බලධාරීන්ගේ අඳ බාල වැඩ හමුවේ සශ්‍රීක කුඹුරු ගොඩකරන ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

බලධාරීන්ගේ අඳ බාල වැඩ හමුවේ සශ්‍රීක කුඹුරු ගොඩකරන ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය


බලධාරීන්ගේ අඳ බාල වැඩ හමුවේ සශ්‍රීක කුඹුරු ගොඩකරන ජාවාරමක් ගැන ‘හිරු CIA’ අනාවරණය

(21.12.2024 – 21:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජනතාව සහල් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අවස්ථාවක, මෙරට වගකිව යුතු නිලධාරීන්ගේ අඳ බාල ක්‍රියා හේතුවෙන් කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ සරුසාර කුඹුරු යායක් ගොඩකරමින් පවතින බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

අද (21) ‘හිරු සී.අයි.ඒ.’ වෙන් වන්නේ ඒ පිළිබඳව හෙළි කිරීමටයි.

කුරුණෑගල – මහනුවර ප්‍රධාන මාර්ගයේ – මාවතගම – පරගහදෙණිය ප්‍රදේශයේ ඇති මෙම සරුසාර කුඹුරුයාය මේ වනවිටත් වගා කර සරුසාර වී අස්වනු නෙළා ගන්නා කුඹුරු යායක්.

එහෙත්, එම කුඹුරු යායේ වගාකරන කුඹුරක් ගොඩ කිරීම සඳහා බලධාරීන් අවසර දී ඇති අතර, කුඹුර ගොඩකරන ස්ථානයේ දැන්වීමක් පළ කර ඇති අතර එහි දැක්වෙන්නේ වැඩකෙයියාපොත කුඹුර සංවර්ධනය කිරීම සඳහා 2023.10.25 සිට 2024.12.02 දින දක්වා අවසරයක් ලබා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, අල්ලස් ලබාදීම් හරහා මෙම බලපත්‍ර ලබාගෙන ඇති බවට ‘හිරු සී.අයි.ඒ.’ වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසියෙකු චෝදනා කළා.

“පුරන්වෙච්ච ගහක් වැවිච්ච කුඹුරක්වත් නෙමෙයි මේක මේක හොඳට වපුරන කුඹුරක් ප්‍රදේශයේ ඉන්න ධන කුවේරයෝ පාර අයිනේ කුඹුරු තුට්ටු දෙකට අහිංසක ගොවියන්ගෙන් අරගෙන මේ කුඹුරු ගොඩ කරලා කෝටි ගණන්වලට විකුණනවා. දිගින් දිගටම නිලධාරීන් දැනුවත් කළා. ඒ නිලධාරීන් ඇවිත් බලපත්‍රයක් තියනවා කියලා බලලා යනවා. අල්ලස් දීලා ගත්ත බලපත්‍ර. කුඹුරු මේ විදිහට පුරවන්න නීතියක් මේ රටේ නැහැ. මේක හරි විමර්ශනයක් කරන්න කියලා ඉල්ලනවා.”

‘හිරු සී.අයි.ඒ.’ මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම කුඹුර වී වගා කිරීමක් හැර වෙනත් කාර්යයක් සඳහා භාවිත කිරීමට ‘ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන්’ අවසර ලබා දී නැති බවයි.

මෙම ඉඩම තුළ කිසිදු පස් පිරවීමක් හෝ ගොඩකිරීමක් නොකළ යුතු අතර කණු මත පමණක් ඉදිකිරීම් කළ යුතු බවටයි එහි මුල් ලිපියෙන් දක්වා තිබෙන්නේ.

කෙසේ වෙතත් පසුව නිකුත් කළ ලිපි හරහා කුඹුර සංවර්ධනය කිරීමට ලබා දී තිබු කාලවකවානුව ද දීර්ඝ කර තිබීම විමතියට කරුණක්.

එපමණක් ද නොව, මුලින් කණු මත පමණක් ඉදිකිරීම් කළ යුතු බවට ලබා දී තිබූ අවසර ද වෙනස් වී තිබෙනවා.

‘ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව’, ‘මධ්‍යම පරිසර අධිකාරිය’ සහ ‘නාගරික සංවර්ධන අධිකාරියේ’ නිර්දේශ මත ක්‍රියා කිරීමට ‘ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ’ විරෝධතාවක් නොමැති බව දක්වමින් ඇඟ බේරා ගැනීමට මෙම දෙවැනි (2) ලිපිය හරහා නිලධාරීන් ක්‍රියා කර තිබීම විමතිය දනවන කරුණක්.

තට්ටු මාරු ක්‍රමයට මෙරට බලයට පැමිණි පෙර රජයන් කුඹුරු ඉඩම් ගොඩකිරීමට ලබාදුන් අවසර හරහා ද මේ වනවිට රටේ සහල් අර්බුදයක් නිර්මාණය කර ඇති පසුබිමක අස්වනු ලබාගන්නා සශ්‍රීක මෙවැනි කුඹුරු, ගොඩ ඉඩම් බවට පත්කිරීමට තවදුරටත් ඉඩදීම කොතරම් යුක්ති සහගත ද ?

කුඹුර ගොඩ නොකර කණු මත ඉදිකිරීම් කරන බවට මුල් ලිපි හරහා ඉල්ලීම් කර, පසුව එම නීති අමු අමුවේ උල්ලංඝනය කර මහා පරිමාණයෙන් කුඹුරු ගොඩකිරීමට එකම ආයතනයකින් අවසර දීම ම කෙතරම් හාස්‍ය ජනක ද?

මෙම මහා පරිමාණ කුඹුරු ගොඩකිරීමට ලබාදුන් අවසර පිළිබඳව වහා සොයා බලන ලෙස ඉල්ලා ප්‍රදේශවාසියෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් ද යොමු කිරිමට පියවර ගත්තා.

ඉදිරියේදී මෙරට වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද ?

ඒ පිළිබඳවත් ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදී රට හමුවේ අනාවරණය කිරීමට සුදානම්.

+


2015 – 2020 අතර කාලයේදී ජනාධිපති මාධ්‍ය අංශයේ රු. ලක්ෂ 1420 ක භාණ්ඩ අතුරුදන්

(22.12.2024 – silumina.lk)

ජනාධිපති මාධ්‍ය අංශයේ භාවිතය වෙනුවෙන් ලබාගත් රු. ලක්ෂ 1420 ක කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු මාධ්‍ය උපකරණ රැසක් යළි මාධ්‍ය අංශයට ලබා දී නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් අනාවරණය කර ගෙන ඇත.

2015 වර්ෂයේ සිට 2020 දක්වා වූ කාලය තුළ එලෙස මිලදී ගෙන ඇති කැමරා උපකරණ, ලැප්ටොප් පරිගණක ඇතුළු එම උපකරණ 3406 ක් මෙලෙස අස්ථානගතව තිබේ.

ජනාධිපති කාර්යාලයේ ගබඩා කළමනාකරණ පද්ධතිය හරහා 2014 වසරේ සිට 2020 ජනවාරි දක්වා රුපියල් 162,273,185 ක් වටිනා අයිතම නිකුත් කර ඇත.

එහිදී 2014 වසරේ අයිතම 4 ක්, 2015 වසරේ 558 ක්, 2016 වසරේ 660 ක්, 2017 වසරේ 602 ක්, 2018 වසරේ 1262 ක්, 2019 වසරේ 313 ක්, 2020 වසරේ අයිතම 7 ක් මෙලෙස නිකුත් කර ඇත.

2021.02.22 දිනැති විගණන වාර්තාවෙන් දක්වා ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයට අදාළ බඩු වට්ටෝරු පොත් 3 ක් පමණක් විගණනයට ඉදිරිපත් කර ඇති බවත් ඉහත අයිතම එම පොත් තුළ ඇතුළත් කර නොමැති බවයි.

මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් තාක්ෂණික නිලධාරියකු සමඟ කළ භෞතික පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 219 ක (21,888,958) භාණ්ඩ ඒකක 133 ක් එම අංශයේ නොමැති බව තහවුරු වී ඇත.

එසේ වුවද ජනාධිපති මාධ්‍ය අංශයේ ඉංජිනේරුවන් විසින් දක්වා ඇත්තේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 350 කට ආසන්න බවයි.

විගණනය විසින් තොරතුරු ඉල්ලා ඇති විට 2021 පෙබරවාරි 10 දිනැතිව ඉරිපත් කළ අංක PMD/ENG/VIDEO/21/02/II ලිපියට අනුව 2015 වසරේ සිට 2019 දක්වා මිලදී ගෙන ඇති උපකරණවල තොරතුරු ඇතුළත් කිසිදු වාර්තාවක් නොමැති බව තහවුරු වී තිබේ. එසේම වාර්ෂික භාණ්ඩ සමීක්ෂණවලදී පවා ඒ ගැන සඳහන් නොවේ.

එක් අ‍යෙකු විසින් ලබාගත් අයිතම 21 ක් නැවත ලැබී නොමැති බවද වාර්තා වී ඇති අතර එකක් රුපියල් ලක්ෂ 25 ක් පමණ වන කැමරා දෙකක් (2) අතුළු අයිතම 3 ක් තවත් අයකුට නිකුත් කර ඇති අතර ඒවාද නැවත ලැබී නොමැති බව වාර්තා වේ ෴


අධිකාරියේ වෙස්ගෙන කඩවලින් සල්ලි ගරන කල්ලියක්

(22.12.2024 – aruna.lk)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නම භාවිත කරමින් දිවයින පුරා ඇති විවිධ වෙළෙඳසල්වලින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන කණ්ඩායමක් සොයා එම අධිකාරිය සහ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අම්පාර ප්‍රදේශයේ වෙළෙඳසල් දහයකට පමණ සිකුරාදා (20) අදාළ කණ්ඩායම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යැයි පවසමින් දුරකථන ඇමතුම් දී ඇති බව එම අධිකාරියේ අධ්‍යක්ෂ (තොරතුරු හා වැටලීම්) අසේල බණ්ඩාර පැවසීය.

වෙළෙඳසල් හිමියන් යම් වරදක් කර ඇති බවත්, එය නඩු පැවරීමකින් තොරව විසඳාදීම සඳහා යම් මුදල් ප්‍රමාණයක් ගිණුම්ගත කරන ලෙස එම කණ්ඩායම වෙළෙඳසල් හිමියන්ට ගිණුම් අංකයක් දී තිබේ. ඒ පිළිබඳ සැක සිතූ ඇතැම් වෙළෙඳසල් හිමියන් ඒ පිළිබඳ පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරියට සහ පොලිසියට පැමිණිලි කර තිබේ. එඒ අනුව පොලිසිය සහ එම අධිකාරිය මෙම පරීක්ෂණය ආරම්භය කර ඇති අතර එහිදී ද දැනට අනාවරණ වී ඇත්තේ අදාළ කණ්ඩායම විසින් වෙළෙඳසල් හිමියන්ගෙන් රුපියල් පනස්දහසත් (50,000), ලක්ෂයත් (100,000) අතර මුදල් ප්‍රමාණයක් ගිණුම් ගත කරන ලෙස දැනුම් දෙන බවය.

එම වංචාකාර කණ්ඩායම බහුල වශයෙන් දුරකථන ඇමතුම් දී ඇති බවට වාර්තා වන්නේ සහල් වෙළෙඳසල්වලට බවය. කෙසේ වෙතත් ඇතැම් වෙළෙඳසල් හිමියන් එම වංචාකාර කණ්ඩායමට හසු වී මුදල් බැර කර තිබේ ෴


සීනි කන්ටේනර් 5 ක් පාතාලය මිලට අරන්

(22.12.2024 – aruna.lk)

ලන්ඩනයේ සිටින පාතාල නායකයකු මෙහෙයවන බව කියන වරායට අරක් ගත් පාතාලයේ කණ්ඩායමක් මැදිහත්වී සීනි කන්ටේනර් පහක (5) ටෙන්ඩරයක් ව්‍යාපාරිකයන් බිය වද්දා ගෙන වැඩි මිලට විකුණූ ජාවාරමක් සිකුරාදා දිනයේ (20 වැනිදා) වාර්තා විය.

රතු සීනි කිලෝ ග්‍රෑම් එක්ලක්ෂ තිස්පන්දාහක් (1,35,000) අඩංගු කන්ටේනර් පහක් (5) රේගු භාරයේ තිබී ටෙන්ඩර් මගින් වෙන්දේසියේ දමා තිබුණේ බ්‍රහස්පතින්දා (19) දිනයේදීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *