උතුරුමැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ

උතුරුමැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ


උතුරුමැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ සිංහල ප්‍රශ්න පත්‍රය පිටවේ

(06.01.2025 – 11:39 +0530 – hirunews.lk/sinhala)

උතුරුමැද පළාතේ 11 වැනි ශ්‍රේණියේ අවසන් වාර විභභාගයේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමැවන් ධර්මසේන පවසනවා.

ඔහු පවසන්නේ, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රශ්න පත්‍රය පිටවූ බවට වාර්තා වීම නිසා අද (06) දින පැවැත්වීමට තිබුණු විභාගය නැවැත්වූ බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව ද ඔහු පවසනවා.

එම නිසා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.

තවද, හැකි ඉක්මනින් මෙම ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ෴


පසුගිය වසර පහේ (5) රිය අනතුරුවලින් 12,000 ක් මියයයි

(06.01.2025 – 12:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 5 ක් ඇතුළත සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,140 ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ අනුව, 2020 වසරේ දී පුද්ගලයින් 2,363 දෙනෙක්, 2021 වසරේදී 2,557 දෙනෙක් සහ 2022 වසරේදී පුද්ගලයින් 2,540 දෙනෙක්, ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, 2023 වසරේදී පුද්ගලයින් 2,321 දෙනෙක් සහ ගෙවුණු වසරේදී පුද්ගලයින් 2,359 දෙනෙක් රිය අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එමෙන්ම, පසුගිය වසරේ ජනවාරි පළමුවදා (01) සිට නොවැම්බර් 30 වනදා දක්වා සිදුවූ බස්රථ අනතුරු සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව, මාරක බස්රථ අනතුරු 198 ක් වාර්තා වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඊට ලංගම බස්රථ අනතුරු 50 ක් සහ පුද්ගලික බස්රථ 148 ක් අයත් ෴


වන අලියෙකු ඝාතන සිද්ධියකට හමුදාවේ 3 ක් අත්අඩංගුවට

(06.01.2025 – 12:21 +0530 – hirunews.lk/sinhala)

වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව යුද හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව වනජීවි කාර්යාලය ප්‍රකාශ කළේ ඕමන්ත – කොම්බුවයිත්තකුලම් ප්‍රදේශයේදී වනඅලියාට විදුලි සැර වද්දවා ඝාතනය කර ඇති බවයි.

අනතුරුව එම වන අලියාගේ සිරුරු කොටස් සැකකරුවන් විසින් ඒ අසල ජලාශයකට දමා ඇති බව පැවසෙනවා ෴


‘ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාව’ ගැන පරීක්ෂණ ඇරඹේ

(06.01.2025 – 08:53 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ ‘ජාතික තරුණ සේවා සභාව’ විසින් පැවැත්වූ ‘ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී’ සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එවකට සිටි ‘තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු’ විසින් ‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ’ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් තරුණ සභාවේ මුදල් අවභාවිතා කර ඇති බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කළේ.

2024 වසරේ තරුණ සේවා සභාව හරහා සංවිධාන කළ මෙම ප්‍රසංග මාලාව වෙනුවෙන් මෙම මුදල් වියදම් කොට ඇති බවයි පැවසෙන්නේ ෴

+

+


16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන්

(06.01.2025 – 14:01 +0530 – sinhala.adaderana.lk)

16 හැවිරිදි පාසල් සිසුවියක් අතුරුදන් වී ඇති බවට ඇටම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය ජනවාරි 03 වනදා සිට අතුරුදන්ව ඇති බවය.

දැරියගේ මව විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර, අතුරුදන් වූ දැරිය උඩ අඩි 5 යි අඟල් 2 ක් පමණ උසැති තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත අයෙකි.

ඇය අවසන් වරට ළා කොළ පැහැයට හුරු දිග ගවුමක් ඇඳ මිට ඇති අතර, වම් අතෙහි වැලමිට ආසන්නයේ සුළු කැපුම් තුවාලයක් දක්නට ලැබේ.

අතුරුදන් වු අදාළ දැරිය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙතොත් පහත දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස පොලීසිය පවසයි.

පොලිස් ස්ථානාධිපති – ඇටම්පිටිය – 071 859 1528
පොලිස් ස්ථානය ඇටම්පිටිය – 055 229 5466


‘නලින්ද සහෝදරයා’ සමාජවාදී – ‘නලින්ද ඇමතිවරයා’ ලිබරල්වාදී – උදය ගම්මන්පිල (06.01.2025)

+

+

රිලවුන් ඉවර වෙන තෙක් බ්‍රොයිලර් නවතන්නැයි කීවේ විහිළුවටයි.. – අතිගරු අබේරත්න ජෝකරයාණෝ

(06.01.2025 – 13:20 +0530 – lankacnews.com)

කුකුළු මස් නිෂ්පාදනය නවතා දැමුවහොත් රිලා, වඳුරු, මොනර උවදුර පහව යන යනු ඇති බව තමා ප්‍රකාශ කළේ විහිළුවට බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පවසයි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තමන් එම ප්‍රකාශය කළේ රිළා, වඳුරු, මොනර මස් ආහාරයට ගත යුතු වන අදහසින් නොවන බවද හෙතෙම පැවසුවේය.

විහිළුවට කරන ලද ප්‍රකාශයක් තේරුම් ගැනීමට නොහැකි අය සිටීම කණගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී රිලා, මොණර උවදුරු පහව යනතුරු කුකුල් මස් නිෂ්පාදනය නවතා දෙන්න බැරි දැයි අමාත්‍යවරයා විමසා සිටියේ සිටියේ සියල්ලම සිනහ ගස්වමිනි ෴


ළමයින් නොයොදා දැන්වීම් හදන්න බෑ.. – සමාගම් කියති

(06.01.2025 – 17:30 +0530 – lankacnews.com)

ඇසුරුම් කිරීමේ නව රෙගුලාසිවලට අනුව, නිෂ්පාදන සමාගම්වලට වයස අවුරුදු 12 ට අඩු ළමයින් සිය නිෂ්පාදන ප්‍රචාරය සඳහා යොදා ගැනීම කළ නොහැකි බවත්, එය ගැටලු සහගත තත්වයක් බවත් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.

සාමාන්‍යයෙන් ක්‍රීඩා උළෙලවලදී, ආගමික ස්ථාන වලදී, පොළවල්වලදී සහ ඇතැම් විට රෝහල් වලදී සිය නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම සඳහා නොමිලේ බෙදා දීම සිදුකරන බවත් නව රෙගුලාසිවලට අනුව එලෙස නිෂ්පාදන බෙදාදීමට ප්‍රථමයෙන් දරුවන්ගේ උප්පැන්න සහතික පරීක්ෂා කිරීමට සමාගම් වලට සිදුවනු ඇති බව ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරයි.

කොරෝනා සමයේදී, සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල්ගතව සිටි දරුවන්ට විස්කෝතු පරිත්‍යාග කරන්නැයි ආහාර නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා සිටි බවත් ඒ රෝහල් වලින් ලබාදුන් ආහාර දිවට රස නොවුණු නිසා බවත් ආහාර නිෂ්පාදන සමාගම් පැවැසීය.

ආහාර නිෂ්පාදන සමාගම් එදා රජයේ ඉල්ලීමට කන් දී, නොමසුරු ලෙස පරිත්‍යාග සිදු කළ බව ද එම සමාගම් ප්‍රකාශ කළෝය.

දරුවන්ට අමතරව, ගැබිනි මවුවරුන්ගේ සහ කිරිදෙන මවුවරුන්ගේ ඡායාරූප ද ආහාර ඇසුරුම්වල පෙනෙන්න සැලැස්වීමද නව රෙගුලාසි යටතේ තහනම් කර ඇතැයි ද ආහාර නිෂ්පාදන සමාගම් පැවැසීය.

එසේ වුවත්, මෙම තහංචිය, පෞද්ගලික සත්කාර නිෂ්පාදන ඇතුළුව වෙනත් නිෂ්පාදන වලට නොමැති බවද ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරති.

මෙම රෙගුලාසි ආහාර නිෂ්පාදන සඳහා පමණක් පනවා ඇත්තේ ඇයිදැයි යන්න ගැටලුවක් බවද එම සමාගම් පෙන්වා දෙති.

ආණ්ඩුව මෙවැනි දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිදැයි යන්න ගැටලුවක් බවද ආහාර නිෂ්පාදන සමාගම් ප්‍රකාශ කරති.

ඉදිරියේදී, ළමා දින උත්සව, ළමයින්ගේ කුසලතා එළිදක්වන සංදර්ශන ආදියට අනුග්‍රහය දැක්වීමට කිසිදු ආහාර නිෂ්පදන සමාගමක් ඉදිරිපත් නොවනු ඇති බවද ආහාර නිෂ්පාදන සමාගම් කියති ෴


TELL IGP (පොලිස්පතිට කියන්න) සහ I-need සේවාව නව මුහුණුවරකින්

(06.01.2025 – 18:16 +0530 – sinhala.adaderana.lk)

TELL IGP (පොලිස්පතිට කියන්න) සහ I-need සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට පොලීසිය කටයුතු කර තිබේ.

එම සේවාවන් එලිදැක්වීම අද (06) වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්ම කරනු ලබයි.

TELL IGP (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇති බව පොලීසිය පවසයි.

එසේම TELL IGP සේවාව මගින් පොලිස්පතිවරයාගේ අවධානයට සෘජුවම යොමුකළ යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විමර්ශන සිදුනොවන පැමිණිලි සහ පොලිස් නිලධාරින් සිදුකරන වැරදි සම්බන්ධයෙන් පැය 24 පුරා පැමිණිලි කල හැකිය.

එම පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මේ අතර I-need සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවකදී පොලීසියට නොගොස් Online මාර්ගයෙන් අස්ථාන ගතවූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී ඇත.

අස්ථාන ගතවු දුරකථනයක් යම් පුද්ගලයෙකු විසින් භාවිතා කරයි නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මෙම සේවාව හරහා දැනුම් දීම ද සිදුකරනු ලබයි.

එසේම, මෙම සේවාවන් වෙත https://www.police.lk/ නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ TELL IGP හා I-need සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බව පොලීසිය පවසයි ෴


අලුත් ව්‍යවස්ථාවට කාදිනල්තුමා මෙච්චර ඉක්මන් ඇයි? – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (06.01.2025)

+


‘ගබ්සා පෙති’ අලෙවි කළ ඔසුසැල් හිමිකරුවෙකු අත්අඩංගුවට

(06.01.2025 – 18:10 +0530 – hirunews.lk/sinhala)

‘ගබ්සා පෙති’ අලෙවි කළ ඔසුසැල් හිමිකරුවෙකු නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද මැදිහත් වීමෙන්.

නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

එම සැකකාර ඔසුසැල් හිමියා නිති විරෝධි ගබ්සා පෙත්තක් රු. 15,000 ක මිලකට අලෙවි කරන බවටයි තොරතුරු ලබී තිබෙන්නේ.

නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග එක්ව උපාය දුතයෙකු යොදාගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

මේ අනූව ඔසුසැලේ අලෙවි කිරිමට තිබු ගබ්සා පෙති රැසක් පොලිස් භාරයට ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.

මෙම නීති විරෝධි ගබ්සා පෙති මෙරට තුල අලෙවි කිරිම සපුරා තහනම් කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ උපාධිධාරී තරුණියක් කොටුවෙයි

(06.01.2025 – 16:59 +0530 – hirunews.lk/sinhala)

විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 20 හැවිරිදි තරුණියක් හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඩුබායි හී සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ වී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ උපාධිධාරී තරුණිය හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක්ද සමඟයි.

පෞද්ගලික ඔත්තුකරුවෙකු ලබා දුන් ඔත්තුවක් මත පොලිස් අත්අඩංගුවට පත්වූ ඇය මෙලෙස ‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරමේ නිරත වී ඇත්තේ ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සම්බන්ධතා මත බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඇගේ ඥාති සොහොයුරෙකුගේ සම්බන්ධතාවක් මගින් අදාළ ජවාරම්කරුව ඇය හඳුනාගෙන ඇති බවට තොරතුරු සඳහන්.

20 හැවිරිදි වියෙහි පසුවන ඇය උපාධි දෙකක් (2) හිමි තරුණියක් ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

විදෙස්ගතවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව ඇය පැවසූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *