සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි

සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි


සංචාරක ආකර්ෂණය මත නව ‘ඇල්ල ඕඩිසි දුම්රිය සේවා’ කිහිපයක් ඇරඹෙයි

(25.01.2025 – 14:50 +0530 – sinhala.adaderana.lk)

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවති අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව ‘ඇල්ල ඔඩිසි – කැන්ඩි’ සහ ‘ඇල්ල ඔඩිසි – නානුඔය’ ලෙස නව දුම්රිය දෙකක් (2) පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ‘ඇල්ල ඕඩිසි – කලම්බු’ දුම්රියේ අමතර ගමන්වාරයක් ද යෙදවීමට නියමිතය.

‘ඇල්ල ඕඩිසි – කැන්ඩි’ දුම්රිය පෙබරවාරි මස 01 වනදින සිට සෑම සති අන්තයකම ‘මහනුවර සහ දෙමෝදර’ අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන් කළේය.

‘ඇල්ල ඕඩිසි – නානුඔය’ දුම්රිය පෙබරවාරි මස 10 වනදින සිට, ‘නානුඔය සහ බදුල්ල’ අතර ධාවනයට එක්කිරීමට නියමිතය.

‘කොළඹ සහ බදුල්ල’ අතර ධාවනය වන ‘ඇල්ල ඕඩිසි – කලම්බු’ දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිතය.

මීට අමතරව ජනවාරි මස 31 වනදා සිට ‘කොළඹ සහ කන්කසන්තුරෛයි’ අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴


විදුලි රැහැන් කණුවක් කඩා වැටී විදුලි සේවකයින් තිදෙනෙකු (3) රෝහලට

(25.01.2025 – 21:58 +0530 – sinhala.adaderana.lk)

මොණරාගල සෙවනගල ප්‍රදේශයේ විදුලි රැහැන් කණුවක් කඩා වැටී විදුලි බල මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඉන් එක් (1) අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු ඇඹිපිටිය දිස්ත්‍රික් රොහලන් කරාපිටි රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙම සේවකයින් විදුලි රැහැන් සවි කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අඹිලිපිටිය කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටි විදුලි කාර්මිකයින් තිදෙනෙකි (3).

එම අවස්ථාවේදී එක් කාර්මිකයෙකු විදුලි රැහැන් කණුව මත සිට විදුලි රැහැන් සවිකරමින් සිටියදී මෙලෙස විදුලි කණුව මැදින් කඩා වැටී බිමට පතිත වී තිබේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරනුයේ ‘ප්‍රමිතියෙන් තොර විදුලි රැහැන් කණු භාවිත කිරීම’ හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බවය ෴


කෑම්ප් එකේ ආයුධයෙන් පාතාලේ ඕඩර් එකට මිනී මරණ අපරාධ රාජ්‍යයකද අපි ජීවත් වෙන්නේ ? (23.01.2025)

+


බඳින තුවක්කුවක් පත්තුවීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට

(26.01.2025 – 23:10 +0530 – hirunews.lk/sinhala)

මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළීන් පිහිටි ඝණ කැලෑවේ ඇති නීතිවිරෝධී කසිප්පු තිත්පලක් වැටලීම සදහා ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට බදින තුවක්කුවක් පත්තුවී වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාල බදින තුවක්කව ඇටවූ බවට සැක කරන පුද්ගලයෙකු මීගහකිවුල මීගහදෙණිය හදුන්වගාව ප්‍රදේශයේ දී අද (26) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අග්ගලාඋල්පත හදුන්වගාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරැ අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

සිද්ධීයෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


‘හිරු’ අනාවරණය කළ දුම්රිය ඊ ටිකට් වංචාවේ තවත් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

(26.01.2025 – 22:25 +0530 – hirunews.lk/sinhala)

මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000 ක් වටිනා දුම්රිය ඊ-ටිකට් පත් දෙකක් (2) බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට (2) රුපියල් 27,000 කට අලෙවි කළ බව කියන ත්‍රීරෝද රථ රියදුරෙක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනා (2) ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කාන්තාවන් දෙදෙනා (2) එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ-ටිකට් පත් දෙක (2) අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000 ක මුදලකට ලබාගත් බවයි.

පසුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ-ටිකට්පත් දෙක (2) බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට (2) අලෙවි කිරීම සඳහා ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවයි.

විදේශිකයින්ට අධික මිල ගණන් යටතේ දුම්රිය ඊ-ටිකට් පත් විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් මුල් වරට රටට අනාවරණය කරන ලද්දේ ‘හිරු ප්‍රවෘත්ති’ හරහායි.

ඒ අනුව, ඊ-ටිකට් ජාවාරමට අදාළව සැකකරුවන් 05 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අත්අඩංගුවට ගත් යෝෂිතට විලංගු නොදැමූ හේතුව පොලිසියෙන් පහදයි

(26.01.2025 – 21:41 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයේ සංසරණය වූ යෝෂිත රාජපක්ෂගේ ඡායාරූපය ලබාගෙන ඇත්තේ පොලිස් නිලධාරීන් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.

යෝෂිත රාජපක්ෂව අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණෙනතුරු බෙලිඅත්ත අධිවේගී මුරපොළෙහි රඳවාගෙන තිබෙන අවස්ථාවේ යම්කිසි මිතුරෙක් හෝ යම්කිසි අයෙකු විසින් ලබාගත් මෙම ඡායාරූපය ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර අත් අඩංගුවට පත් යෝෂිත රාජපක්ෂට මාංචු නොදැමීමට හේතුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළා.

මාංචු දැමීම සිදුකරන්නේ යම්කිසි නෛතික පදනමක් මත බවත්, සිරභාරයට ගැනීමේදී විරුද්ධත්වයක් පළකරන අවස්ථාවක සැකකරු පාලනය කර ගැනීම සඳහා සිදුකරන උපක්‍රමයක් ලෙස අත්විලංගු දැමීම සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එවැනි අවස්ථාවක් නොමැතිව මාංචු දැමීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පවසා සිටියා.

එමෙන්ම, එය තීරණය කරනු ලබන්නේ, එම මොහොතේ එම සිදුවීමේ සිටින විමර්ශන නිලධාරීන් බවත් මෙම සිදුවීමේදී පොලිසිය අතින් කිසිඳු වරදක් සිදුව නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, බන්ධනාගත කළ යෝෂිත රාජපක්ෂ සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+++

+


අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුම යටතේ වරෙන්තුකරුවන් 4000 ක් අත්අඩංගුවට

(26.01.2025 – 21:12 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමට යටතේ අපරාධවලට සෘජුවම සම්බන්ධ වූ සැකකරුවන් 249 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 4020 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග කොළඹ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ, පසුගිය කාලයේ සිදුවූ වෙඩිතැබීම්වලට සම්බන්ධ වූ වෙඩ්ක්කරුවන් ඇතුලු 84 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට අමතරව ටී 56 ගිනි අවි 03 ක් සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි 05 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


සිසුවියකට මත්පැන් ලබා දුන් ගුරුවරයෙක්ට ප්‍රදේශවාසීන් පහර දෙයි

(26.01.2025 – 20:48 +0530 – hirunews.lk/sinhala)

19 හැවිරිදි සිසුවියකට මත්පැන් ලබා දී ඇති බවට මතු වූ සැකයක් මත පැල්මඩුල්ල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට ප්‍රදේශවාසීන් පහර දී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට (27) අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

මෝටර් රථයකින් පැමිණ පැල්මඩුල්ල නගර මධ්‍යයේදී ඉන් බැසගත් 19 හැවිරිදි සිසුවියකගේ ගමන් විලාසය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත පිරිසක් ඇගෙන් ප්‍රශ්න කර තිබුණා.

එහිදී ඔවුන් හඳුනාගෙන තිබුණේ, එම සිසුවිය බීමතින් සිට ඇති බවයි.

අනතුරුව ප්‍රදේශවාසීන් මෝටර් රථයේ සිටි පුද්ගලයාට පහර දී ඇති අතර ඔහු සිසුවියගේ උපකාරක පංති ගුරුවරයෙකු බව අනාවරණය වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ උපකාර පංති ගුරුවරයා ද එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවයි.

ගුරුවරයා මෙම සිසුවියට මත්පැන් පානය කිරීමට සලස්වා ඇති බවට මතු වූ සැකය මත එම පිරිස ගුරුවරයාට පහර දී ඇති අතර එම ස්ථානයට පැමිණි පොලිසිය උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍ය පරීක්ෂණ සඳහා සිසුවිය කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා හෙට (27) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පැන්සල්වල දරුවන්ට අහිතකර රසායනික හා බැර ලෝහ

(26.01.2025 – 20:29 +0530 – hirunews.lk/sinhala)

නව පාසැල් වාරය සඳහා දරුවන්ට පැන්සල් සහ පාට පැන්සල් මිල දී ගැනීමේදී එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධානී, වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පැන්සල් සහ පාට පැන්සල් වර්ණ ගැන්වීමට විශාල ලෙස විවිධ රසායනික හා බැර ලෝහ යොදා ගන්නා බවයි.

නව පාසැල් වාරය ආරම්භයත් සමග මේ දිනවල මව්පියන් තම දරුවන්ට පාසැල් උපකරණ මිල දී ගන්නා අතර, එහිදී පැන්සල් සහ පාට පැන්සල්වලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා.

දරුවන් ද ඊට වැඩි ඇල්මක් දක්වන්නේ පැන්සල්වල ඇති වර්ණ ගැන්වීම් සහ ආකර්ශනීය බව හේතුවෙන්.

එම වර්ණ සහ ආකර්ශනීය බව ලබා ගැනීම සඳහා රසදිය, ආසනික්, බැර ලෝහ ඇතුළු තවත් රසායනික ද්‍රව්‍ය යොදා ගන්නා අතර, ඒවා විවිධ මිල ගණන් යටතේ ද අලෙවි වනවා.

විද්වතුන් පෙන්වා දෙන්නේ, එම පැන්සල් සහ පාට පැන්සල් භාවිතයේදී බොහෝ දරුවන් ඒවා මුඛයේ දමා ගැනීමට සැපීමට පුරුදුව සිටින අතර එතුළින් අහිතකර රසායනික රැසක් දරුවන්ගේ මුඛය හරහා ශරීරගත වන බවයි.

මේ අතර වෙළෙඳපොළේ පවතින පැන්සල් සහ පාට පැන්සල්වල ප්‍රමිතිය පිළිබඳව ‘ලංකා විදුහල්පති සංගමය’ ද අදහස් පළ කළා ෴


වර්ෂාවෙන් මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර 80,000 කට බලපෑම්

(26.01.2025 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී යළිත් සහල් ආනයනය කරන්නේ නම් එකවර විශාල ප්‍රමාණයක් ආනයනය නොකර කොටස් වශයෙන් ආනයනය කිරීමට රජය පියවර ගත යුතු බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, එමගින් පාරිභෝගික ජනතාවටත් ගොවි ජනතාවටත් නොදැනෙන ආකාරයෙන් සහල් පිළිබඳ ගැටලු‍ව විසඳාගත හැකි වනු ඇති බවයි.

මේ අතර මහ කන්නයේ වී අස්වනු නෙළීම දිස්ත්‍රික්ක රැසක ආරම්භ වුවත් තවමත් වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත්කර නොමැති අතර වී මිල දී ගැනීමේ රජයේ වැඩපිළිවෙළ ද මෙතෙක් ආරම්භ වී නැහැ.

රජයෙන් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති පසුබිමක සිය අස්වැන්න අඩු මුදලකට පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කිරීමටයි උතුරු මැද පළාතේ ගොවීන්ට සිදුව ඇත්තේ.

වී මිල දී ගැනීමට ආණ්ඩුව මෙතෙක් අපොහොසත් වීම සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් පළ කරන්නේ දැඩි අප්‍රසාදයක්.

එමෙන්ම, මහ කන්නය ආරම්භයේදීම ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වි වගාවන් සදහා දැඩි බලපෑමක් එල්ල වුණා.

අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරන්ඩිකුලම් ප්‍රදේශයේ ද ජලගැලීම් නිසා අස්වනුවලට හානි සිදුව ඇති බවයි ගොවීන් පවසන්නේ.

සේනානායක සමුද්‍රයේ වාන් දොරටු පහ (5) තවදුරටත් අඩි තුන හමාර (3½) බැගින් තවමත් විවෘත කර ඇති අතර ඉන් ගල්ඔයට විශාල ජල ධාරිතාවක් නිකුත් කෙරෙනවා.

ඒ හේතුවෙන් ගල්ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, නෙයිනකාඩුවේ ඉවුරු බිඳී ගිය ස්ථානයෙන් හා පල්ලකාඩුවේ ඉවුරු බිඳී ගිය ස්ථානයෙන් පිටවන ජලය නිසා කුඹුරු අක්කර 500 කට වැඩි ප්‍රමාණයක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

මේ අතර මඩකලපුවේ කෙත් බිම් ද ජලයෙන් යටවීම හේතුවෙන් ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙනේනේ මේ හේතුවෙන් මඩකලපුව වෙල්ලාවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ගොවි බිම් විනාශ වී ඇති බවයි.

වර්ෂාවත් සමග හටගත් ජල ගැලීම්වලින් ප්‍රදේශ රැසක කුඹුරු රැසක් මෙලෙස විනාශ වී ඇති අතර, වී වගා කරන භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 50,000 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වනවා.

මහ කන්නය පුරා ඇති වූ වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් වී වගා කළ හෙක්ටයාර 80,000 කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වී තිබෙන බව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළා.

+

+++

ආණ්ඩුවේ ලියාපදිංචි නොවන කිසිවෙකුට වී තොග රැස්කරන්න බෑ – ජනපති

(26.01.2025 – 11:45 +0530 – sinhala.adaderana.lk)

මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500 ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ එම මුදල වී මිලදී ගැනීම සඳහා රජයක් වෙන්කළ වැඩිම මුදල බවය.

“අපි දැනටමත් රුපියල් කෝටි 500 ක් වෙන්කරලා තියෙන්නේ වී මිලදී ගන්න. මෑත කාලයේ ආණ්ඩුවක් වෙන් කරන ලද වැඩිම මුදල ඒක. අපේ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා. අපේ ගබඩාවල තියෙනවා ලක්ෂ 03 ක ධාරිතාවයක්, අපිට ලක්ෂ 03 ම මිලදී ගන්න බැරි වෙයි. හැබැයි අපි ඒ ගබඩා පුද්ගලික අංශයේ වී එකතු කරන අයට දෙන්න සැලසුම් කරනවා. එතකොට ඒ අය වී ගන්නවා අපේ ගබඩාවේ තැන්පත් කරනවා.

අපි දන්නවා හාල් තියෙන ප්‍රමාණය. අපි පත්තරේ දැන්වීමක් දැම්මා ලංකාවේ සියලුම වී තොග රැස්කරන්නන්, හාල් මෝල් පවත්වාගෙන යන ව්‍යපාරිකයින් සියලුදෙනා ලියාපදිංචි වෙන්න ඕනේ ආණ්ඩුවේ. ආණ්ඩුවේ ලියාදිංචි නොවන කිසිවෙකුට මීට පස්සේ වී තොග එක්රැස් කරන්න බැහැ. වී කොටන්නත් බැහැ. ලියාපදිංචි වෙන්න ඕනේ වගේම සතිපතා ආණ්ඩුවට වාර්තාවක් දෙන්න ඕනේ ඔයගොල්ලෝ කොච්චර වී තොග රැස්කරලා තියෙනවාද කියලා.

මම දැක්ක මේ ළඟදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරියෙක් කෝප් එකට ගිහිල්ල කිව්වා හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් අතුරුදන් කියලා. ඉතින් ඒවා කොහෙද තියෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ආණ්ඩුව සතු සියලු ගබඩාවල එකතුව මෙට්‍රික් ටොන් ලක්ෂ 03 යි. පොළොන්නරුවේ ප්‍රධාන මෝල හිමියන්ගේ මෝල්වල එකතුවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 යි. ඒ සියලුම ගබඩාවල වී ගොඩ ගැහුවත් තියෙන්නේ පුළුවන් මෙට්‍රික් ටොන් ලක්ෂ 06 යි.

ඉවට කියන්න සිදුවෙලා තියෙනවා. රටක් තවදුරටත් ඉවට ගියපු කාලය ඉවරයි. ලෝකයක් තවදුරටත් ගමන්කරන්නේ ඉවට නෙමයි දත්තවලට හැබැයි අපි ළඟ ප්‍රධාන ආහාරය වන වී නිෂ්පාදනය කරන ප්‍රමාණය අපි දන්නේත් නෑ පරිභෝජනය කරන ප්‍රමාණය අපි දන්නේත් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ශක්තිමත් දත්ත පද්ධතියක් හදනවා. මට තව සති දෙකක් (2) දෙන්න සහතික මිලට වඩා අඩුවෙන් හැර වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවේ වෙළෙඳපොළේ නැහැ. සති දෙකක් (2) දෙන්න.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *