විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසුවයි

විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසුවයි


විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලැබීමෙන් පසුවයි

(17.01.2025 – 17:01 +0530 – sinhala.adaderana.lk)

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කරමින් 20% කින් විදුලි ගාස්තු පහළ දැමීමට තීරණය කර තිබුණි.

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දුනි.

එහිදී 0-30 ත් අතර පැවැති ගෘහස්ථ කාණ්ඩය යටතේ පැවැති ඒකක ගාස්තුව රුපියල් 6 සිට 4 දක්වාත් 31-60 ත් අතර පැවැති ඒකක ගාස්තුව රුපියල් 9 සිට 6 ක් දක්වාත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම විදුලි ගාස්තු සශෝධනයට අනුව ගෘහස්ත අංශය සඳහා සියයට 20 කින් විදුලි ගාස්තු අඩු වන අතර ආගමික සිද්ධස්ථාන හා පුණ්‍යාතන සඳහා සියයට 21% කින් විදුලි ගාස්තු අඩු කර ඇත.

හෝටල් සඳහා 31% කින් ද කර්මාන්ත කාණ්ඩය සඳහා 30% කින්ද විදුලි ගාස්තු අඩු කර ඇති අතර පොදුකාර්ය කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 12% කින් අඩුකර තිබේ.

රාජ්‍ය ආයතන සඳහා 11% කින්ද වීථි ලාම්පු සඳහා 11% කින්ද ගාස්තු අඩු කිරීමටද පියවර ගෙන ඇත.

+

+

+

+


‘හිරු CIA’ හෙළිකරගත් දුම්රිය ඊ-ටිකට් ජාවාරමේ සුලමුල මෙන්න

(17.01.2025 – 21:56 +0530 – hirunews.lk/sinhala)

රට පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති දුම්රිය ඊ-ටිකට් වංචාව සිදුවන්නේ කෙලෙසදැයි මේ වනවිටත් අභිරහසක්ව පවතිනවා.

කෙසේවෙතත්, ‘හිරු CIA’ මේ පිළිබඳ කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම ජාවාරම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන් ද මීට සම්බන්ධ බවයි.

මහනුවර දුම්රිය මාර්ගයේ ඇල්ල ප්‍රදේශය හරහා ගමන් ගන්නා දුම්රියවල ආසන සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ඊ-ටිකට් වෙන්කර ගැනීම මේ වනවිට සාමාන්‍ය ජනතාවට සිහිනයක් වී තිබෙනවා.

ඒ, තත්පර ගණනාවක් තුළ දුම්රියේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව විකිණී අවසන් වීම හේතුවෙන්.

මෙය ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම රටේ ජනතාවත් අසාමාන්‍ය සිදුවීමක් ලෙස දුටුවද දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ මතයයි මේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ‘හිරු CIA’ කළ විමර්ශනයකදී හෙළිවුයේ ඇල්ල, මහනුවර, කොළඹ පමණක් නොව කොට්ටාව – මාකුඹුර ප්‍රදේශය ද ඊ-ටිකට් වංචාවට ප්‍රසිද්ධියක් උසුලන බවයි.

මෙම කාන්තාව විසින් දැනට විදේශගතව සිටින පුද්ගලයෙකුට යොමු කළ වට්ස්ඇප් පණිවුඩ හරහා අනාවරණය වන්නේ ඊ-ටිකට් කල්තියාම වෙන්කරවා ගෙන විකිණීම සඳහා මාකුඹුර ප්‍රදේශයේ ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් ද ලියාපදිංචි කර ඇති බවයි.

වෙන්කරවා ගෙන ඒවා වැඩි මිලට විකුණන සිදුවීමට මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවකයෙකු ද සම්බන්ධ බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් ‘හිරු CIA’ එම පුද්ගලයා සොයා ගියා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ පසුගිය වසරේදී තම පියාගේ නමින් ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයක් මාකුඹුරේ ආරම්භ කළ බවයි.

වට්ස් ඇප් හරහා පණිවුඩ හුවමාරු කළ කාන්තාව මොහුගේ බිරිඳ බවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තවත් පිරිස් මෙම ඊ-ටිකට් ජාවාරම මහා පරිමාණයෙන් සිදු කරන බවත් ඔහු මෙහිදී හෙළි කළා.

අලෙවි වීම ගැන පමණක් ප්‍රීතියට පත්වන දුම්රිය බලධාරීන්ගේ දෑස් මෙම අනාවරණයෙන් පසුව හෝ විවර වුවහොත් හෙට දිනයේ මෙරට සාමාන්‍ය ජනතාවටත් ඇල්ල බලා යන දුම්රියක ආසනයක් වෙන් කරගැනීමට හැකි වනු ඇති.

එමෙන්ම මෙරට සිරි නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයන් සුරාකෑම නැවතීමටත් එය පිටිවහලක් වනු ඇති.

+


සරුංගල් ලණුවක පැටලී තරුණයෙකු අඩි හැටක් (60) පමණ අහසට ඇදී යයි

(17.01.2025 – 19:58 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේ අද (17) පස්වරුවේ සරුංගලයක් යවමින් සිටි තරුණයෙකු තවත් සරුංගල් ලණුවක පැටලීම හේතුවෙන් එම තරුණයා අඩි හැටක් (60) පමණ ඉහළ උසකට ඇදී ගොස් ඇති බව අප ප්‍රදේශීය වාර්තාකරු පවසනවා.

එහිදී ඔහු ලණුව සමඟ ඉහළ අහසේ පාවෙමින් සිටියදී මිනිත්තු හතරකට පමණ පසු ලණුවේ මැද කොටස අසල වූ තල් ගසක පැටලීමෙන් පසුව තරුණයා ඉහළ අහසට ඇදී යාම වැලකී ගොස් තිබෙනවා.

අනතුරුව අසල එක් රැස්ව සිටි පිරිසගේ උපදෙස් පරිදි එම තරුණයා නිසොල්මන් වූ සරුංගල් ලණුව ඔස්සේ පහළට පැමිණ ඇති අතර, එම සිදුවීමෙන් ඔහුට බරපතළ තත්ත්වයේ තුවාල කිසිවක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

යාපනයේ ඉතා විශාල සරුංගල් යැවීම සම්ප්‍රදායිකව වසර ගණනාවක සිට සිදුවන අතර, ඒවාට නූල් වෙනුවට විශාල කඹ යොදා තිබීමත් ඇතැම් සරුංගල් අහසට යැවීම පිණිස විදුලි මෝටර් සවි කිරීමත් සිදු කෙරෙනවා.

මීට වසර හතරකට ඉහතදී ද, යාපනයේ තරුණයෙකු සරුංගලයක ලණුවක පැටලීම නිසා අඩි හතලිහක් (40) පමණ ඉහළ අහසට ඇදී ගිය අතර, මිනිත්තු කිහිපයකට පසුව ඔහු ලණුව අතහැර බිමට පතිත වීම හේතුවෙන් ඔහුගේ පාදවල අස්ථි බිදී මාසයකට වඩා වැඩි කාලයක් ප්‍රථිකාර ගැනීමටද සිදුවූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

+


අපරාධකරුවන්ට දේශපාලන රැකවරණ හිමිනොවන බව වැඩබලන පොලිස්පති කියයි

(17.01.2025 – 17:22 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිටින අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ‘ජාත්‍යන්තර රතු නිවේදන’ 65 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කරනවා.

ඒ අනුව එම අපරාධකරුවන් සැඟව සිටින රටවල් මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ඉන්දියාව යන රටවල්වල මෙම අපරාධකරුවන් සැඟව සිටින බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ඇප මත නිදහස්ව සිටි ‘පොඩි ලැසී’ නමැත්තා ඉන්දීය රජය සහ ආරක්ෂක අංශ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරටට රැගෙන ඒමටද කටයුතු සූදානම් වෙමින් පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කරනු ලැබුවේ, ‘නව රජයේ වැඩපිළිවෙල සමග ශ්‍රී ලංකා පොලිසියේ කාර්යභාරය’ යන මැයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්ත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (17) පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී යි.

එහිදී අදහස් දක්වනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බවයි.

එමෙන්ම, අපරාධ මර්දනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ පොලිසිය නිසි පරිදි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අපරාධකරුවන් සහ අපරාධවල වර්ධනයක් පෙන්නුම් කරන බවත්, අපරාධකරුවන් නිසිපරිදි නීතිය ඉදිරියට ගෙන ඒමට වගකීම ඇත්තේ පොලිසියට බවත් ඔහු සඳහන් කළා.

පසුගිය කාල පරිච්ඡේදය තුල සිදුවූ අපරාධ රැසක් විදෙස්ගත අපරාධකරුවන් විසින් මෙහෙයවා ඇති බවත්, තවත් අපරාධකරුවන් බන්ධනාගාරය තුල සිටිමින් මෙම අපරාධයන් මෙහෙයවා ඇති බවත් ඔහු සඳහන් කළා.

එලෙස ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මත්ද්‍රව්‍ය වැටලීමකින් අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම මුදල ලෙස රුපියල් ලක්ෂ 2,833 ක මුදලද සොයාගත් සිදුවීමේදීද මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු බවයි ඔහු සඳහන් කළේ.

+

+

+

+

+

+


දුම්රිය මැදිරිය තුළ සිදු කළ සම්බාහනය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය

(17.01.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 15 වැනිදා පිළිමතලාවේ සිට කොළඹ දක්වා ධාවනය කෙරුණු දුම්රියක සිදුවන සම්බාහන ක්‍රියාවලියක දර්ශන පෙළත් අප වෙත ලැබී තිබෙනවා.

පෞද්ගලික ආයතනයක් දුම්රිය දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා දුම්රියක් වෙන් කරවාගෙන ඒ තුළ මෙම සම්බාහන ක්‍රියාවලිය කර ඇති අතර, දුම්රිය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ එය මෙරට දුම්රිය සේවාවේ ආයතන රෙගුලාසිවලට පටහැනි බවයි.

අදාළ සම්බාහන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළා.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *