වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි


වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

(31.01.2025 – 22:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති අනුර කුමාර දිසානායක, මුදල් අමාත්‍යවරයා ලෙස මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුන් වාහන ආනයන තහනම 2025 පෙබරවාරි 01 වන දින සිට ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 2025 ජනවාරි 27 දිනැති අංක 2421/04 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදියි මෙම තහනම ඉවත්කරන බවයි එම ගැසට්ටුවේ සඳහන්.

එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රික්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සඳහා පනවා තිබූ තහනම ඉවත්කර තිබෙනවා.

එමෙන්ම එම ගැසට්ටුව මගින් සඳහන් කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මෝටර් රථ ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වී ඇති ආනයනකරුවෙකුට, ගැසට්ටුවේ සඳහන් රෙගුලාසි යටතේ වර්ගීකරණය කර ඇති මෝටර් රථ වෙළඳ අරමුණු සඳහා ආනයනය කිරීමට අවසර ඇති බවයි.

+

වාහන ආනයනයට අදාලව පැනවූ කොන්දේසි මෙන්න

(31.01.2025 – 23:52 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය සම්බන්ධව අද (31) නිකුත් කළ ගැසට්ටුවට අදාලව කොන්දේසි කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැය කරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අඩු කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවර භාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාලව එම කොන්දේසි පනවනු ලබන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරුබද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10(අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට්ටුව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක 20% ක් වු තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිහාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාරය) යටතේ මුළු තීරුබදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇතිබවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

වාහන ආනයනය සම්බන්ධයෙන් පැනවූ කොන්දේසි පහතින් :


කාන්තා පොලිස් කොස්තාපලිකට ලිංගික අතවර කිරීමේ චෝදනාවකට මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

(31.01.2025 – 23:01 +0530 – hirunews.lk/sinhala)

කාන්තා පොලිස් කොස්තාපලිකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපතිව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ‘ළමා හා කාන්තා කාර්යංශය’ට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

මැදිරිගිරිය පොලිසියේ ස්ථානාධිපති තමන්ට විවිධ තාඩන පීඩන සහ ලිංගික හිංසන කරන බව පවසමින් මැදිරිගිරිය පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් කොස්තාපලියක විසින් ‘පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය’ට සිය මුල් පැමිණිල්ල යොමු කොට තිබුණේ පසුගිය 2024 ඔක්තෝබර් 12 වැනිදායි ෴


සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි

(31.01.2025 – 21:51 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය හරහා කැඳවීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, අද (31) සිට ලබන මාර්තු මස 13 වැනිදා දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි ෴


‘වරායේ අර්බුදයට වහාම පියවර ගන්න’ – ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29ක් එක්ව නිවේදනයක්

(31.01.2025 – 21:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ උද්ගතව ඇති ‘බහාලුම් නිෂ්කාශන අර්බුදය’ විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එවන් පසුබිමක බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට විසඳුමක් ලෙස ‘ශ්‍රී ලංකා රේගුව’ ක්‍රියාත්මක කර ඇති දින හතරක (4) විශේෂ වැඩපිළිවෙළ අද (31) දෙවැනි (2) දිනටත් ක්‍රියාත්මක වුණා.

රේගු නිශ්කාෂණ කටයුතුවල ඇතිවූ ප්‍රමාදයත් සමග පසුගිය කාලය පුරාම රේගුවේ දැඩි තදබදයක් පැවැතුනා.

පැවැති බහාලුම් තදබදය අතරතුර බහාලුම් 323 ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කෙරුණේ පවතින ගැටලුවට පිළියමක් වශයෙන්.

නමුත් ඒ සම්බන්ධයෙන් සමාජයේ ඇති වුයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක්.

එවැනි පසුබිමක ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ‘රේගු මාධ්‍ය ප්‍රකාශක’ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ නිෂ්කාශන ප්‍රමාදයට විසඳුමක් ලෙස ‘ශ්‍රී ලංකා රේගුව’ ඊයේ (30) සිට දින හතරක (4) විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.

ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ‘ඔරුගොඩවත්ත බහාලුම් නිෂ්කාශන අංගනය’ ඉදිරිපිට අදත් (31) තවදුරටත් දිගු පෝළිම් දක්නට ලැබෙනවා.

මේ අතර කොළඹ වරායේ උද්ගතව ඇති බහාලුම් නිෂ්කාෂන අර්බුදය විසඳීම සඳහා වහාම පියවර ගන්නා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ වානිජ මණ්ඩල හා සංගම් 29 ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ හරහා කෙටිකාලීන යෝජනා 6 ක් සහ මධ්‍යකාලීන යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබෙනවා.

එම කෙටිකාලීන පියවර ඉදිරි සති දෙක (2) ඇතුළත හා මධ්‍ය කාලීන පියවර ඉදිරි සති 3 සහ 6 කාලය ඇතුළත ගන්නා ලෙස එහි සඳහන්.

මේ අතර රේගු නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ පසුගියදා නිෂ්කාශනයකින් තොරව නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් මේ වන විට ඇතැම් පිරිස් දේශපාලන වාසි ලබා ගනිමින් සිටින බවයි.

මේ අතර බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ බහාලුම් රථ ගාල් කිරීම සඳහා ඉදිකරනු ලබන තාවකාලික අංගනය නිරීක්ෂණය කිරීම සඳහා අද (31) පෙරවරුවේ ‘වරාය අධිකාරියේ’ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් සහ ‘බහාලුම් රථ සංගමයේ’ සභාපතිවරයා පැමිණියා.

මේ අතර නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම් 323 ක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මාධය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ ‘වොයිස් කට්’ පිළිතුරකින් සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරු ගත යුතුව ඇති බව පවසමින් ‘නිදහස ජනතා සභාව’ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඉතිහාසය පුරා මෙවැනි දෑ මේ ආකාරයෙන්ම කිහිප වතාවක් සිදුවූ බව පැවසීම ද වත්මන් ‘පුනරුද ආණ්ඩුවේ’ පවතින කෙළගසාගැනීමක් බවයි.

එල්ලවී ඇති මෙම බරපතල චෝදනාවෙන් ළදරු ආණ්ඩුව බේරා ගැනීමට නම් ආණ්ඩුවේ ප්‍රධානීන් වගකීම් සහගතව මෙම බහාලුම් 322 ආනයනය කරනු ලැබූ ආයතන හෝ පුද්ගලයින් කවුරුන්ද, බහාලුම් හී අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන සහ අනෙකුත් ලියකියවිලි අනුව ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද යන්නට පිළිතුරු සැපයිය යුතු බවත් එහි සඳහන්.

එමෙන්ම කුමන විදේශීය රටක සිට මෙම බහාලුම් ආනයනය කර ඇත්ද සහ අදාළ ඇනවුම් ලබා දී ඇති දින වකවානු මෙන්ම අදාළ ආනයනකරුවන් විසින් මෙම බහාලුම් නිෂ්කාෂනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් කවුරුන්ද යන වගත්, බහාලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුරුන්ද සහ සමන්විත වුණු පරීක්ෂක මණ්ඩලය සහ එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය යුතු බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

+


අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ‘සුපර් ඩීසල්’ මිල ඉහළට

(31.01.2025 – 19:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

මිල සංශෝධනයක් සිදු වූයේ ‘සුපර් ඩීසල්’ සඳහා පමණයි.

ඒ අනුව රුපියල් 313.00 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18.00 කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 331.00 ක් වෙනවා.

අනෙකුත් ඉන්ධන මිලයන්හි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර පවතින මිල ගණන් එලෙසම පවතිනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සංශෝධිත ඉන්ධන මිලට සමගාමීව ලංකා IOC ඉන්ධන මිල ගණන් සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන මිල ගණන් ද සංශෝධනය කර තිබෙනවා ෴


ආන්දෝලනාත්මක උතුරු පළාත් වාර විභාගය නැවතත් පැවැත්වීමට සූදානම්

(31.01.2025 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් කල් දැමූ 2024 උතුරු මැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාගය ‍යළිත් පොලිස් ආරක්ෂාව යටතේ පෙබරවාරි තුන්වන (03) දින නැවත පැවැත්වීමට කටයුතු කරන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

2024 වර්ෂයේ උතුරුමැද පළාතේ සාමාන්‍ය පෙළ වාර විභාග ප්‍රශ්න පත්තර පිටවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දැමූ එම විභාගය පෙබරවාරි මස තුන්වන (03) දින සිට දාසය (16) දින දක්වා නැවත පැවැත්වීමට කටයුතු කර ඇති අතර, රජයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමේදී සිදුකරන පොලිස් ආරක්ෂාව යටතේ මෙම පෙරහුරු වාර විභාගය පැවැත්වීමට කටයුතු කරන බවයි උතුරුමද පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් සඳහන් කළේ.

මේ සඳහා වන විභාග ප්‍රශ්න පත්‍ර රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කරන ලද ඒවා වන බවත්, එම ප්‍රශ්න පත්‍ර සිසුන් සඳහා ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් චූදිතයන් සඳහා නීතිමය කටයුතු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ද සිදුකරමින් යන බවත් පවසන ලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදීද රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව හරහා වාර විභාග ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට කටයුතු කරන බවත් නිලධාරීන්ගේ සහය ඇතිව ඉදිරියේදී පොලිස් ආරක්ෂාවකින් තොරව වාර විභාග පැවැත්වීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවයි ෴


කඹුරුපිටියේදී ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය ගැන විමර්ශන

(31.01.2025 – 18:04 +0530 – hirunews.lk/sinhala)

කඹුරුපිටිය ප්‍රදේශයේදී 34 හැවිරිදි පාසල් ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, ඇයගේ මවද කිසියම් අධි මාත්‍රාව සහිත ඖෂධ වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගතකර ඇති බවද පොලිසිය සඳහන් කළා.

අද (31) අලු‍යම් කාලයේදි මෙම ඝාතනය සිදුවි ඇති අතර ඝාතනය කවුරුන් විසින් සිදුකළේද යන්න පිළිබදව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ ෴


මාස තුනක් (3) ධුරය හෙඹවූ ‘ජාතික තරුණ සේවා සභාවේ’ සභාපතිවරයාත් ඉල්ලා අස් වෙයි

(31.01.2025 – 17:49 +0530 – hirunews.lk/sinhala)

‘ජාතික තරුණ සේවා සභාවේ’ සභාපති නීතීඥ චින්තක ඩී. හේවාපතිරණ එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එහිදී ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කර ඇත්තේ එළඹෙන 03 වැනිදා සඳුදා දින සිට තමා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.

ඔහු ‘ජාතික තරුණ සේවා සභාවේ’ 32 වන සභාපතිවරයා වන අතර, පසුගිය වසරේ (2024) ඔක්තෝම්බර් මස 04 වැනිදා එම ධුරයට පත් කරනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *