හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට


හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

(22.01.2025 – 22:57 +0530 – sinhala.adaderana.lk)

හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 61,46,110 ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

ඒ අනුව එම මුදල් සාපරාධී පරිහරණයක් මෙන්ම පොදු දේපොළ යටතට ගැනෙන වරදක් බැවින් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරු හා සැකකාරිය හෙට (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි ෴


මහනුවර – මහියංගනය මාර්ගය අදත් (22) වසා දැමේ

(22.01.2025 – 20:25 +0530 – hirunews.lk/sinhala)

තෙවැනි (3) දිනටත් මහනුවර – මහියංගන‍ය මාර්ගය අද (22) දිනයේදී කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, අද (22) පස්වරු 06:00 සිට හෙට (23) පෙරවරු 06:00 දක්වා කාලය තුල මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය, මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කළ බවයි පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පවතින බැවින් එය සළකා බලා මෙලෙස මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇති අතර, මාර්ගය වසා තබන කාලසීමාවේදී පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය දන්වා සිටින්නේ.

ඒ අනුව, මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ගයක් ලෙසත්,

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ගයක් ලෙසත් භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙනු ලබන්නේ ෴


මරදාන පොලිසියේ දී ගෙළ වැලලාගෙන මියගිය කාන්තාව ගැන අධිකරණ නියෝගයක්

(22.01.2025 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මරදාන පොලිස් ස්ථානයේ කාන්තා සිරමැදිරිය තුළ කාන්තාවක් ගෙළ වැළලාගෙන සියදිවි නසාගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන තෙක් එම කාන්තාවගේ දේහය පොලිස් මෘත ශරීරගාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ අද (22) නියෝග කළාය.

මෙලෙස මියගොස් ඇත්තේ 250, වවුනිකුලම්, අරම්කඩේ, අම්බාලපුරම් ප්‍රදේශයේ පදිංචි මුත්තයියා කළාදර්ශනී නම් කාන්තාවක්.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ වරදට වරෙන්තු මත ඊයේ (21) දින රාත්‍රියේ මරදාන පොලිසිය විසින් මරණකාරිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඇය තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි අයෙකු බවත් ඇඳ සිටි තම සාය සිරමැදිරියේ යකඩ දොර මත ගැට ගසා මෙම මරණකාරිය ගෙල වැළලාගෙන ඇති බවට මරදාන පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඇය එල්ලී සිටි ආධාරක ඇඳුම් කපා ඉවත් කර කඩිනමින් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය අධිකරණය හමුවේ වාර්තා කර ඇත්තේ.

ජාතික රෝහලට ඇතුලත් කොට හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම කාන්තාව මරණයට පත් වී ඇති අතර, සිද්ධිය සම්බන්දයෙන් ස්ථානීය පරීක්ෂණයක්ද අද (22) දිනයේ මහේස්ත්‍රාත්වරිය විසින් සිදු කරනු ලැබ තිබෙනවා ෴


ගතවූ දින 10 තුළ වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු අත්අඩංගුවට

(22.01.2025 – 16:44 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 10 තුළ දිවයින පුරා සිදු කළ වැටලීම්වලදී අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 167 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම්වල්දී අත්අඩංගුවට ගත් පිරිස අතර විවෘත වරෙන්තුකරුවන් 2,561 දෙනෙකු වන බව සඳහන්.

මේ අතර T56 ගිනි අවි 3 ක් සහ පිස්තෝල 3 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ ෴


විදෙස් රැකියා මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(22.01.2025 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ හා රුමේනියාවේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙකු තළාතුඔය පොලීසිය විසින් (21) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තළාතුඔය, මයිලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තළාතුඔය පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු විසින් රුපියල් ලක්ෂ ගණනින් තම ගිණුමට මුදල් ගෙන්වා ගන්නා බවට මයිලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු තළාතුඔය පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසු පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර එහි දී අනාවරණය වී ඇත්තේ විවිධ නම් වලින් පෙනී සිටිමින් අදාළ ජාවාරම කාලයක් තිස්සේ සිදුකර තිබෙන බවයි.

පැමිණිල්ල සිදුකළ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට සැකකරු මාස 6 ක් තුළ රුපියල් ලක්ෂ 90 ක් පමණ ගෙන්වාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

පැමිණිලිකරු සැකකරුගේ හිතවතෙකු වන බවත් ගිණුමට ලක්ෂ ගණනින් මුදල් බැරවීම සම්බන්ධව සැකසිතී ඔහු අදාළ පැමිණිල්ල කළ බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු පදිංචි නිවස පරීක්ෂා කිරීමේ දී රුපියල් 346,480 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මෙයට අමතරව විදේශ රැකියා ලබාදෙන බවට කූඨ ලෙස සකස් කරන ලද ලේඛන, රබර් මුද්‍රා, විදේශ ගමන් බලපත්‍ර, ජංගම දුරකතන දෙකක් (2) හා රියදුරු බලපත්‍රයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු මෙම ජාවාරම කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් තිබෙන අතර හලාවත, දියතලාව ආදි ප්‍රදේශවල ද මොහු පදිංචිව සිට ඇති අතර විවිධ නම්වලින් පෙනී සිට ඇති බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු කිසිදු මුදලක් ඔහුගේ ගිණුම්වලට ගෙන්වාගෙන නොමැති අතර පැමිණිලිකරු මෙන්ම තවත් පුද්ගලයින් ගණනාවකගේ ගිණුම්වලට මුදල් ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී ඇති බව ද වාර්තා වනවා.

තළාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


තැනින් තැන කැඩෙන ගල් ඔය ඉවුර

(22.01.2025 – 14:44 +0530 – hirunews.lk/sinhala)

අම්පාර ප්‍රදේශයට ඇඳහැළෙන අධික වර්ෂාව හේතුවෙන් සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග ගල් ඔයේ ඉවුර, නෙයිනකාඩු ඇතුළු ප්‍රදේශ කිහිපයකින් බිඳී ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් අම්පාර කුඹුරු අක්කර 3,000 ක් පමණ ජලයෙන් යටවීමෙන් ගොවි ජනතාව පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 1948 දී ගල් ඔය හරස් කිරීමෙන් ශ්‍රී ලංකාවේ විශාලෙතම ජලාශයක් වූ සේනානායක සමුද්‍රය ඉදි කරනු ලැබුවා.

එම සේනානායක සමුද්‍රයේ සිට ගල් ඔය මහ මුහුදට ගලා බසින්නේ ඔලුවිල් හරහා වන අතර එම දුරප්‍රමාණය කිලෝමීටර් 55 ක්.

ප්‍රදේශ කිහිපයකින් කැඩීයාම පිළිබඳ අවස්ථා කිහිපයකදී ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් වාර්තා කළා.

ගල් ඔයේ ඉවුර නෙයිනකාඩු ප්‍රදේශයෙන් පසුගියදා කැඩී යාමෙන් ගොවීන් දැඩි අපහසුතාවට පත්වුණා.

ගල්ඔයේ ඉවුරක් පසුගියදා කොටවෙහෙර ප්‍රදේශයෙන් ද විශාල ලෙස ඛාදනයකට ලක්වූ අතර ඊට පහළ ප්‍රදේශයෙන්ද ඉවුර කැඩී ගියා.

මේ අතර පසුගිය වසරේ (2024) ජනවාරි හා නොවැම්බර් මාසවලදී ද අවස්ථා කිහිපයකදීම ගල්ඔයේ ඉවුර නේනකාඩු ප්‍රදේශයෙන් බීඳි ගොස් තිබුණා.

අම්පාර, සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මෙවරත් ගල් ඔයේ ඉවුර නෙයිනකාඩු ප්‍රදේශයෙන් යළිත් කැඩී ගියා.

ගල් ඔයේ ඉවුර පල්ලකාඩු ප්‍රදේශයෙන් ද මේ වනවිට කැඩී ගොස් ඇති අතර මේ හේතුවෙන් අවට ගොවි බිම් රැසක නෙලීමට ආසන්න වී වගාවන් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැවසුවේ, පවතින වැසි තත්ත්වය හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 3,000 ක් පමණ මේ වනවිට ජලයෙන් යටව පවතින බවයි.

කෙසේනමුත් වසර 10 ක පමණ සිට සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ගල් ඔයට ජලය මුදා හැරෙන නමුත් මේ ආකාරයේ ඉවුරු කැඩීයාමක් වාර්තා වී නැහැ.

ගම්මුන් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වයට ප්‍රධානතම හේතුව ගල් ඔයේ ඉවුරු වනසමින් කුඹුරු සැකසීම බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස ජලය දරාගත නොහැකිව ඉවුරු කැඩීයාමට ලක් වීමෙන් මේ වන විට ගොවීන් මුහුණ පා ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ජනතාව පවසන්නේ බලධාරීන් මේ පිළිබඳව සොයා බලා කඩිනමින් පියවර ගත යුතු බවයි ෴


වාහනයක පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

(22.01.2025 – 14:42 +0530 – hirunews.lk/sinhala)

වාහනයක හිමිකම් පැවරීම, පළාත් මාරුවීම හේතුවෙන් භාවිතා කළ පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස් කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ බව එම දෙපාර්තමේන්තුව මගින් ලිඛිතව පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙනවා.

එහිදී ඒ අනුව, හිමිකම් පැවරීම / පළාත් මාරුවීම හේතුවෙන් පළාත් අක්ෂරය ඉවත් කර ගැනීම හෝ වෙනස්කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවත්, පවතින අංක තහඩුව හැකි උපරිම කාලයක් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනු ඇති බව සඳහන්.

එමෙන්ම, ඉදිරියේදී වාහන අංක තහඩු නිකුත් කරනු ලබන්නේ, නව වාහන ලියාපදිංචියේදී හෝ නැතිවූ, කැඩුණු, හෝ භාවිතා කළ නොහැකි ලෙස පලදු වූ අංක තහඩු හෝ, කිසියම් හේතුවක් මත පුද්ගලයා විසින් ඉල්ලුම් කරනු ලබන අවස්ථාවකදී පමණක් බව සඳහන් ෴


ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත විය

(22.01.2025 – 14:42 +0530 – theleader.lk)

මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී අද (22) අභාවප්‍රාප්ත විය.

අනිල් භාරතී අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.

අනිල් භාරතී ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී, වසර 50 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

+

Anil Bharathi Song List (අනිල් භාරතී ගීත සමුච්චය) Kirula Radio


කවුද මේ බොරු කියන ටිල්වින් සිල්වා.. (22.01.2025)

+


විධායක ජනාධිපති ධුරයට ගරු කරලා අපි යනවා; අපි තුන්දෙනා අම්මයි තාත්තයි බලාගන්නම්; නාමල්ගේ අවසන් තීරණය (22.01.2025)

+

ප්‍රභාකරන් මැරූ පලිය ගන්නට දරන වෑයමක් ද? (22.01.2025)

+


සංචාරකයෙකුගේ ගමන් බැගය දුම්රියේදි සොරකම් කරයි..

(23.01.2025 – 02:16 +0530 – lankacnews.com)

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන්ගත් ඉන්දියානු ජාතිකයෙකුගේ ගමන් බැගය සොරකම් කල සැකකරුවෙකු දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන සැකකරු හැටන් පොලිසිය වෙත (22) දින භාරදෙනු ලැබුහ.

උඩරට මැණිකේ දුම්රිය මැදිරියේ තුන්වන (3) මැදිරියේ ගමන් කරමින් සිටි ඉන්දියානු ජාතිකයාගේ ගමන් බැගය ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතරදි අස්ථානගත විම සම්බන්ධයෙන් ඉන්දියානු ජාතිකයා විසින් දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් වෙත දැනුම් දිමෙන් පසු ආරක්ෂක අංශ නිලධාරින් විසින් සැකකරු අස්ථානගත වු ගමන් බැගය සමග අත්අඩංගුවට ගෙන ඒ බැව් හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දිමෙන් පසු සැකකරු හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් වෙත භාරදෙනු ලැබුහ.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි අවු 30 ක් වයසැති පුද්ගලයෙකු බවත්, සැකකරු මහනුවර සිට හැටන් දක්වා දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍රයක් ලබාගෙන තිබු බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කරන හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කරන මගි ප්‍රවාහන දුම්රියන් වල මෙවැනි සොරකම් සිදුවන නිසා ඒ සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය.

රංජිත් රාජපක්ෂ


අන්තර්ජාලයෙන් :

අංක තහඩු පැහැර ගැනීමේ ප්‍රවණතාවක් තිබේ. ඔබ ඔබේ වාහනය වාහන නැවතුමක නතරකරන අයුරු වාහන පැහැරගන්නන් බලා සිටියි. ඔබ ඔබේ වාහනය හැර ගිය පසු, ඔවුන් ඔබේ වාහනයේ අංක තහඩුව ගලවාගෙන බලා සිටියි. ඔබ ආපසු පැමිණ රිය පදවාගෙන යනවිට, ඔවුන් ඔබ පසුපස එයි. එවිට ඔවුන් ඔබව අභිබවා යන අතර, ඔබේ අංක තහඩුව ඔබට නැතිවූ බව ඔබට දැනුම්දීම සඳහා ඔවුන් ඔවුන්ගේ වාහනයේ ජනේලයෙන් පිටතට අංක තහඩුව ප්‍රදර්ශනය කරයි. එය ඔබට නැවත ලබා දීමට ඔවුන්ට අවශ්‍ය බව හඟවයි.

ඔබ ඔබේ අංක තහඩුව නැවත ලබා ගැනීමට ඔබගේ වාහනය නතරකල විට, ආයුධ සන්නද්ධව ඔවුන්ගේ වාහනයෙන් එළියට පැමිණ ඔවුන් ඔබේ මෝටර් රථය පැහැරගෙන යයි. සමහර විට ඔබත් සමග ඔබේ මෝටර් රථය පැහැරගෙන යයි. එය ඉතා හොඳින් පෙරහුරු කරන ලද සහ සංවිධානාත්මක සැලැස්මක් වන අතර සෑම දෙයක්ම ඉතා ඉක්මනින් සිදු වේ. ඔබ විසින්ම මෝටර් රථය නැවැත්වීම නිසා සිදුවන්නේ කුමක්ද යන්න වෙනත් මෝටර් රථ හිමියන් නොදැන සිටිය හැකිය. කරුණාකර මෙම අනතුර ගැන අන්අය දැනුවත් කරන්න. මෙය සිදු වූයේ මීට දින කිහිපයකට පෙර සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *