මැර ප්‍රහාරයකින් තෙලිජ්ජවිල පාසල් සිසුවෙක් ඇතුළු 4 ක් රෝහලේ

මැර ප්‍රහාරයකින් තෙලිජ්ජවිල පාසල් සිසුවෙක් ඇතුළු 4 ක් රෝහලේ


මැර ප්‍රහාරයකින් තෙලිජ්ජවිල පාසල් සිසුවෙක් ඇතුළු 4 ක් රෝහලේ

(24.12.2024 – 17:57 +0530 – hirunews.lk/sinhala)

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේදී පොලුමුගුරු ගත් පිරිසක් ස්වර්ණාභරණ අලෙවිසැලක සිටි පිරිසකට ඊයේ (23) රාත්‍රී පහරදීමෙන් පාසල් සිසුවෙකු ඇතුළු හතර දෙනෙකු (4) මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන බව මාතර රෝහල් පොලීසිය පවසනවා.

තෙලිජ්ජවිල මංසන්ධියේ ජුවලරි ආයතනයක 17 හැවිරිදි තරුණියක සමග 33 හැවිරිදි අයෙක් කතා කරමින් සිට තිබෙනවා.

ඒ ගැන උරණ වූ ‘චුට්ටෙ මාමා’ නැමැත්තා ඇතුළු පිරිසක් පැමිණ පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කොට තිබෙන බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්.

පසුව පැමිණි ‘කරාටේ අශෝක’ හා ‘කරාටේ වසන්ත’ නැමැත්තන් මාළු ව්‍යාපාරික ‘ගෙසා’ (මාකදුරේ මදුෂ්ගේ ගෝලයෙක්) ඇතුළු 10 දෙනෙකුට වැඩි කණ්ඩායමක් මේ පිරිසට බරපතළ ලෙස පහරදී පළාගොස් තිබෙනවා.

පහරකෑමෙන් තුවාල ලැබූ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන 15 හැවිරිදි ‘සෙව්මිණ නිම්සාන්’ නැමති පාසල් සිසුවා, ඔහුගේ සොහොයුරිය වන 20 හැවිරිදි ‘හන්සිමා මල්කිණී’, ශ්‍රවනාබාධිත අයෙකු වන ‘අවිශ්ක හේෂාන්’, ජේසීබී යන්ත්‍ර ක්‍රියාකරුවකු වන ‘තුසිත රන්දුණු’ යන ඥාතීන් පිරිස මාතර මහ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

‘කරාටේ වසන්ත’ නොහොත් පොදුජන එක්සත් පෙරමුණු මාලිම්බඩ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ‘වසන්ත මුණසිංහ’ හා ‘රෙහාන්’ යන අය 20 හැවිරිදි තරුණියගේ පපුව මිරිකා පහරදෙමින් ලිංගික අඩත්තෙට්ටම් කළ බවයි ඇසින් දුටුවන් පවසන්නේ.

මේ හේතුවෙන් ඇයගේ පපුව හා උදරයේ දැඩි සීරීම් තුවාල තිබෙන බවයි පැවසෙන්නේ.

පහරදීම සම්බන්ධයෙන් පැමිණිලි කළත් මාලිම්බඩ පොලීසිය තුළින් නීතිය ක්‍රියාත්මක නොවීම ගැන මාධ්‍යවේදීන් විසින් මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ දැනුවත් කර තිබෙනවා.

ඒ සමග ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව සඳහන්.

නිරන්තරයෙන්ම ජනතාව එහා මෙහා යන තෙලිජ්ජවිල මංසන්ධියේ මෙම සිදුවීම ගැන ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කරන්නේ මැන්දැයි ගැටලුවක්.

තෙලිජ්ජවිල, මාලිම්බඩ භීතියට පත් කරවන පාතාල මැරයන්ට එරෙහිව කඩිනම් අවධානය යොමුකොට ජීවිතාරක්ෂාව සලස්වන්නැයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

+


BMICH සත්සංගය දා (22.12.2024) ලොවම කථාවූ සිද්ධිය.. | Deegoda Kumara spiritual speech | Spiritual Power (24.12.2024)

+


‘CIDයේ පෙනී නොසිටි කුඩු සළිඳු’ගේ මවගෙන් මානව හිමිකම් සහ පොලිස් කොමිසමට පැමිණිලි

(24.12.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

ඇප මත නිදහස් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිඳු’ගේ මව වන ‘ශිරාණි මල්කාන්ති ප්‍රනාන්දු’ අද (24) ‘පොලිස් සහ මානව හිමිකම් කොමිෂන් සභා’ වෙත පැමිණිලි කළා.

ඒ සිය පුත්‍රයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද්වේශ සහගත ලෙස කටයුතු කරන බවට චෝදනා කරමින්.

තම පුත්‍රයා එම දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රඳවා සිටි සමයේ එහි නිලධාරීන් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති රුපියල් කෝටි 13 ක මුදලක් ලබා නොදීම නිසා ඔවුන් සිය පුත්‍රයා සමග ඉතා වෛරයෙන් පසුවන බවයි ඇය සිය පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ.

පසුගිය 20 වැනිදා ඇප මත නිදහස් වූ ‘කුඩු සලිඳු’ ඇප කොන්දේසියකට අනුව පෙරේදා (22) ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (23) වරෙන්තු නිකුත් කළා.

කෙසේ වෙතත් ඔහුගේ මව අදාළ පැමිණීලිවලින් පෙන්වා දී ඇත්තේ, සිය පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ එලෙස පෙනී සිටීම ඔහුගේ විරුද්ධවාදීන් දැන සිටින බැවින් ඒ තුලින් සිය පුත්‍රයාගේ ජීවිතය තර්ජනයට ලක්ව ඇති බවයි.

ඉතා කඩිනමින් වරෙන්තුව ඉල්ලා සිටීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය ක්‍රියා කළේ සිය පුත්‍රයා සමග පවතින වෛරය මත බවද ‘කුඩු සලිඳු’ගේ මව සහ නීතිඥයින් භාරදුන් පැමිණිල්ලේ සදහන්.

මෙවන් පසුබිමක ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සලිඳු’ මේ වන විට අසනීප වී සිටින බවට වෛද්‍යවරුන්ගෙන් ලබා ගත් නිර්දේශයක් ද ඔහුගේ නීතිඥයින් අද (24) පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර දී තිබෙනවා.

‘කුඩු සළිඳු’ට අමතරව තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුශංක’ නොහොත් ‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.

මේ අතර ජා ඇල – වැලිගම්පිටිය ශාන්ත ආනා පෙදෙසේ පිහිටි, ඩුබායිහි සිටින ‘බටුවත්තේ චාමර’ නැමැත්තාගේ බිරිද සිටින නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබදව තොරතුරු කිහිපයක් අනාවරණ වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

ටී 56 වෙඩි ප්‍රහාර 40 ක් පමණ එල්ල කරමින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර තිබුණේ අද (24) අලු‍යමයි.

යතුරුපැදියකින් පැමිණී දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි ප්‍රහාරය සිදු කර පලා ගොස් තිබුණා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සී.සී.ටී.වි. දර්ශනද උපයෝගී කරගෙන අදාල විමර්ශන මේ වන විටත් සිදු කරන බවයි.

අපරාධ සහ චෝදනා රැසක් එල්ල වී ඇති සංවිධානාත්මක අපරාධකරුවන් ඇප මත නිදහස් කිරීම සහ මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අද (24) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කෙරුණා ෴


බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවයි

(24.12.2024 – 20:22 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ රජයේ පාසැල්වල ගුරුවරුන්ට තම පාසැලේ සිසුන්ගෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය අහෝසි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ එම චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවීමට පමණක් රජය තීරණය කර ඇති බවයි.

මෙම චක්‍රලේඛය පසුගිය 20 වනදා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් නිශාන්ති ජයසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ, පළාතේ ඇතැම් ගුරුවරුන් තම පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙනත් ස්ථානවලදී මුදල් අයකර අමතර පංති පවත්වන බවට හා එම පංතිවලට සහභාගී නොවන සිසුන්ට විවිධ බලපෑම් සිදු කරන බවට තොරතුරු වාර්තා වන බවයි.

ඒ අනුව බස්නාහිර පළාතේ ගුරුවරුන්ට තම පාසැලේ ඉගෙනුම ලබන සිසුන් සදහා පාසැල් වේලාව තුළ, පාසැල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල විවිධ බාහිර ස්ථානවල මුදල් අයකර අමතර පංති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර තිබුණා.

මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන්ට විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බවත් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරිය අදාල චක්‍ර ලේඛයෙන් අවධාරණය කර තිබෙනවා ෴


‘අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති නමින් කෙරෙන වංචාවක්’ ගැන CIDයට පැමිණිල්ලක්

(24.12.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති තමන් නමින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

ඒ අද (24) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණි පසුවයි.

‘අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති’ ලෙස හඳුන්වා ගත් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඉලක්ක කර ගනිමින් ‘ප්‍රජා සත්කාරක සේවා’ සඳහා යැයි පවසමින් මුදල් ලබාගන්නා බවට තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බව පවසමින් සුනිල් හඳුන්නෙත්ති පැමිණිල්ල යොමු කළා.

ඒ අපරාධ පරීක්ෂණ මූලස්ථානයට සාක්ෂි සහිතව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින්.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ,

“මහජන නියෝජිතයෙක් මෙන්ම වගකිවයුතු අමාත්‍යවරයෙක්ද වන තමා වැනි අයව පවා භාවිතා කරමින් මෙවැනි වංචාවන් නොබියව සිදුකරනවා. එවැනි පසුබිමක සාමාන්‍ය පොදු මහජනතාව මෙවැනි වංචාකරුවන්ගේ ඉලක්ක බවට පහසුවෙන්ම පත්වීමේ හැකියාවක් පවතිනවා. නීතිය සැමටම පොදු බවත් දැනට ලංකාවේ ක්‍රියාත්මක නීතිය මෙවැනි වංචාකරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනීමට ප්‍රමාණවත් වෙනවා. තමාට මෙන්ම මෙවැනි වංචාවන්ට හසුවූ අනෙකුත් අය වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව මා විශ්වාසය තබනවා. එසේම ජනවාරි 05 වැනිදා Zoom තාක්ෂණය ඔස්සේ ජන හමුවක් මෙම වංචාකරුවන් විසින් සංවිධානය කර තිබෙනවා” යනුවෙන්.

මේ වන විට එය ප්‍රචාරය වන බවත් එවැනි ජන හමුවක් තමා හෝ තම පක්ෂය විසින් සංවිධානය නොකළ බවයි හඳුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ. එමෙන්ම තමා නමින් මුදල් ඉල්ලන මෙවැනි වංචාකරුවන් හට මුදල් ලබාදීමෙන් වළකින ලෙස සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි‍යා ෴


‘වේසිපුත්‍ර දේවගැති ජෙරමා’ගේ වීඩියෝවට පාර්ශ්ව රැසකින් විරෝධය

(24.12.2024 – sinhala.adaderana.lk ඇසුරෙන්)

ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.

එහි නා හිමිවරුන් අද (24) මෙම අදහස් පළ කළේ ‘වේසිපුත්‍ර දේවගැති ජෙරමා’ගේ ක්‍රියාකලාපයට එරෙහිව පාර්ශ්ව කිහිපයක් පැමිණ මල්වතු හා අස්ගිරි මහාවිහාර දැනුම්වත් කළ අවස්ථාවේදීය.

‘වේසිපුත්‍ර දේවගැති ජෙරමා’ නමැත්තා පවත්වන කිසියම් ආගමික වැඩසටහනක චීවරයකින් සැරසුණු පුද්ගලයෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පසුගිය දිනවල මුදාහැර තිබුණි.

එවැනි සිදුවීම් හෙළා දකිමින් කාදිනල් හිමිපාණන්ද ඊයේ (23) ප්‍රකාශයක් සිදු කළේය.

මෙවන් පසුබිමක ඒ පිළිබඳ දැනුම්ත් කිරීම සඳහා අද (24) පස්වරුවේ ‘රාවණා බලය’ සහ ‘සිංහලේ’ යන සංවිධානවල භික්ෂුන්වහන්සේ, මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුසේක.

එහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් නීතියානුකූල ලෙස කටයුතු කළයුතු බවය.

මේ අතර, ‘ජනසෙත පෙරමුණේ’ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද අද (24) මහනුවරට පැමිණ ‘වේසිපුත්‍ර දේවගැති ජෙරමා’ නමැත්තාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු පාර්ශ්වවල නා හිමිවරුන් දැනුම්වත් කර තිබුණි ෴


තායිලන්තයෙන් ගෙන ආ රු. කෝටි 4 ක ‘කුෂ් මත්ද්‍රව්‍ය’

(24.12.2024 – 18:14 +0530 – sinhala.adaderana.lk)

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් (4,38,80,000) පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක්, මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී ය.

එම පුද්ගලයා මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුයෙක් බව සඳහන් ය.

ඔහු අද (24) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝ 04 යි ග්‍රෑම් 388 ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර සඟවා ගෙන පැමිණ සිටියදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

අදාළ පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ ‘කුෂ් මත්ද්‍රව්‍ය’ වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ ෴


ඇත්තටම මේවා කොහොමද යට ගියේ | යටගිය දරුණු වංචා ටිකක් හර්ෂ මාධ්‍යහමුවේදි එළියට ගත්ත හැටි (24.12.2024)

+


මේ විනාශයට වගකිව යුත්තේ රනිල්. අපි මේ කරුණු දක්වන්නේ අනුරට පහර දෙන්න නෙවෙයි; උගුලෙන් ගලවා ගන්න (24.12.2024)

+


එන්නතක් විද සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවෙකු අත්අඩංගුවට

(25.12.2024 – 08:41 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල, වත්තේගම ප්‍රදේශයේදී 69 හැවිරිදි කාන්තාවකට හඳුනානොගත් එන්නතක් විද ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු දික්වැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 42 ක් වන සැකකරු දඔගස්ආර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කරන්නේ ඉඩමක ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා ෴

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *