තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට


තරුණියන් දෙදෙනෙකුට පහර දී දුරකතනයක් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(28.01.2025 – 09:47 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව ඕමන්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණියන් දෙදෙනෙකුට (2) පහරදී ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 7 කට ආසන්න ජංගම දුරකතනයක් කොල්ල කා යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (27) අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසනවා.

වව්නියාව තාණ්ඩික්කුලම් සිට ඕමන්ත දක්වා අදාළ තරුණියන් දෙදෙනා (2) යතුරුපැදියකින් ගමන් කොට ඇති අතර, ඕමන්ත ප්‍රදේශයේදී එකවරම තවත් යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු (2) විසින් තරුණියන්ගේ යතුරුපැදිය නවත්වා ඔවුන්ට පහරදී එක් (1) තරුණියක් සතුව තිබූ ජංගම දුරකතනය කොල්ල කා පලා ගෙස් තිබෙනවා.

පසුව එම තරුණියන් විසින් වව්නියාව හදිසි දුරකතන ඇමතුම් ඒකකය දැනුවත් කිරීමෙන් පසුව ඒ බව ඕමන්ත පොලිසියට දැනුම් දී තිබුණා.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ ඕමන්ත පොලිසිය කොල්ලකරුවන් පලාගිය මාර්ගයන් ඔස්සේ ලුහුබැඳ ගොස් අවසානයේදී කනගරායන් කුලම් ප්‍රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී කොල්ලකන ලද ජංගම දුරකතනය සොයාගෙන ඇති අතර, සැකකරුවන්ට එරෙහිව කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්ද නඩු පවතින බවටයි අනාවරණය වී තිබෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයන්වන අතර, ඔවුන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි ඕමන්ත පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා ෴


රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක්

(28.01.2025 – 11:11 +0530 – hirunews.lk/sinhala)

‍රතු කැකුළු සහල්වලට සුදු කැකුළු සහල් මිශ්‍ර කර අලෙවි කිරීමේ ජාවාරමක් ගැන තොරතුරු අනාවරණය වී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.

වෙළෙඳපොළේ පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් ඇතැම් ව්‍යාපාරිකයින් මෙසේ කටයුතු කර ඇති බවටයි එම අධිකාරිය පවසන්නේ.

එසේම මෙම ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට එම අධිකාරියට පැමිණිලි රැසක් ලැබී ඇති බව ද සඳහන්.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වැටලීම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.

මේ අතර, එම අධිකාරිය මගින් සිදුකළ විශේෂ වැටලීම් කිහිපයක්‌ තුළ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 140 කට අධික ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

එසේම සති අන්ත හා රාත්‍රී කාලයේ ද වැටලීම් සිදුකරන ලෙසයි පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ ෴

+

+

+


බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා යයි

(28.01.2025 – 09:22 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා.

ට්‍රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්‍රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

මෙම අත්බෝම්බ පැරණි ඒවා බවයි පොලිසිය සඳහන්කර සිටියේ.

මෙම අත්බෝම්බය පුපුරා යෑමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ සොයා ගත් බෝම්බ දෙක නිශ්ක්‍රීය කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


යාපනය සරසවියේ ආචාර්යවරුන් දේශන වර්ජනයක

(28.01.2025 – 08:06 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය අද (28) සිට නැවත දැනුම්දෙනතුරු දේශන වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එම සංගමය නිවේදනය කළේ ඉල්ලීම් පහක් මුල්කර ගනිමින් සරසවියේ සියළුම පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයට එක්ව සිටින බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ (27) රැස්වී මෙම තීරණය ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවන් නවතා දැමීමට සරසවි පාලනාධිකාරිය නිසි මැදිහත්වීමක් නොදැක්වීම හේතුවෙන් කලා පීඨයේ පීඨාධිපති ශිවසුබ්‍රමනියම් රඝුරාම් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්ද විශ්වවිද්‍යාල පාලනාධිකාරියට මේ වනවිට ලබාදී තිබුණා.

මේ අතර රඟහලක් නොමැතිවීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් ඒ ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ ඊයේ (27) නර්තන පුහුණුවීම් කරන අයුරු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය සහ ඒ අවට දැඩි රථවාහන තදබදයක් ද පැවතුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴


රුපියල් කෝටි ගණනක වාහන කොළඹ 07 න් සොයාගැනේ

(27.01.2025 – 19:57 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් බවට පැවසෙන අතහැර දැමූ වාහන තොගයක් කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයට අයත් භූමියේ තිබී සොයාගෙන තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ නිළධාරීන් පිරිසක් අද (27) එම ගොඩනැගිල්ල පරික්ෂාවට ලක්කළ අවස්ථාවේදීයි.

අදාළ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලබාදීම සදහායි එය පරික්ෂාවට ලක්කෙරුනේ.

එම ගොඩනැගිල්ල බස්නාහිර පළාත් සභා කාර්යාලයේ කටයුතු සදහා යොදාගෙන තිබුණා.

මෙහි තිබූ ඇතැම් වාහන අනතුරට ලක්ව ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

+


වාහන ආනයනයකරුවන් තවත් සහනයක් ඉල්ලයි

(28.01.2025 – 21:09 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට සුදුසු වාහන ආනයනයටද කඩිනමින් කටයුතු කළ යුතු බව වාහන ආනයනකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

වාහන ආනයනයට අදාළව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊයේ (27) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ඒ 1969 ‘ආනයන අපනයන පාලක නියාමන පනත’ යටතේයි.

ඒ අනුව, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට මේ වසරේ ජනවාරි 27 වැනිදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත් කළ වාහන මුදාහැරීමට අදාළ ගැසට් නිවේදනයෙන් රේගු අධ්‍යක්ෂවරයාට අවසර හිමිවනවා.

එසේම, 2024 වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට 2025 වසරේ ජූලි 31 වැනිදා දක්වා වාහන ආනයනයට ද හැකියාව පවතිනවා.

ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90 ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු බවයි.

වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැනුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ටින් අංකය ඇතුළත් අදාළ ලියකියවිලි ද ඉදිරිපත් කළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්.

මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් සඳහා පමණයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක (1) කාලයක් තුළ ආනයනය කිරීමට හැකියාව ඇත්තේ එක් (1) වාහනයක් පමණක් බව ද අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

යම් වාහන ආනයනකරුවෙකු මෙම වසරේ (2025) දෙසැම්බර් දක්වා මාස 06 ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාවෙන් සියයට 25 ඉක්මවා ආනයනය කරන්නේ නම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3 ක් වාහන ආනයනය තහනම් කෙරෙනු ඇති.

අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් සහ වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90 ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රතිඅපනයනය කළ යුතු වීමත් විශේෂත්වයක්.

‘ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ’ සභාපති ප්‍රසාද් මානගේ සහ ‘ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ’ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ කොළඹ අද (28) පැවති ප්‍රවෘත්ති සකච්ඡාවකදී සඳහන් කළේ සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට සුදුසු වාහන ආනයනයට ද කඩිනමින් කටයුතු සූදානම් කළ යුතු බවයි.

මේ අතර කොළඹ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සද මේ සම්බන්ධයෙන් අදහස් පල කළා.

එහිදී ඔහු කියා සිටියේ සියලු‍ පාර්ශවයන්ට සාදාරණයක් වන පරිදි ඉදිරියේ දී වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවයි ෴

+

+

+

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *