‘ඉන්දීය රෝ ඔත්තු සේවයේ’ පන්දහසක් (5000) ලංකාවේ මෙහෙයුමක..

‘ඉන්දීය රෝ ඔත්තු සේවයේ’ පන්දහසක් (5000) ලංකාවේ මෙහෙයුමක..


‘ඉන්දීය රෝ ඔත්තු සේවයේ’ පන්දහසක් (5000) ලංකාවේ මෙහෙයුමක..

(13.01.2025 – 14:10 +0530 – lankacnews.com)

‘ඉන්දීය රෝ ඔත්තු සේවයේ’ පන්දහසක් (5000) අද වන විට මෙරට තුල ක‍්‍රියාත්මක බවත් මෑතකාලීනව ඉන්දියානු න්‍යායපත්‍රය සැදී තිබෙන්නේ ලංකාවේ සාගරය, බලශක්තිය, විදුලිය, ඉඩම්, වරාය සහ ගුවන්තොටුපළ අත්පත් කරගන්නා කොල්ලකාරී ව්‍යාපෘතියක ස්වාභාවයෙන් බවත් ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ’ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ ‘ඉන්දියාව ලොකු අයියා ද ?’ සම්මන්ත්‍රණය කොළඹ පදනම් ආයතනයේ දී පවත්වන ලද අතර එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව පෙන්වා දුන්නේ මේ සැලසුම මෙතනින් නොනවතින බවත් ලංකාවේ ප්‍රධාන වරාය සහ ගුවන්තොටුපළ සියල්ලම අත්පත් කරගන්න ඉන්දියාව සැලසුම් කරගෙන සිටින බවත් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතම මෙසේ ද කියා සිටියේය :

“පසුගිය දෙසැම්බර් 15 – 17 අතර කාලයේදී අනුර කුමාර ජනාධිපතිවරයා ඉන්දියානු සංචාරයක නිරත වුණා. මේ සංචාරයේදී ඉන්දියාව සමග යම් එකඟතාවන් සඳහා සාකච්ඡා කළත් ඒවා අවසන් එකඟතා නෙවෙයි කියලා තමයි ආණ්ඩුව මාධ්‍යයට කිව්වේ. නමුත් ඩිජිටල් හැඳුනුම්පත සම්බන්ධ කොන්ත්‍රාත්තුව ඉන්දියානු සමාගමකට දෙන්න මේ සාකච්ඡාවලදි එකඟ වුණ බව විජිත හේරත් පසුව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට කියලා තිබුණා. ලංකාව රටක් විදිහට ඉන්දියාව එක්ක වගේම අනෙකුත් රටවල් සමගත් ආර්ථික සහ දේශපාලන සම්බන්ධතා පවත්වන්න ඕන කියලා අපිත් පිළිගන්නවා. නමුත් ඒ ගණුදෙනු රටේ ස්වාධීනත්වයට ස්වෛරීත්වයට හානිකර නොවිය යුතුයි. මේ වෙලාවේ ඉන්දියාව ඉන්නේ ලෝකයේ ආර්ථික බලවතෙක් වශයෙන් ඉදිරියට පැමිණීමේ උපායමාර්ගයක. ඒ උපායමාර්ගය එක්ක ඉන්දියාවට අවශ්‍යයි ආසියානු කලාපයේ භූ දේශපාලන බලය වෙළඳපොළ බලය අත්පත් කරගන්න. ඒ වැඩපිළිවෙළේ ගොදුරක් බවට ලංකාව පත් විය යුතු නෑ. සමහරු කියනවා ඉන්දියාව ලොකු ආර්ථිකයක් තියෙන රටක්. ඒක නිසා ඉන්දියාව අපේ කරට අත දාගන්න එක අපිට වාසියි කියලා. නමුත් මේ සෙල්ලම කරට අත දාගැනීමෙන් නවතින්නෑ. ඉන්දියාව සූදානම් වෙන්නේ ටිකෙන් ටික අපේ බෙල්ලම හිර කරන්න.

දැනට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය තමයි අපිට තියෙන එකම ඛණිජ තෙල් ගබඩාව. ඒ තෙල් ටැංකිවලින් 99 ක් අවුරුදු 37 ක කාලයකට IOC කියන ඉන්දියානු සමාගමට බදුදෙන්න ගිවිසුමකට ආවා. මෙයින් සමාගම භාවිතා කරල තියෙන්නෙ ටැංකි 14 යි. නමුත් මේ ගිවිසුම අවබෝධතා ගිවිසුමක් විතරයි. එතකොට මේ සමාගම අවුරුදු 20 ක් මේ තෙල් ටැංකි 14 පාවිච්චි කරලා තියෙන්නේ නිති විරෝධීව. 2021 සැප්තැම්බර් මාසෙදි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගිවිසුම් දෙකක් (2) අත්සන් කළා. ඒ තව අවුරුදු 50 කට තෙල් ටැංකි 14 ක් නළ පද්ධතිය සහ නැව් තෙල් අංශය ඉන්දියාවට විකුණන ගිවිසුමක් සහ තෙල් ටැංකි 66 ක් අවුරුදු 50 කට ඉන්දියාවට දෙන ගිවිසුමක්.

ඊළඟට කොළඹ වරාය සහ ත්‍රිකුණාමල වරාය විශේෂයි. ඇයි ඉන්දියාව අපේ වරායට ඇහැ ගහගෙන ඉන්නේ. හේතුව තමයි ඉන්දියානු වරායවල අවුරුද්දේ මාස හයක් (6) වැලි පිරෙනවා. නෞකාවලට ඒ කාලේයේදි සේවය සපයන්න බෑ. ලෝකයේ වරාය ශ්‍රේණිගතකිරීම් අනුව කොළඹ වරාය තියෙන්නෙ 25 වෙනි තැන. ඉන්දියාවේ ලොකුම වරාය වන ජවහර්ලාල් නේරු වරාය තියෙන්නෙ 35 වෙනි තැන. අදානි සමාගමට අයිති මුන්ද්‍රා වරාය තියෙන්නෙ 39 ට.”

අශිකා ජයවීර


ජල බෝතල් සමාගම් 33 ක් තත්ත්ව පරික්ෂාව මගහැරලා

(13.01.2025 – aruna.lk)

ස්වභාවික ජල උල්පත් හෝ භූගත ජලය සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ආයතන හා පුද්ගලයෝ සෑම මාස හයකට (6) වරක් එම ජල මූලාශ්‍රයේ ජලය රජයේ පිළිගත් රසායනාගාරයකින් පරීක්ෂා කරවා ගත යුතු බවට වන නියමය නොසලකා හරිමින් සිටිති.

රජයේ පිළිගත් රසායනාගාරයකින් මාස හයකට (6) වරක් ලබාගත යුතු එම වාර්තාවට ජල සම්පත් මණ්ඩලයේ අනුමැතිය ද ලබාගැනීම අනිවාර්යයකි. ස්වභාවික ජල උල්පත් හෝ භුගත ජලය යොදාගෙන ජල බෝතල් කර්මාන්තයේ යෙදෙන හා බීම නිෂ්පාදනයේ නියැළෙන තැනැත්තන් විශාල පිරිසක් දිවයින පුරා සිටින නමුත් පසුගිය වසර වන විට ජල සම්පත් මණ්ඩලයේ ලියාපදිංචි වී ඇත්තේ 42 ක් පමණි. එම 42 න්ද ඉහත ආකාරයට නියමිත වාර්තා අනුමැතියට ඉදිරිපත් කර ඇත්තේ 9 ක් පමණක් යැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරගෙන තිබේ.

විෂ සහිත ද්‍රව්‍ය පරිසරයට එකතුවීම ශීඝ්‍රයෙන් සිදුවන හෙයින් ජල මූලාශ්‍රවල තත්ත්වය පරීක්ෂා කිරීම අනිවාර්ය වන නමුත් එම අනිවාර්ය අවශ්‍යතාව නිෂ්පාදකයන් පැහැර හැරීම පාරිභෝගිකයන්ට කරන හානියක් බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජලසම්පත් මණ්ඩල ප්‍රකාශකයෙක් කීවේය ෴


අරුණ ගුණරත්න ‘ජයසේකර අපොන්සු’ සමඟ කළ සංවාදයක් (09.01.2025)

+


දුම්රිය වර්ජනයක් කැඳවති…

(13.01.2025 – 16:40 +0530 – lankacnews.com)

දුම්රිය ස්ථානාධිපතිවරුන් 467 ක පුරප්පාඩුව සහ වසර 12 ක් තිස්සේ ලැබී නොමැති උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදුනහොත් ලබන 23 යින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට සිදුවන බව ‘දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ’ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 1372 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 905 ක් පමණ බවද මීට පෙර පැවැත්වූ විභාගයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් 100 ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇතත් එම බඳවා ගැනීම් නොව නව බඳවා ගැනීම් සිදුකිරීමට විභාගයක්වත් පවත්වා නැති බවද සෝමරත්න මහතා පැවැසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර පහෙන් පහට උසස්වීම් ලබාදිය යුතු වුවත් 2013 සිට මේ දක්වා එම උසස්වීම් ලබාදී නැතැයිද ඔහු කීය. පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ (12) වන තෙක් ප්‍රවාහන ඇමැතිවරයා සාකච්ඡාවක් පවා ලබාදී නැතැයිද එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් 23 වැනිදායින් පසු ගන්නා ක්‍රියාමාර්ගය කුමන එකක්ද යන්න ඉදිරි දිනවල සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


සොරාගත් යතුරුපැදියෙන් යතුරුපැදි කම්හලක් සොයාගනී

(13.01.2025 – 13:23 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ යතුරුපැදි එකලස් කිරීමේ ස්ථානයක් වටලා එහි සොරාගත් බවට සැකකෙරෙන යතුරුපැදි කිහිපයක් සහ තවත් එකලස් කිරීමේ උපාංග රැසක්ද සොයා ගැනීමට පුත්තලම මූලස්ථාන පොලිසි‍ය ඊයේ (12) සමත්ව තිබෙනවා.

මෙම මහා පරිමාණ එකලස් කිරීමේ ස්ථානය සොයා ගැනීමට හැකිව ඇත්තේ, පසුගිය 10 වැනිදා පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ, වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක නවතා තිබූ ෆල්සර් වර්ගයේ යතුරුපැදියක් සොරාගෙන ඇති අතර, එහි හිමිකරු විසින් පුත්තලම මූලස්ථාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකදී මෙම ස්ථානය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව එකී යතුරුපැදිය සොරා ගත් බව පැවසෙන සැකකරු යතුරුපැදිය සොරා ගෙන යන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර, ඒ අනුව පළමුව යතුරුපැදිය සොරාගත් සැකකරුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අනනතුරුව ඔහුගෙන් කල දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ අදාල යතුරුපැදිය තමන් විසින් සොරා ගෙන ගොස් මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ නිෂ්පාදනය කරන ලද වඩුමඩුවක තබා ඇති බවයි.

ඒ අනුව එම ස්ථානය නිරික්ෂණය කිරීමට ගිය පොලිස් නිලධාරින්ට දැකගැනීමට හැකිව ඇත්තේ යතුරුපැදි විශාල ප්‍රමාණයක අමතර කොටස් එහි තැනින් තැන දමා තිබෙන අයුරුයි.

එහිදී සිදුකළ සෝදිසියකදී අනාවරණය වී ඇත්තේ මෙලෙස කොටස් කර ඇත්තේ ස්ථාන කිහිපයකදී සොරාගත් බවට සැකකරන යතුරුපැදි කිහිපයක් බවයි.

එහි තිබූ එක්ලස් කර ඇති යතුරුපැදි කිහිපයක්ද, ව්‍යාජ අංක තහඩු කිහිපයක්ද පොලිසිය විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා ෴


ටීවී දෙරණ – ජාතික වේදිකාව – අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමි (13.01.2025)

+


2025 දී රටට අත්වන ඉරණම ගැන සුජිත් යෝගීතුමා සිදුකල ප්‍රබල අනාවරණය (12.01.2025)

+


කොළඹ නගර සභාවේ ‘කාර් පාර්ක්’ බදු ගත් සමාගම් 26 ක් ගැන විමර්ශන

(14.01.2025 – mawbima.lk)

කොළඹ මහ නගර සභාවට අය විය යුතු රුපියල් කෝටි විසිහතකට (27,00,00,000) ආසන්න මුදලක් ගෙවීම පැහැරහැර ඇති, කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම් 26 ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ වන විට ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත නාගරික කොමසාරිස්වරයා විසින් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාවේ කරුණු සහ පැමිණිල්ල පෙන්වාදුන් කරුණු සලකා කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මීට අදාළ පැමිණිල්ල යොමු කර ඇත්තේ ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’යි. එම සංවිධානය පෙන්වා දී ඇත්තේ නගර සභාවට අයත් වාහන නැවතුම්පොළවල් සඳහා 2023 වසරේ සමාගම් 26 ක් ගෙවිය යුතු හිඟ මුදල් වශයෙන් රුපියල් විසිකෝටි හතළිස්ලක්ෂයකි (204,164,110). එසේ හිඟ මුදල් ගෙවීමට තිබියදී එම සමාගම් සඳහා නැවත 2024 වසරේ වාහන නැවතුම්පොළවල් සඳහා බදු දී තිබේ. ඒ අනුව 2024 වසරේ හතර වැනි (4) මාසය අවසානය වන විට එම සමාගම් නගර සභාවට ගෙවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් කෝටිවිසිහයක් (264,859,471) පමණ වන බව පැමිණිල්ල මඟින් දක්වා ඇත. ඉහත සඳහන් මෙම ගනුදෙනු සම්බන්ධව කිසිදු විනිවිදභාවයක් නොමැති නිසා ඒ සම්බන්ධව පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය’ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව අල්ලස් කොමිසම පරීක්ෂණ මේ ආකාරයට ආරම්භ කර තිබෙන බව කොමිෂන් සභාවේ නියෝගය පරිදි ලේකම් කේ.ජී. ලැනරෝල් මහතා ලිපියක් මඟින් දන්වා ඇත ෴


හිරගෙදර ‘කප්පම් ‍දොස්තර’ ගැන විමර්ශනයක් කරන්න

(14.01.2025 – mawbima.lk)

රෝහල් ප්‍රතිකාර සිදුකරන්නට බන්ධනාගාර රැඳවියන්ගෙන් කප්පම් ඉල්ලූ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා ගැන විමර්ශනයක් කරන්න යැයි ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ’ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.

බන්ධනාගාරයේ පසුවන රැඳවියන් රෝහල්ගත කිරීම සඳහා එම රැඳවියන්ගෙන් කප්පම් ඉල්ලා සිටින බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු සම්බන්ධව ‘සිරකරු සුබ සාධක සංගමය’ හෙළිකොට ඇති බැවින් එම වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සිවිල් සංවිධාන සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර ගත කළ වහාම බන්ධනාගාර රෝහලට මාරු කිරීමට එක් වෛද්‍යවරියක කටයුතු කිරීම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල විය.

බන්ධනාගාර රෝහලේ රැඳවියන්ගෙන් මෙම කප්පම් ගන්නා වෛද්‍යවරයා මීට පෙර බන්ධනාගාරය තුළ කොවිඩ් සමයේදී රැඳවියන් ඝාතනය කරන අවස්ථාවේදීද එම සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇතැයි සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මෙම වෛද්‍යවරයා දිගින් දිගටම බන්ධනාගාර රෝහල තුළ රඳවා තැබීමට කටයුතු කර ඇති බවත් මොහු දැනට බන්ධනාගාර රෝහල භාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන බවටද තොරතුරු ලැබී ඇති බැවින් වහාම මේ සම්බන්ධව පියවර ගත යුතු බව සිවිල් සංවිධාන අවධාරණය කළේය ෴


රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළැයි අනුරාධපුර කෝටිපති කපුවෙක් සමඟ බිරිය හා ලේලිය රිමාන්ඩ්

(14.01.2025 – mawbima.lk)

නිධානයකින් ලබාගත් බව කියන ව්‍යාජ රන් කැබලි ලබාදී අනුරාධපුරයේ රන් භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂ අසූ හය දහසක් (2,20,86,000) වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ දිවයිනේ විවිධ තැන්වල මහ පරිමාණයෙන් දේවාල පවත්වාගෙන යනු ලබන කපුවකු, ඔහුගේ බිරිය සහ ලේලිය මේ මස 23 දින දක්වා රිමාන්ඩ් කරන ලෙස පී.එච්.ඩබ්.ඩී.එල්. සමරසිංහ මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් විසින් වංචනික ලෙස පැමිණිලිකාර ව්‍යාපාරිකයාට ලබාදී ඇති රන් කැබලි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහෙස්ත්‍රාත්වරිය අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයට නියෝග කරනු ලැබුවාය. මෙසේ රිමාන්ඩ් කළේ දිවයිනේ විවිධ ප්‍රදේශවල මහ පරිමාණයෙන් දේවාල පවත්වාගෙන යන කෝටිපතියකු වන ඉපලෝගම කලාකරඹෑව පදිංචි ‘ගොඩඅමුණ විතානගේ හෙක්ටර්’ සහ ඔහුගේ බිරිය වන ‘ඒ.ටී. ලුසීනා ලියෝමි ධර්මරත්න’ සහ ඔහුගේ ලේලිය වන ‘ඒ.ටී. සංජීවනී ධර්මරත්න’ යන සැකකරුවන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක රණවීර මහතා කියා සිටියේ නිධානයකින් ලබාගත් බව කියන ව්‍යාජ රන් කැබලි කිහිපයක් ලබාදී මෙම සැකකරුවන් රුපියල් දෙකෝටි විසිලක්ෂ අසූහය දහසක (2,20,86,000) පමණ මුදලක් වංචනික ලෙස ලබාගත් බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් මූලික විමර්ශනයක් සිදුකර ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් අම්පාරඋහන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් බවද උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.

මෙම වංචාවට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ ප්‍රධාන ගෝලයකු ඇතුළු කලාකරඹෑව ප්‍රදේශයේ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවත් දැනුම්දුන් උප පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයිද ඉල්ලා සිටියේය.

අනුරාධපුර නගරයේ රන් භාණ්ඩ අලෙවි කිරීමේ නිරත සුසන්ත වජිර කුමාර මහතා විසින් අනුරාධපුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගෙන් විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිණි.

ප්‍රධාන සැකකාර ‘හෙක්ටර්’ නමැත්තා ඇතුළු සැකකරුවන් විසින් කලක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල දේවාල පවත්වාගෙන යමින් නිධානවලින් ලබාගත් බව කියන ව්‍යාජ රන් කැබලි විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට ලබාදී ඔවුන් රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමට උතුරු මැද පළාතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද සම්බන්ධ බව පවසමින් රන් භාණ්ඩ ව්‍යාපාරික සුසන්ත වජිර කුමාර මහතා විසින් ජාතික පොලිස් කොමිසමට පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳවද වෙනමම විමර්ශන අරඹා තිබේ. උතුරු මැද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙම ව්‍යාජ රන් ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කළ හැකි සියලු සාක්ෂි තමන් සතුව පවතින බවද ව්‍යාපාරික සුසන්ත වජිර කුමාර මහතා කර ඇති ඉහත පැමිණිලිවල සඳහන්ය. අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් ආනන්ද මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක රණවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *