දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ විමර්ශන කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි
දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරම පිළිබඳ විමර්ශන කරන බව CIDය අධිකරණයට දැනුම් දෙයි
(28.01.2025 – 19:08 +0530 – hirunews.lk/sinhala)
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේ දී සිදු වී ඇති අක්රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති නිසා ඒ පිළිබඳ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශනය සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම ටිකට් පත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒ යටතේ සැකකරුවන් හතර දෙනකු (4) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියට දැනුම් දී තිබෙනවා ෴
වැඩිමිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170 කට නඩු
(28.01.2025 – 18:15 +0530 – hirunews.lk/sinhala)
පසුගිය දින කිහිපයේ දී දිවයින පුරා සිදුකල වැටලීම්වලදී පාලන මිල ඉක්මවා වැඩිමිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170 කට අධිකරණයේ නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කරනවා.
ඒ අනුව, එම වෙළඳුන්ට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අදාල අධිකරණ මගින් නියම කර ඇති බවයි එම අධිකාරිය නිවේදනයන් මගින් සඳහන් කරන්නේ.
එමෙන්ම, දිවයින පුරා අතිරේක කණ්ඩායම්ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක බවත් එම අධිකාරිය පවසනවා.
අද (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල, පේරාදෙණිය, ගෙලිඔය, ගම්පල, උඩුපුස්සැල්ලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළඳුන් සොයා අතිරේක කණ්ඩායම් 05 ක්ද, යොදවා සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළදුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
තවද, අද (28) දිනයේදී සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 750,000 ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 03 ක් සඳහා එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000 බැගින් ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.
එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ වෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කළ බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ ෴
පාස්කු නඩුවට අදාළව නීතිපති කළ ඉල්ලීමක් මහාධිකරණය ඉවත දමයි
(28.01.2025 – 16:58 +0530 – hirunews.lk/sinhala)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරුණු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන සමබන්ධ නඩුව විභාග කිරීම සඳහා වෙනත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරිය වෙත ඉල්ලීමක් කරන්නැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (28) ඉවත දැමුවා.
එම තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නාමල් බළල්ලේ සඳහන් කළේ අවශ්‍ය නම් මෙවැනි ඉල්ලීමක් අගවිනිසුරුවරිය වෙත යොමු කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවයි.
මෙම නඩුවෙන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් විත්තිවාචකය කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මීට පෙර තීන්දුවක් ලබාදී තිබුණා.
විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළා.
එම අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිවාචකය කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම නඩුව යළි කැඳවා විත්ති වාචකය විමසා අලුතින් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලෙසත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව එම නඩු අද (28) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සහ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් යන අය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් සම්බන්ධයෙන් දෙන ලද තීන්දුවේ නීතිමය දෝෂ කීපයක් පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දී ඇතැයි සඳහන් කළා.
එම නිසා මෙම නඩුවේ ඉදිරි විභාගය එහි සාක්ෂි පිළිබඳව අවබෝධයක් නොමැති නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදුකිරීම සුදුසු බවත් ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා නව විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුතුමිය වෙත ඉල්ලීමක් යොමු කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීමට විරෝධය පළ කළ විත්තිකාර පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රොෂාන් දෙහිවල අධිකරණය හමුවේ සඳහන් කළේ මෙවැනි ඉල්ලීමක් සිදුකිරීම සඳහා නීතිය තුළ නීතිපතිවරයාට කිසිදු ප්රතිපාදනයක් නොමැති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාල ඉල්ලීම ඉවතට දමන බවයි.
අවශ්‍ය නම් මෙවැනි ඉල්ලීමක් අගවිනිසුරුවරිය වෙත ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළා.
ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 24 වන දා තෙක් කල් තැබුණා ෴
ඩබල් කැබ් ගැන සුබ ආරංචියක්
(28.01.2025 – 16:35 +0530 – hirunews.lk/sinhala)
නව ගැසට් නිවේදනයට අනුව, ඉදිරියේදී ඩබල් කැබ් වැනි රථවල මිල සුලු වශයෙන් පහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.
ඔවුන් මේ පිළිබඳව සඳහන්කර සිටියේ කොළඹ අද (28) කැදවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වාහන කාණ්ඩ 04 ක් මෙරටට ගෙන්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (27) නිකුත් කළා.
ආසන 25 ට අඩු මගී ප්‍රවාහන බස්රථ, ආසන 10 ත් 16 ත් අතර වෑන් රථ, ඩබල් කැබ් සහ ලොරි රථ මෙලෙස ගෙන්වීමට මෙමගින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව පසුගිය 2024 දෙසැම්බර් 18 වනදා සිට ජනවාරි 27 වනදා දක්වා ආනයන අපනයන පාලකවරයාගේ රෙගුලාසි යටතේ ණයවර ලිපි නිකුත් කළ එම කාණ්ඩ 04 ට අයත් වාහන මුදාහැරීමට එමගින් රේගු අධ්යක්ෂවරයාට අවසර ලබාදී තිබුණා.
එමෙන්ම, දෙසැම්බර් 18 සහ 2025 ජුලි 31 අතර ඕනෑම වරායක් වෙත පැමිණෙන වාහන මුදා හැරීම සඳහාද මෙමගින් රේගුවට අවසරය හිමිව තිබෙනවා.
ආනයනය කරන මෝටර් වාහනය අලෙවි කිරීමට නම් දින 90 ක් ඇතුළත අදාළ ගැනුම්කරුගේ නමින් මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුයි.
අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ වාහනය ලියාපදිංචිය සඳහා ආනයනකරු හෝ ගැණුම්කරු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් ‘TIN අංකය’ ඇතුළත් අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවයි.
මෙලෙස ආනයන සීමා ලිහිල් වන්නේ අදාළ රෙගුලාසි යටතේ ආනයනය කළහැකි සීමාවන්ට යටත්වූ වාහන කිහිපයක් සඳහා පමණක් වනවා.
මෝටර් වාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන ආනයනකරුවන් හැර අනෙකුත් පුද්ගලයන්ට වසරක (1) කාලයක් තුළ මෙලෙස ආනයනය කළ හැකිවන්නේ එක් (1) වාහනයක් පමණක් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වනවා.
යම් වාහන ආනයනකරුවෙකු 2025 වසරේ දෙසැම්බර් දක්වා මාස 06 ක කාලයක් තුළ අනුමත වාහන සංඛ්‍යාව සියයට 25 ඉක්මවා ආනයනය කරන්නේනම් එවැනි ආනයනකරුවෙකුට අවම වශයෙන් වසර 3 ක් වාහන ආනයනය තහනම් කෙරෙන බවද එහි දැක්වෙනවා.
අදාළ රෙගුලාසි උල්ලංඝනය කරමින් මෝටර් වාහන ආනයනයට අදාළ නියාමනයන්ට අනුකූල නොවන ලෙස ආනයනය කරන වාහන අදාළ ආනයනකරු විසින් දින 90 ක් තුළ ඔහුගේ වියදමින් ප්‍රති අපනයනය කළ යුතු බව එහි තවදුරටත් සඳහන් ෴
ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පා.ම. නාමල් රාජපක්ෂට අධි චෝදනා
(28.01.2025 – 16:14 +0530 – hirunews.lk/sinhala)
ක්‍රිෂ් ගණුදෙනුව තුළින් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
මෙම අධි චෝදනා පත්‍ර නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයට යොමුකර තිබෙන බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කලේ.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා එල්ල කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණා.
එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබෙනවා ෴
කොළඹ මැද කසල ගුහාව
(28.01.2025 – 16:11 +0530 – hirunews.lk/sinhala)
කොළඹ මග නගර සභාවට අයත්, මරදාන ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් ද පිහිටි භූමියකට කසළ බැහැර කිරීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මැදිව ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ අවස්ථා රැසකදී ඒ සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කළ ද තවමත් ඊට නිසි විසඳුමක් ලැබී නොමැති බවයි.
මේ කොළඹ මහ නගර සභාවට අයත් මරදාන – ආනෝල්ඩ් රත්නායක මාවතේ පිහිටි රජයට අයත් භූමියක්.
නිවාස 36 කින් පමණ සමන්විත නිවාස සංකීර්ණයක් ද මෙම භූමියේ පිහිටා ඇති අතර මෙම ගොඩනැගිල්ලේ පවුල් 08 ක් මේ වනවිට ජීවත් වනවා.
කසළ බැහැර කිරීමට පමණක් සීමා නොවූ, රජයට අයත් මෙම භූමිය විෂම ක්‍රියා සඳහා භාවිතවන තිප්පොළක් බවට ද පත්ව අවසන්.
ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව දැනුවත් කළත් ඉන් කිසිදු ඵලක් නොමැති බවයි.
+
ඩෙල්ෆ් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවෙන් මෙරටට අප්‍රසාදය
(28.01.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
නවදිල්ලියේ මෙරට වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉන්දීය විදේශ අමාත්‍යාංශයට අද (28) කැඳවා දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ, ඩෙල්ෆ් දූපත ආසන්නයේ ඉන්දීය ධීවරයින් 13 ක් අත්අඩංගුවට ගැනීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
යාපනය – කන්කසන්තුරයට ආසන්න මුහුදු තීරයේ නීතිවිරෝධී අන්දමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම උණුසුම් තත්ත්වය හටගනු ලැබුවා.
පොලිසිය සදහන් කළේ, එහිදී නාවික හමුදාවේ නිලධාරීන් සතුව තිබූ ගිනිඅවියක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනකු (2) තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එම අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ සිටි තවත් ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
නාවික හමුදාව විසින් එම ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙසට දැනුම් දී ඇති අතර, එම උපදෙස් නොතකා ඔවුන් මසුන් මරමින් සිට තිබෙනවා.
පසුව නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු (2) ඔවුන් ගමන් ගත් යාත්‍රාවට ඇතුලු වී ඇති බව සදහන්. එම අවස්ථාවේදීයි ඉන්දීය ධීවරයින් කලහකාරී ලෙස හැසිරී ඇත්තේ ෴
+
+
කරන්නාගොඩගේ නඩුවෙන් විනිසුරු රණරාජා ඉවත් වෙයි
(28.01.2025 – 15:26 +0530 – hirunews.lk/sinhala)
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු (11) පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කර නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා අද (28) එම නඩු විභාගයෙන් ඉවත්වුණා.
මෙම පෙත්සම අද (28) මායාදුන්නේ කොරයා, පී කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අමල් රණරාජා සඳහන් කළේ තමන් මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බවයි.
මෙම නඩුවට අදාළව විනිසුරු අමල් රණරාජා මීට පෙර නියෝග කිහිපයක් නිකුත් කර තිබෙන බැවින්, ඔහු මෙම නඩුවේ විභාගයෙන් ඉවත්වන බව විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මායාදුන්නේ කොරයා ප්‍රකාශ කළා.
ඒ අනුව අදාළ නඩුව නව පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ මස 31 වන දා කැඳවීමට නියමිතයි.
2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු (11) පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවේ විත්තිකරුවකු වශයෙන් තමන්ව නම් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.
එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴
අනුරාධපුර ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් පිළිබඳ දැනුම්දීමක්
(28.01.2025 – 14:34 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර, නුවර වැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පස්වරු 09:00 සිට අනිද්දා (30) පස්වරු 06:00 දක්වා පැය 21 ක් කාලයක් සඳහා ප්‍රදේශයන් කිහිපයකට ජල සැපයුම අත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, අනුරාධපුර උතුර ජල සම්පාදන ක්‍රමය යටතේ : කලෑත්තෑව, නෙළුම්කන්නිය, තරියන්කුලම, ගල්කුලම, කවරක්කුලම, වන්නම්මඩුව, කුංචිකුලම, කුරුන්දන්කුලම, මාතලේ හන්දිය, සාලිය මාවත, තන්නායන් කුලම, යාපනය හන්දිය, බන්ඩාරපුලියන්කුලම, තෙප්පන්කුලම, ජයන්තිග්‍රාමය, සාලියපුර, මාන්කඩවල, ලිංගලපාර, කට්ටමාන්කුලම යන ප්‍රදේශත්,
මිහින්තලේ ජල සම්පාදන ක්‍රමය යටතේ : මිහින්තලේ ජල සම්පාදන ක්රමයේ කඳුවටාපාර, රුවන්ගම, වැල්ලමොරාන, තරියන්කුලම, පලුගස්වැව, සට්ටම්බිකුලම, අඹතලාගම, පොලිස් ගම්මානය, මහින්ද රාජපක්ෂ මාවත, කිරින්දේගම, කන්නට්ටිය, සහ කුරුන්දන්කුලම යන ප්‍රදේශත්,
අනුරාධපුර නව නගර ජල සම්පාදන ක්‍රමය යටතේ : අනුරාධපුර 01 වන පියවර යන ප්‍රදේශ සඳහාත් ජල සැපයුම අත්හිටවනු ඇති ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴