මෙරට ‘ළමා පිළිකා රෝග’ සුවකිරීමේ හැකියාව ඉහළට

මෙරට ‘ළමා පිළිකා රෝග’ සුවකිරීමේ හැකියාව ඉහළට


මෙරට ‘ළමා පිළිකා රෝග’ සුවකිරීමේ හැකියාව ඉහළට

(12.02.2025 – 12:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට ‘ළමා පිළිකා රෝග’ සුව කිරීමේ හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක පවතින බව මහරගම අපේක්ෂා රෝහලේ (ජාතික පිළිකා ආයතනය) ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෝමතිලක පවසනවා.

එමෙන්ම දකුණු ආසියාවේ අනෙකුත් රෝහල්වලට වඩා වැඩි පහසුකම් සහ හැකියාවන් මෙරට පවතින බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි විශේෂඥ වෛද්‍යවරයා මෙසේ පැවසුවේ.

එහිදී ඔහු මෙසේද සඳහන් කළා :

“පිළිකා වර්ග රාශියක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් රෝග තුනක් (3) ගැන කතා කරනවා නම් වැඩිපුරම දකින්න ලැබෙන්නේ ‘ලේ පිළිකා’ ආශ්‍රිත රෝග.

ස්ථිර ලෙසම මෙය පිළිකාවක් කියන්න පුළුවන් කරුණු නැහැ. සති කිහිපයක් තිස්සේ කුද්දැටි ඉදිමීමකට ලක් වෙනව නම් නිතර නිතර උණ හැදෙනවා නම්, විසබීජ ඇඟට ගිහිල්ලා සෙම රෝග එහෙම නැත්නම් කකුලේ අතපයේ තුවාල ඇතිවෙනවා නම් ඒ වගේ විසබීජ වලට ඔරොත්තු දීමේ හැකියාව අඩු නම් සමහරවිට මෙය පිළිකා රෝග ලක්ෂණ වෙන්න පුළුවන්.

ළමයින්ගේ ලේ අඩු නම් රක්ත හීනතාවය ඇතිවෙනවා නම් ළමයා කෑම කන්නෙ නැත්නම් බර වැඩිනම්, සමහර විට පිළිකා රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.

පුංචි ළමයින්ට ආතරයිටිස් අඩුයි. නමුත් ඒ වගේම ආතරයිටිස් විදියටත් රුධිර ගත පිළිකා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

දෙවෙනියට පුංචි ළමයින්ගේ දකින්න පුළුවන් පිළිකා ලක්ෂණය තමයි ‘මොලය ආශ්‍රිත පිළිකා’. කලක් තිස්සේ ඇතිවෙන හිසේ කැක්කුමක්, ගොඩක් වෙලාවට උදේ පාන්දර තමයි ඇතිවෙන්නේ වමන යනවා, හැන්දෑ වෙනකොට මේ රෝගය මුකුත් අමාරුවක් වෙන්නැතුව තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ළමයි බඩේ අමාරු වලට ගෑස්ට්‍රයිටිස් වලට කියලා තමයි මාස ගානක් තිස්සේ බෙහෙත් අරගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේදී MRI හෝ CT Scan එකක් කරන්න සිද්ධ වෙනවා.

ඊළඟට ‘ෆිට්’ එකක් එන්න පුළුවන්. පවුලේ කාටවත් වලිප්පු තත්ත්වයක් තියෙන්නේ නැතිනම් සමහර විට මොළේ පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. ‘මොළය ආශ්‍රිත ඇතිවන පිළිකා’ එකපාර අඳුරගන්න අපහසුයි. පුහුණු වෙච්ච වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වෙනවා මේ වගේ අවස්ථාවන්වලදී.

මීළඟට ඇතිවෙන පිළිකාවන් තමයි ‘මස් පිඩු සහ අස්ථි ආශ්‍රිත ඇතිවන පිළිකාවන්’. ක්‍රීඩා කරන ළමයින් පොඩි ඉදිමීමක් ආවොත් ක්‍රීඩා කරපු නිසා කියලා හිතලා ගොඩ වෙදකම් කර කර මාස දෙකක් – තුනක් ගෙවල්වල තියාගෙන ඉන්නවා. නිසි වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්නේ නැතුව. අපි ගාවට එනකොට මේ පිළිකා ඇඟ පුරාම ගිහින් ඉවරයි. ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ගෙඩියක් වගේ ඇඟේ තියෙනවා. ඒක හැංගුන දෙයක් නෙමෙයි. ඉතා පහසුවෙන් අස්ථි ආශ්‍රිතව ඇති පිළිකාවන් හඳුනාගන්න පුළුවන්.

ඊළඟට ‘ඇස් ආශ්‍රිතව ඇතිවන පිළිකාවන්’. විශේෂයෙන්ම මොන්ටිසෝරි ළමයින්ගේ, අවුරුදු 3- 4 ළමයින්ගේ වපර තත්ත්වයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් අහේ සුදු පාට දිලිසෙන වීදුරු බෝලයක් වගේ පේනවා නම් මේක සමහර විට ඇහේ ඇතිවෙන පිළිකා තත්ත්වයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පිළිකාව පැතිරිලා නැත්නම් සුව කරන්න පුළුවන්” ෴


නීති විරෝධිව ආනයනය කළ ජීප් රථයක් බත්තරමුල්ලේ දී අත්අඩංගුවට

(12.02.2025 – 16:57 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ව්‍යාජ අංක සහිතව ධාවනය වෙමින් තිබූ රුපියල් කෝටි හතරකට (4,00,00,000) වැඩි වටිනාකමින් යුත් නවීන ජීප් රථයක් පැලවත්ත – පාර්ලිමේන්තු මන්සන්ධිය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ’ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් 52 හැවිරිදි රියදුරු හෝටල් සමූහයක ව්‍යාපාරිකයෙකු මෙන්ම ඔහු මහර ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයෙකු ලෙස ද කටයුතු කර පසුව හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සතු තිබූ ජීප් රථයේ ලියාපදිංචි අංකයෙන් යුතු මෝටර් රථයක් 2018 වර්ෂයේදී වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම, එම අංකයෙන් යුතු තවත් ජීප් රථයක්ද 2019 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ බවයි වාර්තා වන්නේ ෴


එකම අංකයෙන් ධාවනය කළ තුන්වන (3) රථයත් පොලිස් භාරයට

(12.02.2025 – 15:55 +0530 – sinhala.adaderana.lk)

නීති වීරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක් ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ‘වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය’ විසින් එම රථය අද (12) සිය භාරයට ගනු ලැබීය.

එම ප්‍රහාරක බළකායේ බුද්ධි නිලධාරින් දෙදෙනෙකු (2) ආවේක්ෂණ රාජකාරි කටයුතු සඳහා යොදවා, ‘පැලවත්ත ජපන් මිත්‍රත්ව පාරේ’ පාර්ලිමේන්තු පාර හංදිය අසලදී අදාළ ජීප් රථයත් එය පැදවූ පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රථය ‘මිට්සුබිෂි මොන්ටෙරෝ’ වර්ගයේ රථයක් වන අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු තලංගම පොලිසිය විසින් සිදුකරනු ලබයි.

අත්අඩංගුවට ගත් රථයේ රියදුරු 52 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු මහර ආසනයේ ප්‍රබල දේශපාලන පක්ෂයක සංවිධායකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බව පොලීසිය පවසයි.

එමෙන්ම ඔහු හිටපු ජනාධිපතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන්ද කටයුතු කර තිබේ.

පොලීසිය භාරයට ගත් මෙම ජීප් රථය කෝටි 04 කට අධික වටිනාකමකින් යුතු බව පොලීසිය පවසයි.

මෙම රථය ඉතා සුක්ෂම ලෙස කන්ටේනරයක් තුළ බහා මෙරටට ආනයනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මේ අතර නීතිවිරෝධීව මෙලෙස මෙරටට ගෙන්වනු ලබන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසක් විසින් කූඨ ලේඛන සකස් කර පරිගණක දත්ත පවා වෙනස් කරමින් කටයුතු සිදුකරන බවටත් මෙම අත්අඩංගුවට ගැනීම හරහා පොලීසියට කරුණු වාර්තා වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද මෙම රථයේ ලියාපදිංචි අංකයෙන්ම යුතු ‘විදුලි කාර් රථයක්’ 2018 වර්ෂයේදී ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය’ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම එම අංකයෙන් යුත් ‘මිට්සුබිෂි මොන්ටෙරෝ’ වර්ගයේ ජීප් රථයක් 2019 වර්ෂයේදී ද එම ප්‍රහාරක බළකාය විසින්ම සිය භාරයට ගෙන ඇත.

ඒ අනුව මෙවරද ‘වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය’ විසින්ම මෙම සුඛෝපභෝගි ජීප් රථය අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක්ය ෴


චීන ඉංජිනේරුවෙකුගේ කසිප්පු ජාවාරම වටලයි

(12.02.2025 – 17:37 +0530 – hirunews.lk/sinhala)

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ චීන ජාතිකයෙක් නීති විරෝධී මත්පැන් පෙරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ගෝඩා මිලිලීටර් 318,000 ක්, නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 67,500 ක් සහ එම මත්පැන් නිෂ්පාදනයට ගන්නා උපකරණ තොගයක් ද සොයා ගත්තා.

වැල්ලම්පිටිය පොලිසියට ලද තොරතුරක් මත සැකකරු බුණ්ඩියාවත්ත ප්‍රදේශයේ නිවසකදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ලබාගෙන තිබෙනවා.

සැකකරු අද (12) අලුත්කඩේ අංක දෙක අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනවා ෴

+

+


ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ සඳහා ඔරකල් සමාගමේ සහාය

(12.02.2025 – 17:53 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව (WGS) අතරතුර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති මයික් සිසිලියා සමඟ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ‘ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම්’ (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කළ අතර, දත්ත ස්වෛරීභාවය සහ නියාමන අනුකූලතාව සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ‘ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක්’ ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ‘ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම්’ සඳහා මුලපිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා අතර සාකච්ඡා වී ඇති බවද සඳහන්.

මේ සඳහා කොළඹ වරාය නගරයේ ‘ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක්’ පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කළ අතර, එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධි‍ය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරනු ඇත.

ඒ සඳහා කණ්ඩායමක් ලංකාවට එවන මෙන් ජනපතිවරයා මයික් සිසිලියාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කලාපීය වශයෙන් වන ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදනය සඳහා වූ ඔරකල් සමාගමේ දැක්මට අනුකූල වන හෙයින් එහි දකුණු ආසියානු කෘත්‍රිම බුද්ධිය (AI) සහ වලාකුළු (Cloud) මධ්‍යස්ථානය ලෙස කොළඹ වරාය නගරයේ සිය කාර්යාලයක් පිහිටු වීමට ඔරකල් සමාගම දැඩි උනන්දුවක් පළ කරන බවයි එහි විධායක උප සභාපතිවරයා පැවසුවේය.

මෙය උපාය මාර්ගික පියවරක් ලෙස ශ්‍රී ලංකාවට ‘කෘත්‍රිම බුද්ධිය මඟින් ක්‍රියාත්මක වලාකුළු පහසුකමෙහි’ (AI driven Cloud Solutions) කලාපීය ප්‍රමුඛයෙකු වීමට අවස්ථාව සලසනු ඇති බවද සඳහන්.

එමෙන්ම රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ අති නවීන තාක්‍ෂණ ආයෝජන සඳහා මෙය පිටිවහලක් වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළ අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබෙනවා.

+


අර්ච්චුනා වීදුරුවකින් පහරදුන් සිද්ධිය ගැන CCTV ඔස්සේ පරීක්ෂණක්

(12.02.2025 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඊයේ (11) රාත්‍රී යාපනය හෝටලයකදී ගැටුමක් ඇති කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී බුද්ධික මනතුංග කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයකින් පැමිණිලි ලැබී ඇති බැවින් මෙලෙස විමර්ශන කටයුතු සදහා CCTV දර්ශන උපයෝගි කර ගැනීමට කටයුතු කර බවයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ හෝටලයට පැමිණි පුද්ගලයෙකු තමාට පහර දුන් නිසා තම ආරක්ෂාව උදෙසා ඔහුට පහර දුන් බවයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා අදාළ පුද්ගලයාට වතුර වීදුරුවකින් පහර දී තිබූ අතර පහර කෑමට ලක් වූ 30 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමක්දී යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයාගේ හිසට මැහුම් කිහිපයක් දැමීමෙන් පසු ඔහු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර පහරදීම සඳහා යොදාගත් වීදුරුව බිඳී යාම නිසා එම අලාභය මන්ත්‍රීවරයාගෙන් අය කර ගැනීමටද හෝටල් කළමනාකාරිත්වය කටයුතු කර තිබුණා.

+

+


පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන යයි – 12 ක් බේරාගැනේ – 1 ක් අතුරුදන්

(12.02.2025 – 20:48 +0530 – sinhala.adaderana.lk)

පානදුර මුහුදේ අද (12) පස්වරුවේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් ඉන් 12 දෙනෙකුගේම දිවි බේරාගැනීමට හැකි වූ බව ‘පානදුර ජීවිත ආරක්ෂක ඒකකය’ පැවසීය.

කෙසේ වෙතත් එක් (1) තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇත.

අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයකු බවට හදුනාගෙන තිබේ.

අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා හා තවත් මිතුරන් තිදෙනෙකු (3) සමග පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇත.

ඔවුන් සමග ඇඹිලිපිටියේ සිට පැමිණි 8 දෙනෙකු ද සිට ඇත.

කෙසේ නමුත් එක්වරම ඔවුන් සියලු දෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.

ඔවුන් උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් දියේ ගසාගෙන යමින් සිටි 12 දෙනෙකුම බේරාගැනීමට සමත්ව ඇත.

බේරාගෙන ඇති සියලුම දෙනා වයස අවුරුදු 20 ට අඩු තරුණයන් වන අතර, බේරාගත් එක් තරුණයකු 1990 සුවසැරිය ගෙන්වා රෝහල්ගත කල බව ‘පානදුර ජීවිත ආරක්ෂක ඒකකය’ පැවසීය.

අද (12) දින මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් මුහුදේ රතු ධජ ප්‍රදර්ශනය කර අවවාද නිකුත් කර තිබූ බවද එම ‘ජීවිත ආරක්ෂක නිලධාරීන්’ සඳහන් කළේය.

ජීවිත බේරාගැනීමට එක් වූ ජීවිත ආරක්ෂක නිලධාරීන් ද ගිලී ඇති නැවේ ගැටී තුවාල ලබා ඇති බව වාර්තා වේ ෴

+

+


බීම බෝතලයක් බීපු තාත්තයි දුවයි රෝහලට

(12.02.2025 – 22:02 +0530 – hirunews.lk/sinhala)

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බීම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඇය බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම බීම බෝතලය පානය කිරිමෙන් අදාළ දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බීම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනීප තත්ත්වයක් ඇති වී ඔහුද රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෙදෙනා (2) රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතරමග මෙම ආපනශාලාවට ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී මෙම දැරිය පළමුව එම බීම බෝතලය පානය කර තිබෙන අතර ඇයට හදිසි රෝගි තත්ත්වයක් ඇති වු පසු පියාද එයින් ස්වල්පයක් පානය කර තිබෙනවා.

කෙසේ වෙතත් පියා පවසන්නේ තමන් එය පානය කිරීමෙන් පසුව සිය මුඛය පිළිස්සුනු බවයි.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම වෙලදසැල පරික්ෂා කර එහි තිබූ ඉතිරි බීම සීල් කරනු ලැබූ බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *