දුම්රිය online ටිකට් ජාවාරම ගැන තවත් අනාවරණයක්
(19.01.2025 – 21:08 +0530 – hirunews.lk/sinhala)
සිය දෙපාර්තමේන්තුව නිකුත් කරන ඊ-ටිකට්පත් බාහිර පාර්ශ්වයක් කූඨ ලෙස මිල දී ගෙන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම වැළැක්වීමට නිසි පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවද තවමත් එම ජාවාරම කිසිදු බාධාවකින් තොරව සිදු වනවා.
සාක්ෂි ද සහිතව ‘හිරු ප්රවෘත්ති’ ඒ පිළිබඳව කරන තවත් අනාවරණයක් මේ.
‘ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව’ ONLINE ක්‍රමවේදයට නිකුත් කරන ඊ-ටිකට්පත් සම්බන්ධයෙන් සිදුවන ජාවාරම යළි කරලියට ආ ආසන්නතම සිදුවීම වූයේ පසුගියදා තත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ සියලු ඊ-ටිකට්පත් අලෙවී වී අවසන් වීමයි.
කෙසේවෙතත් එම ඊ-ටිකට්පත් පසුව වැඩි මුදලට අලෙවි වන ආකාරය ‘හිරු ප්රවෘත්ති’ ඔස්සේ අනාවරණ කළේ සාක්ෂි ද සහිතවයි.
නමුත් අවාසනාවක තරම කියා පාමින් කිසිදු බාධාවකින් තොරව තවමත් අදාළ කූඨ ජාවාරම සිදුවනවා.
මේ, තත්පර 40 කටත් අඩු කාලයක් තුළදී ඊ-ටිකට්පත් දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් අතුරුදන් වන ආකාරයයි.
අද (19) උදෑසන 10 ට දුම්රිය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියෙන් ඔන්ලයින් වෙන්කරගැනීම සඳහා ‘පොඩි මැණිකේ’ දුම්රියේ ආසන 54 ක් පැවති අතර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ආසන 27 ක් හා උඩරට මැණිකේ දුම්රියේ ආසන 54 ක් විවෘතව පැවතියා.
නමුත් අද (19) උදෑසන 10 ට ‘පොඩි මැණිකේ’ සහ ‘උඩරට මැණිකේ’ දුම්රියවල එම ආසන සියල්ල තත්පර 38 ක් තුළ ජාවාරම්කරුවන් ලබාගත්තේ මෙලෙසින්.
සියලු තොරතුරු සාක්ෂි සහිතව අනාවරණය කර ඇති පසුබිමකත් තවමත් මෙම ජාවාරමට උඩගෙඩි දෙන්නේ කවුරුන්ද ?
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම ඊ-ටිකට්පත් වෙබ් අඩවියට මුදා හරින දිනය සහ වේලාව ජාවාරම්කරුවන් අකුරටම දැනගන්නේ කෙසේද?
වගකිවයුතු බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග ගැන ‘හිරු ප්රවෘත්ති’ අවධානයෙන්.
+
පාතාලේ යළි ඇවිලේ : වසරේ ගෙවුණු දින 19 ට වෙඩි තැබීම් 08 ක්
(19.01.2025 – 19:49 +0530 – hirunews.lk/sinhala)
2025 වසරේ මේ දක්වා කාලය තුළදී දිවයින පුරා වෙඩිතැබීම් 08 ක් සිදු වී පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එමෙන්ම, තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ආසන්නතම සිදුවීම අද (19) දහවල් ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එහිදී 24 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (20) විසින් ගල්කිස්ස – සිරිපාල මාවතේ අවන්හලක් අසළ මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් එක් සැකකරුවෙකු ගිනි අවිය ද සමඟ දෙහිවල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
අනෙක් සැකකරු යතුරුපැදිය සමඟ පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ‘සවිදු තරූෂ’ යන 24 හැවිරිදි තරුණයෙක්. ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින අපරාධ කල්ලි සාමාජික ‘කොස් මල්ලී’ නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ අපරාධ කල්ලි නායක ‘බඩෝවිට අසංක’ගේ පාර්ශවයෙන් බවටද පොලිසිය සැක පළ කරනවා.
මේ අතර, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියයෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සදහන් කළේ ඉන් එක් (1) අයෙකු දැනට යුද හමුදාවේ සේවයේ නිරතවන පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා (1) යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවයි.
මොවුන් මන්නාරම සහ කොළඹ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තිදෙනා (3) අතර වෙඩි තැබූ පුද්ගලයාද සිටින අතර, සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.
පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු (2) මියගොස් කාන්තාවක් (1) ඇතුලු දෙදෙනෙකු (2) තුවාල ලැබුවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසිනුයි මෙම වෙඩිතැබිම සිදු කර පළාගොස් තිබුණේ.
+
+
මහින්දගේ කොළඹ නිවස නැවත රජයට
(19.01.2025 – 19:31 +0530 – hirunews.lk/sinhala)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බවත් එම නිවසෙහි පමණක් වටිනාකම මාසික කුලිය රුපියල් ලක්ෂ 46 ක් වන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසන්නේ.
එය නිවසෙහි වටිනාකම පමණක් වන බවත් ඉඩම තවමත් තක්සේරු කර නොමැති බවත් එහිදී ඔහු සඳහන් කර සිටියා.
පනතෙහි පවතින ආකාරයට හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක් (1/3) හිමි විය යුතු අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට වැටුපෙන් තුනෙන් එකක (1/3) මුදලක් ලබා දෙන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක :
“එක්කෝ හිටපු ජනාධිපතිට ගෙයක් හිමි; නැත්තම් පඩියෙන් තුනෙන් එකක් (1/3) හිමි.. අපි ගේ ගන්නවා පඩියෙන් තුනෙන් එකක් (1/3) දෙනවා.. ඒ කියන්නේ රුපියල් 30,000 ක්.. එහෙම නැතනම් ඉතුරු සල්ලි ටික දීලා කුලියට ඉන්න පුලුවන්.. කුලිය දුන්නේ තැත්නම් එළියට..රුපියල් ලක්ෂ 46 ක් මාසේ කුලිය”
+
නිවසේ පොකුණට වැටී බිළිඳෙකු ජීවිතක්ෂයට
(19.01.2025 – 17:01 +0530 – hirunews.lk/sinhala)
නිවසක තිබූ දිය පොකුණට වැටී මාස 19 ක දරුවෙක් මියගොස් තිබෙනවා.
වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ දරුවෙක් මේ අනතුරෙන් මියගොස් ඇති බවයි වාද්දුව පොලිසීය පැවසුවේ.
මව සහ පියා නිවසේ සිටියදීම එම දරුවා නිවස ඉදිරිපිට එළිමහනේ රැඳී සිට තිබෙනවා.
ටික වෙලාවකට පසුව දරුවා පෙනෙන්නට නොවූයෙන් කළ සොයාබැලීමේදී පොකුණට වැටී සිටි දරුවා දැක තිබෙනවා.
පොකුණට වැටීමෙන් මියගිය දරුවාගේ මෘතදේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙන අතර වාද්දුව පොලිසීය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා ෴
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) වැසෙයි
(19.01.2025 – 16:23 +0530 – hirunews.lk/sinhala)
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පවසන්නේ ෴
උතුරුමැද පළාතේ සියලුම පාසල් හෙට (20) වැසේ
(19.01.2025 – 22:00 +0530 – hirunews.lk/sinhala)
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් උතුරුමැද පළාතේ සියලුම පාසල් හෙට (20) වසා දමන බවට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව 2024 වර්ෂයේ අවසාන වාර විභාගයේ 3, 4 සහ 5 ශ්‍රේණිවල විභාග ජනවාරි මස 20 සහ 21 දිනවල පැවැත්වීමට නියමිතව තිබුණත් එම විභාග තාවකාලිකව කල් දමන බවයි සඳහන් වන්නේ.
මේ අතර නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴
කොළඹ මැද ‘ක්‍රිෂ් චතුරස්‍රය’ ගැන ‘ඉන්දීය මූල්‍ය විමර්ශන අංශයෙන්’ ආන්දෝලනාත්මක අනාවරණයක්
(19.01.2025 – 15:14 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුව ‘ක්‍රිෂ් ව්‍යාපෘතිය’ට ආයෝජනය කළ මුදල් අයථා ලෙස ඉපැයූ මුදල් බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව ‘ක්‍රීෂ් රියල් ටෙක් සමාගම’ සහ එහි ප්‍රවර්ධකයා වන ‘අමිත් කටියාල්’ ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ‘ද හින්දු’ වෙබ් අඩවිය පවසන්නේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ආරම්භ කෙරුණු ‘කොළඹ කොටුව ක්‍රීෂ් ව්‍යාපෘතිය’ සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණය වුණේ එම ව්‍යාපෘතිය අතරමග නතරකර දැමීමත් සමගයි.
මෙම ව්‍යාපෘතිය සිදු කරන ‘ක්‍රිෂ් චතුරස්රයේ’ අක්කර 4.3 ක් බදු දීමේදී රුපියල් මිලියන 70 ක මුදල් අක්‍රමිකතාවක් සිදුවූ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව අධිකරණයේ නඩුවක් ද පවතිනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා අයථා ලෙස උපයාගත් මුදල් යොදා ඇති බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙන්නේ එවැනි පසුබිමකයි.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කළ ‘ක්‍රිෂ් රියල් ටෙක් සමාගම’ සහ එහි ප්‍රවර්ධකයා වන ‘අමිත් කටියාල්’ ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්දියාවේ නවදිල්ලි නුවර මහල් නිවාස ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයින්ගෙන් මුදල් ලබා ගත්තද වසර 13 ක් යන තෙක් එම නිවාස ලබා දීමට ‘අමිත් කටියාල්’ කටයුතු කර නැති බවට ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාග කිරීමේදීයි.
‘අමිත් කටියාල්’ මෙන්ම ඔහුගේ සමීපතමයින් සහ ‘ක්‍රිෂ් රියල් ටෙක් පෞද්ගලික සමාගම’ ආයෝජකයින් ගණනාවකගෙන් වංචා සහගත ලෙස මුදල් ගනිමින් ඉන්දීය රුපියල් කෝටි ගණනින් විවිධ රටවලට සම්ප්‍රේශණය කර ඇති බව ද සඳහන්.
මෙලෙස අයථා ලෙස ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් කෝටි 224.08 ක් වටිනා නිශ්චල හා චංචල දේපල අතර කොළඹ අක්කර 4 ක ඉඩමක් සහ අඩක් නිමවී ඇති සුපිරි හෝටලයක් පවතින බව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගෙන තිබෙනවා.
මොවුන් එම ගනුදෙනු සිදුකර ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බව ‘ද හින්දු’ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
+
මෝටර් රථයක් ගඟකට පෙරළීමෙන් දෙදෙනෙකු මරුට : අයෙක් අතුරුදන්
(19.01.2025 – 15:04 +0530 – hirunews.lk/sinhala)
මහනුවර – පන්විල බැද්දේගම මාර්ගයේදී අද (19) මාරක අනතුරක් සිදුව තිබෙනවා.
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගඟකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුර හේතුවෙන් දෙදෙනෙකු (2) මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බවද සඳහන්.
+
බහාලුම් රථ හිගයෙන් අර්බුදයක් – ලංකා වාප්පු සේවා සංගමය
(19.01.2025 – 14:18 +0530 – hirunews.lk/sinhala)
වරාය තුළ බහාලුම් රථ ප්‍රමාණය අවම වීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ‘ලංකා වාප්පු සේවා සංගමය’ පවසනවා.
එහි සභාපති රංජිත් ලියනාරච්චි සඳහන් කළේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවම කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නව අංගනයක් අවශ්‍ය බවයි.
කොළඹ වරායේ ආනයනික බහාලුම් නිෂ්කාශන කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ඇති වූ දිගු බහාලුම් පෝලිම් තවමත් දක්නට ලැබෙනවා.
දින ගණනක් දිගු පෝලිම්වල රැඳී සිටින බහාලුම් රථ රියැදුරන් චෝදනා කරන්නේ රේගුව පැය 24 ම සේවා ලබා දෙන බව පැවසුවද එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.
මේ අතර ‘බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය’ සඳහන් කළේ මේ වන විට බහාලුම් රථ රියැදුරන්ගේ ද හිඟයක් පවතින බවයි.
+
මැර පිරිසක් ලංගම බසයට පැන රියදුරුට, කොන්දොස්තරට පහර දෙති
(19.01.2025 – 12:40 +0530 – lankacnews.com)
නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු නුවරඑලිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට බස් රථය නතර කර පහර දුන් සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගත් බවත්, තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගැනිමට නියමිත බව නුවරඑලිය කොට්ඨාශ භාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසිය.
ඉකුත් (17) දින පස්වරුවේ නුවරඑලිය ඩෙස්පොඩ් හරහා හැටන් දක්වා ධාවනය වු ලංගම බස් රථය නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේදි සැකකරුවන් පිරිස බස් රථය නතර කර බස් රථය තුලට පිවිස රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දි තුවාල සිදු කර සැකකරුවන් පලා යන අයුරු බස් රථයේ ගමන් කල මගියෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර එම දර්ශන නානුඔය පොලිසිය වෙත භාර දි ඇත.
පහර කැමෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පහර දිමෙන් කොන්දොස්තරවරයා සතුව තිබු ප්‍රවේශපත්‍ර නිකුත් කිරිමේ යන්ත්‍රය සැකකරුවන් බිද දමා ඇති බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු කියා සිටියේ.
නුවරඑලිය බස් නැවතුම්පොලේදි පහරදිමට සම්බන්ධ එක් සැකකරුවෙක් බස් රථයේ පාපුවරුවේ ගමන් කිරිමට උත්සහ කල බවත්, එම අවස්තාවේ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා එයට විරුද්ධ වු නිසා සැකකරු විසින් රියදුරුට සහ කොන්දොස්තරවරයාට බැන වැද පසුව දුරකථනයෙන් කිසියම් පුද්ගලයෙකුට ඇමතුමක් ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පවසා ඇත.
බස් රථයේ ගමන් ගත් ප්‍රධාන සැකකරු බස් රථය නතර කිරිමෙන් පසු රියදුරුට සහ කොන්දොස්තරවරයාට පහර දුන් බවත්, පවත්නා තත්ත්වය මත රාත්‍රි කාලයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේ නතර කර තබන තම ඩිපෝවට අයත් බස් රථ කිසිවක් ආරක්ෂාව උදෙසා එසේ ගාල්කර නොතබන බවයි නුවරඑලිය ලංගම ඩිපෝවේ නිලධාරියෙකු වැඩිදුරටත් කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴