රුපියල් 11,000 පගාවට තැපැල් කාර්යාල සහායකයෙකු වසර 28 ක් හිරේ – එම සිරදඬුවම වසර 07 කින් ගෙවීයයි

රුපියල් 11,000 පගාවට තැපැල් කාර්යාල සහායකයෙකු වසර 28 ක් හිරේ – එම සිරදඬුවම වසර 07 කින් ගෙවීයයි


රුපියල් 11,000 පගාවට තැපැල් කාර්යාල සහායකයෙකු වසර 28 ක් හිරේ – එම සිරදඬුවම වසර 07 කින් ගෙවීයයි

(07.02.2025 – 13:40 +0530 – hirunews.lk/sinhala)

විදේශයක සිට මෙරටට ගෙන්වන ලද ‘ආරක්ෂිත කැමරා තොගයක්’ බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 11,000/- අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ‘කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකු’ට බරපතල වැඩ සහිත වසර 28 ක සිර දඬුවම් නියම කළ ‘කොළඹ මහාධිකරණය’ එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යා යුතු බව නියෝග කර තිබෙනවා.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31,000/- දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය කරමින් ‘කොළඹ මහාධිකරණ විනිසුරු’ මහේන් වීරමන් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

2016 වසරේ සැප්තැම්බර් මස 19 වනදා විදේශයක සිට ආනයනය කළ CCTV කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 11,000/- ක අල්ලසක් ලබා ගැනීම සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව ‘අල්ලස් කොමිසම’ විසින් ‘කොළඹ මහාධිකරණය’ හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ‘මහාධිකරණ විනිසුරුවරයා’ ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

ඒ අනුව විත්තිකරුට මෙම දඩවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළා ෴


තුන්වන (3) පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්

(07.02.2025 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ලබන 10 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබූ තුන්වන (3) පන්තියේ දුම්රිය ආසන වෙන් කිරීමේ පහසුකම යළි ලබාදී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ගත් තීරණයකට අනුව එම පහසුකම යළි ක්‍රියාත්මක බවයි.

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන දුම්රිය දෙකක (2) සහ තලෛයිමන්නාරම බලා ධාවනය වන දුම්රියක (1) ක්‍රියාත්මක වූ මෙම ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කීරීමට ඊයේ (06) තීරණය කර තිබුණා ෴


මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට

(07.02.2025 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ, ජාපාලවත්ත ප්‍රදේශයේදී අද (07) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, වෙඩි වැදුණු එම පුද්ගලයා මිනුවන්ගොඩ ‍රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 35 හැවිරිදි ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.

ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් රෙජී රණතුංග විද්‍යාලය දෙසට ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් T-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙම ඝාතනය පාතල කල්ලි සාමාජියින් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

+


රුසියානු හමුදාවට ගිය ශ්‍රී ලාංකිකයින් 59 ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණයක්

(07.02.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා සේවයට බඳවාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් අතරින් පසුගිය මස 20 වනදා වන විට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

ඒ අනුව, රුසියානු හමුදාව සමග ශ්‍රී ලාංකිකයින් 554 දෙනෙකු එක්වී සිටින බවත් ඔවුන් කිසිවෙකු බලහත්කාරයෙන් බදවා ගත් බවට තහවුරු වී නොමැති බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සදහන් කළේ ෴


ඩුබායිහිදී කොටු කර ගත් බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතන සැකකරුවෙකු ඇතුළු අපරාධකරුවන් තිදෙනෙකු (3) මෙරටට ගෙන එයි

(07.02.2025 – 11:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවන් තිදෙනෙකු (3) දිවයිනට රැගෙන විත් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අදාළ සැකකරුවන් තිදෙනා (3) ‘අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන ආ බවයි.

මෙරට පොලීසිය විසින් සිදු කරන ලද දැනුම්දීමක් මත ‘ජාත්‍යන්තර පොලීසිය’ මගින් එම සැකකරුවන් සඳහා ‘රතු නිවේදන’ ද නිකුත් කර තිබුණා.

ඒ අනුව, පසුගිය වසරේ ජනවාරි 22 වනදා බෙලිඅත්ත – කහවත්ත ප්‍රදේශයේ අධිවේගී පිවිසුම අසල දී වෙඩි තබා සිදු කළ පංච පුද්ගල මනුෂ්‍ය ඝාතනයට අවශ්‍ය කරන සැකකරුවෙකු වන ‘රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා’ මෙලෙස රැගෙන ආ තිදෙනා (3) අතර වනවා.

ඒමෙන්ම, පසුගිය වසරේ ජුනි මස 18 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ‘ගිහාන් මධුශංඛ’ නොහොත් ‘රාජා’ නැමැත්තාට වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමට අදාළ ව අවශ්‍ය කළ සැකකරුවෙකු වන ‘ප්‍රදීප් සදරුවන්’ නොහොත් ‘චන්දන’ ද මෙම පිරිසට අයත්.

මීට අමතරව 2008 වසරේදී අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට අදාළව අවශ්‍ය කරන චූදිතයෙකු වන ‘නාඩකන්දගේ උපාලි’ නොහොත් ‘රොටුඹ උපාලි’ ද දිවයිනට රැගෙන විත් තිබෙනවා.

‘හිරු වාර්තාකරු’ සදහන් කළේ, සැකකරුවන් කටුනායක ගුවන් තොටුපළට රැගෙන එන අවස්ථාව වන විට ඒ අවට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබූ බවයි ෴

+

+


පිටකොටුවේ පලතුරු අලෙවිසැල් පාරිභෝගික අධිකාරියෙන් වැටලෙයි

(07.02.2025 – 10:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – පිටකොටුව වෙළෙඳසැල් තුළ අලෙවි කරනු ලබන ඇපල්, දොඩම් සහ මිදි පලතුරුවල ගුණාත්මක භාවය පිළිබද සොයා බැලීම සදහා පාරිභෝගික අධිකාරිය අද (07) හදිසි වැටලීමක් සිදු කළා.

ඒ එම අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට ලද පැමිණිලිවලට අනුවයි.

මෙහිදී ශීතාගාර පවත්වාගෙන යාම, ඇසුරුම් ක්‍රමවේදයන් සහ නිෂ්පාදිත රට ඇතුලු අනෙකුත් විස්තර සදහන් කර ඇත්දැයි විශේෂයෙන් පරීක්ෂා කර තිබෙනවා.

අඩුපාඩු සහිත වෙළදසැල් වෙත මෙහිදී අවසන් නිවේදන නිකුත් කර තරයේ අවවාද කර ඇති බවයි වාර්තා වන්නේ ෴


‘විගණකාධිපති නිර්දේශ’ සියයට 95 ක් ක්‍රියාත්මක කිරීම රාජ්‍ය ආයතන පැහැර හැරලා

(07.02.2025 – 08:31 +0530 – hirunews.lk/sinhala)

‘රජයේ විගණකාධිපතිවරයා’ පසුගිය කාලය තුළ නිකුත් කර ඇති වාර්තා 2500 කට අධික ප්‍රමාණයෙන් සියයට 95 කට අදාළව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ආයතන අපොහොසත් වී ඇති බව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ පවසනවා.

එය රටේ පවතින දූෂණය හා නාස්තිය තහවුරු කිරීමට කරන දිරිගැන්වීමක් බවයි එම ව්‍යාපාරය නිවේදනය කළේ.

එබැවින් මේ පිළිබදව බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුකරන ලෙසද ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ ඉල්ලා සිටිනවා.

දූෂණය හා වංචා පිටු දැකීම කෙරෙහි පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන තලයේ ගැඹුරු සංවාදයක් පවතින අතර ඒ සදහා සිදු කෙරුණු බලපෑම් මත අල්ලස් හෝ දූෂණ පනත ද ඇතුළු බොහෝ නීති ප්‍රතිසංස්කරණයට ලක් වුණා.

එහෙත් රට මුහුණ දෙමින් සිටින අභියෝගයන් සැලකීමේදී එය ප්‍රමාණවත් නොවන බව වත්මන් රජයේ ස්ථාවරය වූ බවයි ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ කියා සිටියේ.

එබැවින් මේ පිළිබද විශේෂ අවධානයක් යොමුකර ‘විගණකාධිපති දෙපාර්තමේන්තුවේ’ කාර්ය වඩා උසස් මට්ටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපුරාලීමට රජය අවධානය යොමු කරවනු ඇති බවට අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් ෴


අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

(07.02.2025 – 06:47 +0530 – hirunews.lk/sinhala)

සෙවනගල පොලිස් වසමේ නෙලුම්වැව ප්‍රදේශයේ නිවසක අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලි සැර වැදී ඊයේ (06) පුද්ගලයෙකු මියගොස් ඇති බව සෙවනගල පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 31 ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරුගේ අසල නිවසේ අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින සිය මවට දිවා ආහාරය ලබා දීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේ ‘නිවස තුළට සුනඛයන් පැමිණිම වැලැක්වීම’ සඳහා ඔහුගේ පියා විසින් ‘නිවස තුළ අනවසරෙන් අදින ලද විදුලි රැහැනක’ ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශණයේදී අනාවරණය වී තිබෙන්නේ.

මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සෙවනගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


සපු කොටන් දෙකකට (2) යටවීමෙන් අයෙකු මරුට

(07.02.2025 – 23:24 +0530 – hirunews.lk/sinhala)

ලොරි රථයක පටවා තිබූ ලී කොටන් දෙකකට (2) යටවීමෙන් එම ලොරි රථයෙන් ලී කොටන් බිමට බාමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එගොඩඋයන පොලිසිය පවසනවා.

මියගිය තැනැත්තා එගොඩඋයන ප්‍රදේශයේ ලී මෝලක ලී කොටන් බාමින් සිට ඇති අතර, ලොරියේ ලී ඇන්දක් ගැලවී සපු කොටන් දෙකක් (2) ශරීරය මතට වැටී එයට යටවීමෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අනතුරෙන් මියගොස් ඇත්තේ වස්කඩුව, කපුහේන ප්‍රදේශයේ පදිංචිව සිටී ක්‍රිෂාන්ත කුමාර නමැති 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි ෴


පේර ගසින් වැටුණු 6 හැවිරිදි දැරියට විදුලි සැර වැදී මියයයි

(08.02.2025 – 07:29 +0530 – hirunews.lk/sinhala)

වවුනියාව පුලියන්කුලම් පලයවාඩි ප්‍රදේශයේ හය (6) හැවිරිදි දැරියක් විදුලි සැර වැදීම නිසා ඊයේ (07) මියගොස් තිබෙනවා.

මෙම දැරිය නිවස පසුපස තිබූ පේර ගසකට නැග සෙල්ලම් කරමින් සිටියදීයි ඇය එක්වරම ගසෙන් ලිස්සා බීමට වැටී තිබෙන්නේ.

ඇය වැටී ඇත්තේ නිවසට ජලය සැපයීම සදහා සවිකොට තිබූ වතුර මෝටරය අසලට වන අතර, එහි තිබූ ‘කැඩී ගිය වයරයකින් කාන්දු වූ විදුලිය’ දැරියට වැදීමෙන් ඇය මියගොස් තිබුණා.

වහාම දැරියට ප්‍රථමාධාර ලබා දී ඇයව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද නමුත්, ඇය රෝහල් ගත කරන විට මියගොස් සිටි බවයි වෛද්‍යවරු සනාථ කර ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴


ඩුබායි සිට රැගෙන ආ ‘රතු වරෙන්තුකරුවන්’ තිදෙනා (3) පොලිස් ස්ථාන 3 කට

(08.02.2025 – 08:30 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හීදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනා (3) වැඩිදුර විමර්ශන සදහා අදාළ පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා.

‘බෙලිඅත්ත පංච (5) පුද්ගල ඝාතනය’ ඇතුළු මෙරට සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘ජාත්‍යන්තර රතු නිවේදන’ නිකුත් කර තිබූ මොවුන් ඩුබායිහි සිට ඊයේ (07) දිවයිනට රැගෙන ආවා.

දිවයිනට රැගෙන ආ 42 හැවිරිදි ‘රන්මුණි මහේෂ් හේමන්ත සිල්වා’ නැමැත්තා බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකුට (5) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරුවෙක්.

එමෙන්ම, ‘කඳන්ගමදෙනියේ ගෙදර ප්‍රදීප් සඳරුවන්’ හෙවත් ‘චන්දන’ නැමැත්තා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට (1) වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව අවශ්‍ය සැකකරුවෙක් වන අතර ඔහුට අළුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මීට අමතරව මාවරල ප්‍රදේශයේදී පුද්ගලයෙකු (1) වෙඩිතබා ඝාතනය කිරීම මෙන්ම බාලවයස්කාර දැරියක් (1) අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද අවශ්‍යයව සිටි ‘නාඩකන්දගේ උපාලි’ හෙවත් ‘රොටුඹ උපාලි’ නම් සැකකරු ද ඊයේ (07) දිවයිනට රැගෙන ආවා.

ඒ අනුව ඔවුන් ‘කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය’ට, බෙලිඅත්ත සහ අකුරැස්ස පොලිස් ස්ථාන වෙත භාරදී තිබෙනවා ෴


ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියටත් බාධා

(08.02.2025 – 09:04 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය සදහා වන අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් ‘යු.එස්.ඒඩ්’ ආයතනය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා ‘මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය’ට බලපෑම් එල්ල වී තිබෙනවා.

‘බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය’ කියා සිටියේ, බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැයවන මුදලින් අඩක් පමණ සපයනු ලබන්නේ ‘යු.එස්.ඒඩ්’ ආයතනය විසින් බවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මස 20 වනදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුව ඇමරිකාව විසින් අරමුදල් සපයන විදේශීය ව්‍යාපෘති දින 90 කට අත්හිටුවීමට නියෝග කෙරුණා. ඒ අනුව ‘යූ.එස්.ඒඩ්’ ආයතනය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබෙනවා.

මින් වැඩි බලපෑමක් යුද සමයේ උතුරු – නැගෙනහිර පළාත්වල වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට එල්ල විය හැකි බවයි ‘සිවිල් සමාජ සාමුහිකයේ’ අදහස් වි ඇත්තේ.

ශ්‍රී ලංකාව, 2028 වසර වන විට බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර ‘මැග්’ සහ ‘හෙලෝ’ යන විදේශීය ආයතන මෙන්ම ‘ඩෑෂ්’ සහ ‘ෂාප්’ යන දේශීය ආයතන ද ඒ සදහා එක්ව සිටිනවා. මෙම වසරේ වර්ග කිලෝමීටර් 6 ක පමණ භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමට සැලසුම් කර තිබූ අතර එමගින් ජීවනෝපාය සිදු කර ගන්නා පිරිස 3,000 කට අධිකයි.

‘රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය’ පවසන්නේ, මෙරට ‘රාජ්‍ය නොවන සංවිධාන’වල ක්‍රියාකාරිත්වය අනුව ශ්‍රේණිගත කර ඇති පළමු සංවිධාන 20 න් 12 ක්ම ‘යූ.එස්.ඒඩ්’ ආයතනය හරහා මුදල් ලබා ගන්නා සංවිධාන බවයි.

කෙසේ වෙතත්, ඇමරිකානු ආධාර ලෙස මෙරටට වැඩි මුදලක් ලැබෙන්නේ ‘රාජ්‍ය නොවන සංවිධාන’වලට නොව ‘රාජ්‍ය සහ පෞද්ගලික ආයතන’වලට බව ‘සිවිල් සමාජ සාමුහිකය’ ප්‍රකාශ කළා.

මේ නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය රාජ්‍ය අංශයට ද බලපෑම් එල්ල කළ හැකි බවයි එහි සම කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ ෴


විදේශ දූත මණ්ඩලවලට රජයෙන් දේශපාලන පත්වීම්

(07.02.2025 – 18:33 +0530 – sinhala.adaderana.lk)

විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට සිදුකරනු ලබන දේශපාලන පත්වීම් සම්බන්ධව ‘ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය’ දැඩි කනස්සල්ල පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙනුයේ වෘත්තිමයභාවයේ, කුසලතා මත පදනම්ව පත් කිරීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවීණතාවේ පිළිගත් සම්මතයන් නොසලකා හරිමින් විදේශයන් හී පිහිටි ‘ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානී’ ඇතුළු ධුර රැසකට ‘ශ්‍රී ලංකා විදේශ සේවයෙන්’ බැහැරව මෑතකදි පත්කිරීම් සිදුකර ඇති බවය.

ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සිය වෘත්තිය ජීවිතය කැප කළ, අත්දැකීම් බහුල, ඉහළ සුදුසුකම්වලින් යුත් වෘත්තිමය විදේශ සේවා නිලධාරීන් නොසලකා හැර කරන ලද මෙම පත්කිරීම් සම්බන්ධව ‘ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය’ සිය දැඩි කළකිරීම පළ කරනු ඇති බවත් එහි සඳහන් ව ඇත.

‘ශ්‍රී ලංකා විදේශ සේවය’ යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් රටේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කිරීමටත් විශේෂයෙන් පුහුණුව ලැබූ විශේෂිත සේවයක් බවත්, දේශපාලන පත්වීම් වෙනුවෙන් එවන් වෘත්තිය රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන් නොසලකා හැරීම ආයතනික අවංකභාවය දුර්වල කිරීමක් වන අතරම රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරත්වය ද අනතුරේ හෙළිමක් බවද එම සංගමය පවසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *