පුද්ගලික වාහන ආනයනයේ දී රජයෙන් කොන්දේසි 9 ක්
(01.02.2025 – 06:30 +0530 – sinhala.adaderana.lk)
2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304 ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිතා නොවන අයිතම සඳහා මෙලෙස ආනයනයට අවසර හිමිව ඇත.
විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, විදේශ විනිමය වැයකරමින් විශාල ප්‍රමාණයෙන් වාහන ආනයනය කර තොග රැස් කිරීම අධෛර්යයමත් කිරීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ආදී කරුණු සැලකිල්ලට ගනිමින්, රට තුළ සිදුවන සාමාන්‍ය ආර්ථික කටයුතු දිරිමත් කිරීමේ සහ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමේ අරමුණු සහිතව වාහන ආනයනයට අදාළව පහත කොන්දේසි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව,
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආනයනකරුවන් සහ රාජ්‍ය ආයතන විසින් මින් පනවනු ලබන රෙගුලාසිවලට යටත්ව වාහන ප්‍රමාණය ආනයනය කළ හැක.
- ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන්ට මාස 12 ක කාලසීමාවක් තුළ එක් (1) මෝටර් වාහනයක් පමණක් ආනයනය කළ හැක.
- ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් වාහනයක් ගැනුම්කරුගේ නමට (ලියාපදිංචි ආනයනකරුවකුගෙන් මිල දී ගන්නා අවස්ථාවක දී) හෝ ආනයනකරුගේ නමට එකී මෝටර් වාහනයට අදාළ ආයාත බිල් පත්‍රයේ / රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90 ක් ඇතුළත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
- මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් සමඟින් අනෙකුත් අවශ්‍ය සියලු ලේඛන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
.
තවද, ඉහත (1) ඡේදයේ සඳහන් ආනයනකරුවන් හැර අනෙකුත් ආනයනකරුවන් විසින් සිය දෙවන (2) වාහනය ආනයනය කිරීමේ දී, තම ප්‍රථම (1) වාහනය ආනයනය කළ දින සිට (රේගු සටහන්කරයේ දින සිට) මාස 12 ක කාලයක් ඇතුළත වෙනත් වාහනයක් ආනයනය නොකළ බව ද එකී දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කළ යුතුය. - යම් ආනයනකරුවෙකු දින 90 ක් ඇතුළක ආනයනික මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත්, එම මොටර් වාහනය ලියාපදිංචි කරන අවස්ථාවේ දී, මෝටර් වාහනයේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගයෙන් (CIF Value) 45% ක උපරිම සීමාවකට යටත්ව, මාසික CIF අගයෙන් 3% බැගින් අයකරනු ලබන ප්‍රමාද ගාස්තු ගෙවීමට එකී ආනයනකරුට සිදුවේ.
- කිසිදු අවස්ථාවක දී, මාසික ප්‍රමාද ගාස්තුව ගෙවීම සම්බන්ධයෙන් ගාස්තු අත්හැරීමක් ප්‍රදානය කරනු නොලැබේ.
- මෝටර් වාහනයේ වයස නිර්ණය කිරීමේ දී, එකී මෝටර් වාහනයේ නිෂ්පාදිත දිනය සහ නෞභාර පත්‍රයේ / ගුවන් භාර පත්‍රයේ දිනය අතර කාලය ගණනය කළ යුතුය.
- සහනදායී බදු අනුප්‍රමාණ යටතේ මෝටර් වාහන ආනයනය කිරීම සඳහා නිකුත් කරන බලපත්‍ර භාවිත කරමින් කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා හෝ රේගුවෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබාදෙනු නොලැබේ.
- දැනට ක්‍රියාත්මක රීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් යම් මෝටර් වාහනයක් ආනයනය කළහොත්, එකී මෝටර් වාහනය (වාහන) රේගු සටහන්කරයේ දිනයේ සිට දින 90 ක් ඇතුළත අදාළ ආනයනකරු විසින් ප්‍රතිඅපනයනය කළ යුතුය.
තවද, තීරුබදු නිදහස් කිරීමේ රේගු ආඥා පනත යටතේ විධි විධාන අනුව අය නොකළ තීරුබදු නැවත බලාත්මක කිරීම සඳහා 1962 අංක 19 දරන ආදායම් සංරක්ෂණ පනත යටතේ 2025 ජනවාරි මස 27 දිනැති අංක 2421/05 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව රේගු සංකේතාංක පරිච්ඡේද අංක 87 හි ඇතුලත් වන මෝටර් වාහන ආනයනය කිරීමේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් (CIF Value) 20% ක තීරු බද්ද අය කිරීම 2025 ජනවාරි මස 28 දින සිට බලාත්මක කරන ලදී.
එසේ වුවද, මෝටර් වාහන ආනයනයේ දී වාහනයේ පිරිවැය, රක්ෂණ, නැව් ගාස්තු අගයෙන් 30% ක තීරු බද්දක් අය වන පරිදි, රේගු ආඥාපනතේ 10(අ) වගන්තිය යටතේ අධිභාරයක් පැනවීම සඳහා 2025 ජනවාරි මස 31 දිනැති අංක 2421/43 දරන ගැසට් නිවේදනය 2025 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව දැනට ක්‍රියාත්මක 20% ක් වූ තීරුබද්ද සහ ඒ මත ක්‍රියාත්මක කරනු ලබන 50% ක අධිභාරය සමඟ රේගු ආඥා පනත (235 වන අධිකාය) යටතේ මුළු තීරු බදු ලෙස 30% ප්‍රමාණයක් මෝටර් වාහන ආනයනය සඳහා අයවන ලෙස විධිවිධාන සලසා ඇත ෴
+++
ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්
(01.02.2025 – 08:46 +0530 – sinhala.adaderana.lk)
ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50 ට අඩු, 50 ත් 100 ත් අතර, 100 ත් 200 ත් අතර සහ කිලෝවොට් 200 ඉක්මවන වාහන සඳහා තීරුබදු අය කිරීම් සම්බන්ධයෙනි.
- [අදාළ ගැසට් නිවේදනය] (pdf file)
මිහිඳු හාමුදුරුවන්ගෙන් බණ අහපු ‘දේවරාණි’ අද ගල්ගමුව, වඩුමඩුව ගමේ පුංචි නිවසක
(26.01.2025 – divaina.lk)
මහින්දව නිවසින් යවන්න පාර්ලිමේන්තුවට පනතක්?
(01.02.2025 – 20:50 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපති නිල නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව දුන් නඩු තීන්දුව පිළිබඳව බිමල් රත්නායක අමාත්‍යවරයා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ චෝදනා කරනවා.
කොළඹ දී අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු කියා සිටියේ, එම නඩු තීන්දුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ආකාරයේ කිසිදු කරුණක් ඇතුළත් නොවන බවයි.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.
එමෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මෙතෙක් භාර දී නොතිබුණු ගිනිඅවි දෙක (02) ද භාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
යෝෂිත රාජපක්ෂට පිස්තෝල ගිනිඅවි 07 ක් ලබා දී තිබූ අතර, මුල් අවස්ථාවේදී ඉන් 05 ක් ඔහු භාර දී තිබුණා.
+
+
බුත්තල වනඅලින් පීඩාවට පත්කරමින් මහා පරිමාණ ජාවාරමක්
(01.02.2025 – 20:48 +0530 – hirunews.lk/sinhala)
ආහාර සොයා බුත්තල – කතරගම මාර්ගයට පැමිණෙන වනඅලින් රථවාහනවලට සිදුකරන පහරදීම් මේ වනවිට දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.
වනඅලින් පහර දීමේ දර්ශන අන්තර්ජාලයට එක්කර මුදල් ඉපයීමටත් අනතුරට පත්වන පුද්ගලයන්ගේ දේපල කොල්ලකෑමටත් ඇතැමුන් කටයුතු කරන බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය කර ගත්තා.
අද (01) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය මේ පිළිබඳ රට හමුවේ හෙළි කිරීම සඳහායි.
ආහාර සොයා බුත්තල – කතරගම මාර්ගය අද්දරට පැමිණෙන වනඅලි කිසිදු අවස්ථාවක මේ මාර්ගයේ දිනපතා ගමන් ගන්නා බස් රථ, යතුරු පැදි ආදී කිසිදු වාහනයකට පහරදෙන්නේ නැහැ.
වනඅලි ප්‍රහාරවලට නිරන්තරයෙන් ගොදුරු වන්නේ වෙනත් ප්‍රදේශවලින් වන්දනාවේ සහ විනෝද චාරිකාවල පැමිණෙන බස් රථ, වෑන් රථ ආදියයි.
එම පහරදීම් රූගත කොට යුටියුබ් නාලිකා හරහා අන්තර් ජාලයට මුදාහැර රුපියල් ලක්ෂ ගණන් මුදල් ඉපැයීමත් මේ වනවිට ජාවාරමක් ලෙස ක්‍රියාත්මකයි.
මේ හෙළිදරව්ව ‘හිරු සී.අයි.ඒ.’ වෙත සිදු කළේ එම මාර්ගය ආශ්‍රිතව වනඅලි ප්‍රහාරයකට ලක් වු පුද්ගලයෙකු විසින්.
වන්දනාකරුවන් වැඩි වශයෙන් මෙම මාර්ගය භාවිතා කරන්නේ සති අන්ත දිනවල හා රජයේ නිවාඩු දිනවල බැවින් ඇතැම් සංවිධානාත්මක පිරිස් වනඅලි මාර්ගයට කැඳවා ගැනීමටත් විවිධ උපක්‍රම යොදන බවයි ඔහු පැවසුවේ.
මේ තොරතුරු සොයා බැලීමට ‘හිරු සී.අයි.ඒ. අප බුත්තල – කතරගම මාර්ගය නිරීක්ෂණය කළා.
වනඅලි මාර්ගය අසල රැදී සිටි අවස්ථාවල ඇතැම් බස් රථ රියදුරන් වනඅලි කුපිත කිරීම සඳහා අනතුරුදායක ලෙස මාර්ගයේ වාහන ධාවනය කරන බව දකින්න ලැබෙනවා.
අප එහි සිටින අවස්ථාවේදී ද යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අයෙකු රූගත කිරීම් සඳහා එහි පැමිණ සිටි අතර ඔහු අප හමුවේ ප්‍රකාශ කළේ අනතුරු රූගත කිරීමට පුද්ගලයන් 20 දෙනෙකු පමණ මෙම මාර්ගයට පැමිණෙන බවයි.
රූගත කිරීමට පැමිණෙන පුද්ගලයන් මෙලෙස තම යතුරු පැදි ආදිය වන අලින් අසල නවතා ගෙන සිටීම හේතුවෙන් අනෙක් පසින් පැමිණෙන වාහනවලට සිදුවන්නේ සෙමින් ධාවනය කිරීමටයි.
වනඅලින් අදාල වාහන නතර කර ආහාර සොයා පහරදීම් කරන්නේ එවිටයි.
වනඅලි පහරදීම් හේතුවෙන් දේශීය මෙන්ම විදේශිකයන්ගේ මුදල් පසුම්බි, කැමරා උපකරණ ආදී නොයෙකුත් වටිනා භාණ්ඩ මෙම මාර්ගයේ වැටෙන අතර ඒවා යළි ලබාගැනීමට හැකි වන්නේ කිහිපදෙනෙකුට පමණයි.
වන අලි ප්‍රහාරවලදී බොහෝ පිරිස් ජිවිතාරක්ෂාව පතා තමන් පැමිණි රථයෙන් පැන දුවන අවස්තා තිබෙනවා.
එය අවස්ථාවක් කර ගන්නා ඇතැමුන් එම දේපළ සොරා ගෙන යන අයුරු ද ‘හිරු CIA’ අප නිරීක්ෂණය කළා.
සංවිධානාත්මකව මාර්ගය භාවිතා කරන්නන් අනතුරේ හෙළන මෙවැනි පිරිස් සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් මෙම අනාවරණයෙන් පසුව නිසි ක්‍රියාමාර්ග ගන්නේ ද? ‘හිරු සී.අයි.ඒ.’ පිළිබඳව අවධානයෙන්.
+
‘චිකුන්ගුන්යා’ රෝග ලක්ෂණ ඇති පිරිසක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි
(01.02.2025 – 19:56 +0530 – hirunews.lk/sinhala)
‘චිකුන්ගුන්යා’ රෝග ලක්ෂණ සහිත රෝගීන් පිරිසක් හඳුනා ගැනීමට සමත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
එම පිරිස අතර දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකුද වන බවයි වාර්තා වන්නේ.
මේ අතර උණ, හන්දිපත් කැක්කුම , ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් ඇත්නම් එය ‘චිකුන්ගුන්යා’ රෝගයේ ලක්ෂණ විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
එවැනි රෝග ලක්ෂණ ඇති යම් අයෙක් වේනම් හැකි ඉක්මනින් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
ඩෙංගු මදුරුවා විසින් ‘චිකුන්ගුන්යා’ රෝගය බෝ කරන බව පැවසෙන බැවින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම හා ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසු වන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴
අයියගේ ඇඟට යටවී වයස මාස හයක (6) නංගී ජීවිතක්ෂයට
(01.02.2025 – 18:57 +0530 – hirunews.lk/sinhala)
වැඩිමහල් සොහොයුරාගේ ඇගට යටවී බිළිදියක් මියගිය පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස මාස හයක (6) බිළිදියක් බවයි කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ.
අදාළ බිළිදිය නිදා සිටියදී වැඩිමහල් සොහොයුරා ගේ ඇගට යට වී තිබෙනවා.
ඒ අනුව ඇයව කළුතර නාගොඩ ළමා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ ෴
නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වූ වියළි ඉඟුරු තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට
(01.02.2025 – 17:58 +0530 – hirunews.lk/sinhala)
නීති විරෝධි ලෙස බලපත්‍ර රහිතව බදු නොගෙවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙනවිත් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ වියළි ඉඟුරු කිලෝ 1839 ක් ඒවා ප්‍රවාහනයට යොදා ගැනුන ලොරි රථයක් සහ යතුරු පැදියක් සමග සැකකරුවන් සිව්දෙනෙකු (4) අද (01) දින අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම සහ මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකාර සැකකරුවන් සිව් දෙනකු (4) බවත්, මොවුන් ඉන්දියාවේ සිට ඩිංගි බෝට්ටු යාත්‍රා ආධාරයෙන් තීරු බදු සහ අලෙවි බලපත්‍ර රහිතව නීති විරෝධිව මෙම ඉඟුරු තොගය මෙරටට රැගෙනවිත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කල්පිටිය වෙරළ තීරයට රැගෙන ඒමෙන් අනතුරුව නැවත කොළඹ බලා ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමේදී කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කන්දකුඩාව ප්‍රදේශයේදී සිදුකර තිබෙනවා.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් මාර්ගය පරික්ෂා කිරීමේ කටයුතුවල නිරතව ගමන් කර ඇති අතර, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කල ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ වියළි ඉඟුරු තොගය රැගත් ලොරි රථයක් පසුපසින් ධාවනය වන බවයි.
ඒ අනුව ලොරිය නවතා පරික්ෂා කිරීමේදී එහි වියළි ඉඟුරු උර 48 ක් ලොරි රථය තුළ අසුරා තිබී ඇති අතර, එම ඉගුරුවල වටිනාකම රුපියල් ලක්ෂ අසූවක් (80,00,000) ඉක්මා ඇති බවයි පරික්ෂණ පවත්වන කල්පිටිය පොලිසිය සදහන් කළේ ෴
නඩු භාණ්ඩ කාමරයේ තිබී මුදල් අතුරුදන් වීමේ සිද්ධියට සැරයන්වරයෙකු අත්අඩංගුවට
(01.02.2025 – 17:14 +0530 – hirunews.lk/sinhala)
ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ රුපියල් 458,000 ක පමණ මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්.
එම අවස්ථාවේ අදාළ සැරයන්වරයා පොලිස් සේවය හැර ගොස් සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
මත්ද්‍රව්‍ය නඩුවකට අදාළව මෙම මුදල ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නඩුභාණ්ඩ කාමරයේ තැන්පත් කර තිබූ අතර, එම මුදල් නොමැති බවට අනාවරණය වීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කෙරුණා.
ඒ අනුවයි අදාළ නඩු භාණ්ඩ කාමරය භාරව සිටි සැරයන්වරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴