කලටුවාවේ ජලය තවත් දින 20 කට පමණයි – ඉදිරි සති 2 ක තීරණාත්මකයි

කලටුවාවේ ජලය තවත් දින 20 කට පමණයි – ඉදිරි සති 2 ක තීරණාත්මකයි


කලටුවාවේ ජලය තවත් දින 20 කට පමණයි – ඉදිරි සති 2 ක තීරණාත්මකයි

(02.04.2026 – 12:36 +0530 – sinhala.adaderana.lk)

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20 කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බවය.

මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50 කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

+++

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24 ක ජලය අත්හිටුවීමට තීරණයක්

(02.04.2026 – 12:13 +0530 – sinhala.adaderana.lk)

පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී (බටහිර මධ්‍යම) දිස්නා පන්නිල මහත්මිය සඳහන් කළේ, ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 08:00 සිට හෙට (03) රාත්‍රි 08:00 දක්වා පැය 24 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක (4) කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කරන බව ඇය ප්‍රකාශ කළාය.

නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා (07) පාදුක්කට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

අප්‍රේල් මස තුන්වෙනිදා (03) රාත්‍රි 08:00 සිට හතරවෙනිදා (04) රාත්‍රි 08:00 දක්වා පැය 24 ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

‍එම ප්‍රදේශයට දින හතරක් (4) අඛණ්ඩව සැපයීමට පියවර ගන්න බවත් අනතුරුව ඒ ප්‍රදේශ සඳහා යළිත් අටවෙනිදා (08) ජල කප්පාදුවක් සිදු කරන බව දිස්නා පන්නිල මහත්මිය ප්‍රකාශ කළාය.

අප්‍රේල් මස හතරවෙනිදා (04) රාත්‍රි 08:00 සිට පස්වෙනිදා (05) රාත්‍රි 08:00 දක්වා පැය 24 ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන් අනතුරුව දින 4 ක් අඛණ්ඩව එම ප්‍රදේශවලට ජලය ලබා දෙන බවත් නැවතත් 09 වෙනිදා යළිත් එම කලාපයට ජල සැපයීම අත්හිටුවනු ඇත ෴


ඇමති ලාල් කාන්ත දේපළ ඉපයූ හැටි සැක සහිතයි.. පොලිසිය හදුන්වාදුන් 1818 ට පැමිණිල්ලක්…

(02.04.2026 – lankacnews.com)

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල් කාන්ත විසින් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ ඉදිකර ඇති බව කියන සුපිරි නිවසක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී අභීත එදිරිසිංහ විසින් ශ්‍රී ලංකා පොලිසියේ 1818 විශේෂ දුරකථන අංකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අනීතික ලෙස දේපළ උපයා ගැනීම පිළිබඳව තොරතුරු ලබාදීමට පොලිසිය හඳුන්වා දී ඇති මෙම අංකය ඔස්සේ අභීත එදිරිසිංහ මෙම පැමිණිල්ල සිදු කර ඇත.

අදාළ පැමිණිල්ලට අනුව, මෙම නිවස කඩුවෙල වැලිවිට පාරේ, ජුසේ මාවතේ පර්චස් 30 ක ඉඩමක ඉදිකර ඇති තට්ටු තුනක (3) නිවසකි.

‘ඩාක් රූම්’ (Dark Room) නමැති යූටියුබ් නාලිකාව මගින් අනාවරණය කර ඇති තොරතුරු උපුටා දක්වමින් අභීත එදිරිසිංහ පවසන්නේ, අදාළ ඉඩමේ වටිනාකම පමණක් රුපියල් මිලියන 30 ත් 51 ත් අතර ප්‍රමාණයක් වන බවයි. මෙම දේපළ ඇමතිගේ දියණියගේ නමට ලියාපදිංචි කර ඇති බවත්, පැමිණිල්ලේ සඳහන් වේ.

මීට පෙර, තම දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා පවා ප්‍රමාණවත් මුදලක් තමන්ට නොමැති බව ඇමති ප්‍රකාශ කර තිබූ පසුබිමක, මෙවැනි විශාල වත්කමක් උපයා ගැනීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බව හෙතෙම පෙන්වා දෙයි.

යූටියුබ් නාලිකාවක පළ වූ තොරතුරු මත පදනම්ව පැමිණිලි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අභීත එදිරිසිංහ කියා සිටියේ, චැනල් 4 නාලිකාවේ අනාවරණයන් මත පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ නම්, මෙම හෙළිදරව්ව පිළිබඳව ද පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මේ පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා මෙම නිවස ඉදිකිරීමට මුදල් ලැබුණු ආකාරය අනාවරණය කර ගන්නා ලෙස ඔහු පොලිසියෙන් ඉල්ලා සිටී.

+++

නිශ්ශංකගෙන් ලාල් කාන්තට ලැබුණු නිවස ගැන අපෙන් 1818ට පැමිණිල්ලක්! (02.04.2026)

+++

https://www.youtube.com/watch?v=3JTXxN2K61I

+


දින 359 කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන්ට අධිකරණ දුන් නියෝගය – සම්පූර්ණ විස්තරය මෙන්න

(02.04.2026 – 19:09 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිට අද (02) අධිකරණයට ඉදිරිපත් කෙරුණු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ‘සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ නීතිපති උපදෙස් ලැබෙනතුරු රක්ෂිත බන්ධනාගාර කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ 2006 වසරේදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් 2006 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු මහඇමති ‘සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ ඉකුත් වසරේ අප්‍රේල් 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණි.

දින 359 කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයේ සිටි සැකකරු අද (02) පස්වරුවේ මුල්වරට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කියා සිටියේ ප්‍රශ්නගත උපකුලපතිවරයා මෙම සැකකරුගේ අනුබලය මත ඝාතනයට ලක්ව ඇති බවය.

“ස්වාමිනි, මේ සැකකාර සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සෙවනපිටිය ප්‍රදේශයේ වධකඳවුරක් පවත්වාගෙන ගිහින් තියෙනවා. එම ස්ථානයට සිවිල් පුද්ගලයින්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවකයින් මෙන්ම පොලිස් නිලධාරීන් වගේ විවිධ පුද්ගලයින් ගෙනගොස් දරුණු වධහිංසාවට ලක්කිරීම්, කප්පම්ගැනීම් මෙන්ම මරාදැමීම්ද සිදුකර තිබෙනවා. මේ ප්‍රශ්නගත මහාචාර්යවරයාත් පැහැරගෙන ගොස් රඳවාගෙන ඉඳලා ඝාතනය කරලා පුළුස්සලා තියෙන්නේ මේ ස්ථානයේදීයි. සාක්ෂිකරුවන් දෙදෙනෙක් (2) ප්‍රකාශ ලබාදී තිබෙනවා එම මහාචාර්යවරයා මේ කඳවුරේ රඳවාගෙන ඉදලා පසුව ඝාතනය කළා කියලා. ඇතැම් ඝාතනවලින් පසු මෘතශරීර එම කඳවුරේම වළදමා ඇති බවටයි දැනට සාක්ෂි අනාවරණය වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කැඳවපු වාර්තාවක දැක්වෙනවා මේ සැකකරුට මෙවැනි කඳවුරක් පවත්වාගෙන යාමට කිසිදු නෛතික බලයක් ලබාදී නැහැ කියලා. ඒ වගේම පැවති දේශපාලන වාතාවරණය මත එකල ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම සැකකරුගේ පාර්ශ්වයට නිකුත්කර තිබූ T56 ගිනි අවි 352 ක්, 9mm වර්ගයේ ගිනිඅවි 36 ක් ‘සයි මයික්‍රෝ’ වර්ගයේ එක් (1) ගිනිඅවියක් නැවත ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී නොමැති බවද එම වාර්තාවේ දැක්වෙනවා. ඒ අනුව ස්වාමිනි මෙම සැකකරු එරෙහිව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 296 මිනිමැරීම යටතේ චෝදනා ගොනුකරනවා.”

අනතුරුව සැකකාර සිවනේසතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇප අයැදීමක් කරමින් කරුණු දැක්වුවාය.

“ස්වාමිනි, මගේ සේවාදායකයා බලහත්කාරයෙන් ළමා සොල්දාදුවෙක් විදිහට බඳවාගැනීමේ ඉඳලා අවුරුදු 18 ක් එල්.ටී.ටී.ඊ. සංවිධානයට කොටුවෙලා හිටියා. පස්සේ 2015 ඉඳලා අවුරුදු 05 ක් ‘පරරාජසිංහම් ඝාතනය’ට කියලා නොකළ වරදකට රිමාන්ඩ් භාරයේ සිටියා. නමුත් අද දක්වාම ඔහු කිසිදු වරදකට වරදකරුවෙකු වෙලා නැහැ. ස්වාමිනි, මොහු මේ නඩුවේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කරලාත් නැහැ, අධිකරණය මඟහැරලාත් නැහැ. මොහුව රක්ෂිත බන්ධනාගාරගත කළහොත් එය ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. මොකද අත්අඩංගුවට ගන්නා මොහොත වෙද්දිත් වත්මන් ආණ්ඩුව යටතේත් මොහුට පොලිස් නිලධාරීන් 05 කගේ ආරක්ෂාවක් ලබාදී තිබුණා. නමුත් බන්ධනාගාරය ඇතුළේ එවැනි ආරක්ෂාවක් නැහැ. එබැවින් මොහුව ඇපමත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා.”

කෙසේවෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විරුද්ධ වුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ගලකිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මීට අදාළව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ අදාළත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීති කෘත්‍යයක් පවතින බැවින් මෙම අවස්ථාවේ සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

+++

+++

+


GMOA තීරණයට එරෙහිව සෞඛ්‍ය ඇමති තදින්

(02.04.2026 – 21:11 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ආරම්භකළ වැඩ වර්ජනයට කිසිදු සාධාරණ පදනමක් නොමැති බවත්, එය හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ චේතනාවෙන් සිදු කරන්නක් බවත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

‘GMOA’ විසින් අද (02) ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මෙහිදී ඔහු පෙන්වා දුන්නේ, සීමාවාසික පුහුණුව අවසන් කළ නවක වෛද්‍යවරුන් 453 දෙනෙකුට රජයේ සේවයට එක්වීමට ඇති අවස්ථාව GMOA විසින් අවහිරකර ඇති බවය.

කෙසේ නමුත් සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට ලබා දී ඇති කාලය එළැඹෙන සෙනසුරාදා දහවල් 12 න් අවසන් වන බවත්, එම දිනය කිසිසේත්ම දීර්ඝ නොකරන බව ඔහු අවධාරණය කළේය.

යම් හෙයකින් වෛද්‍යවරුන්ට පත්වීම් ලබා ගැනීමට බාධා කරන හෝ තර්ජනය කරන කණ්ඩායම් සිටී නම්, ඒ පිළිබඳව වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පරීක්ෂණ පවත්වන බවත් ඔහු පැවසීය.

මේ සම්න්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“සෞඛ්‍ය සේවාවට සම්බන්ධ ඕනෑම වෘත්තිකයන් පිරිසක්… ඒක විශේෂඥ වෛද්‍යවරුද, වෛද්‍යවරුද, හෙද හෙදියන්ද, සෞඛ්‍ය කාර්ය සහයකයද, එහෙම නැත්නම් ගිලන්රථ රියදුරෝද මේ කවුරු වැඩ වර්ජනයක් කළත් ඉන් ජනතාව අපහසුතාවයට පත්වෙනවා.

ඒක දැනගෙනම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සතියේ අඟහරුවාදාත්, බ්‍රහස්පතින්දාත් මේ වැඩ වර්ජනය දියත් කළේ.

මේ වැඩ වර්ජනයට කිසිදු පදනමක් නෑ. මොකක්හරි හේතුවක් අල්ලගෙන දේශපාලනිකව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ වුවමනාව හැර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට මේ වැඩ වර්ජනය කරන්න කිසි සාධාරණ හේතුවක් තිබුණේ නැහැ.

අපි සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සඳහා කටයුතු කරගෙන යනවා.

ඔවුන්ට කාලයක් ලබා දුන්නා, එම පත්වීම් ලබාගැනීමට අයදුම් කිරීම සෙනසුරාද දවල් 12‍ න් අවසන් වෙනවා. ඒ අයගේ දුෂ්කර සේවා සහ ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

මේ වනවිට සීමාවාසික පුහුණුව අවසන් කරන ලද වෛද්‍යවරු රජයේ සේවයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරමින් ඉන්නවා.

වෛද්‍යවරු සමහර විට අවුරුදු 5, ලංකාවේ වෛද්‍ය පීඨවල, නැත්නම් විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන සමහර විට අවුරුදු 6 ක්, 7 ක්, 8 ක් වෙන්න පුළුවන්.

ඔවුන් අවුරුද්දක සීමාවාසික පුහුණුවක් ලබලා, රජයේ සේවයට ඇතුළත්වීම සඳහා අපේක්ෂා සහගතව ඉන්න වෙලාවක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අය උපයෝගී කරගෙන මේ වැඩ වර්ජනය දියත් කරන්නේ.

මේකට කිසිඳු පදනමකුත් නැහැ. මේකෙන් කාටවත් සුගතියක් වෙන්නෙත් නැහැ.

සෙනසුරාදා දවල් 12 වෙනකොට රජයේ සේවයට ඇතුළත් කිරීම සඳහා යම්කිසි වෛද්‍යවරයෙක් නේවාසික පුහුණුවෙන් පසුව ඉල්ලුම් කරේ නැත්නම්, ඔහුට රජයේ සේවයට ඇතුළත් වෙන්න බැහැ.

දැන් ඒ අය ඉන්න රෝහල්වලින් ඒ අයගේ සේවාව අවසන් වෙනවා. ඊළඟට ඒ අයගේ වැටුප් නතර වෙනවා.

එතකොට ඒ අයට සිද්ධවෙන්නේ උපාධිය ලබාගෙන සීමාවාසික පුහුණුව අවසන් කරලා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙච්ච වෛද්‍යවරු හැටියට පුද්ගලික සේවයේ නිරත වෙන්න.

ඉල්ලුම් නොකරපු කිසිම කෙනෙක්ට රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ.

මේ වෛද්‍යවරු 453 ක් බිල්ලට අරගෙන, ඔවුන් බය කරලා, විකෘති සහගත දේවල් අසත්‍ය තොරතුරු කියලා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරගෙන යන ක්‍රියාව අතිශය අමානුෂිකයි, අතිශය අසාධාරණයි.

ඒ නිසා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට මේ කියන්නේ…, ඔබ කිසිවෙකුට බය වෙන්න එපා. ඔබට කවුරුහරි කණ්ඩායමක් හැටියට හෝ පුද්ගලයන් හැටියට – රජයේ සේවයට ඇතුලත් කිරීම සඳහා අයදුම් කිරීමට එරෙහිව – ඔබව බියගන්වන ආකාරයට යම් තර්ජනයක් කරලා තිබෙනවා නම්, වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ ගැන පැමිණිලි කරන්න.

අපි ශ්‍රී ලංකා පොලීසිය හරහා ඒ පිළිබඳ විමර්ශන කරනවා. මේ වනවිට සමහර රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට තර්ජන එල්ල කරලා තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වෙනවා.

පැමිණිලිවලට අපි සඳුදායින් පස්සේ පරීක්ෂණ පවත්වනවා. ඒක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනමත්, පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමත් ඒ කටයුතු සිදුකරනවා.

කෙසේ නමුත් සෙනසුරාදා 12 න් පස්සේ මේ ලැයිස්තුව එක විනාඩියක්වත් දික් කරන්නේ නැහැ. ඒ නිසා කාගෙවත් තර්ජනයට හෝ කාගෙවත් විකෘති සහගත ප්‍රකාශවලට අහුවෙන්නේ නැතුව, ඔබට වෛද්‍ය උපාධියක් ලබාගෙන සීමාවාසික පුහුණු අවසන් කරලා, රජයේ වෛද්‍යවරයෙක් හැටියට එන්න වුවමනාවක් තිබෙනවා නම් ඉල්ලුම් කරන්න.

කාලසීමාව පහුවෙලා අයදුම් කළොත් පළමුවෙන්ම රජයේ රෝහලක සේවය කරමින් ඉන්න එක නතර වෙනවා. වැටුප් ලැබීම නතර වෙනවා.

එවැනි කණ්ඩායමක් ඉන්නවා නම්, ඒ අයට පුළුවන් රාජ්‍යසේවා කොමිසමට ඉල්ලීමක් කරන්න. අපිට ලැබුනත් අපි කරන්නේ රාජ්‍ය සේවා කොමිසමට යවන එක.

රාජ්‍ය සේවා කමිෂන් එක කැමති වුණොත් ඒ අයට ඊළඟ බැජ් එකත් එක්ක පත්වීම් ලබාගන්න හැකිවෙයි. ඒත් ලැයිස්තුවේ අවසානයට.

ඊළඟ ලැයිස්තුව එන්නේ 1,300 ක කණ්ඩායමක්. මේ සැරේ ඉන්නේ 453 ක කණ්ඩායමක්. ඒ 1300 න් යටට මේගොල්ලෝ එකතු වෙනවා. ‘මෙරිට් ඕඩර්’ එක නොසලකා ඉල්ලන ප්‍රමාණයට.

එනිසා මම හිතන්නේ අවුරුදු 27 ක් 28 ක් 29 ක් විතර වෙන මේ වෛද්‍යවරුන්ට තමන් සම්බන්ධයෙන් තීන්දුවක් ස්වාධීනව ගන්න බැරි කමක් නැහැ.

ඒ වගේම කවුරු හරි කණ්ඩායමක් හෝ වෘත්තීය සමිතියක් චේතනාන්විතව යමෙක් රාජ්‍ය සේවයට ඇතුළත් වීම කඩාකප්පල් කිරීම සඳහා යම්කිසි කෙනෙකුට තර්ජනය කරලා තිබෙනවා නම්, ඒකට එරෙහිව ඉදිරියේදී පියවර ගන්නවා” යැයි පැවසීය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *