අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්


අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක්

(29.01.2025 – 23:22 +0530 – hirunews.lk/sinhala)

‘විදුලි සංදේශ නියාමන කොමිසමේ’ අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතය වැළැක්වීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව ‘විදුලි සන්දේශ නියාමන කොමිසම’ පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් ජනතාවට දැනුම් දෙන්නේ ‘විදුලි සංදේශ නියාමන කොමිසමේ’ අනුමැතියක් නොමැති ජංගම දුරකතන භාවිතයෙන් ඉවත් වන ලෙසයි.

නීත්‍යානුකූල නොවන අන්දමින් හා නිසි ප්‍රමිතියෙන් තොර සන්නිවේදන උපකරණ ගෙන්වීම අත්හිටුවන බව ‘විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව’ පසුගිය 09 වැනිදා ජනතාවට දැනුම් දුන්නා.

ඒ අනුව ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සඳහා වෙළෙඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලයද ඊයේ (28) දිනයෙන් අවසන් වූ බැවින්.

මින් ඉදිරියට එවැනි සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද නියමිතයි.

මේ අතර නීති විරෝධී ජංගම දුරකතන භාවිතය වැළැක්වීමටද නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා.

අනුමත ජංගම දුරකතන ගැන https://www.trc.gov.lk/ වෙබ් අඩවියෙන් දැනගත හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ.

+


යෝෂිතගේ ගිනි අවි සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

(29.01.2025 – 15:58 +0530 – hirunews.lk/sinhala)

යෝෂිත රාජපක්ෂ සන්තකයේ මේ වන විට ගිනිඅවි දෙකක් (02) පවතින බවත් නීත්‍යානුකූල ලෙස එක් ගිනිඅවියක් භාර දෙන ලෙස ඔහුට දන්වා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ’ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

යෝෂිත රාජපක්ෂට නයින් මිලිමීටර් වර්ගයේ ගිනිඅවි 06 ක් සහ සබ්මැෂින් ගිනිඅවියක් (01) ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත්කිරීමට විශේෂ හේතුවක් තිබේද යන පැනය මාධ්‍යවේදියෙක් විමසූ විට එයට පිළිතුරු වශයෙන් ඔහු සඳහන් කළේ,

“විශේෂ හේතුවක් තියෙනවද කියලා අනාවරණය කරගෙන නෑ. අපේ ප්‍රතිපක්තියට යටත්ව එක පුද්ගලයෙකුට එක ගිනි අවියයි එයත් බුද්ධි අංශ තොරතුරුවලට යටත්ව. ඒ අනුව ඒ පුද්ගලයා ගාව තිබ්බ සේරම ගිනිඅවි සියල්ලම අපේ භාරයට අරන් තියෙනවා. නමුත් දැනට දෙකක් කියලා වාර්තා වෙනවා. ඒකෙනුත් අපි එකක් හැටියට තමයි භාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා” යන්නයි.

එමෙන්ම යෝෂිත රාජපක්ෂට මෙතරම් ගිනි අවි ලබා දීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ.

ජීවිතාරක්ෂාවට ලබා දුන් ගිනි අවි සම්බන්ධයෙන් පසුගිය වසරේ විගණනයක් සිදුකළ බවත් ඒ අනුව බලපත්‍රලාභී ගිනිඅවි සංඛ්‍යාව 1697 ක් බවත් බලපත්‍රලාභී පුද්ගලයින් සංඛ්‍යාව 1550 ක් බවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන්කර සිටියා.

ඒ අනුව විගණනයන්ට සහ රජයට ලබා දුන් ගිනිඅවි සංඛ්‍යාව 1368 ක් බවත් මේ දක්වා විගණනයට සහ රජයට ලබා නොදුන් ගිනිඅවි සංඛ්‍යාව 182 ක් බවත් එය ප්‍රතිශතයක් ලෙස 11.7% ක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගිනිඅවි ලබා නොදුන් පිරිසට නීත්‍යානුකූල පියවර ගන්නා බව‍යි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴


බොරු තොරතුරු දුන් කෘෂිකර්ම බලධාරින් සමාව ඉල්ලයි

(29.01.2025 – 15:51 +0530 – hirunews.lk/sinhala)

රට තුළ සහල් හිඟයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පසුගිය වසරේ වී නිෂ්පාදනයේ හිඟයක් පැවතීම නිසා බව ප්‍රකාශ කළේ අත්වැරදීමකින් බව ‘කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරින්’ ‘රාජ්‍ය මුදල් කාරක සභාව’ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රැස්වූ අතර ‘කෘෂිකර්ම බලධාරින්’ සඳහන් කළේ පසුගියදා මුදල් කාරක සභාව හමුවේ සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි.

එහිදී වාහන ආනයනය සම්බන්ධයෙන් ද ප්‍රශ්න කෙරුණා.

+

+


බ්‍රිතාන්‍ය පාලන සමයේ ආණ්ඩුකාර ධුරය දැරූ විලියම් හෙන්රි ග්‍රෙගරිගේ මී මිනිබිරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

(29.01.2025 – 14:47 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියේ ජනපති මැදුර බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොරව ලක් රජයට පවුම් 1,500 කට අලෙවි කරනු ලැබුවේ තම සීයා බවත් එය කෞතුකාගාරයක් බවට පත්කරන ලෙස බ්‍රිතාන්‍ය පාලන සමයේ ආණ්ඩුකාර ධුරය දැරූ විලියම් හෙන්රි ග්‍රෙගරි ගේ මී මිනිබිරිය වන බෙලෙන්ඩා හන්ඩි රජයෙන් ඉල්ලා සිටිනවා.

ඇය මේ බව ප්‍රකාශ කළේ නුවරඑළිය ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදියි.

විලියම් හෙන්රි ග්‍රෙගරි, 1871 සිට 1875 දක්වා මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කරනු ලබනවා.

එහිදී, අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, “මගේ නම බෙලෙන්ඩා හන්ඩ් මේ මගේ සැමියා මායල්ස්. මම තමයි විලියම් ග්‍රෙගරි මහතාගේ මී මිනිබිරිය. ඔහු ලංකාවේ ආණ්ඩුකාරවරයෙකු වශයෙන් කටයුතු කළා. මේක මගේ ශ්‍රී ලංකාවේ නුවරඑළියේ සිදු කරන පළමු සංචාරය. මම ඇත්තෙන්ම මෙහි පැමිණියේ මට වුවමනා වුණා මගේ සීයා මෙහි ගත කළ පරිසරය බලන්න. ඔහු ඇත්තෙන්ම මෙහි සිටියේ හරිම කැමැත්තෙන්. ඔහු මේ පරිසරයට හරිම ආදරෙයි. අපි සොයා බැලුවා ඔහු මෙහි කළ සේවය පිළිබඳව. බොහෝ පිරිස කියා තිබුණා මෙය විකිණීම නිවැරදි තීරණයක් කියලා. ඒ නිසා මෙය බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොරව ශ්‍රී ලංකා රජයට පවුම් 1,500 යකට මගේ සීයා විකුණුවා. නුවරඑළිය, ග්‍රෙගරි වැව සුන්දරත්වය මනාව පිළිඹිබු කරන ස්ථාන නිසා මෙහි පැමිණ ඒ අසිරිය අනිවාර්යෙන් විදින්න කියලා සංචාරකයින්ට මම කියා සිටිනවා. අපි අක්කර 26 කින් යුත් වික්ටෝරියා උද්‍යානය සහ කෞතුකාගාරය නැරඹීමට ද එක්වුණා. ඇත්තතෙන්ම එය ඉතාම අලංකාරවත් මෙන්ම දිගු ඉතිහාසයක් ඇති ජායාරූප වැනි වටිනා දේ වලින් සමන්විත ස්ථානයක්. ඔබ මෙය නැරඹීටම පැමිණිය යුතුමයි” යනුවෙන්.

අනතුරුව තම සීයා විසින් ඉදි කරන ලද ග්‍රෙගරි වැව නැරඹීමට ද ඇය එක්වුණා.

මෙම සංචාරයට එක්වූ බෙලෙන්ඩා හන්ඩ් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් නුවරඑළියේ ශාන්තිපුර ප්‍රදේශයේ ඉදිකළ ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වූ අතර, එහිදී විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අමාත්‍යවරයා සමග සුහද කතා බහකද නිරත වුණා.

+


බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්

(29.01.2025 – 13:50 +0530 – hirunews.lk/sinhala)

හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව දේවාල පල්ලම අසල ප්‍රදේශයේදී බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයක් සහ කටුනායක කර්මාන්ත ශාලාවක සේවක පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති බව සඳහන්.

කටුනායක කර්මාන්තශාලාවේ සේවකයෙකුගේ අවමංගල උත්සවයකට සහභාගි වීම සඳහා මෙම පෞද්ගලික බස් රථය දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති අතර එම ගමන සඳහා තිස්පස් (35) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වී තිබෙනවා.

මෙම අනතුරෙන් එම සේවක සේවිකාවන්ගෙන් සිව් දෙනකු (4) තුවාල ලබා තිබෙන අතර එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතල බවයි එම ස්ථානයේ සිටි පුද්ගලයකුත් සඳහන් කළේ.

බදුල්ල සිට යාපනය බලා ධාවනය වූ සීටීබී බස් රථයේ සිටි පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් පොළොන්නරුව සහ හබරණ රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා

පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මින්නේරිය පොලිසිය වෙත රැගෙන යෑමට නියමිත බවයි මින්නේරිය පොලිසිය සඳහන් කළේ.

+

+


රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා දිරි දීමනාවක්

(29.01.2025 – 11:54 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් රාජකාරී වෙලාවෙන් පසු කරන සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ජනාධිපති අරමුදලේ පාලක සභාවේ අනුමැතිය හිමි වුණා.

රජයේ රෝහල් වල සැත්කම් සඳහා වූ පොරොත්තු ලේඛනයේ වැඩි පිරිසක් රැඳී සිටීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ඊට විසඳුමක් ලෙස රාජකාරී වේලාවෙන් පසු සැත්කම් කිරීමත්, එම සේවාවන් ඉටු කරන කාර්ය මණ්ඩලය සඳහා ජනාධිපති අරමුදලින් දිරි දීමනාවක් ලබා දීම පිළිබඳවත් අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට මෙම ක්‍රමවේදය කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී එය ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ රිජ්වේ ආර්යා ළමා රෝහල මූලික කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බව සඳහන්.

අධ්‍යාපනය ලබන දරු දැරියන්ට ජනාධිපති අරමුදලින් පහසුකම් සැලසීම තව දුරටත් පුලුල් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය ලබන දරු දැරියන් මූලික කර ගනිමින් නව වැඩසටහන් ආරම්භ කිරීමටත්, දැනට පවතින වැඩසටහන් ඉදිරියට ගෙන යාමටත් සැලසුම් ක‍ර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදා‍ස, ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴


“සත්‍යය ජයගන්නවා” – ‘ක්‍රිෂ් ගණුදෙනුව’ ගැන නාමල්ගෙන් නිවේදනයක්

(29.01.2025 – 11:51 +0530 – hirunews.lk/sinhala)

කුප්‍රකට ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ‘X පණිවිඩයක්’ නිකුත් කරමින් සිය අදහස පළකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම නඩුව හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ආණ්ඩුවේ අසාර්ථකත්වය බවත්, සත්‍ය ඉක්මණින් ජයගනු ඇති බවයි.

අදාළ ‘X පණිවිඩය’ මගින් ඔහු දක්වා තිබූ අදහස පහතින්,

“ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුව සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා මට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කර ඇති බව මම මාධ්‍යවලින් කියෙව්වා.

යහපාලන ආණ්ඩුව සමයේ, මෙම කාරණය මුලින් විමර්ශනය කළ විට, මෙම කාරණය ගරු නීතිපතිවරයා වෙත යොමුකරන ලද්දේ වසර 8 කට පෙරය. වත්මන් ආණ්ඩුව යටතේ වසර 8 කට පසු අද අධිචෝදනා පත්‍රයක් ගොනුකර ඇත. වත්මන් ආණ්ඩුව රාජපක්ෂ පවුලට එරෙහිව දේශපාලන දඩයමක් දියත්කර ඇති බව පැහැදිලිය.

මම අධිකරණය කෙරෙහි විශ්වාසයෙන් සිටින අතර යුක්තිය ජය ගනු ඇතැයි විශ්වාස කරමි.

අපට එරෙහිව චෝදනා ගොතන ලද අතර, රට පාලනය කිරීමේදී ඔවුන්ගේ අසාර්ථකත්වයන්ගෙන් අවධානය වෙනතකට යොමුකළ හැකි බවත්, ජනතාව මුහුණ දෙන බරපතල බර අඩුකර ගත හැකි බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව විශ්වාස කරන බව පෙනේ. කෙසේවෙතත්, ඔවුන්ගේ අඩුපාඩු ඉක්මණින් සියල්ලන්ටම පෙනෙන පරිදි හෙළිවනු ඇත. රාජපක්ෂලාට පහර දීම පිටුපස ආණ්ඩුවට ඔවුන්ගේ අසාර්ථකත්වයන් දිගු කලක් සැඟවිය නොහැක.

යුක්තිය අන් සියල්ලටම වඩා ජයගනු ඇතැයි මම දැඩි ලෙස සහ අවංකව බලාපොරොත්තු වෙමි සහ විශ්වාස කරමි.” යනුවෙන් ෴


2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ කාලසටහන මෙන්න

(29.01.2025 – 10:57 +0530 – hirunews.lk/sinhala)

2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/ වෙබ් අඩවියෙන් බාගත කරගැනීමේ හැකියාව පවතිනවා.

එළඹෙන මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිත අතර එම කාලසටහන පහතින් දැක්වෙනවා.

බාගත කරගන්න (pdf files) : [සිංහල][දෙමළ][ඉංග්‍රීසී]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *