සංචාරක වීසාවලින් ඕමාන් රාජ්‍යයේ රැකියාවලට එන්න එපා – මෙරට තානාපති කාර්යාලය

සංචාරක වීසාවලින් ඕමාන් රාජ්‍යයේ රැකියාවලට එන්න එපා – මෙරට තානාපති කාර්යාලය


සංචාරක වීසාවලින් ඕමාන් රාජ්‍යයේ රැකියාවලට එන්න එපා – මෙරට තානාපති කාර්යාලය

(22.01.2025 – 06:59 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා උපයෝගී කරගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සදහා පැමිණීමෙන් වළකින ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සංචාරක වීසා උපයෝගී කර ගෙන ඕමනයේ රැකියාවල නිරතවිය නොහැකි අතර, එම වීසා රැකියා වීසා බවට පරිවර්තනය කල නොහැකි බවයි.

දෙරටේම අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් නොතකා, සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට පැමිණ අතරමං වන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබෙනවා ෴


දේවාලයකින් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ හිටපු යුද හමුදා සෙබලා කොටු

(21.01.2025 – 23:25 +0530 – hirunews.lk/sinhala)

පෞරාණික වටිනාකමකින් යුත් ඉපැරණි දේව ප්‍රතිමා සොරකම් කළ බව කියන හිටපු හමුදා සෙබළෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා.

ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, බද්දේගම සහ මහනුවර, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 39 සහ 25 වියැති පුද්ගලයන් දෙදෙනකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

කථිකාචාර්යවරයෙකු විසින් ඉංගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයකින් මෙම පිළිම 04 සොරාගෙන ඇති අතර, ඔහු විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත කරනු ලැබූ විමර්ශනයකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


මීතොටමුල්ලේ අනවසර පදිංචිකරුවන් පිරිසක් අධිකරණ නියෝගයකින් ඉවතට

(21.01.2025 – 20:22 +0530 – hirunews.lk/sinhala)

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කළා.

එම ස්ථානයේ ඉදිකර තිබූ නිවාස 24 ක් කඩා ඉවත් කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද අසල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩමේ කලක් තිස්සේ ජනතාව පදිංචිව සිට තිබෙනවා.

කෙසේ වෙතත්, නාගරික සංවර්ධන අධිකාරිය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුව අනුව නියෝග කර ඇත්තේ මෙම පිරිස ඉවත් කරන ලෙසයි

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම පිරිසට කොලොන්නාව ප්‍රදේශයෙන්ම මහල් නිවාස ලබා දී තිබූ බවයි.

නමුත් අදාළ ස්ථානයෙන් ඉවත් නොවූ පිරිසක් සම්බන්ධයෙන් අදාල නඩුව ගොනු කර මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ අදාළ ඉවත් කිරීම් සිදු කෙරුණා.

කෙසේ වෙතත් එම ස්ථානයේ පදිංචිව සිටි ජනතාව මැසිවිලි නගන්නේ තමන්ට යාම සඳහා විකල්ප ස්ථානයක් නොමැති බවයි.

වීඩියෝව පහතින් :

+


පොල් හිඟය උග්‍ර වෙයි – පොල් ගෙඩි මිලියන 200 ක් පිටරටින්

(22.01.2025 – 07:20 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200 ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ‘ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය’ පවසයි.

එහි සභාපති ජයන්ත සමරකොන් මහතා සඳහන් කළේ, දැනට පවතින පොල් හිඟයට ප්‍රධානතම හේතුව පොහොර මිල ගණන් ඉහළ යාම බවය.

පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බව ද ඒ මහතා පැවසීය.

ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250 ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100 ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වූවත්, ඉකුත් වසරේදී එය පොල් ගෙඩි මිලියන 2,680 ක් දක්වා අඩු වී තිබෙන බවත්, මේ වසරේදී මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400 ක් 2600 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පර්යේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200 ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පර්යේෂණායතනය පුරෝකථනය කර ඇති බව ජයන්ත සමරකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

එයට විසඳුමක් ලෙස රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇති බව පැවසූ සභාපතිවරයා හිඟ පොල් ගෙඩි මිලියන 200 ට සාපේක්ෂව පොල් කිරි, පොල් මද, වියළි පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බව රජයට යෝජනා කළ බවත් කියා සිටියේය.

මේ අතර පොල් පොහොර කිලෝ 50 ක ඇසුරුමක් රු 1,500 සිට රුපියල් 12,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදුකරන්නේ වගාකරුවන් සියයට 10 කට අඩු සංඛ්‍යාවක් බවද එය පොල් හිඟයට ප්‍රධානත්ම හේතුව බවත් ඔහු පැවැසුවේය.

මෙයට විසඳුමක් ලෙස කිලෝ 50 ක පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000 ක මිලකට ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසූ සභාපතිවරයා එළැඹෙන අයවැයෙන් පොල් පොහොර මිල අඩු කිරීමට නියමිත බව ද කියා සිටියේය.

එමෙන්ම පොල් වගාකරුවන්ට ජලසම්පාදනයට සහ පස සංරක්ෂණය සඳහා සහනාධාරයක් ලබාදෙන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

+


රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් තමන්ට එල්ලවූ ප්‍රහාරයේ බිහිසුණු මතකය හෙළිකරයි (15.01.2025)

+


අලුත උපන් බිළිදාව මව විසින් ළිදකට දාලා

(22.01.2025 – 08:02 +0530 – hirunews.lk/sinhala)

චාවකච්චේරිය පොලිස් වසමේ මූත්තියා වත්ත ප්‍රදේශයේ අලුත උපන් බිළිඳෙකු ළිඳකට දමා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (21) චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ලේ සහිත රෙදි කැබලි කිහිපයක් ළිඳ ආසන්න නිවසක පිහිටි භූමියක වල දමා තිබියදී, පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ අනුව එම නිවසෙහි සිටි මියගිය දරුවාගේ මව බවට සැකකරන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 43 ක් වන කයිතඩි ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

චාවකච්චේරිය පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


වසා දමා තිබූ මහනුවර – මහියංගනය මාර්ගය විවෘත කෙරේ

(22.01.2025 – 08:18 +0530 – hirunews.lk/sinhala)

වසා දමා තිබූ මහනුවර – මහියංගනය මාර්ගය අද (22) උදෑසන යළිත් විවෘත කර තිබෙනවා.

කඩා වැටීමේ අවදානමක් ඇති ගල් පර්වත ඉවත් කරන තෙක් මහනුවර – මහියංගනය මාර්ගය ඊයේ (21) සවස 6 සිට අද (22) උදෑසන 6 දක්වා වසා තබන බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ.

පසුගිය 20 වැනිදා ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය පස්වරු 6 සිට වසා දැමූ අතර, එය පසුව නැවත විවෘත කළා ෴

+

+


පොල් මිලියන 200 ක් ආනයනය කිරීමට අවසර ඉල්ලයි

(22.01.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස හතර (4) ඇතුළත පොල් ගෙඩි මිලියන 200 ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් සඳහන් කර තිබෙනවා.

මසකට පොල් ගෙඩි මිලියන 250 ක් පමණ අවශ්‍යවන බවත්, ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පුරෝකථනය කර ඇති අන්දමට පොල්ගෙඩි මිලියන 150 ක් පමණ හිඟ බවත්, සභාපතිවරයා සඳහන් කරනවා.

එමෙන්ම මාර්තු සහ අප්‍රේල් මාසයන්හි පොල් ගෙඩි මිලියන 50 ක පමණ හිඟයක් පවතින බවයි ඔහු පවසන්නේ.

මෙම පොල් ගෙඩි මිලියන 200 ක අඩුව කෙසේ හෝ පියවා නොගන්නේ නම් පොල් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අපහසුවන බව ද ඔහු පවසනවා.

එම නිසයි එම සංගමය විසින් පොල් ආනයනය කිරීම සඳහා රජයට මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා :

“අපි රජයට යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ මාස තුන, හතර (3-4) ඇතුළත අපිට පොල් ගෙඩි මිලියන 200 ක් සමානවන විදියට පොල් මද, වියළි පොල් මද, පොල් කිරි සහ ලෙලි ගහපු පොල් ගෙඩි හරි රටට ආනයනය කරන්න අවසරය ලබා දෙන්න කියලා.

දෙවැනි එක තමයි පොල් වගාව දියුණු කරන්න පොහොර ලබා දෙන්න කියලා. අපේ පොල් වගාකරුවෝ අවුරුදු 04 ක් විතර පොහොර දාලා නෑ. අවුරුදු 05 කට කලින් පොල් පොහොර බෑග් එක රුපියල් 1500 ට ගත්තේ; 2022 වසරේදී ඒක කරන්න බැරි වුණා. පොහොර තහනමක් ආවා. ඒ එක්කම රුපියල් 1500 ට තිබුණ පොහොර බෑග් එක රුපියල් 12,000 කට ඉහළ ගියා. පොල් වගාවේ අඩුවට මේ ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපාන්නේ” ෴


අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(22.01.2025 – 10:02 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් ළඟ තබාගත් කොළඹ වංචා විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයෙකු සුරාබදු, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයෙකු යොදවා සිදුකළ වැටලීමකදී දෙමටගොඩ ගුවන් පාලම අසළදී සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 02 ක් පමණ වන අතර, අදාළ කොස්තාපල්වරයා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවෙකු බව සදහන් ෴


හිටපු ජනාධිපතිවරුන් පදිංචිව සිටින රජයේ නිවාසවල ඇස්තමේන්තුගත මාසික කුලී වටිනාකම් ජනාධිපතිවරයා හෙළි කරයි

(22.01.2025 – 10:53 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපතිවරුන් සඳහා සුඛෝපභෝගී නිවාස සැපයීම සඳහා රජය විසින් දරන ලද සැලකිය යුතු වියදම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිදරව් කර තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කළේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මසකට රුපියල් මිලියන 2 ක් වටිනා රජයට අයත් නිවසක පදිංචිව සිටින බවයි.

ඒ හා සමානව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාසිකව රුපියල් මිලියන 0.9 ක තක්සේරුවක් සහිත නිවසක වාසය කරන බවද හෙළිදරව් කර තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ එය මසකට රුපියල් මිලියන 4.6 ක් වටිනා බවත් එය අක්කරයකට වඩා වැඩි බවත්ය.

රජයේ නිවසක් භාර නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙහිදී කෘතඥතාව පළ කළ අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෑතකදී තම රජයේ නිවස භාර දුන් බවද සඳහන් කර තිබෙනවා.

හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස ද මීට කලකට පෙර තම නිල නිවස ආපසු ලබා දුන් බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

එමෙන්ම දේශපාලනඥයින් සඳහා වන අනවශ්‍ය වියදම් අඩු කිරීම සඳහා තම පරිපාලනයේ කැපවීම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා ෴


ෆේස්බුක් හරහා කළ මුදල් චංචාවක්

(22.01.2025 – 08:55 +0530 – sinhala.adaderana.lk)

ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ‘ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී මුදල් වංචා කිරීමක්’ (?) සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (21) අදාළ සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ඥාතියෙකු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුමට ව්‍යාජ ලෙස ඇතුළු වී බැංකු ගිණුමකින් අවස්ථා 03 කදී රුපියල් ලක්ෂ 07 ක් තැන්පත් කරවාගෙන කර ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 2024 අගොස්තු 22 වනදා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර පොලීසිය විසින් අදාළ ගිණුම් පරීක්ෂාවේ දී සැකකරු හඳුනාගෙන තිබුණි.

අදාළ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඔහු කටාර් රාජ්‍යයේ නැවතීසිට ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් ආගමන විගමන තහනම් නියෝගයක් ලබාගෙන තිබූ අතර ඊයේ (21) සැකකරු මෙරටට පැමිණිමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *