රුපියල් කෝටි 1½ ක් වංචා කළ සැකකරුවන් තිදෙනෙක් (3) කොටුවෙති
(08.02.2025 – 07:15 +0530 – sinhala.adaderana.lk)
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (7) සිදුකළ විශේෂ වැටලීමකින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගහවෙල, යටිගල්ඔළුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.
කුකුළු ගොවිපල ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුගේ ගිණුමකින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ හැත්තෑදහස් පනස් එකක (14,070,051) මුදලක් මෙම සැකකරුවන් විසින් වංචාකර ඇත.
ඔවුන්ගෙන් දෙදෙනෙකු (2) අවුරුදු 26 හා 38 වයස්වල පසුවන මාඑළිය හා අලව්ව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
එම දෙදෙනා (2) ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ අනෙක් සැකකරු (1) වාරියපොල, වැරැල්ලගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකට භාවිතා කරන මිලි මීටර් 09 වර්ගයේ පතරොම් 43 ක් හා නාවික හමුදා නිල ඇඳුම් කට්ටලයක් ද සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 22 ක් වන කෙලිමුනේ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදාවෙන් පලාගිය සෙබළෙකු බව පොලීසිය පවසයි.
එමෙන්ම ඔහුගේ පියා යුධ හමුදාවේ සේවයකර විශ්‍රාමිකව සිටින පුද්ගලයෙකු වන බවත් ඔහු විසින් මෙම පතරොම් නිවසට රැගෙනවිත් ඇති බව මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.
සැකකරු වාරියපොල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, වාරියපොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
‘කොරියානු E-8 වීසා කාණ්ඩයේ’ රැකියා ජාවාරමක් ගැන දැනුම්දීමක්
(07.02.2025 – 21:49 +0530 – sinhala.adaderana.lk)
දැනට ක්‍රියාත්මක නොවන ‘කොරියානු E-8 වීසා කාණ්ඩයේ’ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇතැයි ‘විදේශ සේවා නියුක්ති කාර්යංශය’ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පැවසුවේ E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ මෙතෙක් ලබා දී නොමැති බවය.
ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාවක් නොමැති අතර එසේ යම් ආයතනයක් හෝ පුදගලයෙකු නිරත වීම නීති විරෝධී බවද එම කාර්යංශය පවසයි.
එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ එසේ නොවන රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට ‘විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ’ විධිවිධාන යටතේ ක්‍රියකරනු කරන බවත් එම කාර්යංශය පවසයි.
E-8 වීසා කාණ්ඩය යටතේ කිසිදු පුද්ගලික රැකියා නියෝජිත ආයතනයකට ක්‍රියාත්මක වීමට මෙතෙක් කිසිදු අනුමැතියක් ද ලබා දී නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
E-8 වීසා යටතේ දකුණු කොරියාවේ රැකියා සදහා විදේශ ගත වීමේ වුවමනාවෙන් එසේ මුදල් හෝ වෙන යම් හෝ ගනුදෙනුවක් හෝ ක්‍රියාවලියකට හෝ හසුවෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක් කොරියාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ රැකියා සදහා විදේශගත විය නොහැකි වීමේ අවධානමකට ලක්වීමට ඉඩ ඇති බැවින් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවීමෙන් හෝ අනුබල දීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශය දන්වා සිටියි ෴
පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
(08.02.2025 – 09:56 +0530 – hirunews.lk/sinhala)
මේ මස 25 සහ 27 අතර කාලයේදී නව වාහන රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනු ඇති බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.
එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ලබන මාර්තු මස මැදවන විට සියලුම වාහන දිවයිනට ගෙන්වන බවයි.
එහිදී ඔහු මෙසේද පැවසුවා :
“පසුගිය දිනවලදී අපිට ණයවර ලිපි විවෘත කරන්න අවස්ථාව ලැබුණා. ණයවර ලිපි විවෘත කරලා අවසන්. අපිට තව සති දෙකක්, තුනක් වගේ කාලයක් යන කොට ලංකාවට පළවෙනි තොගය ගේන්න පුළුවන්. ඒ හින්දා ඇත්තටම පාරිභෝගිකයන්ට කියන්න තියෙන්නේ කලබල වෙන්න එපා. එක එක ඒවාට රැවටෙන්න යන්න එපා.
25, 27 අතර විතර වෙනකොට ලංකාවට පළවෙනි තොගය එන්න පටන් ගන්නවා. මාර්තු මාසයේ මැද වෙනකොට සියලුම වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒක හින්දා අපි ගත්තොත් බස් රථ, කැබ් රථ, ලොරි, වෑන්, පොඩි කාර්, ජීප් කාර් ඒ සියලුම දේවල් සති දෙකක් තුනක් ඇතුලතදී ලංකාවට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 55, 60 වගේ රේන්ජ් එකට අපිට අඩුම වාහනයක් ගේන්න පුළුවන් වෙයි.”
+
යාපනයට පාස්පෝට් කාර්යාලයක්
(08.02.2025 – 11:04 +0530 – hirunews.lk/sinhala)
විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව විසදුම් ලබා ගැනීමේ අරමුණින් යාපනයේ නව ආගමන විගමන කාර්යාලයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍යංශයේදී ඊයේ (07) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෛනිකව නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය වැඩි කිරීමටද තීරණය කර ඇති බවයි ෴
‘මහපොළ මුදල්’ අවභාවිතයක් ගැන ඇමති වසන්ත ‘වෝහාරික විගණනයක්’ ඉල්ලයි
(08.02.2025 – 13:15 +0530 – hirunews.lk/sinhala)
‘මහපොළ අරමුදලෙන්’ මුදල් ලබාගෙන ‘ස්ලිට්’ (SLIIT) ආයතනය ඉදිකිරීම පිළිබඳව ‘වෝහාරික විගණනයක්’ සිදුකරන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒකාබද්ධව රැස්වූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ ‘මහපොළ අරමුදලේ’ රුපියල් මිලියන 1100 ක් ‘ස්ලිට්’ ආයතනය සදහා වැය කර ඇති බවයි.
වෙළෙඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වුණා.
එහිදී ඔහු කියා සිටියේ ‘ස්ලිට්’ ආයතනය ඉදිකර ඇත්තේ ‘මහපොළ භාරකාර අරමුදල’ට අයත් ඉඩමක බවයි.
ඒ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව තුළ ‘වෝහාරික විගණනයක්’ කළ බවට සඳහන් වුවද එම වාර්තා සහ තොරතුරු සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති බව ද ඔහු අවධාරණය කළා.
එමෙන්ම දේශපාලන තීන්දු තීරණ මත ‘මහපොළ භාරකාර අරමුදලෙන්’ රුපියල් මිලියන 97 ක් ලබාගෙන ඉන් රුපියල් මිලියන 37 ක් නැවත භාරදී නොමැති බවත් ඒ පිළිබඳව ද විමර්ශනයක් කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යාධාර ලබාදීමේදී රුපියල් 2650 ක මුදලක් ‘මහපොළ භාරකාර අරමුදල’ මගින් ද රුපියල් 2450 ක මුදලක් ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’ මගින් ද ලබාදෙන බව ‘මහපොළ භාරකාර අරමුදලේ’ සභාපතිවරටයා මෙහිදී සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ‘විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව’ හරහා මෙම මුදල් ලබාදෙන්නේ ‘මහා භාණ්ඩාගාරයෙන්’ බවත්, රුපියල් මිලියන 563 ක පමණ මුදලක් තවමත් ලැබීමට නියමිතව ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඉදිරි වර්ෂ සඳහා ‘මහපොළ අරමුදල’ මගින් ප්‍රතිලාභ ලබාදීමට නම් ‘මහා භාණ්ඩාගාරයේ’ මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලැබීම අත්‍යවශ්‍ය බවයි ‘මහපොළ භාරකාර අරමුදලේ’ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මෙහිදී අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කර සිටියේ ගෙවීමට ඇති ‘මහපොළ ශිෂ්‍යාධාර හිඟ මුදල්’, ඉදිරි මාස තුන (3) ඇතුළත ගෙවීමට කඩිනම් පියවර ගෙන ඇති අතර අප්‍රේල් මාසයේ සිට ප්‍රමාදයකින් තොරව එය විධිමත් ලෙස ලබාදීමට පියවර ගත්නා බවයි.
‘මහපොළ ශිෂ්‍යාධාර මුදල්’ වැඩිකිරීමට ද යෝජනා ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරි අයවැය තුළින් ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මෙහිදී වැඩිදුර සඳහන් කර තිබෙනවා ෴
‘ඕස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ’ ලියාපදිංචි ඉන්ධන පිරවුම්හල් රැසක ගැටලු
(08.02.2025 – 13:47 +0530 – hirunews.lk/sinhala)
මෙරට ඉන්ධන පිරවුම්හල් 150 කින් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර ඇති ‘ඕස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම’ හා ලියාපදිංචි වී ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ගැටලු රැසක් මතුව තිබෙනවා.
‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම’ මෙරට ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ සූදානමක්ද පවතින බවයි එම ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් පවසන්නේ.
මෙරට සිල්ලර වෙළෙඳපොළට ඉන්ධන නිකුත් කිරීම සඳහා චීනයේ, ඕස්ට්‍රේලියාවේ සහ අමෙරිකාවේ සමාගම් තුනකට (3) අවසර ලබා දීමට 2023 වසරේ එවක පැවැති රජය කැබිනට් තීරණයක් ගනු ලැබුවා.
ඒ යටතේ චීනයේ ‘සයිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම’, ඕස්ට්‍රේලියාවේ ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම’ සහ අමෙරිකාවේ ‘ආර්.එම්. පාක්ස් සමාගම’ යන සමාගම්වලට මෙරට ඛනිජ තෙල් අලෙවිය සඳහා අවස්ථාව හිමිවූ අතර ඒ අනුව එම සමාගම් 03 සඳහා ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 450 ක් විවෘත කෙරුණා.
එවැනි පසුබිමක ඕස්ට්‍රේලියාවේ ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම’ සමග ගිවිසුම් ගතව සිටින ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.
ඒ ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම’ මෙරට තුළ සක්‍රීයව ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්වීම හේතුවෙන්.
එම සමාගම සමඟ ලියාපදිංචි වී සිටින මහියංගණ, තලංගමුව ප්‍රදේශයේ ඇති මෙම ඉන්ධන පිරවුම්හලේ පොම්පවල කාර්මික දෝෂයක් හටගෙන ඇත්තේ මාස 02 ක් තිස්සේයි.
එක් (1) ඉන්ධන පොම්පයකින් අඩුවෙන් ඉන්ධන නිකුත් වන අතර තවත් පොම්ප දෙකකින් (2) වැඩියෙන් ඉන්ධන නිකුත් වෙන බවයි එය පරීක්ෂා කිරීමට පැමිණි ‘බදුල්ල මිණුම් ඒකක ප්‍රමිති හා සේවා කාර්යාල නිලධාරින්’ ද සදහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ’ නිලධාරීන් එම යන්ත්‍ර පරීක්ෂාව සඳහා නොපැමිණීම හේතුවෙන් එම දෝෂ නිවැරදි කිරිමට මෙතෙක් හැකි වී නැහැ.
පොම්පවල පවතින දෝෂ නිවැරදි කර ගැනීමට අවශ්‍ය බව දැනුවත් කළද ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමේ’ කිසිදු නියෝජිතයෙකු ඒ සඳහා මැදිහත් නොවන බව ඉන්ධන පිරුවුම්හල් හිමිකරු චෝදනා කළා ෴
ඩුබායිහි සිට මෙරටට ගෙනා අපරාධකරුවන් දෙදෙනෙකුට (2) රැදවුම් නියෝග
(08.02.2025 – 14:58 +0530 – hirunews.lk/sinhala)
ඩුබායිහීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුට (2) දින 07 ක සහ පැය 72 ක රැදවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.
ඉන් එක් (1) සැකකරුවෙකු වන ‘නාඩකන්දගේ උපාලි’ හෙවත් ‘රොටුඹ උපාලි’ නැමැත්තා සම්බන්ධයෙන් දින 07 ක රැදවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කරනු ලැබුවා.
ඒ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (07) ඉදිරිපත් කිරිමේන් අනතුරුවයි.
එමෙන්ම, දිවයිනට රැගෙන ආ ‘කඳන්ගමදෙනියේ ගෙදර සඳරුවන්’ හෙවත් ‘චන්දන’ නැමැත්තා සම්බන්ධයෙන් පැය 72 ක රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
ඒ ඔහු ඊයේ (07) රාත්‍රියේ කොළඹ අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ඔහුට චෝදනා එල්ල වනවා.
මේ අතර, බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ 42 හැවිරිදි ‘රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා’ නැමැත්තා අද (08) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
රජයේ සහතික මිලට වී දෙන්නේ නැහැ : ගොවීන් දැඩි ස්ථාවරයක
(08.02.2025 – 15:26 +0530 – hirunews.lk/sinhala)
වී මිලට සාපේක්ෂව සහල් මිල ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබදව රජයේ අවදානය යොමු කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.
වී සඳහා රජය පසුගියදා සහතික මිලක් ප්‍රකාශයට පත් කළේ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ කර ඇති පසුබිමකයි.
පසුගිය 06 වැනිදා සිට වී අස්වනු මිලදී ගැනීම සඳහා රජයේ වී ගබඩා විවෘත කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළත් එම ගබඩා සඳහා ගොවීන් අදත් (08) වී රැගෙනවිත් තිබුණේ නැහැ.
පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන් පිරිසක් සදහන් කළේ, රජය ප්‍රකාශ කළ සහතික මිලට වී ලබා දීමට තමන් කටයුතු නොකරන බවයි.
මේ අතර පසුගියදා මෙරටට ගෙන්වූ, ලුණු මෙට්‍රික් ටොන් 11,330 කර්මාන්ත සඳහා යොමු කර ඇති බව ‘රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ’ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළා ෴
කොළඹ කොටුවේ ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ගින්නට හේතුව ‘ගෑස් කටර්’
(08.02.2025 – 17:04 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුවේ ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ල අවස්ථා දෙකකදී (2) ගිනිගැනීමට ලක්වීම පිළිබඳව ‘ගිනිනිවන සේවා දෙපාර්තමේන්තුව’ විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එහිදී ගිනිගැනීමට හේතුවිය හැකි කරුණු කිහිපයක් අනාවරණය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ ගොඩනැගිල්ලේ යකඩ කොටස් (gas cutter) ‘ගෑස් කටර්’ උපයෝගී කරගනිමින් අනාරක්ෂිතව කපා ඉවත්කිරීම ගිනිගැනීමට ප්‍රධාන හේතුව බවත් ඒ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක්ද කැඳවා තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
එබැවින් නැවතත් එවැනි ‘ගෑස් කටර්’ උපයෝගී කරගනිමින් යකඩ කපා ඉවත් නොකරන ලෙසයි අදාළ අංශවලට ‘ගිනිනිවන සේවා දෙපාර්තමේන්තුව’ උපදෙස් ලබා දී ඇත්තේ.
එම ගොඩනැගිල්ලේ 35 වැනි මහල ඉකුත් (06) වැනිදා ගිනිගෙන තිබූ අතර, (07) වැනිදා 24 වැනි මහලේ ගින්නක් හටගත්තා.
‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ ආරක්ෂාව සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
කල් ඉකුත්වූ රට ඉඳි තොගයක් අලෙවිය සඳහා සූදානම් කර තිබියදී හසුවෙයි
(08.02.2025 – 18:21 +0530 – hirunews.lk/sinhala)
කල් ඉකුත් වූ රටඉඳි නිෂ්පාදිත දිනය වෙනස්කර පාරිභෝගිකයා නොමග යවන ආකාරයට වෙළඳපළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ තොගයක් ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැටලීම් ඒකකය’ මගින් පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සොයාගෙන තිබෙනවා.
එහිදී රට ඉඳි කිලෝග්‍රෑම් 220 ක් මෙලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගත් අතර, ව්‍යාපාරිකයාට නඩු පැවරීම සිදුකළ බවයි එම අධිකාරිය සඳහන් කළේ.
ඉතා සූක්ෂම ආකාරයට දින වකවානු වෙනස් කර මෙම කූට ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවත්, වැටලීම සිදුකළ අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පුද්ගලයකු කල් ඉකුත් වූ රට ඉඳි ආහාරයට ගෙන මේවා කිසි ප්‍රශ්නයක් නොවී ඇති බවට එහිදී ආහාරයට ගෙන පෙන්වා තිබෙනවා.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම වෙළඳසැල සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත්, මේ සම්බන්ධයෙන් ද අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බවටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කළා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴