ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ‘ඔන්ලයින් බස් ටිකට්’

ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ‘ඔන්ලයින් බස් ටිකට්’


ගාල්ලෙන්, මාතරින් මාකුඹුරට එන අයට ‘ඔන්ලයින් බස් ටිකට්’

(15.04.2026 – 21:44 +0530 – sinhala.adaderana.lk)

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා ගොස් ගාල්ල සහ මාතර සිට මාකුඹුරට පැමිණෙන මගී ජනතාවට මාර්ගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසයි.

සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමාත්‍යංශය සඳහන් කරන්නේ, එහි ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් සිය ආසනය වෙන් කරගත හැකි බවය.

එසේ නොමැති නම් https://busticket.gov.lk/ හෝ 011 200 1266 යන ක්ෂණික දුරකතනය අංකය හරහා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකි බව ප්‍රවාහන, මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි ෴


ධාවනය වූ ත්‍රිරෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී හෙද නිලධාරියෙක් ජීවිතක්ෂයට

(16.04.2026 – hirunews.lk)

අකුරැස්ස – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල ගසක අත්තක් කඩා වැටීමෙන් කඹුරුපිටිය රෝහලේ සේවය කළ හෙද නිලධාරියෙක් ඊයේ (15) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි කොඩිප්පිලිගේ ධර්මසේන නමැති 54 හැවිරිදි හෙද නිලධාරියෙක්.

මරණකරු ඊයේ (15) සවස සිය ත්‍රිරෝද රථයකින් අකුරැස්ස සිට කඹුරුපිටිය දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

මාර්ගය අයිනේ තිබූ විශාල මිල්ල අත්තක් සෘජුවම ත්‍රිරෝද රථය මතට කඩා වැටීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති අතර, වහාම කඹුරුපිටිය රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

මියගිය හෙද නිලධාරියාගේ මරණ පරීක්ෂණ කටයුතු අද (16) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් හෙට (17) අවලංගුයි

(16.04.2026 – hirunews.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බවට දැනුම් දී තිබෙනවා.

ඒ, පරිගණක පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙනුයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එච්.එම්.ජේ.එම්. හේරත්ගේ අත්සනින් යුතුවයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව සහ සෙසු සියලුම මහජන සේවාවන් හෙට (17) දින ක්‍රියාත්මක නොවන බව සඳහන් ෴


කළු දුම නිකුත් කරන වාහනවලට නීති දැඩිවෙයි

(16.04.2026 – 15:29 +0530 – sinhala.adaderana.lk)

අධික කළු දුම නිකුත් කරමින් මාර්ගයේ ධාවනය කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එවැනි වාහන පිළිබඳව මේ වනවිටත් පොලීසියට පැමිණිලි ලැබී ඇති බවය.

වායු දූෂණය ලෝක මට්ටමින් බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එය හේතුවෙන් වසරකට මිලියනයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන බවද අවධාරණය කළේය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මෝටර් රථ පරීක්ෂකවරුන් සමඟ එක්ව අධික කළු දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවා පරීක්ෂා කර පොලිස් භාරයට ගනිමින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

එමෙන්ම, එවැනි වාහනයක් මාර්ගයේ ධාවනය වන බව දැකගත් අවස්ථාවකදී, ඒ පිළිබඳව වාර්තා කිරීම සඳහා ජනතාවටද අවස්ථාව ලබා දී ඇත.

ඒ සඳහා 070 350 0525 යන WhatsApp අංකය හඳුන්වා දී ඇති අතර, අදාළ වාහනයේ අංකය හෝ වීඩියෝ පටයක් යොමු කිරීමෙන් පැමිණිලි කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එම තොරතුරු අනුව, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරුන් විසින් අදාළ වාහන සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය ෴


ඉදිරියේ දී ලංගම බස් ගාස්තු ගෙවීම කාඩ් ක්‍රමවේදයට පමණයි – ලංගම සභාපති

(16.04.2026 – 18:39 +0530 – sinhala.adaderana.lk)

ලංගම බස් ගාස්තු සඳහා ගෙවීම් සිදුකිරීම ඉදිරියේදී කාඩ් පත් මගින් පමණක් සිදුකිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනකරත්න මහතා පවසයි.

ඔහු පැවසුවේ ඉදිරි මාස කිහිපය අතුලත මෙය ලංගම සේවය සඳහා ක්‍රියාත්මක කරන බවය.

අද (16) දිනයේදී මාතර සිට කොළඹ බලා ගමන්ගන්නා මගීන්ගේ ගමනාගමන පහසුකම් පිළිබඳව සොයා බැලීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් සඳහා පිලිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැහැදිලි කළේය.

ලංගමය ඩිජිටල්කරණය වීම ඇතුළු පොදු ප්‍රවාහන සේවයේ වෙනස්වීම් ඉදිරි වසර 3 ඇතුලත දී ජනතාවට දැක ගැනීමට හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

+++

+


හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ගිනිඅවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම ගැන විශේෂ විමර්ශනයක්

(16.04.2026 – hirunews.lk)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි ගිනිඅවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරනවා.

හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස අද (16) පෙරවරුවේදී සෝදිසි වරෙන්තුවකට අනුව සෝදිසියට ලක්කළ අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නිවෙසේ තිබී ටී 56 බැගසින් දෙකක් (2), ජීව අත්බෝම්බයක් (1) සහ ජීව උණ්ඩ 200 කට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබ තිබුණා.

මෙම නිවෙස සෝදිසි කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබූ බවයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් සඳහන් කළේ.

පසුව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි යන අය අත්අඩංගුවට ගනු ලැබුවා.

පැය තුනකට (3) අධික කාලයක් පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පිළියන්දල මාම්පේ නිවස සෝදිසි කර තිබූ අතර ඒ අනුව නීති නිතිවිරෝධී අයුරින් සන්තකයේ තබාගෙන සිටි මෙම ආයුද තොගය පොලිස් භාරයට ගෙන තිබූ බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම සැකකරු සන්තකයේ තිබි 84S වර්ගයේ ජීව උණ්ඩ 31 ක්, 0.22 ‍වර්ගයේ ජීව උණ්ඩ 103 ක්, විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් (1), ටි 56 මැගසින් 02 ක්, ටි 56 ජිව උණ්ඩ 221 හා බෝර 16 ස්ටීවන් වර්ගය ගිනි අවියක් (1) ද පොලිස් භාරයට ගෙන තිබුණා.

හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල මාම්පෙ, වවනවත්ත පාරේ නිවසේ අවි ආයුධ තොගයක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලද තොරතුරකට අනුව කැස්බෑව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව එම වැටලීම සිදුකර තිබුණා.

දෙමහල් නිවසේ ඉදිරිපස සහ පිටුපස කාමරයේ සඟවා තිබියදී මෙම ජීව උණ්ඩ සහ මැගසින් මෙන්ම ජීව අත් බොම්බය සොයා ගත් බව නිවස වටලා සෝදිසිකල ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවා.

එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන්ද කැඳවා නිවස මෙන්ම නිවස පිහිටි වත්තද විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක්කිරීමට පියවර ගත් අතර පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් ‘අයිෂා’ නිල සුනඛයා එම ස්ථානයට ගෙන්වීමට පොලිසිය කටයුතු කළා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකු හෙට්ටි සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්තගේ උපදෙස් මත ඒකක පහ (5) ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මදුක භාෂිත රසාංජන ඇතුළු නිළධාරින් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂණ පැවැත්වුවා.

මිලිමිටර 9 වර්ගයේ පිස්තෝල දෙකක් (2) ද සැකකරුගේ නිවෙසේ තිබි සොයාගෙන තිබූ අතර, ඒවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිගේ සහ ඔහුගේ බිරිඳට අයත් නිත්‍යානුකූල ගිණිඅවි බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

තවද මෙහි තිබී බෝර 12 සහ බෝර 16 ගිනි අවියක් ද සොයා ගැනිමට පොලිසිය සමත් වි ඇති අතර ඒවාද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගේ බිරිදට අයත් නීත්‍යානුකූල ගිනිඅවි බවත් මේ වන විට බිරිද විදෙස් ගතව සිටින බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව චන්දන කත්‍රිආරච්චි සතුව මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා වෙනම විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන අතර සැකකරු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරාත්තු වන බවයි කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ.

සැකකාර මන්ත්‍රීවරයා අද (16) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ ෴


දැදුරු ඔයේ දියනෑමට ගිය දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට – 6 ක් අතුරුදන්

(16.04.2026 – 19:43 +0530 – sinhala.adaderana.lk)

දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු අද (16) පස්වරුවේ දියේ ගිලී අනතුරක් සිදුවී තිබේ.

දියේ ගිලුණු පිරිස අතරින් දෙදෙනෙකු (2) රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනෙකුගේ (2) මළසිරුරු සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවය.

අනතුර සිදුවී ඇත්තේ නිකවැරටිය, කුරටියාගහමුල ප්‍රදේශයේදී ය ෴


මූල්‍ය වංචාවකට හිටපු බස්නායක නිලමේවරයෙක් අත්අඩංගුවට

(16.04.2026 – hirunews.lk)

රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බස්නායක නිලමේවරයෙකු මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අද (16) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ දේවාලයක හැත්තෑ දෙහැවිරිදි (72) වියේ පසුවන හිටපු බස්නායක නිලමේවරයක් බවයි පොලිසිය සඳහන් කළේ.

ව්‍යාපාරික කටයුතු සඳහා යැයි කියමින් මෙම හිටපු බස්නායක නිලමේවරයා සහ ඔහුගේ පුතා පුද්ගලයින් ගණනාවකගෙන් රුපියල් කෝටි 18 ක පමණ මුදලක් ලබාගෙන ඇතැයි පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබෙනවා.

අදාල මුදල් ඔහුගේ පුතා විසින් ලබාගෙන ඇත්තේ පියාගේ නමින් චෙක්පත් ලබාදී වන අතර පුතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය පවසන්නේ.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ උපදෙස් මත මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා ෴


අවුරුදු දවසේ කළුතර නාගොඩ රෝහලේ දී දොස්තර නෝනට අතවර කරන්න ගිය අසහනේ හැදුණු ලෙඩා හිරේට (16.04.2026)

+


පොහොට්ටුවේ අපි නැත්තම් ගල් අඟුරු හොරකම මුන් ජයටම කරගෙන යනවනේ … ලැජ්ජයි මහත්තයෝ (16.04.2026)

+


පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ තිබී T-56 ජීව උණ්ඩ 1,298 ක් සොයාගැනේ

(16.04.2026 – hirunews.lk)

පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රය තානායම ආසන්නයේ වැව් බැම්ම අසල ජලාශයේ තිබී T-56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 1,298 ක තොගයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන අනාවරණයක්

(16.04.2026 – 20:35 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රටවල ආරක්ෂක අංශ දියත්කර ඇති විශේෂ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකික අපරාධකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ එලෙස අත්අඩංගුවට ගන්නා ශ්‍රී ලාංකික අපරාධකරුවන් මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

මෙරට තුළ සිදුවන බහුතරයක් අපරාධ ක්‍රියාවන් ඩුබායි ඇතුළු මැදපෙරදිග රටවල සැඟවී සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් මෙහෙයනවන බවට ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබේ.

ඔවුන් ඉරානයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සෘජු සබඳතා පවත්වමින් මෙරටට මත්ද්‍රව්‍ය එවන බව පසුගිය කාලයේ සිදුකළ වැටලීම්වලදී හෙළිවිය.

ඒ අනුව විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන්ට විරුද්ධව රතු වරෙන්තු නිකුත් කර තිබුණ ද අදාළ අපරාධකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට එම රටවල බලධාරීන් පසුගිය කාලය පුරා කටයුතු කර තිබුණේ නැත.

කෙසේවෙතත් මේ වනවිට ඉරානය මැදපෙරදිග කලාපයේ රටවල් වලට ප්‍රහාර එල්ල කිරීමත් සමග එම රටවල් ඉරානයේ අපරාධකරුවන් සමග සබඳතා පවත්වන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙරට අපරාධකරුවන් රැසක් මේවන විටත් මැදපෙරදිග රටවල් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අතර ‘බටුවත්තේ චාමර’, ‘මෝදර නිපුන’, ‘පරෙවි සුදා’ ඇතුළු අපරාධකරුවන් රැසක් සිටින බවට වාර්තාවුවත් ඒ බව මෙතෙක් නිලවශයෙන් තහවුරු වී නැත.

ඒ අනුව ඒ පිළිබඳව නිලවශයෙන් තමන් දැනුම්වත් කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මැදපෙරදිග රටවලින් ඉල්ලීම් කිහිපයක්ම සිදුකර තිබේ.

මෙලෙස සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් මේ වනවිට අපරාධකරුවන් රැසක් මැදපෙරදිගින් යුරෝපා රටවලට පලායෑමට උත්සාහ දරන බවද වාර්තා වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා ‘කරන්දෙණියේ සුද්දා’ගේ සහෝදරයා වන ‘රාජු’ නැමැත්තාව ද ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු හෙට (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ‘කරන්දෙණියේ සුද්දා’ සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ 30 හැවිරිදි කාන්තාවක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනුණි.

ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 35 ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 99කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසුවේය.

ඇයගේ සැමියාව ද ‘කරන්දෙණියේ සුද්දා’ විසින් ඝාතනය කර ඇති අතර අනතුරුව ඇය ඔහු සමග සමීප සබඳතාවක් පවත්වා ඇති බවද වාර්තා වේ.

අදාළ කාන්තාව ‘කරන්දෙණිය සුද්දා’ සමග වීඩියෝ ඇමතුමක් ලබාගන්නා ඡායාරූපයක් ද හඳුනාගෙන ඇත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇයගේ මව හා සහෝදරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා විසින් සිදුකරයි ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *