නිවෙසක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි කතක් ඇතුළු කල්ලියක් විශ්‍රාමික යුවළක් සිහිසුන් කර රු. ලක්ෂ 12 ක රන් බඩු කොල්ලකයි
(25.05.2026 – hirunews.lk)
නිවෙසක් මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි, සල්වාරියකින් සැරසුණු කාන්තාවක ඇතුළු තිදෙනෙකු (3) ගෙන් යුත් සංවිධානාත්මක කොල්ලකල්ලියක්, දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික රියැදුරු සහායකයකු සහ ඔහුගේ බිරිඳ සිහිසුන් කර රුපියල් ලක්ෂ 12 කට අධික වටිනා රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසනවා.
කොල්ලකන ලද දේපළ අතර පිරිමි රන් මුදුවක් (1), කාන්තා රන් මුදු 3 ක් සහ රන් කරාබු යුගලක් (1) වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
පැමිණිලිකාර විශ්‍රාමික රියැදුරු සහායකයා සිය බිරිඳ සමඟ මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ පදිංචිව සිටිනවා.
මීට සති දෙකකට (2) පමණ පෙර, සල්වාරියකින් සැරසුණු වයස අවුරුදු 40 ක පමණ කාන්තාවක පැමිණ, මොවුන්ගේ නිවස පිහිටි මහලට ඉහළ මාලයේ නිවසක් මිලදී ගැනීමට පැමිණි බව පවසා ඇතැයි වාර්තා වෙනවා.
පසුව ඇය වතුර වීදුරුවක් ඉල්ලා පානය කර, මද වේලාවක් සුහදව කතාබහ කොට පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
අනතුරුව එකී කාන්තාවම ඊයේ (24) නැවතත් එම නිවසට පැමිණ ඉහළ මහලේ නිවස මිලදී ගැනීම සඳහා එදින එහි අයිතිකරු සහ තැරැව්කරු (බ්‍රෝකර්වරයා) පැමිණෙන බවත්, ඔවුන් එනතෙක් රැඳී සිටීමට අවශ්‍ය බවත් පවසා ඇය නිවසට ඇතුළු වී තිබෙනවා.
එලෙස මිනිත්තු 10 ක් පමණ කතාබහ කරමින් සිටින අතරතුර, ඇයගේ සැමියා බව පවසමින් තවත් පුද්ගලයෙකු නිවසට පැමිණි බව පොලිසිය පවසනවා.
මද වේලාවකින් තැරැව්කරු ලෙස පෙනී සිටි පුද්ගලයා සමඟ තවත් තරුණයෙකු ද එම නිවසට පැමිණ ඇත. එහිදී තැරැව්කරු ලෙස රඟපෑ පුද්ගලයා එක්වරම පැමිණිලිකරු අසලට ගොස් ඔහුගේ කට අතින් වසාගෙන තිබේ. පැමිණිලිකරු හුස්ම ගැනීමට අපහසුවෙන් ඔහුගෙන් මිදීමට උත්සාහ කරද්දී, දොර අසල සිටි තරුණයා තමා සතු බෑගයකින් සුදු පැහැති පුළුන් ගුලියක් ගෙන පැමිණිලිකරුගේ නාසයට අල්ලා ඇති බවට වාර්තා වෙනවා.
එහිදී ඇති වූ ක්ලාන්ත ගතිය සමඟ පැමිණිලිකරු බිම වැටී තිබෙනවා.
එම අවස්ථාවේදී තැරැව්කරු ලෙස පෙනී සිටි පුද්ගලයා, බිම වැටුණු පැමිණිලිකරුගේ දකුණු අතේ වෙදගිල්ලේ තිබූ රන් මුදුව ගලවාගෙන ඇත. ක්ලාන්ත ගතිය නිසා නැගිටීමට නොහැකි වුවද, සැකකරුවන් සිදු කරන සියල්ල තමන්ට හොඳින් නිරීක්ෂණය වූ බව පැමිණිලිකරු පොලිසියට පවසා ඇත.
පසුව එම පිරිස දිවා ආහාරය පිසමින් සිටි පැමිණිලිකරුගේ බිරිඳ අසලට ගොස් ඇයගේ නාසයට ද අදාළ සුදු පැහැති පුළුන් ගුලිය අල්ලා සිහිසුන් කර ඇති බවත්, ඇය බිම වැටුණු පසු කන්වල තිබූ කරාබු ජෝඩුව සහ අතේ තිබූ රන් මුදු කොල්ලකා ඇති සැකකරුවන්, නිවසේ ඉදිරිපස දොර වසා දමා පළා ගොස් ඇති බවටත් විමර්ශනවලදී හෙළි වූ බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අගතියට පත් යුවළ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, කොල්ලකල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
Hiru TV Salakuna Live | Wimal Weerawansa | Episode 530 | 2026-05-25
+
Derana 360 | ධනනාත් ප්‍රනාන්දු – ආර්ථික විශ්ලේශක | With Dhananath Fernando
+
ජයශ්‍රී මහා බෝසමිඳුන් බරපතළ අනතුරක | තවත් බරපතළ ආන්දෝලනාත්මක සිදුවීමක් යටගහලා (25.05.2026)
+
දුම්කොළ භාවිතය නිසා වසරකට මරණ 22,000 ක්
(26.05.2026 – 09:09 +0530 – sinhala.adaderana.lk)
දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.
එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා සඳහන් කළේ, දුම්කොළ භාවිතය හේතුවෙන් රෝග 200 කට වැඩි සංඛ්‍යාවක් වැලඳෙන බවට හඳුනාගෙන ඇති බවය.
2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මේ බව සඳහන් කළේය.
“අවුරුද්දකට ආසන්න වශයෙන් 22,000 කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මියයනවා මේ පුංචි රට ඇතුළේ දුම්කොළ භාවිතය නිසා. ආර්ථික හානි ගැන කතා කළොත් වාර්ෂිකව රුපියල් බිලියන 214 කට ආසන්න ප්‍රමාණයක් 2016 ඇස්තමේන්තුවට අනුව වියදම් කරනවා. නෙළුම් කුලුනක් හදනවා වගේ. දුම්කොළ නිසා සිදුවන හානිය නඩත්තු කරන්න අපි වියදම් කරන ප්‍රමාණය නෙළුම් කුලුනු 16 ක් හදන්න යන මුදල් ප්‍රමාණයට. හයිවේ දෙකක් (2) හදන්න යන මුදල්.”
දුම්වැටි භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හානිය පිළිබදව ද එම මාධ්‍ය හමුවේ දී දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙලෙස පැහැදිලි කළේය.
“ලංකාවේ විතරක් මිලියන 9-11 ත් අතර ප්‍රමාණයක් සිගරට් ෆිල්ටර්ස් පරිසරයට මුදාහරිනවා. මේ පාවිච්චි කරන ලද ෆිල්ටර්ස්වල උග්‍ර රසානික සහ පිළිකා ද්‍රව්‍ය අඩංගුයි. මේවායෙන් සිදුවන පරිසර, සෞඛ්‍ය හානිය අනන්තයි” ෴
හොර ටින් මාළු කම්හලක් වටලයි : රු. ලක්ෂ 18 ක සැමන් තොගයකට සීල්
(26.05.2026 – hirunews.lk)
බලපත්‍ර හෝ කිසිදු නිත්‍යානුකූල රෙගුලාසියකට අනුකූල නොවී සඳලංකාව ඉරබඩගම ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ටින් මාළු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක් අද (26) දහවල් පාරිභෝගික සේවා අධිකාරිය විසින් වටලා තිබෙනවා.
මෙම වැටලීමේදී එහි තිබූ රුපියල් ලක්ෂ 18 කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් නිලධාරීන් භාරයට ගෙන තිබුණා.
වැටලීම සිදුකරන අවස්ථාවේදීත් වෙළඳපොළට නිකුත් කිරීම සඳහා සැමන් ටින් 3,500 කට ආසන්න ප්‍රමාණයක් ඇසුරුම් කරමින් සිටි බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.ඒ.සී.පී. පෙරේරා සඳහන් කළේ.
වැඩි ලාභ අපේක්ෂාවෙන් මහජන සෞඛ්‍යය අනතුරේ හෙළමින් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබෙනවා.
මෙහි ඇති බරපතලම කරුණ වන්නේ නිෂ්පාදිත දින සහ කල් ඉකුත් වීමේ දින වෙනුවට පාරිභෝගිකයන් මුලා කරමින් ව්‍යාජ දින මුද්‍රණය කර වෙළඳපොළට දැමීමට සූදානම් කර තිබීමයි.
වැටලීමේදී සැමන් තොගයට අමතරව ටින් මාළු ඇසිරීමට සූදානම් කර තිබූ ඇසුරුම් පෙට්ටි සහ දවටන, ව්‍යාජ දින මුද්‍රණය කිරීමට යොදාගත් විශේෂ යන්ත්‍රය හා නිෂ්පාදනයට සම්බන්ධ තවත් උපකරණ රැසක් භාරයට ගෙන තිබෙනවා.
මහජනතාවගෙන් සහ වෙළෙඳුන්ගෙන් ලද රහසිගත තොරතුරුවලට අනුව පාරිභෝගික සේවා අධිකාරිය මෙම වැටලීම සිදුකර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන මුද්‍රා තබන ලද සියලුම ටින් මාළු තොග සහ උපකරණ ඉදිරි දිනකදී කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට නියමිතයි ෴
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 12 ක ජල කප්පාදුවක්
(26.05.2026 – hirunews.lk)
හෙට (27) ප.ව. 07:00 සිට අනිද්දා (28) පෙ.ව. 07:00 දක්වා පැය 12 ක් මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ෴
දෙනියායේ උණ රට පුරා…
(26.05.2026 – lankacnews.com)
රට පුරා ප්‍රදේශ කිහිපයකින්ම විශේෂයෙන් කුඩා දරුවන් අතර මොළේ උණ හෙවත් මෙනින්ජයිටිස් රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් සංජීව මහතා අනතුරු අඟවා සිටියි.
පසුගිය අප්‍රේල් මස 15 වනදා පමණ දෙනියාය ප්‍රදේශයේ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආශ්‍රිතව මුලින්ම වාර්තා වූ මෙම රෝගී තත්ත්වය මැයි මස මුල් සතිය වන විට රෝගීන් 80 කට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වූ අතර, මේ වන විට එය ඌව සහ මධ්‍යම පළාත්වල ප්‍රදේශ ගණනාවකට ව්‍යාප්ත වෙමින් පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව දියතලාව රෝහලෙන් රෝගීන් 30 කට ආසන්න පිරිසක් ද, රිකිල්ලගස්කඩ රෝහලෙන් රෝගීන් 25 ක් සහ වැලිමඩ රෝහලෙන් රෝගීන් 20 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මහනුවර ජාතික රෝහලෙන් සහ බදුල්ල ප්‍රදේශයෙන් ද රෝගීන් වාර්තා වෙමින් පවතී.
මෙම රෝගී තත්ත්වය ‘එන්ටරෝ වෛරස්’ නැමති වෛරස් ආසාදනයක් හේතුවෙන් වැළඳෙන බවත්, විශේෂයෙන් පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ උපකාරක පන්ති මේ වන විට ප්‍රධාන අවදානම් කලාප ලෙස හඳුනාගත යුතු බවත් ඒ මහතා සඳහන් කරයි. අපිරිසිදු ජලය හෝ ආහාර හරහා මෙන්ම ශ්වසන පද්ධතියේ බිඳිති සහ සමීප ස්පර්ශය මගින් ද රෝගය ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. තදබල උණ, හිසරදය, වමනය, ආලෝකය දෙස බැලීමේ අපහසුව සහ ඇඟපත වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, වෛරසයට නිරාවරණය වී දින 3 ත් 7 ත් අතර කාලයකදී මෙම ලක්ෂණ මතු වේ.
රෝගය වළක්වා ගැනීම සඳහා සැමවිටම උණු කර නිවාගත් ජලය පානය කිරීමටත්, නිවසේ පිසූ ආහාර පමණක් දරුවන්ට ලබා දීමටත්, දෑත් සේදීම සහ වැසිකිළි පිරිසිදුව තබා ගැනීම ඇතුළු පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් වෛද්‍ය චමල් සංජීව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් දරුවාට රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම ඇති රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු අතර, අනෙක් දරුවන්ට රෝගය බෝ වීම වැළැක්වීම සඳහා එවැනි රෝගී දරුවන් පාසල් හෝ උපකාරක පන්ති වෙත යැවීමෙන් වළකින ලෙස ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ අනවශ්‍ය බියක් ඇති කර නොගෙන සියලු දෙනා වගකීමෙන් කටයුතු කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි ෴
මහ බැංකුවේ ‘රැවටෙන්න එපා’ නිවේදනයට උත්තර : ‘රැවටෙන්න එපා 15 කින්’
(26.05.2026 – lankacnews.com)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් මැවීමක් සිදුකරමින් ඇති බවට ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය’ විසින් පළ කළ මාධ්‍ය නිවේදනයකින් පසුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය සමාජ ජාල ගිණුමේ පළ කර තිබූ ‘රැවටෙන්න එපා’ යන සටහනට ප්‍රතිචාරයක් ලෙස ‘ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්දය’ යළි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි විධායක අධ්‍යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය :
රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව 2026 මැයි 25 දින වාක්‍ය දෙකකින් (2) යුතු නිවේදනයක් නිකුත් කර ඇත. එය ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ පුවත්පත් නිවේදනයට දැක්වූ ප්‍රතිචාරයකි. මෙයට මාස 9 කට පෙර ද මහ බැංකුව ‘රැවටෙන්නට එපා!’ සමාජ මාධ්‍ය දැන්වීමක් පළ කළේය.

’ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය විසින් භාණ්ඩාගාර මංකොල්ලය සිදු කර දින 35 ක් ගතවී ඇති නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳව හෝ තම අධීක්ෂණය යටතේ ඇති ක්‍රියාකාරකම් ගැන පැහැදිලි කිරීමක් සිදු කර නැත.
මෙයට පෙර 2015 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මගඩිය අවස්ථාවේ දී ඒ පිළිබඳ අනාවරණය කළේ ද, ‘අර්ජුන මහේන්ද්‍රන්’ දෙවන (2) වාරය සඳහා අධිපති ධූරයට පත් කිරීම වැලැක්වීමට නඩු පවරනු ලැබූවේ දී ‘රජිත් කීර්ති තෙන්නකෝන්’ විසිනි.
2021 දී ‘අජිත් නිවාඩ් කබ්රාල්’ මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට වැලැක්වීමට ‘රජිත් කිර්ති තෙන්නකෝන්’ විසින් නඩු පවරනු ලැබූ නමුත් නීතිපතිවරයා එයට විරුද්ධ වූයේය. 2022 දී මුදල් අච්චු ගැසීම පිළිබඳ මාගේ නිවේදනයටත් එදා මහ බැංකුව ’රැවටෙන්න එපා’ යැයි කී අතර එයින් දින 100 කටත් අඩු කාලයක් තුල රට බුන්වත් භාවය (Bankruptcy) ප්‍රකාශයට පත් කළේය. කබ්රාල් මහතා විදේශගතවීම වැලැක්වීම වැලැක්වීමට අධිකරණ නියෝගයක් ගනු ලැබුවේ රජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.
අප සංවිධානයේ පුවත්පත් නිවේදනයේ දැක්වෙන කරුණු 15 කට මහ බැංකුව සෘජු හා විශ්වසනීය පිළිතුරු ලබාදී නැත. ඩො.මි. 2.5 සිද්ධියෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට නොපැමිණි ලෙසම, මුදල් ලේකම් මාධ්‍ය මඟහරින ලෙසම, මහ බැංකුව ද විෂයගත කරුණට නිශ්චිත කරුණු දැක්වීම් සිදු කරන්නේ නැත.
- රැවටෙන්න එපා! 2025 ජනවාරි මස රු. බිලියන 14,439.1 ක් වූ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රු. බිලියන 16,585.7 දක්වා රු. බිලියන 2,146.1 (ට්‍රිලියන 2.1) කින් ප්‍රසාරණය වී ඇත. එහි බලපෑම මේ වන විට ආර්ථිකයේ සෑම අංශයක් විසින්ම අත්විදිමින් ඇත.
- රැවටෙන්න එපා! 2025 දී රු. බිලියන 1,653.3 ක් ද, 2026 ජනවාරි – මාර්තු දක්වා රු. බි. 610.7 කින් ද ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) (තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම) පුළුල් වී ඇත.
- රැවටෙන්න එපා! මහ බංකුව වානිජ්‍ය බැංකුවෙතින් ඩොලර් මිලදී ගැනීමට, සිය සේප්පුවල තැම්පත් කර ඇති රුපියල් නෝට්ටු භාවිත කරයි. එය මුදල් මැවීමකි (අච්චු ගැසීමකි)
- රැවටෙන්න එපා! ලංකා අර්ථික අර්බුදය ලොව පුරා යහපත් නොවන සිරස්තල මවමින් ඇත. ලංකාවේ උද්ධමනය ගැන ගෝඨාභය සමයේ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ Steve Hanke සිය අලුත්ම X පණිවුඩයේ ලංකාව ගැන දක්වන්නේ, INFLATION STORY = MONEY SUPPLY STORY ලෙසිනි. 2021 අර්බුදය සමයේ දී ද මහ බැංකුව Steve Hanke නිවේදන වැරදි බව නැවත නැවත ප්‍රකාශ කළ නමුත් මහා ව්‍යසනයක් වලක්වා ගත නොහැකි වූවේය.
- රැවටෙන්න එපා! මුදල් අච්චු ගැසීම ගැන වසර 15 ක් සතිපති වාර්තා සපයන රංග සිරිලාල් X පණිවුඩයකින් පවසන්නේ, Rupee under pressure with Central Bank printing money : Rupee depreciated 7.2% against the US dollar so far this year to 353.17 rupees from last weeks 327.35 & last years 299.61. @CBSL printed 309.4 billion rupees in March bringing first three (3) months printing to Rs. 610.7 billion යනුවෙනි. මහ බැංකුව මේ ගැන කරුණු නොදක්වයි.
- රැවටෙන්න එපා! නව මුදල් නෝට්ටු මුද්‍රණය පුළුල් ලෙස දෛනික පරිහරණයට එක්වී ඇත. 2025 ජනවාරි 01 දිනට ට ‘සංසරණයේ පැවති ව්‍යවහාර මුදල්’ රු. මිලියන 1,351,312 ක් විය. 2026 මැයි 22 ට එය රු. මිලියන 1,655,268 දක්වා රු. මිලියන 303,956 ක් වැඩි වී ඇත. (මහ බැංකු වාර්තාව තුල වෙනස පැහැදිලිව වටහා ගත හැකිය.)
- රැවටෙන්න එපා. මහ බැංකුවේ අධිපතිවරයා වානිජ්‍ය බැංකු ප්‍රධානීන් හා බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා දෙකක (2) දී ඩොලරයේ අගය රු. 329/335 සීමාවේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත.
- රැවටෙන්න එපා! ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රු. 330 ක පාලන මිලක් (නිල නොවන ලෙස) ප්‍රකාශයට පත් කර ඇත.
- රැවටෙන්න එපා! ආනයනකරුවන්ට දින 90 ක් තුල මුදල් රටට ගෙන ඒමට දී තිබූ අවස්ථාව මේ වන විට දින 30 දක්වා සීමා කර ඇත.
- රැවටෙන්න එපා! උකස් රත්‍රං හා අදාළව 70% ක උපරිම සීමාවක් මහ බැංකුව පනවා ඇත.
- රැවටෙන්න එපා! වාහන ව්‍යාපාරය අවුල් ජාලාවක් බවට පත්ව ඇත.
- රැවටෙන්න එපා! මැයි 24 දින අනාවැකි පළ කළ ලෙසම, අද (මැයි 26) මහ බැංකුව පොලී අනුපාත 8.75% දක්වා ඉහළ නංවා ඇත.
- රැවටෙන්න එපා! ඉන්ධන මිල ද එලෙසම ඉහළ නැංවීම හැර රජයට වෙනත් විකල්පයක් නැත.
- රැවටෙන්න එපා! 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් මස අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සොච්චමකින් පමණී. 2023 – 2024 වසරවල සෑම මසකට ඩො. මි. 175 බැගින් සංචිත වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත් වූ නමුත්, අද විදේශ සංචිත එක තැන පල්වෙමින් ඇත.
- රැවටෙන්න එපා! 2024 නොවැම්බර් මස රු. බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රු. බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉහතින් දැක්වූ කරුණු 15 ගැන දත්ත පාදක විග්‍රහයක් සිදු කරන තුරු කරුණු වසන් කිරීමට නිකුත් කරන පුවත්පත් නිවේදන හා සමාජ මාධ්‍ය පෝස්ට් සඳහා රැවටිය යුතු නැත.
මහ බැංකුවේ රැවටෙන්නට එපා! පළමු දැන්වීම මෙයට මාස 9 කට පෙර පළ කර ඇත. එතැන් පටන් අද දක්වා,
- මහ බැංකුව විසින් ලිපිගොනු සකස් කර මෙහෙයුම් ආරම්භ කළ ගිණුමකින් ඩො.මි. 2.5 ක් අතුරුදන්ව ඇති අතර එයින් මේ දක්වා සොයාගෙන ඇත්තේ ඩොලර් 200 ක් පමණී.
- මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති NDB බැංකුවේ රු. බිලියන 13 ක් අතුරුදන්වී රටෙන් පිටතට මුදල් රැගෙන ගොස් ඇත.
- මහ බැංකු අධීක්ෂණය යටතේ ඇති මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරුවේ දී, රු. මිලියන 656 ක වැඩිපුර ගෙවීමක් සිදු කර ඇත.
- මහ බැංකුව අධීක්ෂණය යටතේ ඇති සම්පත් බැංකුවේ මහනුවර ශාඛාවේ දැවැන්ත වංචාවක් සිදුව ඇත.
- පිරමිඩ ජාවාරම අඛණ්ඩව ඉදිරියට යන්නේය.
- ශ්‍රී ලංකන් සමාගමේ චෙන්නායි හා මැදපෙරදිග මුදල් හුවමාරුවේ දී මුදල් අතුරුදන්වී ඇත.
- තැපැල් දෙපාර්තමේන්තුව ඇමරිකානු තැපැල් සේවය (USPS) වෙත ගෙවූ ඇමරිකානු ඩොලර් 625,000 ක් ද තුන්වන (3) පාර්ශවයක් අතට පත්ව ඇත.
- මාර්ග සංවර්ධන අධිකාරියේ RDA ද්විත්ව මුදල් ගෙවීම් සිදු කරඇත.
- අස්වැසුම ලාභීන් 90,000 කට ද්විත්ව/වැඩිපුර මුදල් ගෙවා ඇත. එම මුදල් තවමත් අයකර ගැනීමට හැකිව නැත.
රැවටෙන්නට එපා!
රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ / ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
2026 මැයි 26
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴