මස්සිනා විසින් මහමගදී පැහරගත් 19 හැවිරිදි දියණිය ගැන තොරතුරු රැසක් එළියට

මස්සිනා විසින් මහමගදී පැහරගත් 19 හැවිරිදි දියණිය ගැන තොරතුරු රැසක් එළියට


මස්සිනා විසින් මහමගදී පැහරගත් 19 හැවිරිදි දියණිය ගැන තොරතුරු රැසක් එළියට

(12.01.2025 – 16:02 +0530 – hirunews.lk/sinhala)

දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය පැහැර ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දවුලගල හා ගම්පොළ පොලිස් ස්ථාන මගින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (11) පෙරවරුවේ පෙරවරු 07:15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇති බව සඳහන්.

අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු රුපියල් ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී තිබෙනවා.

එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50,000 ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇති බව සඳහන්.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිසුවිය පාසල් නිල ඇදුමින් සැරසී මිතුරිය සමඟ පංතියට යමින් සිටිය දී ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු සී.සී.ටී.වී. කැමරාවල පැහැදිලිව සටහන්ව ඇති බව සඳහන්.

එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා වෑන් රථයේ එල්ලී මීටර් 500 ක පමණ දුරක් ගමන් ගෙන තිබෙන අතර ඔහුට පහර දී බිම දැමීමට සැකකරු සමත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ ආසන්නයේ තිබූ යතුරු පැදියකින් කිලෝ මීටර් 20 ක පමණ දුරක් පාසල් ගුරුවරයෙකු වෑන් රථය ලුහුබැඳ ගොස් තිබෙනවා.

කටුගස්තොට නගරයේ දී ඔහුට වෑන් රථය මග හැරී තිබෙන අතර පසුව අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබිය දී පොලීසිය පෙරේදා (11) පස්වරුවේ සොයා ගෙන ඇති බව සඳහන්.

වාහන කුළියට ලබාදෙන ස්ථානය මගින් වෑන් රථයේ ජී.පී.එස්. තාක්ෂණ උපාංග සවිකර තිබීම නිසා වෑන් රථය සොයා ගැනීම පහසු වූ බව පොලීසිය පවසනවා.

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

දහනව (19) හැවිරිදි සිසුවිය සැකකරුගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත් සැකකරු පැහැර ගැනීමට ලක් වූ තරුණිය විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සිසුවියගේ පාර්ශවය පවසන්නේ කලක් ජපානයේ රැකියාවක් කර තිබෙන සැකකරු මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවයි.

මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් කරගත හැකි වන්නේ සිසුවිය සොයා ගැනීමෙන් පසු ඇය ලබාදෙන ප්‍රකාශ අනුව බවයි පොලීසිය පවසන්නේ

සිසුවිය සොයා පොළොන්නරුව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙන අතර ජංගම දුරකතනයෙන් සැකකරු ලබාගත් ඇමතුම් සම්බන්ධ වූ දුරකතන කුළුණු ඔස්සේ ඔහු සිටින ප්‍රදේශය සොයා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත දවුලගල හා ගම්පොළ පොලීසි මගින් විමර්ශන සිදු කරයි.

+

+


කොළඹ වරායට පැමිණි නැව් තිහක් (30) ආපහු හැරී යයි…

(12.01.2025 – 22:02 +0530 – lankacnews.com)

කොළඹ වරායේ පවතින බහාලුම් අවහිරතාව විසඳීම සඳහා රේගුව ඇතුළු අදාළ ආයතන පැය විසි හතර පුරා රාජකාරිය කිරීමට ජනාධිපතිවරයා හමුවේ එකඟ වී තිබේ.

ඒ අනුව එම ගැටළුවට ඉදිරි දින දහය (10) තුළ විසඳුම් ලැබෙනු ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

ගත වූ සති දෙකක (2) කාලය ඇතුළත නැව් තිහක් (30) ආපසු හැරී ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එසේ නොවීමට අවශ්‍ය කටයුතු මීට වසර හතරකට පහකට (4 – 5) පෙර කර තිබුණේ නම් මෙම ගැටළුව අද දිනයේ මතු නොවන බවද හෙතෙම කියා සිටියේය.

ජනාධිපති කාර්යාලය ඉදිරියේදී මාධ්‍ය අමතමින් මාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර (4) තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් සමග ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම, වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මේ අතර, ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගන්නා ලදී.

ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින 07 ම පැය 24 ම රාජකාරි කිරීමට එකඟතාවය පලකර තිබේ.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත.

ඒ අනුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක(5) භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන තිබේ.

ඉන් අක්කර දෙකක (2) ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය විය.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී ඇත.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.

එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මීට අදාළ මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී අවධාරණය කර තිබේ.

ආහාර ආශ්‍රිත නිෂ්පාදන වලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබාගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වී ඇත.

වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සඳහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් (2) දක්වා අඩුකිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් (1) දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බවත් වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

දැනට මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවය පැමිණි වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලීමක් කරන ලදී.

+

+

+


සාගරය වනසන තෙල් ගැටලුවට ශ්‍රී ලංකාවෙන් විසඳුමක්

(12.01.2025 – 22:28 +0530 – hirunews.lk/sinhala)

නෞකාවලින් ඉවතලන තෙල් හේතුවෙන් සාගරය දූෂණය වීම මේ වනවිට ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමුව ඇති පාරිසරික ගැටලුවක්.

නමුත් මේ ගැටලුවට මෙරට මිනිරන් ආශ්‍රයෙන් විසඳුමක් ලබාදීමට ‘ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ’ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ තාක්ෂණය සියැසින් දැකගන්නට හිරුටත් අවස්ථාව හිමිවුණා.

වාර්ෂිකව ජාත්‍යන්තර මුහුදු කලාපවල යාත්‍රා කෙරෙන නෞකා සංඛ්‍යාව 100,000 සීමාව ඉක්මවනවා.

එලෙස යාත්‍රා කෙරෙන නෞකාවල භාවිතයෙන් පසු සාගරයට එකතු වන ඉවතලන තෙල් ප්‍රමාණය ලීටර් මිලියන 3,000 කට අධිකයි.

එලෙස ඉවතලන තෙල් පිරිසිදු කිරීම සඳහා ලොව ප්‍රධාන පෙළේ නැව් සමාගම් වැයකරන මුදල වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 177 ඉක්මවනවා.

නෞකාවලින් ඉවතලන තෙල් හරහා සාගර ජලය දූෂණය වීම ගෝලීය පාරිසරික ගැටලුවක් වී ඇති පසුබිමක ‘ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ’ විද්‍යාඥයින් පිරිසක් ඊට විසඳුමක් සොයා ගැනීමට සමත්වී තිබෙනවා.

‘බෝගල මිනිරන් පතලෙන්’ සහ ‘කහටගහ මිනිරන් පතලෙන්’ ලබාගන්නා මිනිරන්වල අගය විද්‍යාත්මකව වැඩි කරමින් සාගර ජලයට එකතුවන තෙල් ඉවත් කිරීමට අදාළ නිෂ්පාදනයක් සොයාගැනීමට ‘ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ’ විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

මාස 06 කට අඩු කාලයක් තුළ ඔවුන් සොයාගත් මෙම තාක්ෂණයට ලොවපුරා තෙල් ප්‍රවාහනය කරන නෞකා සමාගම්වලින් ඇත්තේ දැඩි ඉල්ලුමක්.

‘ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ’ විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගත් මෙම තාක්ෂණය පසුගියදා ‘එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ’ පිහිටි තාක්ෂණික ආයතනයකට ඔවුන්ගේ මෙරට පිහිටි සමාගමක් හරහා ලබාදීම සිදුකළේ ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ ගණනක විනිමය වාසියක් අත්කර දෙමින්.

එම සමාගම ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් සොයාගත් මෙම තාක්ෂණය ලොවපුරා ප්‍රචලිත කිරීමට නියමිතයි.

+


ඉදිරියේදි සහල් කිලෝව රු. 400 ඉක්මවා යන බව හිටපු කෘෂි අධ්‍යක්ෂකවරයෙකු කියයි

(12.01.2025 – 21:34 +0530 – hirunews.lk/sinhala)

තෛපොංගල් දිනය සඳහා තවත් දින 2 ක් පමණක් ඉතිරිව තිබියදී වෙළෙඳපොළේ රතු කැකුළු සහල් හිඟවීමෙන් තෛපොංගල් සමරන වතුකරයේ ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ආනයනික සහල්වලින් කිරිබත් සකසා ගැනීම අපහසු බවටයි.

ගෙවුණු මාසයකට අධික කාලයක සිටම දිවයිනේ බොහෝ ප්‍රදේශවල කැකුළු සහල් හිඟයක් පවතින අතර, වෙළෙඳපොලේ පවතින සහල් තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාම අප තොරතුරු වාර්තා කළා.

සහල් හිඟයට පිලියම් ලෙස සහල් ආනයනයට රජය ගත් පියවරත් සමග සහල් මෙට්‍රික් ටොන් 167,000 ක් මෙරටට ආනයනය කෙරුණු අතර, ඉන් වෙළෙඳපොලේ පැවැති සහල් හිගයට විසඳුමක් ලැබී තිබුණා.

කෙසේ වෙතත් තවමත් පවතින රතු කැකුළු සහල් හිඟය හේතුවෙන් වතුකරයේ දමිළ ජනතාව අසීරුතාවට පත්ව ඇත්තේ අනිද්දා උදාවන තෛපොංගල් උත්සවය වෙනුවෙන් චාරිත්‍ර ඉටු කීරීමට සිදුව තිබීම හේතුවෙන්.

මේ අතර, වී සඳහා රුපියල් 150 ක සහතික මිලක් නියම කළහොත් ඉන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වන බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එසේ වුවහොත් නාඩු සහල් කිලෝවක් රුපියල් 330 ක් දක්වාත් කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 400 ක් දක්වාත් මිල ඉහළ යා හැකි බවයි.

+


ත්‍යාග ලබා දෙන බව පවසා බැංකු ගිණුම්වලට විද්ද කල්ලියක් මාට්ටු

(12.01.2025 – 17:32 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ජංගම දුරකතන සඳහා භාවිත කරන සිම්පත් හිමිකරුවන්ට ත්‍යාග ලබා දෙන බව පවසා, එකී ත්‍යාග ලබා ගැනීමට මුදල් ගෙවන ලෙස දන්වා ඔවුන්ගේ ගිණුම් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ, පාලවිය හා කරඹ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් සංවිධානාත්මක ලෙස වසර ගණනක මෙම කුට ජාවාරමේ නිරතව සිට ඇති බවයි.

මොවුන් මෙම කූඨ ජාවාරම ඉතාමත් සූක්ෂම ලෙස සංවිධානාත්මකව කාලයක් පුරා මෙහෙයවා ඇති අතර, පසුව වංචාවට හසුවූ පිරිස් පොලිසියට කළ පැමිණිලි මත සිදුකල විමර්ශනවලින් අනතුරුව මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම වංචාව ඔවුන් සිදුකර ඇත්තේ, පළමුව දුරකථන ඇමතුමක් ලබා දී සිම්පත අයිතිකරුට මුදලින් රුපියල් හැත්තෑ පන්දහසක (75,000) මුදල් ත්‍යාගයක් හෝ වටිනා රූපවාහිනි යන්ත්‍රයක් හිමිව ඇති බවත් එම ත්‍යාගය පැය දෙකක් (2) වැනි කාලයක් තුළ ලබා නොගන්නේ නම් ස්වංක්‍රියවම අවලංගු වන බවයි.

අනතුරුව ත්‍යාගය හිමිකර ගැනීමට කැමතිනම් ඔහුගේ ජංගම දුරකථන අංකය හා හැඳුනුම්පත් අංකය ප්‍රථමයෙන් ලබා දිය යුතුය යන්න පවසා තිබෙනවා.

එලෙස පුද්ගලික තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව මෙම සංවිධානාත්මක සොර කල්ලියි විසින් ඒ වනවිට දුරකථනය ඔස්සේ නිර්මාණය කර තිබූ මෘදුකාංගයක් භාවිතයෙන් අදාළ විස්තර හා දත්ත ගබඩා කර ගැනීමෙන් පසු එම මෘදුකාංගය මගින් නැවත වතාවක් අංක හතරකින් යුතු රහස් කේතයක් සිම්පත් හිමිකරු වෙත කෙටි පණිවිඩයක් ආශ්‍රයෙන් ලැබීමට සලස්වන අතර, පසුව එම අංකය තහවුරු කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ බැංකු කාඩ්පත් විස්තර සියල්ලේ තොරතුරු ලබාගෙන ඔවුන්ගේ ජංගම ගිණුම්වල පවතින මුදල් කොල්ලකෑම සිදු කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *