කොළඹ සිට මහනුවර බලා යන උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට රඹුක්කන දක්වා පමණයි

කොළඹ සිට මහනුවර බලා යන උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට රඹුක්කන දක්වා පමණයි


කොළඹ සිට මහනුවර බලා යන උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට රඹුක්කන දක්වා පමණයි

(12.04.2026 – 19:53 +0530 – sinhala.adaderana.lk)

කොළඹ සිට මහනුවර බලා යන උඩරට මැණිකේ දුම්රිය මේ වනවිට රඹුක්කන දක්වා සීමාවී තිබේ.

ඒ, දිට්වා සුළිකුණාටුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ හානි සිදුවූ ස්ථාන 223 න් ඇතැම් ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පැවතීම හේතුවෙනි.

මෑත ඉතිහාසයේ මෙරටට වැඩිම භෞතික හානියක් සිදු කළ ස්වාභාවික ව්‍යසනය ලෙස ඉකුත් (2025) වසරේ අවසානයේ දිට්වා සුළිකුණාටුව ලක් දෙරණ හරහා හඹා ගියේ මෙරට පොදු ජනතාවගේ ප්‍රමුඛතම ප්‍රවාහන ක්‍රමවේදයක් වූ දුම්රිය මාර්ග පද්ධතියට රුපියල් බිලියන 69 කට ආසන්න හානියක් සිදුකරමිනි.

එහිදී සියවසකටත් වඩා ඉපැරණි බ්‍රිතාන්‍ය යුගයේ ඉදිවූ කිලෝමීටර් 292 ක දුරින් යුත් කොළඹ බදුල්ල ප්‍රධාන දුම්රිය මාර්ගයේ පමණක් පස්කඳු නායයාම් සහ ගිලා බැසීම් හේතුවෙන් හානිකර සිද්ධින් 223 ක් වාර්තා විය.

ඒ හේතුවෙන් කොළඹ සහ කන්ද උඩරට අතර දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාලවී තිබේ.

එතැන් පටන් ගෙවීගිය සිව්මසක (4) කාලය තුළ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැඩි පරිශ්‍රමය මධ්‍යයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක් අතර දුම්රිය ධාවනය යථාතත්වයට ගෙනඒමට හැකි විය.

කෙසේවෙතත් තවමත් කොළඹ සිට අඛණ්ඩව දුම්රියේ ගමන් කළ හැක්කේ රඹුක්කන දක්වා පමණය.

දැනට පිළිසකර කරමින් පවතින ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ පමණක් ස්ථාන 22 කට දිට්වා සුළිකුණාටුව අවස්ථාවේ පස්කඳු නායයාම් සහ ගිලාබැසීම් හේතුවෙන් හානි සිදුව තිබේ.

විශාල පස්කඳු නායයාමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිරවී තිබූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ කංසලගමුව ප්‍රදේශයේ පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතී.

එසේම පස්කඳු නායයාම් හේතුවෙන් දැඩි ලෙස හානි සිදුවී තිබූ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවසන් කර ඇත.

කෙසේ වෙතත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ඉහළ කෝට්ටේ දක්වා වූ කොටසේ වැඩිම හානියක් සිදුව තිබූ කඩිගමුව දුම්රිය ස්ථානය අසල ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වනවිට සිදු කරමින් පවතී ෴


අලුත් අවුරුදු සමයේ සමාජ මාධ්‍ය භාවිතය ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

(12.04.2026 – 15:44 +0530 – sinhala.adaderana.lk)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී සමාජ භාවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරයි.

ඒ අනුව නිවාඩු සමයේ සිදු කරනු ලබන ගමන් බිමන්වල ඡායාරූප හා වීඩියෝ එසැනින් සමාජ මාධ්‍ය වෙත දැමීමෙන් වැළැකී සිටිය යුතුය.

තමන් නිවසේ නොසිටින බවට ලෝකයාට පැවසීම සොරුන්ට වාසියක් වනු ඇති බව පොලිසිය අවධාරණය කරයි.

සිය අත්දැකීම් යළි නිවසට පැමිණීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ බෙදාහැරීමට කටයුතු කරන ලෙසට පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි ෴


උත්සව සමයේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ සඳහා නීතිමය ක්‍රියාමාර්ග

(12.04.2026 – 11:21 +0530 – sinhala.adaderana.lk)

කොළඹ Peoples Park සිට හැටන්, නාවලපිටිය, ඩයගම යන ප්‍රදේශ දක්වා ඊයේ (11) රාත්‍රියේ අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම පරීක්ෂණ නිළධාරීන් සහ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් අදාළ ස්ථානයට ගොස් එම බස් රථ පරීක්ෂා කර තිබේ.

එහිදී සිදුකළ වැටලීමෙන් බස් රථ 7 ක් අධිකරණවලට යොමුකළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසීය.

මේ අතර මෙම බස් රථ මගීන්ගෙන් නියමිත ගාස්තු ඉක්මවා මුදල් අය කර ඇති අතර මගී ප්‍රවාහනය සඳහා නිසි අවසර පත්‍රයකින් තොරව ධාවනය කිරීමට සැළසුම් කර ඇත.

එහිදී වැඩදුර අදහස් දැක්වූ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය,

“සියලුම මගී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ වගේ උත්සව කාලෙක අනවසර බස් රථවල ගමන්කිරීමෙන් වළකින්න. මොකද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් මධ්‍යම බස් නැවතුම්පොළේ, බැස්ටියන් මාවත බස් පර්යන්තයේ තුළ සහ සියලුම බස් පර්යන්තවල ඔබ වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් නීත්‍යානුකූලව අපි සූදානම් කරලා තියෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රවාහන සේවාවක් ඔබ ලබා ගැනීමට කටයුතු කළහොත් ඔබගේ ජීවිත ගොඩක් අනතුරුදායක සහ ආනාරක්ෂිතභාවකට පත් වෙනවා. අපි ඒ වගේ බස් රථ 7 ක් ඊයේ (11) වැටලීම් කරලා ශ්‍රී ලංකා පොලීසිය එක්ක අධිකරණවලට යොමුකරා.”

+


මධ්‍යම බස් නැවතුම්පොළේ දේපලවලට අලාභ හානි සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට

(12.04.2026 – 10:19 +0530 – sinhala.adaderana.lk)

පසුගිය 08 දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපලවලට හානි සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් ඊයේ (11) එයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වෙයි.

සිදුව ඇති හානිය සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *