සැඟවූ ධනය හෙලිකරමින් ‘පැනඩෝරා අලුත් පත‍්‍රිකා’ එයි.. එම ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..

සැඟවූ ධනය හෙලිකරමින් ‘පැනඩෝරා අලුත් පත‍්‍රිකා’ එයි.. එම ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..


සැඟවූ ධනය හෙලිකරමින් ‘පැනඩෝරා අලුත් පත‍්‍රිකා’ එයි.. එම ලයිස්තුවේ ආණ්ඩුවේ ඉහල පිරිසක්..

(08.01.2025 – 22:02 +0530 – lankacnews.com)

ලෝකය පුරා ධන කුවේරයන්ගේ සැඟවූ ධනය පිළිබඳව හෙළිදරව් කෙරෙන ‘පැනඩෝරා පත්‍රිකා’වල මීළඟ හෙළිදරව්වෙන් වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන අය සම්බන්ධයෙන් තොරතුරු ඇතැයි හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව තමන් ඉදිරි සතියේ රටට විශේෂ හෙළිදරවක් සිදුකරන බවද ඔහු පැවසීය.

ආණ්ඩුවේ ඉහළ නිලයන් දරණ පුද්ගලයන්ගේ මුදල් පිළිබඳවද එහිදී තමන් හෙළි කරන බවත් මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.

මෙම තොරතුරු හෙළිකල පසු එම පිරිස් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට රජය කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.

+


“මෙය දැන් උතුරු කොරියාව වගේ” – නව චක්‍රලේඛය ගැන දයාසිරිගෙන් පැහැදිළි කිරීමක්

(09.01.2025 – 07:07 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ සඳහන් වන්නේ කිසිදු අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හෝ ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයෙකුට විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශ තානාපතිවරුන් සමඟ රැස්වීම් පැවැත්විය නොහැකිය යන කරුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

මන්ත්‍රීවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

ඇමතිවරුන් ලෙස, අපි විදේශ තානාපතිවරුන් හමුවීමට, අපගේ අවශ්‍යතා සන්නිවේදනය කිරීමට සහ සහාය ලබා ගැනීමට පුරුදුව සිටින බවත් මෙම පුරුද්ද දැන් සම්පූර්ණයෙන්ම නතර කර ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ.

විදේශයන්හි සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සමඟ පෞද්ගලික සංචාර සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ වැනි චක්‍රලේඛයේ සමහර ධනාත්මක අංශ ඔහු පිළිගත් අතර කෙසේ වෙතත්, පුළුල් සීමාවන් පිළිබඳව මන්ත්‍රීවරයා සිය කනස්සල්ල පළකර සිටියා.

පළාත් පාලන ව්‍යාපෘති සඳහා වෙනත් රටවල් සමඟ අරමුදල් සැපයීමට අතීතයේ දී පහසුකම් සැලසූ බවත්, එවැනි උත්සාහයන් පවා නතර කර ඇති බවත් මෙය දැන් උතුරු කොරියාව මෙන් වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

මෙම ප්‍රකාශයට අදහස් දක්වමින්, අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ, තමන් මෑතකදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවූ බවත්, එවැනි සීමාවක් ක්‍රියාත්මක නොවන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර සඳහන් කළේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්, බිමල් රත්නායකට ඉක්මනින් දැනුම් දෙන බවයි.

එවැනි සීමාවන් රජයට සහ එහි අමාත්‍යවරුන්ට ගැටළු ඇති කළ හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

+


මාළු පාන් ගෙඩියෙන් මතු වූ ‘ලයිටර් කෑලි’

(08.01.2025 – 18:01 +0530 – sinhala.adaderana.lk)

පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ.

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා මහතා අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත.

එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ‘ලයිටරයක ලෝහමය කොටසක්’ හමුව තිබේ.

ඒ මොහොතේම මංජුල පෙරේරා මහතා ප්‍රදේශය භාර ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා’ව මේ බව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, අද (08) දිනයේ තමන් නිවාඩු බවත්, ‘පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය’ වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසත්ය.

ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ බව පැවසුවද සිය පැමිණිල්ල භාර නොගෙන තමන්ව ආපසු හරවා එවූ බව මංජුල මහතා පවසයි.

එමෙන්ම ඔහුට එහිදී නිලධාරීන් පවසා ඇත්තේ එම හෝටලය පානදුර නගර සභා සීමාවේ ඇති හෝටලයක් බැවින් ඒ සම්බන්ධයෙන් නගර සභාවට අනුයුක්ත ‘මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා’ට දැනුම් දෙන ලෙසය ෴

+

+


විල්පත්තුවෙන් මියගිය ඩොල්ෆින් මසුන්ගේ සිරුරු හමුවෙයි

(08.01.2025 – 16:00 +0530 – sinhala.adaderana.lk)

මියගිය ඩොල්ෆින් මසුන් කිහිපදෙනෙකුගේ සිරුරු ‘විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන්කනත්ත’ ප්‍රදේශයේ වෙරළට ගොඩගසා ඇති බවට ‘මොල්ලිකුලම අඩවි ආරක්ෂක කාර්යාලය’ට ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුව, ‘අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය කාර්යාලයේ’ චන්දන ජයසිංහ මහතා සහ ඩබ්.එල්.යූ. මධුවන්ති යන වනජීවී පශු වෛද්‍යවරු විසින් මසුන්ගේ මරණ පරීක්ෂණය සිදුකර ඇත.

එහි මියගිය ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු සිට ඇති අතර මසුන්ගේ සිරුරු පරික්ෂා කිරීමෙන් පසු වෛද්‍යවරු අනුමාන කර ඇත්තේ මෙම සතුන් දැලක පැටලී මියගොස් වෙරළට ගොඩගසා ඇති බවටය.

අදාළ තොරතුරු ඊයේ (07) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත් එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා වාර්තාවක් ලබාගැනීමට සතුන්ගෙන් ලබාගත් සිරුරු කොටස් පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමුකර තිබේ ෴


“ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ” යනුවෙන් ප්‍රකාශ කල පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09 ක ලිහිල් සිරදඬුවමක්

(09.01.2025 – 10:33 +0530 – hirunews.lk/sinhala)

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කළා.

ඊට අමතරව රුපියල් 1500 ක දඩයක් නියම කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ” යනුවෙන් ප්‍රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනයවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ පොලිසිය විසින් ඥානසාර හිමියන්ට මෙම නඩුව ගොනු කර තිබුණා ෴

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (09) මාස 09 ක ලිහිල් සිරදඬුවම් නියම වූ ‘බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එය කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා අද (09) දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබූ බවයි ‘හිරු අධිකරණ වාර්තාකරු’ සදහන් කළේ.

එම අභියාචනා පෙත්සම පදනම් කරගෙන ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇප ඉල්ලීමක්ද නීතිඥවරුන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

sinhala.adaderana.lk :

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9 ක ලිහිල් සිර දඬුවම් නියම වී සිටින ‘බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (9) ප්‍රතික්ෂේප කළේය.

එම දඬුවමට එරෙහිව උන්වහන්සේ අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් අභියාචනා පෙත්සම විභාගකොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු, ඥානසාර හිමියන් ඇප මත මුදාහන ලෙස උන්වහන්සේගේ නීතිඥවරු විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණි.

+

+


රන් මාල කැඩීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙක් අත්අඩංගුවට

(09.01.2025 – 10:10 +0530 – hirunews.lk/sinhala)

රන් මාල කැඩීමේ ඡාවාරමක නිරත වූ සැකකරුවෙක් මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු තදින්ම මත්දව්‍ය සඳහා ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩ වශයෙන් ලේඛනගත කොට තිබූ යතුරුපැදියක් සොරාකම්කරගෙන ගොස් මෙම අපරාධවල නිරතව තිබෙනවා ෴


පාතාල කල්ලි සාමාජිකයින්ට යතුරුපැදි ලබාදෙන ජාවාරමක්

(09.01.2025 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මනුෂ්‍ය ඝාතන සහ විවිධ අපරාධවල නිරත වීමට පාතාල කල්ලි සාමාජිකයින්ට යතුරුපැදි ලබාදෙන ජාවාරමක් සම්බන්ධයෙන් තලංගම පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම කල්ලිය විසින් විවිධ පුද්ගලයින්ගෙන් සොරා ගන්නා යතුරුපැදි අඩු මුදලට පාතාල කල්ලි සාමාජිකයින්ට අළෙවි කරන බවටයි.

පසුගිය සමයේදී මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතනය ඇතුළු අපරාධ රැසක් සඳහා යතුරු පැදි යොදාගෙන තිබීම විශේෂත්වයක්.

එම අපරාධකරුවන් අදාළ අපරාධය සිදුකිරීමෙන් අනතුරුව එම යතුරුපැදි වෙනත් ප්‍රදේශයක දමා ගොස් තිබූ අතර, ඒවා පසුව සොයාගත් අවස්ථා රැසක්ද පසුගිය සමයේදී වාර්තා වුණා.

එම යතුරුපැදිවලින් බොහොමයක් වෙනත් පුද්ගලයින්ගෙන් සොරාගන්නා ලද ඒවා බවයි පසුව කරන ලද විමර්ශනවලින් අනාවරණ වුණේ.

මෙම අපරාධ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවු පොලිසියට වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවී තිබෙනවා.

ඒ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් තොරතුරු අනුවයි.

තලාහේන ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා මත්ද්‍රව්‍ය සමඟ තලංගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ යතුරුපැදි සොරා ගැනීම් කිහිපයකටද එම සැකකරු සම්බන්ධ බවටයි.

ඔහු විසින් යතුරු පැදි සොරාගන්නා අයුරු CCTV කැමරාවලද සටහන්ව තිබූ අතර, බියගම, සපුගස්කන්ද, අංගොඩ, පිට්ටුගල, තලංගම සහ මාලඹේ යන ප්‍රදේශවලදී ඔහු විසින් යතුරුපැදි සොරා ගෙන තිබුණා.

මෙම යතුරු පැදි සොරකමට සහය දුන් තවත් පුද්ගලයෙක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණ කරගත් පොලිසිය, එම සැකකරුද ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගත්තා.

ඔවුන්ගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් විසින් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි රැසක්ද සොරාගෙන ඇති බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙක් වන ‘බන්ටි’ නැමැත්තා සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති අතර, ‘බන්ටි’ගේ මෙහෙයවීමෙන් ඔවුන් විසින් එම සොරකම් සිදුකර ඇති බවට ද පොලිසිය හෙළි කරගත්තා.

එලෙස සොරාගත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම්, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා අපරාධකරුවන් වෙත අඩු මුදලට අළෙවි කරන බවයි සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ.

ඒ අනුව, දැනට අත්අඩංගුවේ පසුවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ පාතාල කල්ලි නායකයෙකුවන ‘ගනේමුල්ල සංජීව’ගේ ගෝලයින් කිහිප දෙනෙකුටම ඔවුන් එම යතුරු පැදි අළෙවිකර තිබෙනවා.

එමෙන්ම, දැනට ඩුබායි හි සැඟව සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘ගොත අසංක’ගේ ගෝලයින් වෙත ද එම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ අළෙවි කර ඇති බවට පොලිසිය අනාවරණ කරගත්තා.

පාතාල අපරාධ සඳහා ලබාදීමේ අරමුණින් ඔවුන් ළඟ තබාගෙන සිටි සොරාගත් යතුරු පැදි 10 ක් ත්‍රිරෝද රථ 4 ක් සහ වාහන අමතර කොටස් කිහිපයක්ද පොලිසිය සොයා ගත්තා ෴


සන්නිවේදන උපකරණ ගෙන්වීම ගැන ටී.ආර්.සී.යෙන් නිර්දේශ

(09.01.2025 – 08:02 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රමිතියකින් තොරව නීත්‍යානුකූල නොවන අන්දමින් තවදුරටත් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් නොමැති බව ‘විදුලි සංදේශ නියාමන සභාවේ’ අධ්‍යක්ෂ ජනරල් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් බන්දුල හේරත් පවසනවා.

මින් ඉදිරියට අදාළ සන්නිවේදන උපකරණ ගෙන්වන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

ජංගම දුරකතන ලියාපදිංචි කිරීම සදහා වෙළඳුන්ට සහ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය මේ මස 28 වනදායින් අවසන් වන බව ‘ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව’ පසුගියදා ප්‍රකාශ කළා.

ඒ අනුව ‘ඉමි අංකය’ ලියාපදිංචි නොකළ දැනට ක්‍රියාකාරි උපාංග ඉදිරියේදී දුරකතන ජාලාවල ක්‍රියාකාරි නොවනු ඇති බවයි එම කොමිසම සදහන් කළේ.

ජනවාරි 28 වනදාට පෙර ‘ඉමි අංකය’ ලියාපදිංචි කර ඇති ඡාල සදහා එමගින් ගැටලුවක් ඇති නොවන බවයි අධ්‍යක්ෂක ජනරල්වරයා තවදුරටත් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Dayasiri statement. Foreign ambassadors are here to represent their country and as a medium through which their countries could communicate with our government. They must not get involved in the internal governance of the country through recruiting our MPs to operate their surreptitious sabotage activities through our MPs. That is the simple issue. Bimal is absolutely right in limiting contacts between foreign ambassadors and local MPs. What is happening in effect is that these MPs that are now getting sensitive are involved in anti-national conspiracies with foreigners to betray our people and the nation, just like what some of the princes were doing during Kotte era. All MPs have taken a pledge not to betray the nation and the country, or to get involved with the separation of the territory. yet people like Dayasiri, a loser and a traitor to his own party, is now begin stir up rebellion against a perfectly right and normal directive issued by the government. I say to Dayasiri, go fly a kite lad!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *