දුරකතන ගාස්තු ඉහළ දැමූ කතාව බොරුවක්, නියාමන කොමිසම කියයි

දුරකතන ගාස්තු ඉහළ දැමූ කතාව බොරුවක්, නියාමන කොමිසම කියයි


දුරකතන ගාස්තු ඉහළ දැමූ කතාව බොරුවක්, නියාමන කොමිසම කියයි

(13.01.2025 – 20:38 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකතන සේවා සපයන සමාගම් දුරකතන පැකේජයන්වල මිල ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කළා.

එම කොමිසමේ තරගකාරීත්ව අංශයේ අධ්‍යක්ෂක ඉන්ද්‍රජිත් හදපාන්ගොඩ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, එවැනි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බවට සියලු දුරකතන සේවා සපයන සමාගම් ලිඛිතව දැනුම් දී ඇති බවයි ෴

+++

ජංගම දුරකථන සමාගම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (14.01.2025)

+


‘නව ඩිජිටල් හැඳුනුම්පත’ ලබන මස සිට

(14.01.2025 – 12:42 +0530 – hirunews.lk/sinhala)

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් ලබන මස මුල සිට නිකුත් කිරීම බලාපොරොත්තු වන බව අද (14) පැවති මාධ්‍ය හමුවකදී ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළා.

ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බවත්, මේ මස වනවිට ඒම කටයුතු සම්පූර්ණ කිරීමටත් අදහස් කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුන, මුහුණ සහ ඇහේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනිමේ පියවරයන් තුනක් (3) ද අනුගමනය කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ජීව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් විරෝධය පළ කළ අතර, ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජාතික ආරක්ෂාව සඳහා මෙය තර්ජනයක් නොවන බවයි.

+


පොලිස් පොඩ්ඩෙකු මෙහෙයවූ කොල්ල කල්ලියක් කොටු වෙයි

(14.01.2025 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මහමග ගමන්ගන්නා ජනතාවගේ ගෙළබැඳ තිබූ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි කණ්ඩායමක සැකකරුවන් තිදෙනෙකු (3) කොල්ල කා තිබූ රන් භාණ්ඩ සහ රන් භාණ්ඩ විකිණීමෙන් ලද මුදල් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසනවා.

වැඩතහනමට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එම කොල්ලකෑම් මෙහෙයවා ඇති බව සඳහන්.

හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු මාල කඩන බවට හංවැල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකුට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහයෝගය ඇතිව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තුම්මෝදර, පඤ්ඤාගුල ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට ගොස් තිබුණා.

එම නිවස වටලන අවස්ථාවේදී සැකකරු සමග තවත් දෙදෙනෙකු (2) නිවස තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරමින් සිට ඇති අතර ඔවුන් තිදෙනාම (3) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) සහ ඥාති සහෝදරයකු ද වන බවයි පොලිසිය පැවසුවේ.

වැඩතහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ ඥාති සහෝදරයෙකු සමග යතුරුපැදිවලින් ගොස් මාල කැඩීමේ නිරතව ඇති බවත්, හිටපු කොස්තාපල්වරයාගේ බාල සහෝදරයා විසින් එම රන් භාණ්ඩ උකසට තබා ඇති බවත් අනාවරණ වී තිබෙනවා.

අදාළ නිවසේ තිබී රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසකට (1,70,000) ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ උකස් තැබූ බිල් පත් තොගයක් ද, මාල කැඩීමට යොදා ගත් යතුරු පැදි දෙකක් (2), හිස් ආවරණ තුනක් (3) සහ ජංගම දුරකතන ද පොලිස් භාරයට ගෙන තිබුණා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කොට්ටාව පොලිස් වසමේ සිදුකළ මාල කැඩීම් 03 ක්, මීගොඩ පොලිස් වසමේ කළ මාල කැඩීම් 04 ක්, හංවැල්ල පොලිස් වසමේ මාල කැඩීමක් (01) හා හෝමාගම පොලිස් වසමේ මාල කැඩීම් 02 ක් ආදී වශයෙන් රන් මාල කැඩීමේ සිද්ධීන් 11 ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වූ බව ද හංවැල්ල පොලිසියේ උසස් නිලධාරියකු පැවසුවා.

මේ අතර, එම සැකකරුවන් කොට්ටාව ප්‍රදේශයේදී මාලයක් කඩාගෙන යතුරු පැදියෙන් පලා යන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා ෴


දෛනිකව නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව ඉහළට

(14.01.2025 – 14:42 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2,500 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල සඳහන් කරනවා.

එහිදී ඔහු සඳහන් කළේ මෙතෙක් දෛනිකව නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාව 1,200 ක් බවත් එම ප්‍රමාණය මෙලෙස 2,500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බවයි.

එමෙන්ම, යම්කිසි අයෙකුට හදිසි අවශ්‍යතාවයක් මත විදේශගත වීම සඳහා අවශ්‍ය වුවහොත් ඒ සඳහා ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටද වෙනම කවුළුවක් ස්ථාපිත කර ඇති බව ඔහු සඳහන් කළා.

එහිදී ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්‍ර ඒ සඳහාම වෙන්කළ කමිටුවක් මගින් සලකා බැලීමෙන් අනතුරුව එම පුද්ගලයා සඳහා කඩිනමින් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


වයස අවුරුදු 2 පිරිමි දරුවෙකු නිවස අසල තිබූ ළිඳකට වැටී මියයයි

(14.01.2025 – 15:46 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව එරාවූර් ප්‍රදේශයේදී වයස අවුරුදු 2 යි මාස දෙකක (2) පිරිමි දරුවෙකු නිවස අසල තිබූ ළිඳකට වැටී මියගොස් තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම සිදුව තිබුණේ අදාළ දරුවාගේ මව දරුවා නිවසෙහි තබා නිවසින් පිටතට ගොස් සිටියදී.

දරුවා ළිඳ අසල තිබූ පුටුවක් මතට නැගීමෙන් පසු ළිඳට වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ ෴


හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය වෙයි

(14.01.2025 – 17:07 +0530 – hirunews.lk/sinhala)

සාමාජිකයින් ලක්ෂයකට (100,000) වැඩි පිරිසක් සිටින හෝමාගම සමූපකාර ඡන්දයෙන් මාලිමාව පරාජය කිරීමට හැකි වූ බව හෝමාගම සමූපකාරයේ හිටපු සභාපති සේනක මංගල ඊරියගොල්ල පවසනවා.

හෝමාගම සමූපකාරයේ ප්‍රාදේශික 59 න් 37 ක් ස්වාධීන කණ්ඩායම දිනාගෙන ඇති අතර මාලිමාව දිනා ඇත්තේ ප්‍රාදේශික 17 ක් පමණයි.

එමෙන්ම, තවත් ප්‍රාදේශික 05 ක ඡන්ද පවත්වා නැහැ.

මේ අතර, හෝමාගම සමූපකාරයට තේරී පත්වූ කාරක සභිකයින් සියදෙනා (100) අතරින් කාරක සභිකයින් 56 දෙනෙකු මෙම ස්වාධීන කණ්ඩායමෙන් තේරී පත්ව ඇති අතර මාලිමාවෙන් තේරී පත්ව ඇති කාරක සභිකයින් සංඛ්‍යාව 44 ක්.

මේ අතර, ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අසංක ශ්‍රීනාත් සඳහන් කළේ, 2025 වසර ආරම්භයේදීම හෝමාගම ජනතාව රජයට පළමු වෙඩිමුරය ලබා දී ඇති බවයි ෴


අමාත්‍ය හර්ෂණගේ නමට ආචාර්ය පදවියක් එල්ලීමේ සිද්ධියට පාර්ලිමේන්තු නිලධාරීන් හෙට (15) CIDයට

(14.01.2025 – 17:12 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසකට හෙට (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ලේඛන කාර්යාලයේ නිලධාරියෙකු ඇතුළු පිරිසකටයි එම කැඳවීම සිදුකර ඇත්තේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

මේ අතර රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ අදාල ප්‍රකාශ සටහන් කර ගැනීමටද මීට පෙර පියවර ගත්තා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් සඳහන් කිරීම පිළිබඳව දැඩි කතා බහක් මතුව තිබුණා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළා.

ඊට අදාළව විමර්ශන ආරම්භ කර තිබෙන අතර පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් රහස් පොලිසියට කැඳවා තිබෙන්නේ ඒ අනූවයි ෴


මැණික් සමග චීන ජාතික පියෙකු සහ දියණියක කටුනායකදී අත්අඩංගුවට

(14.01.2025 – 18:53 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනා මැණික් තොගයක් යට ඇඳුම්වල සඟවා චීනයට රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතික පියෙකු සහ දියණියක් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් චීනයේ චෙන්ග් වින්ග් නුවර බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

සිදු කළ පරික්ෂා කිරීම්වලදී මෙම චීන ජාතික පියා සහ දියණිය සතුව තිබූ චන්ද්‍රකාන්ති, ගෝමේද, ආරනූල් සහ වෛරෝඩි යන වර්ගවලට අයත් රුපියල් එක් කෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් දහසක (1,74,50,000) පමණ වටිනාකමින් යුත් මැණික් තොගයක් සොයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නේවාසික වීසා හිමි මොවුන් විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *