ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක්

ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක්


ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක්

(18.01.2025 – 22:56 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමවේද හරහා ක්ෂණික ණය ලබාදෙන පාර්ශ්වයන් සිදු කරන මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අප වාර්තා කළා.

එවැනි ණය ජාවාරම්කරුවන් පිරිසකට හසුවී අපහසුතාවට පත් වූ තවත් පිරිසක් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ රජය වහාම මැදිහත් වී මෙම ජාවාරම්වලට විසදුමක් ලබා දිය යුතු බවයි.

සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබා දෙන ජාවාරම් රැසක් මේ වනවිට අන්තර් ජාලය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වනවා.

බොහෝ පිරිසක් මෙම ක්ෂණික ණය අයදුම් කිරීමට යොමුව සිටින්නේ එම ක්‍රමවේද මගින් ණය ලබාගැනීමේදී අවශ්‍ය වන ලේඛන ඉතා අවම මට්ටමක පැවතීම නිසාවෙන්.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි නොවී, මුදල් ව්‍යාපාරවල නිරත වීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර අවස්ථා කිහිපයකදීම ‘හිරු CIA’ තුළින් ද අප මෙවැනි ණය ජාවාරම් සම්බන්ධයෙන් අනාවරණ කළා.

එවැනි පසුබිමක ඔන්ලයින් ණය ලබාගෙන එම ණය ගෙවීමට අපොහොසත් වන පුද්ගලයින්ට තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬ පට කිහිපයක් ද ‘හිරු ප්‍රවෘත්ති’ අප වෙත ලැබී තිබෙනවා. (වීඩියෝවේ ඇතුලත්)

මෙම ඔන්ලයින් ණය ජාවාරමට යොමුවන අතර එවැනි ජාවාරම්කරුවන් පිරිසකට හසුවී අපහසුතාවට පත් වූ තවත් පිරිසක් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට ඊයේ (17) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+


ඊ-ටිකට් ජාවාරම ගැන ‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය

(18.01.2025 – 11:29 +0530 – hirunews.lk/sinhala)

රට පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති දුම්රිය ඊ-ටිකට් ජාවාරමේ සුලමුල පිළිබඳව ‘හිරු CIA’ ඊයේ (17) අනාවරණය කළා.

එම අනාවරණය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය සේවකයෙකු ‘ඔඩිසි දුම්රියේ’ මාර්ගගත ටිකට් වංචාවට සම්බන්ධ බවට ලැබී තිබෙන චෝදනා අනුව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ උපදෙස් පරිදි එම පුද්ගලයාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමටයි පියවර ගෙන ඇති බවත් සඳහන්.

මේ අතර, සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම පුද්ගලයාගේ වැඩ තහනමකට ලක් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

+


රියදුරු විභාගය නිසා අදත් (18) දුම්රිය ගමන් වාර 47 ක් අවලංගුයි

(18.01.2025 – 20:55 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය රියදුරන් පිරිසක් විභාගයක් සදහා නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අදත් දුම්රිය ගමන්වාර 47 ක් අවලංගු වී තිබෙනවා.

දුම්රිය රියදුරන් පිරිසකට හෙට (19) පැවැත්වීමට නියමිත ‘කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණයක්’ හේතුවෙන් ඊයේ (17) සිට මෙම ගැටලුකාරී තත්ත්වය මතුව තිබුණා.

මෙම විභාගය හේතුවෙන් අද (18) දිනයේ දුම්රිය රියදුරන් 33 දෙනෙකු රාජකාරීයට වාර්තාකර නොමැති බවයි වාර්තා වුණේ.

ඒ හේතුවෙන් අදත් (18) දුම්රිය ගමන්වාර කිහිපයක්ම අවලංගු කිරීමට සිදුව තිබු අතර ඇතැම් ගමන්වාර ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සදහන් කළේ.

ඊට අමතරව පාර්සල් ප්‍රවාහන දුම්රිය ගමන්වාර දෙකක් (2) ද අවලංගුවී තිබෙන බවයි වාර්තා වුණේ.

මේ අතර, ‘හිරු ප්‍රවෘත්ති’ අනාවරණය කළ ඊ-ටිකට් ජාවාරම සම්බන්ධයෙන් මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු සේවකයෙකුගේ සේවය අත්හිටුවිමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා ෴


ගාල්ලේ වෙළඳසැලක ගින්නක්

(18.01.2025 – 20:05 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, තනි පොල්ගහ හන්දිය ප්‍රදේශයේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිකරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (18) රාත්‍රී 07:25 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙන බවයි ගාල්ල පොලිසිය පවසන්නේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගාල්ල නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

+


ණයවල සිරවුණු ව්‍යවසායකයින්ට දෙන රජයේ සහන ප්‍රායෝගික නොමැති බවට චෝදනා

(18.01.2025 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණදී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා රජය විසින් ලබා දෙන බව කියන සහන පැකේජය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව ‘ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ’ මාධ්‍ය ලේකම් සුසන්ත ලියනආරච්චි පවසනවා.

ඔහු කියා සිටියේ මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට බැංකු එකඟතාවය පළ නොකරන බවයි.

මීට අදාළව මේ වන විටත් මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවද සදහන්.

මෙම සහන හිමිවන්නේ බලපත්‍රලාභී බැංකුවකින් 2019 වසරේ අප්‍රේල් 01 වැනිදා හෝ ඉන් පසුව අදියර 3, එනම් අක්‍රිය ණය කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති ණය පහසුකමක් ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙතයි.

අවශ්‍ය සියලු‍ම ලියකියවිලි සමඟ ලබන මාර්තු 31 වැනිදා හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා.

එසේම, මෙහිදි ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යාපාර යළි පණගැන්වීමේ සැළැස්මක් ඉදිරිපත් කිරීමද අවශ්‍යවනු ඇති.

ණය ප්‍රතිලේඛණගත කිරීමේ ගිවිසුම්වලට එළඹීම සදහාද දින ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන වසරේ අවස්ථා 03 කදී ණය වර්ගීකරණයන් අනුව ආපසු ගෙවීම් ආරම්භ කළ යුතුයි.

රුපියල් මිලියන 25 ට අඩු, මිලියන 25 ත් 50 ත් අතර සහ මිලියන 50 ට වැඩි ණය ගනුදෙනුකරුවන්ට ගෙවිම් ආපසු ආරම්භ කළ යුතු දිනද වෙන් වෙන්ව සදහන් කර තිබෙනවා.

මීට අදාළව පොලිය නිදහස් කළ යුතු ආකාරයද මහ බැංකුව දැනුම් දී ඇති අතර, ඒ අනුව එය මාස 06 ක්, මාස 12 ක් සහ මාස 12 කට වැඩි 60 ට අඩු කාලයක් යන කොටස් 03 යටතේ ක්‍රියාත්මකයි.

මේ අතර, මෙම වසර (2025) සදහා වන ‘ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහන’ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කෙරුණා.

ඒ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදීයි.

ඩිජිටල්කරණය තුළින් තිරසාර සහ මූල්‍ය අන්තර්ගතභාවය සහිත ආර්ථික වර්ධනයක් ලබා කරගැනීම සදහා වූ උපාය මාර්ග සැළැස්මට අනුව මෙම වැඩසටහන දියත්වනවා ෴


රුපියල් කෝටි 28 ක සල්ලි ගෝනියේ සුල මුල හෙළි වූ හැටි

(18.01.2025 – 22:06 +0530 – sinhala.adaderana.lk)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී ඊයේ (17) සොයාගත් රුපියල් කෝටි 28 ක මුදල ‘හරක්කටා’ගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව සිටින ‘රන් මල්ලි’ නම් අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ මගින් මේ වනවිට අනාවරණ කරගෙන තිබේ.

පොලිසිය පැවසුවේ එම මුදල්වලින් මැඩගස්කරයේ මැණික් මිලදී ගෙන එම මුදල් සුදුකිරීමට සැකකරු සූදානම්ව සිට ඇති බවය.

ඉතිහාසයේ මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතු වූ වැඩිම මුදල ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ’ නිලධාරීන් විසින් කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබීය.

එම මුදල රුපියල් කෝටි 28 ක් වූ අතර එහිදී සැකකරුවකු ද අත්අඩංගුවට ගත්තේය.

සැකකරු සතුව තිබී මැණික් ගල්වලට සමාන පාෂාණ තොගයක් ද විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගනු ලැබීය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ‘පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය’ විසින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

සැකකරු එහිදී පවසා ඇත්තේ, අදාළ මුදල් ‘හරක්කටා’ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු වන විදෙස්ගතව සැඟව සිටින ‘රන් මල්ලී’ නැමැත්තාට අයත් බවය.

‘හරක්කටා’ අත්අඩංගුවට පත්වීමෙන් පසුව මේ වන විට දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් අතුරින් අයෙක්වන්නේ ‘රන් මල්ලී’ නැමැත්තා බව වාර්තා වේ.

ඒ අනුව අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ‘රන් මල්ලි’ගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් වැයකර කුරුණෑගල පිහිටි නිවසට සේප්පුවක් ද මිලදීගෙන තිබේ.

සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල් වියෙහි සිට ‘රන් මල්ලි’ නැමැත්තාගේ මිතුරෙකි.

ඒ අනුව ‘රන් මල්ලි’ අදාළ පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබාගැනීමට හැකියවක් පවතිනවා ද යන්න පිළිබඳව විමසා තිබේ.

ඊට එකඟවී ඇති අදාළ පුද්ගලයා පසුව රන් මල්ලිගේ උපදෙස් මත කඩවත හා කොළඹ ප්‍රදේශවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් තමන් සතුව තබාගෙන පසුව ‘රන් මල්ලි’ පවසන අවස්ථාවලදී වෙනත් පුද්ගලයන්ට ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තමන්ට නොයක් පුද්ගලයන්ගෙන් ‘රන් මල්ලි’ගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත්, ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබාදීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබේ.

ඇතැම් අවස්ථාවලදී ‘රන් මල්ලි’ සිය ජංගම දුරකතනයට එවන ස්ථානවලට ගොස් මුදල් හා පාර්සල් තබා එන බවද සැකකරු පවසා තිබේ.

ඔහුගේ උපදෙස් මත සැකකරු වෑන් රථයක් හා කැබ් රථයක් රුපියල් කෝටි 3 කට අධික මුදලක් වියදමී කර මිලදී ගත් බවත් ‘රන් මල්ලි’ගේ උපදෙස් මත ‘මැණික් ව්‍යාපාරිකයෙකු’ ලෙස මෙරට තුළ ලියාපදිංචි වී ඇති බවත් පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, ‘රන් මල්ලි’ තමන්ට ලබාදුන් උපදෙස් මත ඔහුගේ මුදල්වලින් මෙරටින් මැණික් ගල් රැගෙන මැඩගස්කරය බලාගොස් ඒවා එරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි බවය.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මෙපමණ මුදලක් තිබෙන බවට ඔහුගේ බිරිය ද දැන සිට නොමැති බවද වාර්තා වේ.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ද ‘රන් මල්ලි’ නැමැත්තා දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය’ මගින් සිදුකරනු ලබයි.

+


ආරුගම්බේ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවෙයි

(18.01.2025 – 13:59 +0530 – sinhala.adaderana.lk)

ආරුගම්බේ ප්‍රදේශයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට ලද තොරතුරු පිළිබඳ විමර්ශන සිදුකරන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.

ඊශ්‍රායල සංචාරකයින් බහුලව රැඳී සිටි ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදීන් සැලසුම් සකස් කර ඇත්තේ බන්ධනාගාරය තුළදී බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඊයේ (17) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ ඊට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම ත්‍රස්ත සැලසුම සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

දින 90 ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා ප්‍රශ්න කළ සැකකරුවන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පවසා ඇත්තේ, LTTE ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වී, වසර ගණනාවක් සිරගතව සිට නිදහස් වූ හිටපු LTTE සාමාජිකයින් යොදාගෙන එම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි.

අදාළ සැකකරුවන් පසුගිය ජනාධිපතිවරණය පැවැති වකවානුවට සමගාමීව ආරුගම්බේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කරඇති බවත්, පසුගිය වසරේ ඔක්තෝබර් 07 සහ 08 දිනවල පුද්ගලයින් යොදවා සංචාරක කලාපය වීඩියෝගත කිරීම හා ඡායාරූප එක්රැස් කිරීම සිදුකර තිබූ බවත් එම විමර්ශන නිලධාරින් පැවසීය.

ත්‍රස්ත විමර්ශන නිලධාරීන් ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ‘යෝගරාජා නිරෝජන්’, ‘සුරේස් රංජන’ හා ‘ඩබ්ලිව්.ඒ. දොන් අමරසිරි’ යන අයය.

මේ අතර මෙම ත්‍රස්ත සැලසුමේ පළමු සැකකරුවන ‘බිලාල් අහමඩ්’, කැස්බෑව ඩිපෝවේ බස් රථයකට 2008 වසරේදී බොම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිරගතව සිටින ‘ආනන්දන් සුගාදරන්’ යන අයව බන්ධනාගාරය තුළදී ඇසුරු කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රජින්ද කන්දෙගෙදර මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ පොලීසිය පළමු සැකකරුගෙන් කිසියම් ලේඛන ගොනු කිහිපයකට අත්සන් ලබාගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, සැකකරුවන් රඳවා ප්‍රශ්න කිරීමට යොමු කළදා සිට අධිකරණයේ අධීක්ෂණය ඔවුන් කෙරෙහි තිබූ බවයි.

සැකකරුවන් නිරීක්ෂණයට ගිය කිසිදු අවස්ථාවක ඔවුන් ඒ සම්බන්ධයෙන් තමන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බව පවසා ඇත.

ඒ අනුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

+


කහතුඩුව ක්‍රයිම් OIC බලෙන් වාහනයක් උස්සලා | හඬපටත් එක්කම වැඩේ රටටම ලීක් | ලීසිං ගෙවන්නන්ගේ සංගමය (18.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *