරිදි පොලිස් නිලධාරියෙක්.

සැකකාර පොලිස් නිළධාරිවරයා ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශයට ගොස් ත්‍රිරෝද රථයකින් පළා ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ වන විට ඔහුගේ ඥාතීන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වූවෙකු බවටද අනාවරණය වී තිබෙනවා ෴


2023 (2024) සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

(17.02.2025 – 22:16 +0530 – hirunews.lk/sinhala)

2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේවන විට නිකුත්කර තිබෙනවා.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන්
https://www.doenets.lk/ හෝ
https://www.results.exams.gov.lk/home.htm වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙසයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.

ක්ෂණික ඇමතුම් අංකය : 1911

පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව : 011 278 4208, 011 278 4537, 011 278 5922

ෆැක්ස් අංකය :- 011 278 4422


ICTA ජාතික උපදේශක කමිටුව නිවේදනය කරයි

(17.02.2025 – 22:29 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය’ (ICTA) ජාතික උපදේශක කමිටුව පත් කිරීම නිවේදනය කර තිබෙනවා.

එම කමිටුව ඉකුත්දා රැස් වූ අතර ඩිජිටල් ආර්ථික උපාය මාර්ග පිළිබඳව සාකච්ඡා කොට තිබෙන බව සඳහන්.

එය ‘කෘතීම බුද්ධිය’ හෙවත් AI තාක්ෂණය මෙරට ක්‍රියාත්මක කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති.

උපායමාර්ගික මග පෙන්වීම සහ මෙහෙයුම් සහාය ලබා දීම සඳහා පිහිටුවන ලද කමිටුව, AI ප්‍රතිපත්ති සකස් කිරීම අධීක්ෂණය කරන අතර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමද සහතික කරනු ඇති.

එහි ප්‍රධාන වගකීම් අතරට AI උපාය මාර්ග රජයේ ප්‍රතිපත්ති සමඟ පෙළගැස්වීම, මහජන සේවාවන් වැඩිදියුණු කරන ඉහළ බලපෑමක් ඇති මුලපිරීම් හඳුනා ගැනීම සහ නියාමන රාමු, යටිතල පහසුකම් සංවර්ධනය, කුසලතා වැඩි දියුණු කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය සහ AI මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දීම ඇතුළත්.

මීට අමතරව, කමිටුව සදාචාරාත්මක AI භාවිතයන් ප්‍රවර්ධනය කිරීම, මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ධාරිතා ගොඩනැගීමේ උත්සාහයන් පෝෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

මෙම උපදේශක කමිටුවට පහත සාමාජිකයින් ඇතුළත් :

ආචාර්ය රොමේෂ් රණවන (සභාපති)
හර්ෂ පුරසිංහ මහතා (කැඳවුම්කරු, ICTA මණ්ඩල අධ්‍යක්ෂ)
ආචාර්ය හර්ෂ සුබසිංහ

මහාචාර්ය අශෝක කරුණානන්ද
ආචාර්ය ශ්‍රීනාත් පෙරේරා
මහාචාර්ය රොෂාන් රේගල්

ජයන්ත ප්‍රනාන්දු
යුධංජය විජේරත්න
චන්දික ජයසුන්ද්‍ර සහ

යසිත් ප්‍රනාන්දු

කමිටුවේ උපායමාර්ගික කරුණු නවයක් වටා ව්‍යුහගත කර තිබෙන අතර ජාතික පර්යේෂණ සහ නවෝත්පාදනයන්ට සහාය වීම සඳහා AI යටිතල පහසුකම් සංවර්ධනය, තිරසාර AI වර්ධනය සඳහා දත්ත මත පදනම් වූ උපාය මාර්ග සහ විශ්ව විද්‍යාල විෂයමාලා නවීකරණය කිරීම සහ රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ශ්‍රම බලකායේ හැකියාවන් වැඩි දියුණු කිරීම අරමුණු කරගත් කුසලතා සංවර්ධන වැඩසටහන් රැසක් ඇතුළත්.

මේ අනූව ජාතික AI උපදේශක කමිටුවේ කාර්යය රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ආර්ථික වර්ධනය මෙහෙයවීම සහ ශ්‍රී ලංකාව වගකිවයුතු සහ තිරසාර AI සංවර්ධනය සඳහා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම අපේක්ෂා කෙරෙනවා ෴


නීති විරෝධී ගිනි අවි කම්හලක් වටලා අවි තොගයක් අත්අඩංගුවට

(17.02.2025 – 23:17 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ගිනි අවි කම්හලක් වටලා අවි 06 ක් සමග සැකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය අද (17) සවස සමත්ව තිබෙනවා.

ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී. නිශ්ශංක ට ලද තොරතුරක් අනුවයි අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න ඇතුලු නිලධාරීහු පිරිසක් විසින් වැටලීම සිදුකර ඇත්තේ.

ගිරානේගම, කරකොලගයාය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගිනි අවි කම්හලක වටලා තිබෙනවා.

එහි නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු 02 ක් හා බඳින තුවක්කු 03 ක් ද එම කම්හලේ නිෂ්පාදනය කරමින් පැවැති තවත් එවැනි නීතිවිරෝධී බෙහෙත් කොටන තුවක්කුවක යාන්ත්‍රික කොටසක් හා බඳ කොටසක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම නීතිවිරෝධීඅවි කම්හල පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයා ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දඹුළුහල්මිල්ලවැව, උල්පතයාය පදිංචි වයස අවුරුදු 49 ක පුද්ගලයක්.

අත්අඩංගුවටපත් සැකකරු දඹුල්ල ප්‍රදේශයේ ගරාජයක ලියවන පට්ටල් ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන අයෙකු බවත් පොලිසිය සිදුකළ විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙහෙයුමේදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් යොදන බලපත්‍ර රහිත ගිනි අවියක් නීතිවිරෝධීව සන්තකයේ තබා ගෙන සිටි තවත් පුද්ගලයකු ද එම අවිය සමඟ අත්අඩංගුවට ගැනීඹට පොලිසිය සමත්ව තිබෙනවා.

එම සැකකරු දෙවහූව-කෝරළයාගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

පොලිසිය සිදුකළ වැඩි දුර විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ විදේශ රටක නිෂ්පාදිත එම අවිය කලකට පෙර නුගේගොඩ ප්‍රෙද්ශයේ පදිංචිකරුවකු විසින් භාවිතා කරන ලද එකක් බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *