ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට

ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට


ගාල්ල බන්ධනාගාරයේ ගැටුමක් : සිරකරුවන් දෙදෙනෙක් (2) රෝහලට

(26.01.2025 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කණ්ඩායම් දෙකක් (2) අතර අද (26) ගැටුමක් ඇති වී තිබෙනවා.

මෙම ගැටුම හේතුවෙන් සිරකරුවන් දෙදෙනෙකු (2) තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය යොදවා ඇති බවයි ෴

බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් (2) අතර ඇතිවූ ගැටුමෙන් තුවාල ලැබු තවත් දෙදෙනෙක් (2) රෝහල්ගත කර තිබෙනවා ෴


විදේශිකයන් දෙදෙනෙකු (2) ගමන් ගත් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි

(26.01.2025 – 18:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට නුවරඑලිය දක්වා විදේශිකයන් දෙදෙනෙකු (2) ගමන් ගත් ත්‍රිරෝද රථයක් අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් ස්ලොවැකියා ජාතිකයන් දෙදෙනෙකු (2) තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (26) පස්වරු 3 ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේදියි.

කුලි පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි විදේශිකයන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථය ධාවනය කර ඇති අතර, අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රිරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි වටවල පොලිසියේ නිලධාරින් පවසා සිටියේ.

තුවාලකරුවන් දෙදෙනාගේ (2) තත්ත්වය බරපතල නොවන බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි වටවල පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ .

+

+


ජ’පුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව ලබාදීමට අවශ්‍ය පහසුකම් සැළසේ

(26.01.2025 – 15:43 +0530 – hirunews.lk/sinhala)

‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය සිසුන්ට’ අවශ්‍ය සායනික පුහුණුව ලබා දීම සදහා ‘කළුබෝවිල ශික්ෂණ රෝහල’ සහ ‘මහරගම මුඛ සෞඛ්‍ය ආයතනය’ වෙන් කර තිබෙනවා.

‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ’ මේ විට වර්ෂ හතරකට (4) අදාළ දන්ත වෛද්‍ය සිසුන් 145 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වනවා.

එහෙත් ඔවුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීම ගැටලු‍වක් ව පැවති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

ඊට අදාළ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා.

එහිදී තීරණය වි ඇත්තේ දන්ත වෛද්‍ය සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව ලබාදීමේ ගැටළුවට කඩිනම් විසඳුමක් ලෙස ‘කළුබෝවිල ශික්ෂණ රෝහලේ’ සහ ‘මහරගම මුඛ සෞඛ්‍ය ආයතනයේ’ පුහුණුව ලබා දීමටයි.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් සඳහා ස්ථිර අංග සම්පූර්ණ මහාචාර්ය ඒකකයක්, ‘මහරගම මුඛ සෞඛ්‍ය ආයතන’ පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමටත් එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා ෴


කොළඹ මුහුදු පතුලේ කොරල්පර බලන්න ‘හිරු’ ගිය ගමන

(26.01.2025 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ දියකඩනය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින කොරල්පරය ආරක්ෂා කිරීමේ අරමුණින් කොරල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වරාය නගරයට පැමිණෙන ඔබටත් මෙම කොරල්පරය නැරඹීමේ අවස්ථාව උදාකර දී ඇති අතර, මේ ඒ පිළිබඳව කළ සොයා බැලීමක්.

කොළඹ පෝර්ට් සිටි පරිශ්‍රය, නොඑසේ නම් කොළඹ වරාය නගර පරිශ්‍රය දැන් කාටත් හුරු පුරුදු ස්ථානයක්.

දෛනිකව විශාල පිරිසක් මෙම ස්ථානයට විනෝද වීම සඳහා පැමිණෙනවා.

එලෙස පැමිණෙන ඔබට කොළඹ වරාය නගරයේ දිය කඩනය ආශ්‍රිතව වර්ධනය වන කොරල්පරය නැරඹීමට, වරාය නගර පරිපාලනය මේ වනවිට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.

එපමණක් නොව, පෝර්ට් සිටි පරිශ්‍රයට පැමිණෙන ඔබට මුහුදු කිමිඳුම් ක්‍රීඩාවේ ද නිරත වීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ පිහිටි ‘කොරල් වෝල් කිමිඳුම් සහ පරීක්ෂණ ආයතනය’ මගින් වරාය නගරය වටා පිහිටි මුහුදු තීරයේ කොරල්පර නැරඹීම සහ මුහුදු ආශ්‍රිත ගවේෂණ සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ දියකඩනය ආශ්‍රිත වර්ධනය වන කොරල්පරය ආරක්ෂා කිරීම සහ ඒ ආශ්‍රිතව කොරල් වගා කිරීමට ‘කොරල් වෝල් ආයතනය’ මේ වනවිටත් ව්‍යාපෘතියක් ආරම්භ කර අවසන්.

ඔවුන් කරන එම කොරල් වගා කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මුහුද යට කිමිදෙමින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව හිරු ප්‍රවෘත්ති කණ්ඩායමට හිමි වුණා.

කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට පැමිණෙන ඔබට ‘කොරල්වෝල් ආයතන’ පරිශ්‍රයට පැමිණියහොත් උදෑසන 7 සිට පස්වරු 4 දක්වා කිමිදුම් ක්‍රීඩාව මෙන්ම කොරල්පර නැරඹීමේ අවස්ථාව ද හිමි වනවා.

+


මුහුද මැදදී ප්‍රහාරයකට ලක් වූ යාපනයේ ධීවරයෙකු ජීවිතක්ෂයට

(26.01.2025 – 12:49 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වඩමාරච්චි, වතිරායන් මුහුද මැද ධීවර රාජකාරියේ නිරතවෙමින් සිටියදී නඳුනන පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ ධීවරයෙකු ඊයේ (25) පස්වරුවේ මරදන්කේණි රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී, මෙම ධීවරයා තවත් ධීවරයෙකු සමග මුහුදු ගොස් සිටියදී අධික වේගයෙන් එම ස්ථානයට පැමිණි බෝට්ටුවක සිටි පිරිසක් මේ ධීවරයාටත් අනෙක් ධීවරයාටත් පහර දී තිබෙනවා.

එම අවස්ථාවේදී, අනෙක් ධීවරයා මුහුදට පැන පසුව බෝට්ටුවේ එල්ලී කෑ ගැසීමෙන් අනතුරුව ඒ ආසන්නයේ සිටි වෙනත් ධීවරයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව (2) බේරා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

පහර කෑමෙන් බරපතළ තුවල ලැබූ එක් ධීවරයෙකු මරදන්කේණි රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 46 ක් වන මතියාස් බෙනඩික්ට් වින්සන්ට් නමැති වතිරායන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

ප්‍රහාරයට පැමිණි පිරිස මේ ධීවරයින් දෙදෙනාගේ (2) බෝට්ටුව තුළ තිබූ රුපියල් ලක්ෂ අටක් (8) පමණ වටිනා දැල් තොගයක්ද පිහිවලින් කපා බෝට්ටුවටද උල් ආයුධයකින් ඇන අලාභ හානි සිදු කොට තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ, මෙම ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තවමත් අනාවරණය නොවූ බවයි.

එමෙන්ම, මෙලෙස මියගිය ධීවරයාට විරුද්ධ ධීවරයින් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි මරදන්කේණි පොලිසිය සැකකරනු ලබන්නේ ෴


අපහාස චෝදනාවකට හිටපු ආණ්ඩුකාර රංජිත්, අමාත්‍ය සමන්තගෙන් රුපියල් මිලියන 100 ක වන්දි ඉල්ලයි

(26.01.2025 – 12:24 +0530 – hirunews.lk/sinhala)

වැවිලි කර්මාන්ත අමාත්‍ය ‘සමන්ත විද්‍යාරත්න’ විසින් හිටපු ආණ්ඩුකාර ‘රංජිත් කීර්ති තෙන්නකෝන්’ හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15 ක් පමණ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් අමාත්‍යවරයාට එන්තරාවාසියක් යොමු කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ, 2024 ජනවාරි 09 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී ‘අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?’ යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදු කරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට’ අපහාස කර ඇති බවයි.

එමෙන්ම, ඇමති සමන්තගේ ප්‍රකාශයෙන් තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් සම්බන්ධයෙන් ‘පහත් මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි’ ද, ඇමතිවරයාගේ ප්‍රකාශයේ ‘අන්තර්ගතය අසත්‍ය වන අතර, එය මගේ සේවාදායකයාට අපහාසාත්මක වන බව’ එච්.ඩී.සී.ඩී. හතුරුසිංහ නීතිඥ විසින් මහියංගනය, රදීමාලියද්දේ සමන්ත විද්‍යාරත්න ගේ ලිපිනයට යොමු කර ඇති එන්තරාවාසියේ සඳහන්.

කීර්ති තෙන්නකෝන් ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී ඇමති විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර ඇති බවට එම ලිපිය මගින් කරුණු දක්වා තිබෙනවා.

එන්තරාවාසියේ තවදුරටත් දැක්වෙන්නේ කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව අරමුණු කර ඇති බව’යි.

තව ද, ‘හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද, වර්තමානයේ සමාජයේ මත සාදන්නෙකු ලෙස ද කටයුතු කරන කීර්ති තෙන්නකෝන් හට සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශ මගින් බරපතල හානියක්, හොඳ නමට සහ කීර්ති නාමයට, චරිතයට සහ ගෞරවයට හානි සිදුවී ඇති බව’ එම එන්තරවාසියේ සඳහන්.

එහිදී ඔහුට සිදුකළ හානිය රුපියල් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කථිකයා / කර්තෘට ගෙවිය යුතු මුදල ගෙවීමට පෞද්ගලිකව බැඳී සිටින බවත් සඳහන්.

ඒ අනුව ලිපිය ලැබී දින 14 ක් ඇතුළත එම රුපියල් මිලියන 100 ක් ඉල්ලා සිටින බවත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොලී සහ නඩු වියදම් ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරාවාසියේ සඳහන්.

+


නුවරඑළිය ශාන්තිපුර ‘ඊගල්ස්’ නැරඹුම් ස්ථානය දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කෙරේ

(26.01.2025 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට අඩි 6182 පමණ උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වන ශාන්තිපුර ගම්මානය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලැබූ නුවර එළිය ශාන්තිපුර ‘ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) අද (26) උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ඇතුළු නිලධාරීගේ සහභාගිත්වයෙන්.

‘ඊගල්ස් නැරඹුම් ස්ථානයේ (Eagle’s View Point) සිට සංචාරකයින්හට නුවරඑළිය නගරය, පේදුරු තැන්න, පිදුරුතලාගල, හග්ගල, ග්‍රෙගරිවැව, කිකිළියාමාන්න කඳු පංතිය, ශ්‍රී පාදය, සප්තකන්‍යා කදුවැටිය සමගින් ඌව පළාතේ සොබා දහමේ සුන්දරත්වය නැරඹීමේ හැකියාව පවතිනවා ෴

+++

+

+


පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 24,000 ක්

(26.01.2025 – 11:39 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය වසරේදී සිදු කළ වැටලීම්වලින් රුපියල් මිලියන 207 කට අධික දඩ මුදලක් නියම කර තිබෙනවා.

එහිදී වැටලීම් 24,761 ක් සිදුකර ඇති අතර, නඩු පැවරීම් 23,953 ක් සිදුකර ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම, තොග සගවා තබා ගැනීම, බිල්පතක් ලබා නොදීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර තිබුණා ෴


ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ආචාර්යවරයා යාපනයේ දේශනයක් අතරතුර ජීවිතක්ෂයට

(26.01.2025 – 10:29 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස සේවය කරනු ලබන ආචාර්යවරයෙකු යාපනයට පැමිණ ඊයේ (25) දිනයේදී එම ප්‍රදේශයේ ගොවීන්ට හා විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට දේශනයක් කරමින් සිටි අතරවාරයේ දී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොන්නතුරෙයි රවිචන්ද්‍රනේෂන් නැමති 58 හැවිරිදි යාපනයේ ඉපිද පසුව කැනඩාවට ගොස් ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු සහ ආචාර්‍යවරයෙකු ලෙස සේවය කරනු ලැබූ අයෙක්.

යාපනය විශ්වවිද්‍යාලයේ ආරාධනයකට අනුව ඔහු උතුරු පළාතේ භූගෝලීය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශන කීපයක් පැවැත්වීම සඳහා යාපනයට මීට දින දහයකට (10) පෙර පැමිණ තිබෙනවා.

එසේ පැමිණීමෙන් පසු යාපනය ප්‍රදේශයේ කෘෂිකාර්මික මධ්‍යස්ථානයක ඊයේ (25) දින දේශනයක් කරමින් සිටින අතරතුර දී ඔහු එක්වරම බිම ඇද වැටී ඇති අතර, වහාම ඔහුව යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව සිට තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර, මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා ෴


ගාල්ල, අඟුළුගහ ප්‍රදේශයේදී බස් රථ තුනක් (3) එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්

(26.01.2025 – 09:47 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ඉමදූව – අඟු‍ළු‍ගහ ප්‍රදේශයේදී අද (26) පෙරවරුවේ බස් රථ තුනක් (3) එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 29 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අද (26) පෙරවරු 08:30 ට පමණ මෙම අනතුර සිදුව තිබුණු අතර, අනතුරට පත්ව තිබුණේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ දෙකක් (2) සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක්.

අඟු‍ළුගහ හන්දියේදී එක් බස්රථයක් නවතා තිබී ඇති අතර, පිටුපසින් පැමිණි තවත් බස් රථ දෙකක් (2) එහි ගැටී තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 29 දෙනාගෙන් 15 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර සදහා ඉමදූව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ අතර 14 දෙනෙතු ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, බරපතල තත්වයේ පසුවූ තුවාලකරුවන් 06 දෙනෙකු මේ වනවිට කරාපිටිය රෝහලට මාරු කර යවා ඇති බවයි ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *