හරීන් ප්‍රනාන්දු ඇමති කාළේ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 323 ක ප්‍රසංගයක් ගැන අමාත්‍ය එරංග ගුණසේකර කියයි

හරීන් ප්‍රනාන්දු ඇමති කාළේ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 323 ක ප්‍රසංගයක් ගැන අමාත්‍ය එරංග ගුණසේකර කියයි


හරීන් ප්‍රනාන්දු ඇමති කාළේ තරුණ සේවා සභාවේ රුපියල් මිලියන 323 ක ප්‍රසංගයක් ගැන අමාත්‍ය එරංග ගුණසේකර කියයි

(11.01.2025 – 21:41 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ තරුණ සේවා සභාව හරහා සංවිධාන කළ Smart Youth Night ප්‍රසංග මාලාවේ ප්‍රසංග දෙකක් (2) සඳහා මූලික වියදම් සිදු කළද ඒවා පවත්වා නොමැති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (11) හෝමාගම පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇති බවයි.

2024 වසරේ තරුණ සේවා සභාව හරහා සංවිධාන කළ Smart Youth Night ප්‍රසංග මාලාව වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 323 ක් වියදම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඉකුත් 05 වැනිදා අනාවරණ කළා.

ඒ අනුව ජාතික විගණන කාර්යාලය මගින් ඊට අදාළව විගණනයක් සිදු කර තිබෙනවා.

එහි දැක්වුණේ 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ජාතික තරුණ සේවා සභාව විසින් ස්ථාන 14 කදී ‘ස්මාට් යූත්’ ප්‍රදර්ශන සමග ප්‍රසංග පැවැත්වීමට සැලසුම් කර තිබූ බවයි.

නමුත් ප්‍රදර්ශනය ද සමග සංගීත ප්‍රසංග 03 ක් පමණක් පවත්වා ඇති අතර සංගීත ප්‍රසංග පමණක් 9 ක් පවත්වා ඇති බව එහි සඳහන්.

ඒ සඳහා මුදල් වැය කර තිබූ ආකාරය පිළිබඳව විගණනයේදී කරුණු අනාවරණ වී තිබෙනවා.

2024.04.28 වැනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේ පැවැත්වූ සංගීත ප්‍රසංගය වෙනුවෙන් රුපියල් 16,667,851 ක් වැය කර ඇති අතර 2024 ජූනි 14 හා 15 දෙදින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැති ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් රුපියල් 31,417,778 ක් වැය කර තිබෙනවා.

එමෙන්ම අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, බණ්ඩාරවෙල මහියංගණය, හිඟුරක්ගොඩ කොළඹ යන ප්‍රදේශවල ප්‍රසංග හා ප්‍රදර්ශන සඳහා රුපියල් මිලියන 323 කට වැඩි මුදලක් වැය කර ඇති බව විගණන විමසුමේ සඳහන්.

කෙසේ වෙතත් ස්ථාන දෙකක (2) සංවිධාන කළ ප්‍රසංග සඳහා මූලික වියදම් සිදු කළද ඒවා පවත්වා නොමැති බවද එම විගණන විමසුම් වාර්තාවේ දැක්වෙනවා.

+


අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා පොලිසියට වේග මාපක

(11.01.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඒ අනුව මෙහි පළමු අදියර ලෙස මීගමුව, කැලණිය, ගම්පහ යන කොට්ඨාසවල කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල ලබා දුන් අතර, ඉදිරියේදී දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත ලබා දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

තවද පොලිස් රථ වාහන මුලස්ථානය මඟින් ඉදිරියේදී රථ වාහන නිලධාරීන්ට මෙම වේග මාපක යන්ත්‍රය හැසිරවීම සඳහා අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතයි.

+


කතෝලික මුස්ලිම් අය දියුණු වීමේ රහස කුමක් ද? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (11.01.2025)

+


පාසලෙන් දුන් කෑම (ජලය?) විෂවේ.. සිසුන් 50 ක් ලෙඩ වෙයි..

(11.01.2025 – 18:20 +0530 – lankacnews.com)

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන දික්ඔය ශ්‍රිවානි දමිල පාසලේ ළමුන් 50 දෙනෙකු පමණ හදිසියේ රෝගාතුර විම සම්බන්ධයෙන් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් (11) දින එම පාසල වෙත පැමිණ පරික්ෂණයක් ආරම්භ කර ඇත.

එම පාසලේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හට (10) දින පස්වරුවේ සිට ක්ලාන්තය, වමනය සහ පාචනය යන රෝග ලක්ෂණ මතු විම නිසා එම සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් ළමුන් 25 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල බව දික්ඔය මුලික රෝහලේ සහකාර අධ්‍යක්ෂක වෛද්‍යය කේ. අරුල් මහතා පැවසිය.

තවත් සිසු සිසුවියන් පිරිසක් දික්ඔය සහ හැටන් යන නගර වල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබා ඇති බවත්, දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කල සිසු සිසුවියන් 25 දෙනාගෙන් 22 දෙනෙකු පමණ (11) දි ප්‍රතිකාර ලබා පිටව ගිය බවත්, සෙසු සිසු සිසුවියන් තිදෙනා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

(10) දින උදැසන පාසලේ උදෑසන ආහාරය සදහා බත්, බෝංචි, පරිප්පු, මුකුණුවැන්න ලබා දි ඇති බවත්, එම ආහාර අනුභව නොකල සිසු සිසුවියන්ද මෙසේ රෝග ලක්ෂණ මතුවිම නිසා රෝහල් ගත කර ඇති බවත්, මෙය පාසලේ ‘පානිය ජලයේ ගැටළුවක්’ වන්නට හැකි බවට සැකකරන බව සහකාර අධ්‍යක්ෂකවරයා පැවසිය.

ළමුන් රෝගාතුර විම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පාසල වෙත ලබාදි ඇති ජල සම්පල් ලබාගැණින.

රංජිත් රාජපක්ෂ


බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

(11.01.2025 – 21:43 +0530 – sinhala.adaderana.lk)

රෝගින්ගේ මුඛය පිරිසිඳු කිරීම සඳහා භාවිත කරන විශබීජ නාශක බෝතල් ගෙන්වීමක් සඳහා, අසාදු ලේඛනගත කළ බංග්ලාදේශ සමාගමකට ටෙන්ඩර් ලබාදීමට රාජ්‍ය ඖෂධ සංස්ථාව අනුමත කර ඇතිබවට ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය’ චෝදනා කරයි.

එම සන්ධානයේ සභාපති ‘වෛද්‍ය චමල් සංජීව’ අද (11) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම අදහස් පළකළේය.

“බරපතළ ටෙන්ඩර් ගනුදෙනුවක් රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ පසුගිය සති කිහිපය තුළ සිදුවෙලා තිබෙනවා. රෝගීන්ගේ මුඛ පිරිසිදු කිරීමට භාවිතකරන විෂබීජනාශක බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් (2,70,000) මිලදී ගැනීමට පසුගිය වසරේ (2024) ජුනි මාසයේ රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවලා. පසුගිය දෙසැම්බර් 12 වනදා මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් තීරණයක් ලබාදීලා. මිල අඩුම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කරලා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ ටෙන්ඩරයට අදාළ සමාගම ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් තවදුරටත් මූල්‍ය ගනුදෙනු නොකළ යුතු බවට තීරණය කළ සමාගමක්. මේ සමාගමෙන් ශ්‍රී ලංකා රජයට රු. මිලියන 127 ක අධිභාරයක් අයවිය යුතුව තිබේ.”

කෙසේවෙතත් එම චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ පිළිබඳව සොයාබැලීමකින් තොරව ප්‍රකාශක් කළ නොහැකි බවය.

+

+


දකුණු කොරියාවේ රැකියා සිහින පෙන්වූ කාන්තාවක් අත්අඩංගුවට

(11.01.2025 – 20:45 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාවේ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකරන මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි 05 කට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, දකුණු කොරියාවේ E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට (2) ආසන්න මුදලක් සැකාරිය විසින් ලබාගෙන ඇති බවය.

ඒ අනුව, ඇය විසින් පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය හෙට (12) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+


කොළඹ වරායේ බහලුම් නිෂ්කාශන ප්‍රමාදයට හේතුව හෙළිවෙයි

(11.01.2025 – 18:24 +0530 – sinhala.adaderana.lk)

කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ සඳහා මූලික හේතුව බවට පත්ව ඇත්තේ බහලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාදවීම බවය.

දැනට දිනකට බහලුම් 1500 – 3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ශාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් එහි සඳහන් වේ.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතාගේ සම්පූර්ණ නිවේදනය පහතින් :

= කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධවයි =

ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් වී තිබේ. මේ සඳහා මූලික හේතුව වශයෙන් රේගුව හඳුනා ගෙන ඇති කරුන නම් බහලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් මඳවීමයි.

දැනට දිනකට බහලුම් 1500 – 3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කෙරේ.

පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ෂක, ශාක නීරෝධායන, සත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහා වේ. කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය සංදහා ඉටු කල යුතු සේවාවකි.

දැනට බහලුම් පරීක්ෂාව සඳහා ඇති අංගන 03 හි ධාරිතාවය බහලුම් 350 කි. දිනකට බහලුම් 2000 ක් ආනයනය කලහොත් ඉන් 800 ක් පරික්ෂාව සඳහා යොමු වේ. සමහර දිනවල බහලුම් 3000 ක් පමණ ආනයනය කෙරේ. එවිට ඇතිවන තත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ.

රේගුව විසින් පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉහල අවදානමක් ඇති බහලුම් වේ. දැනට පරීක්ෂා කරන බහලුම් වලින් 65% ක රේගු වැරදි සොයා ගැනේ.

රාජ්‍ය ආදායම සුරක්ෂිත කිරීම, හොරබඩු ජාවාරම වැලැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වේ.

දැනට බහලුම් නිශ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇත. විශේෂයෙන් නිශ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ෂණය සඳහා නොපැමිණීම, පිටකොටුවේ ගොඩබෑමට ඇති බහලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගනවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගනවල ඉඩකඩ ඇහිරීම තුලින් වැඩි බහලුම් තොගයක් පරීක්ෂා කිරීමට නොහැකිවීම, අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට අනුයුක්ත නොකිරීම හා මුලු කාලය පුරා ඔවුන් සේවයේ රැඳීනොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී ඇත.

එසේම වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසා ද දිනකට පරීක්ෂා කෙරෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා රේගුවට භාණ්ඩ පරීක්ෂාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර කෙරවලපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කෙරුනත් ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්තමාන අර්බුධයට මුහුණ දීමට සිදුවී ඇත.

කෙසේ වෙතත්, වර්තමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ෂන මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුළින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගන භාවිතය පිලිබඳ අවධානයද යොමු වී ඇත.

+

+


රටක් ආදරේ අජිත් බණ්ඩාරට කළ අපරාධය | අල්ලපු ගෙදරින් ඇවිල්ලා තියෙන්නේ, ඒ පුතා මොනවා හරි පාවිච්චි කරනවා (11.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *