අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප


අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ‘ප්‍රියන්ත මයාදුන්නේ’ට ඇප

(30.01.2025 – 16:15 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේ ‘ජාත්‍යන්තර සමූපකාර සැමරීම’ වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ‘ඉසුරු සවිය’ නමැති සමූපකාර සැමරුම සඳහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183 ක් වැය කිරීමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයා වන ‘ප්‍රියන්ත කුමාර මායාදුන්නේ’ ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (30) නියෝග කළා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිටපු අතිරේක ලේකම් වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළා.

සැකකර අතිරේක ලේකම්වරයාට එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නීතිපතිවරයාව ලබාදුන් උපදෙස් ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

+++

+

ප්‍රියන්ත මායාදුන්නේ ගැන අධිකරණයේදී හෙළිවූ තොරතුරු

(30.01.2025 – 20:44 +0530 – sinhala.adaderana.lk)

2011 දී ‘සමුපකාර අරමුදල’ට අයත් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් සාපරාධි විශ්වාසය කඩකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත්, සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමිවුණි.

2011 කුරුණෑගල පැවති ‘ඉසුරු සවිය’ ජාත්‍යන්තර සමුපකාර දින සැමරුම වෙනුවෙන් සමූපකාර අරමුදලින් රුපියල් මිලියන 183 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය.

ඒ එම සිදුවීමට අදාළව එවක සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස රුපියල් ලක්ෂයක (100,000) මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවටය.

නීතිපති උපදෙස් මත පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු සැකකාර ප්‍රියන්ත මයාදුන්න අද (30) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර හමුවට ඉදිරිපත් කළාය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රශ්නගත රුපියල් 100,000 ක මුදල අදාළ උත්සවයේ ප්‍රවාහන කටයුතු සඳහා වැය කළ බව සැකකරු පැවසුව ද, එය වියදම් කළ ආකාරය සනාථ කිරීමට ඔහු අපොහොසත්වී ඇති බවය.

අදාළ මුදල කවර පුද්ගලයෙකුට ලබාදුන්නේදැයි කළ විමසීමේදී එය එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයාව සිටී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආරක්ෂකයෙකුට දුන් බව සැකකරු පැවසුවද ඒ කවර තැනැත්තෙකුටදැයි පැවසීමට සැකකරුට නොහැකි වූ බවද විමර්ශන නිලධාරින් සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර ප්‍රියන්ත මයාදුන්න වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග පෙරේරා කියා සිටියේ අමාත්‍යවරයාගේ උපදෙස් මත එම මුදල ලබාදුන්නද වසර 13 කට පෙරවූ සිද්ධියක් බැවින් එම මුදල දුන්නේ කාටද යන්න පිළිබඳ තම සේවා දායකයාට මතකයක් නොමැති බවය.

මෙම සැකකරු සිද්ධියේ අතරමැදියෙකු පමණක් වන අතර අයථා මුදල් පරිහරණයකට ඔහු වැරදිකරු බව පැවසීමට ප්‍රමාණවත් කරුණු නොමැති බව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය මෙහිදී සඳහන් කළාය.

එබැවින් සැකකරුගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් හේතුවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප 02 ක් මත සැකකරු ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණි.

විමර්ශනවල ප්‍රගතිය සඳහා නඩුව මැයි 28 වනදා යළි කැඳවීමට නියමිතය.

+


රු. කෝටි 4 කට වැඩි මුදලක් යට කර අභාවයට යන ශ්‍රවණාගාර ගොඩනැගිල්ල

(30.01.2025 – 15:09 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව පලුගස්දමන විද්‍යාලයේ ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කලක පටන් නතරවී තිබීම නිසා අසීරුතාවට පත්ව සිටින සිසු දරුවන් සහ මව්පියන් ඉල්ලා සිටින්නේ කඩිනමින් එහි ඉදිකිරීම් අරඹා සිසුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට දායක වන ලෙසයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව අධ්‍යාපන කලාපයට අයත් පලුගස්දමන මහා විද්‍යාලයේ පාසැල් දරුවන් 1,030 ක් පමණ මේ වනවිට අධ්‍යාපන කටයුතුවල නිරත වනවා.

දරුවන්ට අවශ්‍යව පැවැති පාසල් ශ්‍රවණාගාරයක් ඉදිකිරීම පසුගිය ආණ්ඩු සමයේදී ආරම්භ කෙරුණ ද එම ඉදිකිරීම් අතරමග නතර වී ඇත්තේ පැන නැගුණු විවිධ ගැටලු මුල්කර ගනිමින්.

ඒ සඳහා උතුරු මැද පළාත් සභාවෙන් රුපියල් කෝටි 4 කට අධික මුදලක් ද වෙන්කර තිබෙනවා.

මව්පියන් පවසන්නේ පාසැල් ශ්‍රවණාගාරය ඉදිකිරීම් කටයුතු අතරමග නතරවීම නිසා රුපියල් කෝටි ගණනක දේපළක් විනාශ වෙමින් පවතින බවයි.

ඉදිකිරීම් අතරමග නතරවීමෙන් පාසැල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර පාරිසරික ගැටලු රැසකට ද මුහුණ පෑමට සිදුව ඇතැයි මව්පියන් පෙන්වා දෙනවා.

පලුගස්දමන මහා විද්‍යාලයේ පවතින මෙම අඩුලුහුඩුකම් හේතුවෙන් දරුවන්ගේ කුසලතා ඔප් නංවා ගැනීමට ඉඩ ඇහිරී ඇති බැවින් මව්පියන් ඉල්ලා සිටින්නේ ඉදිකිරීම් කඩිනම් කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා ඔවුන්ගේ සහජ කුසලතාවලට ඉඩ හසර ලබා දෙන ලෙසයි.

+


මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත

(30.01.2025 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනිගේ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු භාරයේ තිබී සොයාගත් ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය අදාළ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමටද නියෝග කළා.

ඉන් අනතුරුව පැමිණිල්ල ජූලි මස 17 වන දා කැඳවන ලෙසත් නියෝග කෙරුණා ෴


නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවදානමක්

(30.01.2025 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – හයිෆොරස්ට් ප්‍රදේශයේ නායයාමේ අවධානමක් හේතුවෙන් පවුල් 6 කට අයත් පුද්ගලයින් 36 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ අදාළ ප්‍රදේශයට නායයාමේ අවධානමක් මතුව ඇති බවයි.

ඒ අනුව, අදාළ පිරිස් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකර ඇති අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදී ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර නුවර එළිය දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණයත් සමඟ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රදේශවල මාර්ග රැසක ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙනවා ෴


වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්

(30.01.2025 – 13:38 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව’ විසින් කරන ලද විමර්ශනයක දී හෙළි වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමක දී වෛද්‍යවරයා සඳහන් කළේ, තමාගේ වැඩ තහනම් කිරීමට අදාළ ලිපිය මෙතෙක් තමාට නොලැබුණු බවයි.

දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් 2022 වසරේ දී ද වෛද්‍ය චමල් සංජීව වැඩ තහනමකට ලක් වුණා ෴


බදුවලට පෙර ජපන් වාහනවල ඔබ පුදුම කරවන මිල මෙන්න

(30.01.2025 – 13:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනාතාවට භාවිතය සඳහා මෝටර් රථ ආනයනයට අවසර ලබාදෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, බදු රහිතව සුසුකි වැගන් ආර් වර්ගයේ මොටර් රථයක් මෙරට මුදලින් රු. ලක්ෂ 35 ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

මෙරටට රථ වාහන ආනයනය සඳහා පසුගියදා රජය ගැසට් නිවේදනයක් මගින් අවසර ලබාදෙනු ලැබුවා.

කෙසේවෙතත් එම ගැසට් නිවේදනයට අනුව සාමාන්‍ය ජනතාව සඳහා මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට අවසර ලැබී තිබුනේ නැහැ.

එවන් පසුබිමක මෝටර් රථ ඇතුළු වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ජපානයේ භාවිත කරන ලද නිසි තත්ත්වයෙන් යුතු මෝටර් රථ අඩු මිලකට මෙරටට ආනයනය කරවිය හැකි බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා.

ඔවුන් පවසන ආකාරයට නවීන පන්නයේ ‘ටොයොටා කොරොල්ලා ක්‍රොස්’ වර්ගයේ මෝටර් රථයක් බදු රහිතව මෙරටට රුපියල් ලක්ෂ 55 – 60 ක් අතර මුදලකට ආනයනය කළ හැකියි.

තවද ජපානයේ ‘හොන්ඩා වෙසල්’ වර්ගයේ මොටර් රථයක් මෙරටට ආනයනය කිරීමේ දී ඒ සඳහා වන මිල රුපියල් ලක්ෂ 60 – 65 ත් අතර පැවතිය හැකි බව ඔවුන් පවසනවා.

එමෙන්ම බදු මිල ඇතුළත් නොවී ‘ටොයොටා යාරිස්’ වර්ගයේ මොටර් රථයක් මෙරටට රුපියල් ලක්ෂ 27 – 30 ත් අතර මුදලකට ආනයනය කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ‘ටොයොටා යාරිස් ක්‍රොස්’ වර්ගයේ මෝටර් රථයක බදු රහිත මිල රුපියල් ලක්ෂ 55 ක් පමණ වනවා.

එමෙන්ම මෙරට බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය ‘සුසුකි වැගර් ආර්’ වර්ගයේ මෝටර් රථයක් මෙරට මුදලින් ලක්ෂ 35 ක් වැනි මුදලකට ලබාගත හැකි බවයි වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසන්නේ.

+


ජපානයේ රැකියා අවස්ථා රැසක් ගන්න ඇමති විජිත හේරත් විශේෂ සාකච්ඡාවක

(30.01.2025 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙනවා.

ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්.

එහිදී අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් බඳවාගැනීම වැඩි කරන ලෙසයි.

ඉදිරියේ දී විශේෂයෙන් ජපානය ඇතුළු රටවල රැකියා සඳහා මෙරට ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය වෘත්තිය පුහුණු ආයතනවල සහාය ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කරන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව ද විජිත හේරත් IM Japan ආයතනයේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර සිටියා.

ජපානයේ රැකියා සඳහා බඳවාගන්නා වැඩපිලිවෙල යටතේ TITP, SSW කාණ්ඩවලට අයත් සාත්තුසේවක හා ඉදිකිරීම් රැකියා අවස්ථා රැසක් පවතින බවත්, ඒ සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් සලසා දෙන බවත් එහිදී IM Japan ආයතනයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටි බව සඳහන්.

ඉදිරියේ දී රියදුරු ඇතුළු තවත් ක්‍ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.

නිපුණතාවයෙන් සපිරි ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බිහිකිරීමට ශ්‍රි ලංකා රජය ගන්නා උත්සහාය ඔහු මෙහිදී අගයකර සිටියා.

ශ්‍රි ලාංකික විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජපානයේ TITP ඛාණ්ඩය යටතේ පුහුණු අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාකර තිබෙනවා.

මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ, අමාත්‍ය තුමාගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාත්, IM Japan ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක මසනොබු කොමියා (Mr. Masanobu Komiya) එහි කොළඹ කාර්යාලයේ සාමාන්‍යාධිකාරී හිඩෙටි තමුරා (Mr. Hideti Thamura) ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴


පොල්ලකින් පහර දී බෑණා මැරූ මාමණ්ඩි අත්අඩංගුවට

(30.01.2025 – 10:10 +0530 – hirunews.lk/sinhala)

බදුරලිය පොලිස් වසමේ සීලදොල ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී කාලයේ දී පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් අඹු සැමි යුවලකට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ ඔවුන් බදුරලිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එසේ ඇතුළත් කිරීමේදී තුවාලකරු මිය ගොස් ඇති බව බදුරලිය පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 32 ක් වූ බදුරුගල්ල වත්ත, බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විසින් පුද්ගලික අමනාපයක් මත බිරිඳගේ පියාට බැන වදිමින් සිටින අවස්ථාවේදී බිරිඳගේ පියා සහ සහෝදරයා එම ස්ථානයට පැමිණ පොල්ලකින් හා තියුණු ආයුධයකින් අඹු සැමි යුවලට පහරදී ඇති බවටයි සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අවුරුදු 36 හා 72 යන වයස්වල පසුවන මොරපටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *