උසාවියෙන් ඇප ලැබුණු ‘පොඩි ලැසී’ සහ ‘කුඩු සලිඳු’ රටින් පැනලා?

උසාවියෙන් ඇප ලැබුණු ‘පොඩි ලැසී’ සහ ‘කුඩු සලිඳු’ රටින් පැනලා?


උසාවියෙන් ඇප ලැබුණු ‘පොඩි ලැසී’ සහ ‘කුඩු සලිඳු’ රටින් පැනලා?

(24.12.2024 – divaina.lk)

රථ පෙරහැරකින් උසාවියෙන් නික්ම ගිය පොඩි ලැසී ගැන ආරංචියක් නෑ
ඇප කොන්දේසි කඩකළ කුඩු සලිඳුට පානදුර අධිකරණයෙන් වරෙන්තු

පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූ මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි. මෙම අපරාධකරුවන් දෙදෙනා (2) මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

පානදුර මහාධිකරණයෙන් ‘කුඩු සලිඳු’ට ඇප නියම කළ අතර සෑම මසකම පළමු ඉරිදා පෙරවරු 9-12 ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

පසුගිය ඉරිදා (22) දිනයේ ‘කුඩු සලිඳු’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඔහු එදින එහි පැමිණ නොසිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

‘කුඩු සලිඳු’ ඇප මත මුදා හැරීමෙන් පසු එදිනම රාත්‍රියේ (එනම් 20 වැනිදා රාත්‍රියේ) පානදුරයේ පිහිටි ඔහුගේ නිවසේ විශාල සාදයක් පවත්වා තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

එම සාදය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, පාතාල මැරයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා විය.

ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාදය පැවැත්වෙන විටත් ‘සලිඳු’ රටින් පලා ගොස් තිබූ බවයි.

දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන ‘පොඩි ලැසී’ ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.

‘පොඩි ලැසී’ ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණි. එතැන් සිට මේ දක්වාම ‘පොඩි ලැසී’ පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක අංශ පවසයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ‘මනෝජ් මෙන්ඩිස්’ වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් ‘පොඩි ලැසී’ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු (2) වන ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ මාර්තු 15 වැනිදාය.

පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා (2) පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබූහ.

‘හරක් කටා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටී.

මෙරට දරුණු ගණයේ අපරාධ කරුවකු වූ ‘කංජිපානි ඉම්රාන්’ ද මීට පෙර අධිකරණයෙන් ඇප ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගොස් තිබිණි.

හේමන්ත රන්දුණු


හොර නෝට්ටු මුද්‍රණයට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

(24.12.2024 – 08:01 +0530 – hirunews.lk/sinhala)

දිගන ප්‍රදේශයේ දී පාසල් සිසුන් සිව්දෙනෙකු (4) රුපියල් 5,000 ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග පොලිසිය භාරයට පත්වීමත් අනුව සිදුකළ විමර්ශනයේදී එකී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සම්බන්ධයෙන් මෙරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ කලා අධ්‍යක්ෂවරයෙකු ‘තෙල්දෙණිය පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දිගන ප්‍රදේශයේදී රූගත කළ චිත්‍රපටයක් සඳහා එම ව්‍යාජ 5,000 මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හේතුවෙන්.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර සහ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) වන බවත්, ඔවුන් 2021 වසරේ දිගන ප්‍රදේශයේ රූගත කළ විත්‍රපටයක ජවනිකාවක් සඳහා මෙලෙස මෙම ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට විමර්ශනවලදී හෙළිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මුද්‍රණය කළ මුදල් සමාජයේ සංසරණය සඳහා මුදා හැරුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙන්ම, සැකකාර සිසුන් සඳහා එම මුදල් ලබා දුන් පුද්ගලයාවත් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ ෴


රුපියල් පන්දහසක (5000) අල්ලසට යට වූ සැරයන්

(24.12.2024 – lankadeepa.lk)

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කියයි .

සැකකාර සෑරයෙන්වරයා ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට අනුයුක්තව සේවය කරන අතර මුදල් ආරවුලකට පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් ඔහුට වාසිවන ආකාරයට පැමිණිල්ල විභාග කිරීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ .

අල්ලස් මුදල ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් පරිශ්‍රයේ භෝජනාගාරය තුළදී ලබා ගනිද්දී සැකකාර සැරයන්වරය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු උප්පුවේලී පොලිසියේ රඳවා ප්‍රශ්න කරගෙන යන අතර අනතුරුව ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


මාලඹේ – අඹතලේ පාරට (චන්ද්‍රිකා කුමාරතුංග මාවතට) විශේෂ ආරක්ෂාවක්

(23.12.2024 – lankadeepa.lk)

සොර සතුරන්ගේ ග්‍රහණයට නතුවී ඇතැයි කියන මාලඹේ සිට අඹතලේ දක්වා වන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකසන ලෙස ‘බස්නාහිර පළාත් ආණ්ඩුකාර’ හනීෆ් යූසුෆ් මහතා ප්‍රදේශයේ පොලිසිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

සොරුන් මේ මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පවා කොල්ලකන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි අනුව ආණ්ඩුකාරවරයා මෙම පියවර ගෙන තිබේ.

චන්ද්‍රිකා කුමාරතුංග මාවත ආශ්‍රිත ප්‍රදේශයේ පොලිස් මුර සංචාර වැඩි කිරීමටත්, මාර්ගයේ පිවිසුම් දෙපස ආරක්ෂාව වැඩි කිරීමටත් ආණ්ඩුකාරවරයා සහ ප්‍රදේශයේ පොලිස් නිලධාරින් අතර පැවැති සාකච්ඡාවේ දී එකඟ වූ අතර CCTV කැමරා පද්ධතියක් සවි කිරීම, විදුලි පහන් කණු සවි කිරීම, අදාළ ස්ථානයන්හි පොලිස් මුරකුටි ස්ථානගත කිරීමටද තීරණය වී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තිබෙන මෙම ප්‍රදේශය මුල්ලේරියාව සහ මාලඹේ ප්‍රාදේශීය සභා යටතට පැවරීම කෙරෙහි ද අවධානය යොමු විය ෴

+

+


සිංහලකම හා රට ගැන කතා කිරීම ජාතිවාදය ද? (24.12.2024)

+


ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

(24.12.2024 – 10:54 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ වන විට ඒ මහතා 80 වැනි වියේ පසුවිය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

1944 ඔක්තෝම්බර් මස 27 වැනිදා උපත ලැබූ ඒ මහතා පාසල් කාලයේ සිටම සංගීත ක්ෂේත්‍රයට යොමු ව තිබුණි.

මාදම්මේ මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අවස්ථාවේ සිටම සංගීත විෂයක් ලෙස හදාරා ඇති ඔහු පසු කලෙක ගුවන් විදුලි සංස්ථාව හා එක් විය.

එහිදී සරළ ගී “ඒ” ශ්‍රේණියේ ගායකයෙකු බවට පත් විය.

එසේම ඔහු සංගීත ගුරුවරයෙකු වශයෙන්ද ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයක සේවය කර ඇත.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් ‘සරතැස නිවා’ ගීතය ඔහුගේ මුල්ම ගීතය ද වේ.

එමෙන්ම ඔහු ‘කැන්දන් යන්නම් රන්මාල් මාලා දාලා..’, ‘අඳුර අඳුර මගේ..’, ‘කිරි සයුරේ රැළි..’, ‘සුදු පරවි රෑන සේ.., ‘රටකින් එහා..’ ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගයා ඇත.

+

hirunews.lk/sinhala

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ අවසන් කටයුතු පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ දේහය දෙසැම්බර් 25 වෙනි දින උදේ 08:30 සිට අංක 154/1 පාසැල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කර ඇති බව සඳහන්.

දේහය 26 වෙනිදා සවස 02:00 සිට 05:00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ තැබීමෙන් අනතුරුව එදින සවස 06:00 සිට 26 වැනිදා සවස දක්වා දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම අවසන් කටයුතු එදින සවස 06:00 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ජීවිතක්ෂයට පත්වන විට 80 වැනි වියෙහි පසු වූ ප්‍රියා සූරියසේන කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බවයි පවුලේ ආරංචි මාර්ග පැවසුවේ.

චිත්‍රපට පසුබිම් ගායකයෙක් ලෙස ‘හරියනකොට ඔහොම තමයි’ චිත්‍රපටය හරහා සිනමා ගීත ගායනයට පිවිසෙන ඔහු, ‘සෙලීනගේ වලව්ව’, ‘මල් කැකුළු’, ‘සිකුරු දසාව’ සහ ‘ඈතිත් ඈතට’ වැනි චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් දායක වී තිබෙනවා.

මෙම ගීත අතරින් ‘ඈතින් ඈතට’ චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවාරච්චි සමග ගැයූ ‘කැන්ඳන් යන්නම් රන් මල් මාලා දාලා’ ගීතය හරහා ඔහු අතිශය ජනාදරයට පත් වුණා.

මේ අතර ඔහු ගායනා කළ ගී අතරින්, ‘මට වාසනා’, ‘මගේ ළමැද සුව යහනක්’, ‘රටකින් එහා’, ‘ඇසුරින් මිදීලා’, ‘ඈත රන් විමන්’, ‘ආදරණීය නේරංජනා’, ‘මගෙ සමරුම් පොතේ’, ‘හිරු ද මුවාවි’, ‘සුදු පරෙවි රෑන සේ’, ‘සඳ තාරකා හඬාවි’, ‘ලිහිනින් රෑන පියාසලන්නේ’, ‘අඳුර අඳුර මගේ’, ‘හෙට දවසේ අප දෙදෙනා’ වැනි ගීත ප්‍රේක්ෂක ආදරය වැඩි වශයෙන් දිනා ගත් ඒවායි.

1952 ඔක්තෝබර් 27 වැනි දා නාත්තන්ඩිය ප්‍රදේශයේ උපත ලද ඔහුගේ පියා වන එම්.එල්.ඩී. ජෙමිස් ලියනගේ කවියෙක්.

තිදෙනෙකු (3) ගෙන් යුත් පවුලක එකම පුත්‍රයා වූ ඔහු නාත්තන්ඩිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් ඔහු ද්විතියික අධ්‍යාපනය හදාරා තිබෙනවා.

උසස් පෙළ විභාගයෙන් පසුව ‘හේවුඩ්’ රජයේ සංගීත විද්‍යාලයෙන් පවත්වන බාහිර විභාගවලට පෙනී සිටි ඔහු, සංගීතය පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ගත්තා.

අනතුරුව 1971 වසරේ දී කැලණිය ගුරුකුල විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු අනතුරුව කළුබෝවිල විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙස වැඩ බාර ගනු ලැබුවා.

පසුව දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කිරීමෙන් පසු වසර 10 ක සිය ගුරු වෘත්තිය නිම කළ අතර ඉන් පසු ඔහු වෘත්තිය ගායකයෙකු ලෙස කටයුතු කළා.

‘ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ’ නම් ඔහු පසුව ‘ප්‍රියා සූරියසේන’ ලෙසින් සිය නම කෙටි කර ගත් අතර, විජය රාමනායකගේ තරංගා ලේබලය යටතේ සිය පළමු කැසට් පටය නිකුත් කළා ෴

+

+


බොරු කියන මාලිමා නීතිඥයින්.. (24.12.2024)

+


ජැක්සන්ගේ බෑනාගෙන් මානව හිමිකම් පැමිණිල්ලක් | අතුරුගිරිය OICගේ සෙල්ලම් එළියට | කසුන් ඉල්ලපු දේ මෙන්න (24.12.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *