මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ අහපු ‘දේවරාණි’ අද ගල්ගමුව, වඩුමඩුව ගමේ පුංචි නිවසක
(26.01.2025 – divaina.lk)
- අවුරුදු පහයි – වැඩිහිටියෙක් වගේ ගාථා කියනවා…
- නන්දිකුල් වැවයි, පන්සලයි හැදෙව්වෙ මම…
- වයස අවුරුදු තුනේදී චෛත්‍යයක් හදන්න අවශ්‍යයි කියලා…
- දේවරාණි නම සෙල් ලිපියකත් තියෙනවා…
- මාස හයක ඉඳල ලෙඩ රෝග ගැනත් කියනවා…
නැවත – නැවත ඉපදීම ‘පුනරුත්පත්තිය’ යැයි කියනු ලැබේ. මරණයෙන් පසු… නැවත ප්‍රතිසන්ධියක්ව හෝ උපතක් ලැබීම, ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචනය වී තැනෙන යුක්තාණුව බිහිවීම හෝ ඊට විඥානය පහළවීම ආදී අවස්ථා සම්බන්ධය පැහැදිලි කළ හැකි, තහවුරු කළ හැකි විධිමත් දැනුමක් හෝ නිරීක්‍ෂණයන් හෝ මෙ’දියත නොමැත. එහෙයින් පුනරුත්පත්තිය මිථ්‍යාවක් ලෙස බැහැර කළ නොහැකි ය. පුංචි දරුවන් ‘පෙර ආත්මය’ ගැන කියන කතන්දර ද මිථ්‍යාවක් යැයි බැහැර කළ නොහැකි ය. දේවානම්පියතිස්ස රජ පවුලේ සාමාජිකාවක් ලෙස මිහිඳු මහ රහතන් වහන්සෙගෙන් ධර්මය ඇසූ බව කියන ‘දේවරාණි’ කියන පුනරුත්පත්ති කතාව ද මිථ්‍යාවක් යැයි බැහැර කළ නොහැකි ය. එහෙයින් එම කතාව ඔබටත් කියන්නට අපි අදහස් කළෙමු.
දේවරාණිව අපට මුණගැසුණේ ගල්ගමුව, වඩුමඩුව ගමේ පුංචි නිවසකදී ය. ගොඩනැඟෙමින් තිබුණු එම නිවසෙ ඔවුන් ජීවත් වනුයේ කුලියට ය. විදුලිය හෝ නොමැති එම නිවසේ අඩුපාඩු බොහෝමයක් පෙනේ. එහෙත් දේවරාණිගෙ පවුලෙ සාමාජිකයන් සතුටින් ජීවත් වන බව කතාබහෙන් වැටහේ. එමෙන්ම දේවරාණිට මේ ආත්ම භවයේදී පටබැඳි නාමය ‘දෙව්මිණි විහාරා’ ය. ඇයට වයස අවුරුදු පහකි (5).
පුංචි දෙව්මිණිගේ පියා, සුසන්ත සරත්චන්ද්‍ර ය. වයස අවුරුදු හතළිස්පහකි (45). ඔහු වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන්නේ ය. මව, ශාන්ති විජේවර්ධන ය. වයස අවුරුදු හතළිහකි (40). ඇය රැකියාවක් නොකරන්නී ය. එකම සහෝදරිය, චලනි ය. තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ 09 වැනි වසරේ ඉගෙනුම ලබන ඇය ද අධ්‍යාපනයට දක්‍ෂ බව ශාන්ති අප සමඟ පැවසුවා ය.
“පොඩි දුව ඉපදිලා සති දෙකක් (2) යනකොට මහ රෑට අඬන්න ගත්තා. මොනව කරලවත් නළවගන්න බැරි වුණා. දවසක් රෑක, දළදා මාලිගාවේ පෙරහැර රූපවාහිනියෙන් විකාශනය වෙනකොට දුව ඇඬිල්ල නතර කර හේවිසි හඬට කන්දීගෙන හිටියා. ඊට පස්සෙ හේවිසි ගහන වීඩියෝවක් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන දුව අඬන වෙලාවට හේවිසි හඬ අහන්න දුන්නා. ඒ හඬට කන්දීගෙනම දරුවට නින්ද ගියා. පිරිත් හඬටත් හොඳට කන්දීගෙන ඉන්නවා. අදටත් අහල පහල ගෙදරක පින්කමක් තිබුණොත්, ආරාධනාවක් ලැබුණත් නැතත් එයාව එක්කරගෙන යන්න ඕනෑ. පිරිත් පින්කමක් නම් වාඩිවෙච්ච වෙලාවෙ ඉඳලා අවසාන වෙනකම් නිදිවරාගෙන අහගෙන ඉන්නවා. ධර්ම දේශනා පින්කමකදි වුණත් ඉදිරියෙන්ම වාඩිවෙලා අවසාන වෙනකම් අහගෙන ඉන්නවා. තේරෙනවද නැද්ද දන්නෙ නෑ…”
“එයා ඉස්සර කාලෙත් බණ ඇහුවේ ඉදිරියෙන්ම වාඩිගෙන ලු. මිහිඳු හාමුදුරුවෝ ධර්මය දේශනා කරනකොට එළිවෙනකම් අහගෙන හිටියා, බණ අහන්න මිනිස්සු පෝලිමේ ආවා, මිහිඳු හාමුදුරුවෝ බණ කියනකොට මුළු මිස්සක පව්වම රත්තරන් පාටින් දිලිසුණා කියනකොට අපිට අමුත්තක් දැනුණා. එතකොට දුව පෙර පාසල්වත් යන්නෙ නෑ. වයස අවුරුදු තුනයි (3). අම්මට – තාත්තට වඳින ගාථාව කටපාඩමින් කියල හැමදාම උදේට – හවසට අපි දෙන්නට වැන්දා. පොසොන් පෝය කිට්ටු වෙනකොට මිහින්තලේ යන්න ඕන කියලා අඬන්න ගත්තා. දැන් අවුරුදු තුනක (3) තිස්සෙ ඉඳලා සෑම පොසොන් පෝයකටම මිහින්තලේ යනවා. මිස්සක පව්ව උඩට නැඟල අවට නරඹමින් තිස්ස රජු දඬයමේ ගිය මහ කැලෑව දැන් නෑ කියලා මට පෙන්නුවා. ගොඩක් දේවල් කියන්නෙ මට විතරයි. මිහින්තලේට ගිය පළමු දවසේම මිහිඳු පිළිමේ වටේ ඇවිදිමින් විපරම් කර මට හොරෙන් කියනවා “අම්මා… තිස්ස රජතුමාගේ දුන්න තියලා තිබුණේ මෙතැන, දැන් නෑ” කියලා… ශාන්තිගේ ඇඟට තුරුලු වී සිටි දෙව්මිණි ට අපි කතා කළෙමු. බිය සැකයකින් තොරව ඇය පුංචි පුටුවක් ඉදිරියට ඇද, අප අසලින් හිඳ ගත්තා ය.
මිහින්තලේ ජීවත් වෙන කාලෙ දුවගේ නම මොකක්ද?
“දේවරාණි…” කටකාර, දඟකාර ඇයගේ හඬ දෝංකාර දෙන තරම් ය. ඇස් නටවමින්, මුව උල් කරමින් කතා කරනවිට දෙසවනට මෙන්ම දෙනෙතට ද ප්‍රියජනක ය. අවුරුදු පහක (5) පුංචි දරුවකුගෙන් නොදකින මුකරි බවක් ඇය තුළින් විද්‍යමාන වේ. සුන්දර මුවමඬලේ අහංකාර බැල්මක් ද ඇඳී තිබේ. සිනහව අඩු ය.
“දුව මුලදි මට කිසිම දෙයක් කිව්වේ නෑ. හැම දෙයක්ම කිව්වේ අම්මා එක්ක. මෑතක උදේක මල් වට්ටියක් හදලා දෙන්න කියලා මට කිව්වා. ඒ විදිහට දවස් හතක් (7) මට කියලා මල් වට්ටියක් හදාගත්තා. ඊට පස්සෙ තමයි පෙර භවයේ සිද්ධි මට කියන්න පටන් ගත්තෙ. දුව මට මුලින්ම කිව්වේ ‘තාත්ත පින් කරගන්න; හෙට වෙනකම් ඉන්න එපා. මිහිඳු හාමුදුරුවො බණ කියනකොට මුලින්ම කිව්වේ ඒ කතාව…’ කියලා. ‘ඒ කාලේ මිනිස්සුන්ට දන් දෙන්න හුරු නෑ. එක ගෙදරකින් මොනවහරි ගෙනත් පූජා කරන්න කියලා තිස්ස රජතුමා නියෝගයක් නිකුත් කළා’ කියලත් දුව කියනවා. රාජ නියෝගයත් සමඟ සමහර අය ඇට වර්ග, අල වර්ග, විවිධ වියළි ආහාර ගෙනත් විශාල ගල් ටැංකියකට දැම්මා කියලත් කියනවා. ටිකෙන්, ටික දන් දෙන්න හුරුවෙච්ච මිනිස්සු පහුකාලීනව පොරකකා දන් දුන්නා කියලත් දුව කියනවා. මිහිඳු මහ රහතන් වහන්සේට දානය පූජා කරලා තියෙන්නෙ රජ මාලිගයෙන්. ඒ දානය පිළියෙල කළේ එයලා කියල තමයි දුව කියන්නෙ. තේරෙන කාලේ ඉඳල දුව අඳින්න ඉල්ලන්නෙ දිලිසෙන ඇඳුම්. චීත්ත ගවුමක් දුන්නම ‘අපි ඕවා අඳින්නෙ නෑ. අපි ඇන්දෙ දිලිසෙන ඇඳුම් විතරයි…’ කියලා අපිට දොස් කියනවා. නන්දිකුල් වැවයි, නන්දිකුල් පන්සලයි හැදුවේ එයාගේ ඕනෑකමට ලු. දේවානම්පියතිස්ස රජතුමා වෙහෙර විහාර, වැව් විශාල සංඛ්‍යාවක් හැදුව ලු. නන්දිකුල් විහාරයට යන්න ඕන කියලා දුව නිතරම කියනකොට කිහිප සැරයක් අනුරාධපුරයේ ගිහින් හොයල බැලුවා. එහෙම විහාරයක් හොයාගන්න බැරි වුණා…” සුසන්තව නිහඬ කළ අපි නැවත දෙව්මිණි දෙසට හැරුණෙමු.
නන්දිකුල් විහාරය තිබුණේ කොහේද?
“මිහින්තලේ. වැවයි, පන්සලයි දෙකම එකට හැදුවේ. අපේ මාලිගය තිබුණෙත් ඒ කිට්ටුව ම තමයි…”
නන්දිකුල් විහාරය තියෙන තැන දන්නවද?
“ඔව්. එතැන ගොඩක් ආරක්‍ෂකයො ඉන්නවා. ඒ අය, කාටවත් යන්න දෙන්නෙ නෑ. මම ගිහින් ‘දේවරාණි’ නම කිව්වොත් යන්න දෙනවා. ඉස්සර අපි පන්සලට ගියේ, ආවේ පයින්. මිහින්තලෙට ගියේ පයින්. දුර ගමනක් යනකොට මට සුදු අශ්වයෙක් හිටියා. මම වැඩියෙන්ම කළේ පින්කම්. මගෙ නම සෙල් ලිපියකත් තියෙනවා. ඒක හොයාගන්න ඕනෑ…” දෙව්මිණි කියාගෙන යන්නී ය. එහෙත් සුසන්තගේ හඬ නැවත ඉස්සිණි.
“දුව වැටි වැටි ඇවිදින කාලේ ඉඳලා මිදුලේ චෛත්‍ය හදලා මල් පූජා කරනවා. චෛත්‍ය හදන තැන අතුගාන්නවත් දෙන්නෙ නෑ. වයස අවුරුදු තුනක් (3) විතර වෙනකොට චෛත්‍යයක් හදන්න ඕන කියලා කිව්වා. කුලී ගෙදරක ජීවත් වෙන අපිට චෛත්‍ය හදන්න සල්ලි කෝ කියාල අපි දුක් වුණා…”
“තාත්තා බය නැතිව විහාරයක අලුතින් චෛත්‍යයක් හදන්න පටන් ගන්න. සල්ලි ලැබෙයි…” දුව නිතරම කියන්න පටන් ගත්තා. සල්ලි ලැබුණත් නැතත් ඉඩමක් විකුණල හරි දුවගේ ආශාව ඉෂ්ට කරනවා කියලා අපි කතා වුණා. සුසන්තගෙ අධිෂ්ඨානශීලී කතාව යටපත් කොට අපි දෙව්මිණි ට පැනයක් යොමු කළෙමු.
චෛත්‍යයේ වැඩ පටන් ගත්තද?
“තාම නෑ…”
කොහේද හදන්නෙ…?
“තැන් දෙකක් තියෙනවා. එක තැනක හදනවා…”
මේ අම්මා – තාත්තා ළඟට එන්න ඉස්සර ඔයා කොහේද හිටියේ…?
“උඩ…”
එහේ ඉඳල දිළිඳු පවුලක ඉපදුණේ ඇයි…?
“මෙයලා දුප්පත් වුණාට ශ්‍රාද්ධාවන්තයි. පුළුවන් විදිහට පින් කරනවා. චෛත්‍යයක් හදන වැඩේට හොඳම අම්මා – තාත්තා මෙයලා කියලා දැනුණු නිසා අම්මා ළඟට ආවා…” කිසිදු චකිතයක් නැත. ගිරවියක සේ කතා කරන්නී ය.
“දුව මොන්ටිසෝරි යනකොට සමහර දවස්වලට මගෙන් අහනවා ‘අම්මා දැක්කද? අම්මට දකින්න විදිහක් නෑ. එයාව පේන්නෙ මට විතරයි’ කියලා අහසට වඳිනවා. දේවානම්පියතිස්ස රජතුමා උඩ ඉඳගෙන එයා දිහා බලාගෙන ඉන්නව ලු. මගෙ කුසේ ඉපදෙන්න පෙර දුව ඉඳලා තියෙන්නෙ දිව්‍ය තලයේ ලු. දිව්‍යලෝකයේ ඉන්නකොට හැම ධර්ම දේශනාවකට පෙර හේවිසි ගහනව ලු. දිව්‍යතලයට ඇහෙන්නෙ එතකොට ලු. බණ අහන්න යන්න සූදානම් වෙන්නෙ එතකොට ලු. හේවිසි හඬට ගොඩක් කැමැති ඒ නිසා ලු. දුව බඩට ආවේ මහත්තයා පන්සලේ විහාර මන්දිරේ වහල ගහන දවස්වල…” ශාන්ති සංවේදී වූවා ය.
සුසන්ත වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට සම්බන්ධ වී ඇත්තේ වඩු වැඩ හැමදාම නැති නිසා ය. ගමේ විහාරස්ථානයේ විහාර මන්දිරයේ වහල ගහන දිනවල සිට එම වසරේ කඨින පින්කම අවසාන වන තෙක් දිනපතා හවසට ශාන්තිලා ද පන්සල් ගොස් ඇත. දෙව්මිණි ලැබෙන්න සිටින බව දැනගෙන ඇත්තේ කඨින පින්කම අවසාන වී දින තුනකට (3) පසුව ය. “පොඩි දුව ළඟට ආවට පස්සෙ පෙරටත් වඩා උනන්දුවෙන් අපිත් පින්දහම් කරනවා” සුසන්ත කීවේ ය.
“දුවට යන්න ඕන කියන තැනට මොන ක්‍රමයකින් හරි යන්න අවස්ථාව ලැබෙනවා. පහුගිය දවසක මිහින්තලේ නායක හාමුදුරුවො මුණගැහෙන්න පුළුවන් යමු කියලා දුව කිව්වා. පස්සෙ අපි වෑන් එකක් හයර් කරගෙන මිහින්තලේ ගියා. ‘අව්වෙ ගලට නඟින්න බෑ පුතේ’ කියලා මම කියනකොට ‘නෑ… තාත්තා තව ටිකකින් වහී…’ කියලා දුව කිව්වා. ගිනි මද්දහානෙ ගලට නැඟල පහළට බැහැල දුව මිහිඳු පිළිමේ වටා ඇවිද ඇවිද ඉන්නකොට එක පාරටම වැස්සක් වැටුණා.”
“මම කිව්වෙ තාත්තා, වහිනවා කියලා… දැන් මහන්සි නෑ නේද?”
“ඒ වැස්ස විනාඩි දහයක් (10) යනකොට නතර වුණා. පහළ මළුවට ඇවිත් දුවට ලොකු හාමුදුරුවො බැහැදකින්න ඕන කියනවා කියලා මම පොලිස් නිලධාරියෙකුට කිව්වා. ‘අද ඕනෙ නෑ; වෙන දවසක බැහැදකින්න ලැබුණොත් ඇති’ කියනකොටත් ඒ නිලධාරියා නායක හාමුදුරුවන්ට දුරකථන ඇමතුමක් ගත්තා. ක්‍ෂණයෙන් හාමුදුරුවොත් ඇමතුමට සම්බන්ධ වුණා. උන්වහන්සේ සමඟ කතාබහ කරන්න අවස්ථාවක් දීලා තිබුණා. පහළ විහාරයේ වැඩසිටිය නායක හාමුදුරුවො බැහැදකින්න ගියේ මමයි දුවයි විතරයි. උන්වහන්සේ දැක්ක හැටිය දුව හැරිලා ඇවිත් වෑන් එකට නැග්ගා. දුව කියන, කරන දේවල් මම නායක හාමුදුරුවන්ට කිව්වා. චෛත්‍යයක් හදන්න ඕන කියන විස්තරයත් කිව්වා. ‘ළමයව බලන්න ඕන. විහාරය ඇතුළට එන්න කියන්න’ කියලා ලොකු හාමුදුරුවො කිව්වා. ඒත් දුව ආවේ නෑ. වාහනය ඇතුළට ගන්න කියලා නායක හාමුදුරුවො වෑන් එක ළඟට ඇවිත් කතා කළාම දුව බැහැලා වැන්දා. ඕනෑම වෙලාවක කතා කරන්න කියලා නායක හාමුදුරුවන්ගේ පෞද්ගලික දුරකථන අංකයත් අපිට දුන්නා…”
“මෑතක දුවට සිරිමා බෝධියට පැන් පූජා කරන්න ඕන කියල අපි අනුරාධපුරයේ ගියා. අහඹු ලෙස නායක හාමුදුරුවො මුණගැහිලා සිරිමා බෝධියේ දෙවැනි මළුවට ගිහින් පැන් පූජා කරන්න අවස්ථාව ලැබුණා. දුව විතරක් ගිහින් පැන් පූජා කරලා ආවා. එදා සිරිමා බෝධින් වහන්සේ, රුවන්මැලි මහා සෑය වැඳලා සෑමළුවේ හිඳගෙන ඉන්නකොට, දවල් දොළහට විතර ‘මහා සෑය වඳින්න නාගයො එනවා, ඒ අයට පාඩුවේ වැඳගන්න දීලා අපි යමු’ කියලා අපිවත් කතා කරගෙන ආවා. ‘නාගයො එන්නෙ මනුස්සයො විදිහට, එයාලට ඕන නම් කතා කරන්න පුළුවන්’ කියලත් දුව කිව්වා…”
“මාස හයක (6) විතර කාලයක ඉඳලා ලෙඩ්ඩු ගැන කියනවා. හිතවත් කිහිපදෙනෙක්ට අසනීප වෙලා… දුව කියන විදිහට ප්‍රතිකාර කරගෙන හොඳ වෙලත් තියෙනවා. පොළඟෙක් දෂ්ට කර දවස් පහක් (5) සිහිය නැතිව තඹුත්තේගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ හිටිය කෙනෙක්ව බේරන්න බෑ, මැෂින් ගලවනවා කියලා වෛද්‍යවරු කියලා තිබුණා. එදාම හවස දුව පහන පත්තු කර ලෙඩාගෙ නම කියල ප්‍රාර්ථනාවක් කර ‘හෙට සිහිය එනවා, ඔක්සිජන් නම් තව දවසක් දෙකක් (2) ගහල තියයි…’ කියලා අපිට කිව්වා. කියපු විදිහටම පහුවදා උදේ සිහිය ඇවිත් තිබුණා. දවස් දෙක – තුනක් යනකම් ඔක්සිජන් ගැලෙව්වෙත් නෑ. ලෙඩාට හොඳටම සනීප වුණා. පස්සෙ ඒ අය අපේ ගෙදර එන්න හැදුවා. දුව කිව්වා එපා කියලා. දුව ප්‍රාර්ථනා කර සනීප කරන කිසිම රෝගියෙක්ව අපේ ගෙදරට ගෙන්න ගන්නෙ නෑ. පිට අය ගේන කිසිම කෑමක් කන්නෙත් නෑ…”
“සමහර රෝගීන්ට පොඩි පොඩි බෙහෙත් කියනවා. ඒවා හරියටම කරන්න ඕනෑ. කසාද බැඳලා අවුරුදු ගාණක් දරුවො නැතිව හිටිය අපේ ඥාති නංගි කෙනෙක් මෑතක අපේ ගෙදර ආවා. ඒ ගැන කතා කර කර ඉන්නකොට දුව පහන පත්තු කර ප්‍රාර්ථනා කරලා, ‘රුවන්මැලි මහා සෑය වන්දනා කර දරුවෙක් ප්‍රාර්ථනා කරන්න’ කියලා කිව්වා. ඊට පහුවෙනිදාම නංගිලා ගිහින් කියපු විදිහට කරලා තිබුණා. මාසයක් යනකොට ප්‍රතිඵල ලැබුණා. දුවට අමනුෂ්‍ය බලවේගත් පේනවා. පුද්ගලයකුගෙ, ගෙදරක, වත්තක පින්තූරයක් බලල වුණත් අමනුෂ්‍ය දෝෂ තියෙනව නම් කියනවා. ගොඩක්ම රෝගීන්ට සුවය ප්‍රාර්ථනා කරන්නෙත් පින්තූර බලලා, නම කියලා, බුදු පහනට ප්‍රාර්ථනා කරලා. මේ වන තෙක් කිසිදු ප්‍රාර්ථනාවක් වැරැදිලා නෑ. ඉස්සර අපි කොහේට හරි ගිහින් එනකොට රිළව් ගෙට රිංගල බත් මුට්ටි, හොදි ඇතිලි පෙරළගෙන කාලා ගේ විනාශ කරලා තියෙනවා. දැන් අපි කොහේට හරි යනකොට දුව පහන පත්තු කර මොනවදෝ කියලා වඳිනවා. එහෙම කරපු දවසට ගේ ඇතුළට තියා වත්ත මායිමටවත් රිළව් එන්නෙ නෑ…” ශාන්ති සහ සුසන්ත කියන කතාවේ හැටියට දෙව්මිණිට නොපෙනෙන ශක්තියක් තිබෙන බව හැඟේ. එය සනාථ කිරීමට සාක්‍ෂි සහිතව ඔවූහු බොහෝ දේ අපට පැහැදිලි කළහ. එහෙත් පෙළගැසෙන කතාවට මේ කරුණු ප්‍රමාණවත් ය.
දෙව්මිණි පස්හැවිරිදි (5) දැරිවියකි. ඇයට නිදහසේ ඉගෙනගැනීමට අවස්ථාව සැලසීම එම දෙමවුපියන්ගේ වගකීමකි. ඊට වඩා යමක් පෙළගැසෙන සටහනට ඇතුළත් නොකිරීම අපගේ කැමැත්ත ය.
තරංග රත්නවීර
+