ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති

ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති


ඉවත් කළ ආරක්ෂාව ඉල්ලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නීතිඥයෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරති

(24.01.2025 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර තිබෙන පෙත්සමේ සඳහන් කර තිබෙන්නේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කෙරුණු බවයි.

මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියෙකු සිය ආරක්ෂාව සඳහා යොදවා නොමැති බවත් පොලිස් නිලධාරින් පමණක් ආරක්ෂාව සඳහා සපයා තිබෙන බවද මහින්ද රාජපක්ෂ සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

දශක තුනක් පමණ පැවති යුද්ධයක් නිමා කිරීමට නායකත්වය දුන් තමා ත්‍රස්තවාදී තර්ජන වලට මුහුණපා සිටින අයෙකු වන අතර තම ජීවිතයටද තර්ජන එල්ල වී තිබෙන බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටින්නේ.

අත්තනෝමතික ලෙස සිය ආරක්ෂාව ඉවත් කිරීම තුළින් වගඋත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට අමතරව තමන්ට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව තක්සේරුවක් සිදුකරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අයැද සිටියා.

එමෙන්ම මේ වන විට ඉවත් කර තිබෙන තමන්ට සපයා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴

+

+


දුම්රිය ටිකට් වැඩිමිලට විකිණූ සැකකරු 28 වැනිදා දක්වා රිමාන්ඩ්

(24.01.2025 – 15:47 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරන ටිකට්පත් මිලදීගෙන වැඩි මුදල් වලට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

‘අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක ආවේශන අංශය’ විසින් සිදුකළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගත්තේ.

තිළිණ ලක්මාල් විජේසුන්දර නමැති මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට පමුණුවනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ, මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාළ ටිකට්පත් ලබාගෙන ඒවා වැඩි මුදල් වලට අලෙවි කර තිබෙන බවට පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි.

ඊට අදාළ ලේඛන රැසක්ද පොලිසියේ විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම සැකකරු සන්තකයේ තිබී රුපියල් 130,000 පමණ මුදලක් සොයා ගත් අතර, ඒවා මෙම ටිකට්පත් අලෙවියෙන් සොයාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවත් පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ සැකකරු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

ඊට අමතරව සැකකරු භාරයේ තිබී සොයා ගත් මුදල් අධිකරණයේ ගිණුමට බැර කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් යෝග කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නියෝග කර තිබුණා ෴


අපස්මාරට බෙහෙත් ගන්න ගිය තරුණිය මරුට : රෝහලේ නොසැලකිල්ලෙන් මියගිය බවට චෝදනා

(24.01.2025 – 14:22 +0530 – hirunews.lk/sinhala)

දියතලාව මූලික රෝහලේ කාර්‍ය මණ්ඩලයේ නොසැලකිලිමත් කම හේතුවෙන් අපස්මාර රෝගී තත්ත්වයෙන් රෝහල් ගත කල සිය දියණිය ජීවිතක්ෂයට පත් වූ බව එම දියණියගේ මව්පියන් චෝදනා කරනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස 22 හැවිරිදි තරුණියක්.

පසුගිය 17 වැනිදා ඇය අපස්මාරය හේතුවෙන් බණ්ඩාරවෙළ දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී තරුණිය දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් නොකර අසාද්‍ය වූ පසු බදුල්ල රෝහල වෙත මාරුකර යැවූ බවයි මව්පියන් පවසන්නේ.

ඔවුන් චොදනා කරන්නේ අදාළ තරුණිය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට ප්‍රමාද වූ නිසාත් කඩිනමින් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර නොගත් නිසාත් ඇයට මෙම අවාසනාවන්ත ඉරණම අත්වූ බවයි.

+

+


ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක් ලබා ගනිමින් හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්‍යා ප්‍රථම ස්ථානයට

(24.01.2025 – 13:26 +0530 – hirunews.lk/sinhala)

හොරණ රාජකීය විද්‍යාලයේ බිසන්දි යෙවින්‍යා මෙවර (2024) 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 188 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානය ලබා තිබෙනවා.

මේ අතර, වැඩිම ලකුණු ලබා සිසුන් 18 දෙනෙකු සිටින අතර ඊට පිරිමි ළමුන් 11 දෙනෙකු සහ ගැහැණු ළමුන් 7 දෙනෙකු ඇතුළත් බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළේ.

විභාගයට මුහුණු දුන් සිසුන්ගෙන් සියයට 16.05 ක ප්‍රතිශතයක් කඩයිම් ලකුණු සීමාව ඉක්මවා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරුණා ෴

+

+


බහාලුම් රථ රියදුරන්ගෙන් රතුඑළි

(24.01.2025 – 12:47 +0530 – hirunews.lk/sinhala)

බහාලු‍ම් තදබදය නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරි සතියේදී කන්ටේනර් රථ රියදුරන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹෙනු ඇති බව ‘බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය’ පවසනවා.

ඊයේ (23) රාත්‍රියේ ‘හිරු ටීවි’ ඔස්සේ විකාශය වූ ‘බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් එම සංගමය පැවසුවේ මෙම තදබදය අවම කිරීමට හැකියාව ඇත්තේ ඩිජිටල් ක්‍රමයට අනුගතවීමෙන් පමණක් බවයි.

මාස කිහිපයක සිට පවතින බහාලු‍ම් රථ තදබදය සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අවස්ථා කිහිපයකදීම වාර්තා කළත් තවමත් එම ගැටලු‍වට විසදුම් ලැබී නැහැ. බහාලු‍ම් ප්‍රවාහන රථ හිමිකරුවන් සහ රියදුරන් පැවසුවේ නිෂ්කාෂණයේදී පවතින ගැටලු‍ හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වන බවයි.

පවතින තදබදය අවම කර ගැනීම සඳහා පරික්ෂා කිරීමකින් තොරව බහාලු‍ම් විශාල ප්‍රමාණයක් වරයා පරීශ්‍රයෙන් පිටත් කර ඇති බවට ද විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වු අතර, වරාය පරිශ්‍රය තුළ උද්ගතව ඇති මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් ‘හිරු බලය’ වැඩසටහන හරහා ඊයේ (23) සාකච්ඡාට ලක් කෙරුණා ෴


“රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බහාලුම් 323 ගැන රජය වගකීම භාර ගන්නවා” – නියෝජ්‍ය ඇමති කියයි

(24.01.2025 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ ආනයනික බහාලු‍ම් 323 හි මත්ද්‍රව්‍ය හෝ නීතිවිරෝධී ද්‍රව්‍ය අඩංගු වුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බව වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හෝමාගම ඩිපෝ සංකීර්ණයේ නිරීක්ෂණයකින් අනතුරුව ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ එලෙස ආනයන බහලු‍ම් නිදහස් කිරීම හරහා කිසිදු වංචාවක් හෝ දූෂණයක් සිදුව නොමැති බවයි.

මේ අතර, රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව පසුගියදා මාධ්‍ය වෙත පැවසුවේ, බහාලුම් 323 න් සියයට 80 ක් ‘රතු ලේබල්’ නිකුත් කර ඇති නමුත්, නිසි පරික්ෂාවකින් තොරව ඒවා මුදා හැර ඇති බවයි ෴

+++

+


නිල ඇඳුම් පිටින්ම සූර් වූ පානදුර උතුරේ සැරයන්ගේ වැඩ තහනම්

(24.01.2025 – 08:12 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරී නිළ ඇදුමින් සැරසී පොලිස් සේවයට නොගැලපෙන අන්දමට හැසිරීමේ සිද්ධියට සම්බන්ධ ‘පානදුර උතුර පොලිසියේ සැරයන්’ගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඊට අදාළ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ද ක්‍රියාත්මකයි.

එම වීඩියෝ පටයේ දැක්වෙන්නේ අදාළ පොලිස් නිළධාරීන් යම් ස්ථානයක නිදා සිටින ආකාරයයි.

දැනට අනාවරණය වී ඇති පරිදි පානදුර උතුර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවට හෙළි වී තිබෙනවා.

මේ පිළිබදව වැඩබලන පොලිස්පතිගේ දැඩි අවධානය යොමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සදහන් කළේ.

එසේම, ඔවුන් බීමතින් සිටියේද යන්න පිළිබදවද විමර්ශණ ආරම්භ කර ඇති අතර, විමර්ශනයෙන් අනතුරුව මේ සදහා වගකිවයුතු සියලු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ.

+

මේ අතර, තමා යටතේම සේවය කල පොලිස් කොස්තාපලිකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින්, එය වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ‘මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති’ ඉදිරිපත් කල අපේක්‍ෂිත ඇප ආයදුම්පතක් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ හිඟු‍රක්ගොඩ මහේස්ත්‍රාත් ඩී.එස්.එම්. කරුණාරත්න ඉදිරියේ ඊයේ (23) එය සලකා බැලුණු අවස්ථාවේදීයි.

ඒ අනුව ‘පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය’ වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස සැකකාර පොලිස් ස්ථානාධිපතිට විනිසුරු නියෝග කළ බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ කියා සිටියේ.

පැමිණිලිකාර පොලිස් කොස්තාපලිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ඇගේ නීතිඥයා ප්‍රකාශ කර ඇත්තේ තම සේවාදායිකාවට ස්ථානාධිපතිගෙන් සිදුව ඇති ලිංගික හිංසන හා තාඩන පීඩන සම්බන්ධයෙන් ‘පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශය’ට, ‘ජාතික පොලිස් කොමිසම’ට, ‘මානව හිමිකම් කොමිෂන් සභාව’ට සහ පොලිස්පතිට පැමිණිලි කළ බවයි.

එහෙත් පැමිණිලි සිදු කර මාස තුනකට (3) අධික කාලයක් ගත වුවද තම සේවාදායිකාවට, යුක්තිය ඉටුවන බව මෙතෙක් පෙනෙන්නට නොමැති බවද නීතිඥයා පවසා තිබෙනවා.

ස්ථානාධිපතිගේ හිංසන හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය නිසා ‘නාරාහේන්පිට පොලිස් රෝහලෙන්’ ප්‍රතිකාර ලබා ගැනීමට පවා තමාට සිදුවූ බව සිය පැමිණිල්ල මගින් අදාළ පොලිස් කොස්තාපලිය, ප්‍රකාශ කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් ‘පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන්’ සඳහන් කර ඇත්තේ මෙම සැකකරු පොලිස් කොස්තාපලියකට ලිංගික අතවර කළ බවට ලැබී ඇති පැමිණිල්ලට අදාලව සිදු කරන විමර්ශන මේ වන විට අවසන් අදියරේ පවතින බවයි ෴


හාල් කතාවයි පොල් කතාවයි එකට තියලා පාඨලී යාපනේදී ආණ්ඩුව පතුරු අරියි | ආණ්ඩුවේ ප්ලෑන් පාඨලී හෙළිකරයි (24.01.2025)

+


රු. 300 බෙහෙත රු. 70,000 වෙනවා – මහ පොළොව නුහුලන අපරාධ – දැවැන්ත හෙළිදරව්ව ඩොක්ට චමල්ගෙන් (22.01.2025)

+


ආණ්ඩුවේ දින නැති නිසා හදපු ‘අද වෙයි ඉරු දින’ – අනිල් භාරති (23.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Mahinda and security. No shame. He does not need any larger security team than what had been provided to Field Marshal Fonseka that led the military side of the war. I would say the sniper that shot VP, should be the most high risk person, even over and above MR and SF! Lawyers please stick to common sense and the interest of the country, and do not focus in making a mint out of this legal work. Nobody wants endanger MR except his own family and himself, given his health condition, age and life style.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *