හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි


හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව කප්පාදුව ගැන මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශ්න කරයි

(17.12.2024 – 21:00 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක ප්‍රශන් කිරීම් සිදුකරනු ලැබුවා.

ඒ අද (17) පැවති පාර්ලිමේන්තු සැසිවාරය තුළදීයි.

එහිදී මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එකම මට්ටමේ ආරක්ෂාවක් ලබාදීමට තීන්දු කළේ කුමන පදනමක් යටතේද යන්නයි.

මහින්ද රජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක නිලධාරීන් සියලුදෙනා ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ.

එහිදී ඔහු සඳහන්කර සිටියේ මෙවැනි අදහසක් :

“අද දිනයේ (17) දැක්කා අපි මහින්ද රාජපක්ෂට හිටපු හමුදා නිලධාරීන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාව සම්පූර්ණයෙන් අයින් කරනවා. පොලිස් නිලධාරීන් 60 දෙනෙක් පමණක් ඉතුරු වෙද්දි අයින් කරනවා කියලා. මම දැක්කා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. එක සිරකරුවෙක් ගෙනියන්න විශේෂ කාර්ය බළකායේ වාහන දෙකක් (2) යනවා හැබැයි. රට බේරපු නායකයාගේ විශේෂ කාර්ය බළකාය අයින් කරලා හමුදාව අයින් කරලා. මොකක් ද මේ කරන්න යන්නේ? මේවා මේ LTTE එක සහ ඩයස්පෝරාවට ඕනේ විදියට කරන්න එපා. කොහොමද කියන්නකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයාටයි මහින්ද රාජපක්ෂ මහත්තයාටයි එකම ආරක්ෂාව ආවේ? මොකක්ද ඒ තක්සේරුව? ඒ දෙන්නටම එකම තර්ජනයද තියෙන්නේ.”

මෙවැනි පසුබිමක හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයින් දේශපාලන පලිගැනීම මත ඉවත් කර ඇති බව සාවද්‍ය ප්‍රකාශයක් බවත්, සිදුකරනු ලැබුවේ ඔවුන්ගේ ආරක්ෂාව සහ කාර්‍ය මණ්ඩලය, නිර්ණායක මත නැවතත් ප්‍රමිතිගත කිරීමක් පමණක් වන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරනවා.

ඔහු ඒ බව සඳහන් කළේ අද (17) රැස්වූ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ඔහු සඳහන් කළේ වර්තමානය වනවිට හිටපු ජනපතිවරුන් වන

  • මහින්ද රාජපක්ෂ සඳහා පොලිස් නිලධාරීන් 60 ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 228 ක් ද,
  • මෛත්‍රීපාල සිරිසේන හට පොලිස් නිලධාරීන් 60 ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 04 ක් ද,
  • ගෝඨාභය රාජපක්ෂ සඳහා පොලිස් නිලධාරීන් 22 ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 188 ක් ද,
  • රනිල් වික්‍රමසිංහ හට පොලිස් නිලධාරීන් 60 ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 57 ක් ද,
  • චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහා පොලිස් නිලධාරීන් 60 ක්ද,

මේ වනවිටත් සේවයේ යොදවා ඇති බව ඔහු සඳහන් කළා.

එමෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස සඳහා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු යොදවා ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

එහිදී ලබන සතියේ සිට හිටපු ජනාධිපතිවරුන්ට දී ඇති මෙම ‘ත්‍රිවිධ හමුදා ආරක්ෂාව’ ඉවත් කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව, පොලිස් ආරක්ෂාව පමණක් ක්‍රියාත්මක කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවේ ෴


යාපනයේ මී උණ රෝගය වවුනියාවට පැතිරේ

(17.12.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පැතිරෙමින් තිබූ මී උණ රෝගය මේ වනවිට වවුනියාවට ව්‍යාප්ත වී තිබෙන බව වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

වවුනියාව, තාලිකුලම ප්‍රදේශයේ පුද්ගලයෙකුට උණ රෝගය වැළදීමෙන් පසුව ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් වීමෙන් පසුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.

එම රෝගියාගේ සිදුකළ රුධිර පරීක්ෂණයකදී ඔහුට මී උණ වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

මේ නිසා එම රෝගියා වවුනියාව මහ රෝහලේ සිට යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකය වෙත වෙත මාරු කොට යවා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යාපනය ශීක්ෂණ රෝහලෙන් වවුනියාව මහ රෝහල වෙත දැනුම් දී ඇත්තේ එම රෝගියාට නියත වශයෙන්ම මී උණ රෝගය වැළදී ඇති බවයි.

එබැවින් එම ප්‍රදේශයේ මී උණ මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දන්වා ඇත්තේ.

රෝගය වැළදුණු පුද්ගලයා 46 හැවිරිදි ගොවියෙක් බව පැවසෙනවා.

ඔහු කුඹුරු වැඩ කිරීමට ගිය අවස්ථාවේදී මී උණ වැළඳෙන්නට ඇති බවයි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ.

මේ අතර එම ප්‍රදේශයේ මී උණ රෝගය මර්දනයට අවශ්‍ය පියවර අනුගමනය කරමින් තිබෙන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ ෴


ලබන 2025 වස‍ර ආරම්භයේ සිට ආර්ථික දුෂ්කරතා සහිත පාසල් ළමුන්ට රුපියල් 6000 ක දීමනාවක් – අගමැති මෙනවිය පවසයි

(17.12.2024 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ලබන 2025 වස‍ර ආරම්භයේ සිටම ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් දසලක්ෂ විසිපන්දහස (10,25,000) ඉක්මවූ සංඛ්‍යාවකට පාසල් ලිපිද්‍රව්‍ය හා උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6000 බැගින් වූ දීමනාවක් ලබා දීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් ඇය මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ.

පසුගිය ආර්ථික අර්බුද පැවති සමයේ පාසල් දරුවන්ගෙන් 55% කට අධික ප්‍රමාණයක් ඉතා අහිතකර ආර්ථික දුෂ්කරතාවන්ට ගොදුරු වී ඇති අතර ග්‍රාමීය හා වතුපාසල් ආශ්‍රිත ව මේ තත්වය වඩාත් උග්‍ර අතර ඉන් 53% කට අධික දරුවන් සංඛ්‍යාවක් පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම ඉතා අවම කර හෝ මුළුමනින් ම නවතා දමා ඇති බවත් 26% ඉක්මවූ පිරිසක් පෙර භාවිත කරන ලද ලිපිද්‍රව්‍ය ම නැවත භාවිත කිරීමට යොමු වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී ඇතැයි අග්‍රාමාත්‍යවරිය මෙහි දී සඳහන්කර සිටියා.

එම ආර්ථික දුෂ්කරතා මගින් දරුවන්ගේ අධ්‍යාපනයට සිදු කර ඇති අහිතකර බලපෑම අවම කරගැනීමේ අපේක්ෂාවෙන් රජය මෙම මූල්‍ය දීමනාව ලබන වසර මුල සිට ම සිසු සිසුවියන්ට ලබා දීමට පියවර ගන්නා බවත් දැනට ‘අස්වැසුම’ ප්‍රතිලාභ හිමි පවුල්වල දරුවන් අටලක්ෂ විසිපන්දහසක් (8,25,000) සහ ‘අස්වැසුම’ හිමිකම් නොලබන එහෙත් ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් ලක්ෂ දෙකහමාරක (2,50,000) පමණ පිරිසකටත් මෙම දීමනාව හිමි වන බවයි අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ.

මේ සඳහා වයස අවුරුදු 5 ත් – 18 ත් අතර දරුවන් දසලක්ෂ විසිපන්දහස (10,25,000) ඉක්මවූ පිරිසක් සුදුසුකම් ලබන බවත් ඊට අදාළ මුදල වන රුපියල් මිලියන 6500 ක ප්‍රතිපාදන සම්පාදනය කරගැනීම වෙනුවෙන් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇති බවත් කී ඇය අදාළ ආයතන සම්බන්ධ කරගනිමින් වඩාත් ප්‍රශස්ථ ක්‍රමවේදයක් සකසා මෙම දීමනාව සිසුන්ට ලබා දෙන බවයි පවසා සිටියේ.

මීට අමතර ව පාසල් දිවා ආහාර වැඩසටහන වැනි ‍දැනට පවත්නා වැඩසටහන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හා අවශ්‍ය සාධනීය වෙනස්කම් සිදු කරමින් දරුවන් පාසල තුළ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ගන්නා බව ද හරිනි අමරසූරිය පවසා සිටියා.

2025 වසරේ දීත් රජයේ පාසල් නිල ඇඳුම් සැපයීමේ වැඩසටහනට අවශ්‍ය සම්පූර්ණ රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති බව කෘතවේදී ව මෙහි දී සිහිපත් කළ ඇය ප්‍රකාශ කළේ මෙවැනි කටයුතු කඩාකප්පල් කිරීමට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් තරයේ ම හෙළා දකින බවයි.

රට අභියෝග රැසකට මුහුණ දී තිබෙන පසුබිමක වෙනත් රටවල් හමුවේ වත්මන් ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් අසමත් බව ප්‍රකාශ කිරීමට විපක්ෂය ක්‍රියා කළත් ඉන්දියානු සංචාරයක නිරත වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීම මගිනුත් ආණ්ඩුවේ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ නිවැරදි අදහසක් ගත හැකි වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, පෙර මෙන් පාර්ලිමේන්තුව තුළ හොරමැරකම් පිළිබඳ නොව මන්ත්‍රීවරුන්ගේ ආධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ දැඩි ප්‍රශ්න කිරීමක් ආරම්භ වී තිබීම එක්තරා ඉදිරි පියවරක් වන නමුත් එම ප්‍රශ්න කිරීමේ අවංකභාවය හා සත්භාවය රැඳී තිබෙන්නේ නම් එය ඉතා යහපත් දෙයක් වන බවයි.

එසේ ම තම ආණ්ඩුව තුළ ආචාර්ය, මහාචාර්ය ධුර දරන මන්ත්‍රීවරුන් මෙන් ම වෙනත් දැනුම් මූලාශ්‍ර හා අධ්‍යාපන මාවත් ඇසුරින් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ දැනුම හා සුදුසුකම් සැපිරූ සියලු දෙනා එක හා සමාන පිළිගැනීමකට ලක් වෙමින් සිටින බවත් එම විවිධත්වය ශක්තියක් සේ තමන් දකින බවත් ඇය මෙහි දී පවසා සිටියා ෴


වසරේ මුල් මාස 11 ට කොළඹ ගිනි ගැනීම් 268 ක්

(17.12.2024 – 19:12 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගෙවුණු මාස 11 ට කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවයි මේ බව අනාවරණය කරන්නේ.

අදාල ගිනිගැනීම් පාලනය කිරීමත් සමග පුද්ගල සහ සත්ත්වයින්ගේ ජීවිත 37 ක් ගලවා ගැනීමටද සමත්ව තිබෙනවා.

මේ අයුරින් ආපදා අවස්ථා 54 ක් පාලනය කරමින් අවශ්‍ය වූ ගිලන් රථ සේවාවන් 65 ක් සිදුකළ බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ ෴


ලබා දුන් එන්නතක් හේතුවෙන් සරසවි සිසුන් 07 ක් රෝහලේ

(17.12.2024 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි (02) වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනෙකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන් එන්නත් හේතුවෙන් සිසුවියන් 06 කු සහ එක් (01) සිසුවෙකු හදිසි අසනිප තත්ත්වයකට ලක්ව අද (17) දහවල් බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මාස දෙකක් (02) පමණ කල් ඉකුත් වි ඇති එන්නත් අද (17) දා දහවල් ලබා දිම හේතුවෙන් මෙම රෝග තත්ත්වය ඇති වි තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කිෂ්ණක නෙරන්ජින් පැවසූවේ මෙවැනි අදහසක් :

“සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පිඨයට අදාලව දෙවැනි (02) වසර සහෝදරියන් හය දෙනෙකුට (06) සහ එක් (01) සහෝදරයෙකුට පිට ගැස්ම සදහා ලබා දෙන මාස දෙකක් (02) කල් ඉකුත් වු බෙහෙතක් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් අද (17) ලබා දිලා ඔවුන්ට හදිසි අසනිප තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒ හේතුවෙන් ඔවුන් බෙලිහුල්ඔය රෝහලට සහ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ගැටලුකාරි තත්ත්වයක් තිබෙනවා. මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබෙන ගැටලුකාරි තත්ත්වය හේතුවෙන් මීට පෙර ආචාර්යවරයෙකු සහ සිසුන් දෙදෙනකු (02) ජිවිතක්ෂයට පත් වුනා.”

බෙලිහුල්ඔය ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් බැලිම සදහා සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ශාන්ත පැමිණ ඇති අතර මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී පැවැසුවේ ඇති වි තිබෙන සිද්ධිය සමිබන්ධයෙන් විශ්වවිද්‍යාලය තුළින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි ෴


අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සමට අධිකරණයෙන් තීන්දුවක්

(17.12.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 15 වැනිදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා ඉකුත් මහ මැතිවරණයේදී නාමයෝජනා භාරදී තිබෙන්නේ රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් බවයි.

රජයේ සේවයෙන් ඉවත් නොවී මෙයාකාරයෙන් නාමයෝජනා භාරදීම නීති විරෝධී යැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මැතිවරණ පනතේ විධි විධානයන්ට පටහැනි බවත් සඳහන් කළා.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වග උත්තරකාර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට එම මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴


කොළඹ ජාතික රෝහල අසල කෑම කඩවලට PHIලා කඩාපනී

(17.12.2024 – 19:43 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිස් වැඩි වශයෙන් ආහාර ලබාගන්නා හෝටල් කිහිපයක මිනිස් පරිභෝජනයට නුසුදුසු ලෙස ආහාර අලෙවි කරන බවට අද (17) ‘උකුස්සා’ට අනාවරණ විය.

කොළඹ ජාතික රෝහලේ රෝගීන් බැලීමට එන බොහෝ පිරිසක් ආහාර ලබාගන්නේ පුංචි බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් පෙළෙනි.

ඉන් ඇතැම් ‍වෙළෙඳසැල්වල මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහර අලෙවි කෙරෙන බවට තොරතුරු රැසක් ලැබී තිබුණි.

ඒ අනුව බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අද (17) එම ස්ථාන වටලනු ලැබීය.

ඒ ‘අද දෙරණ උකුස්සා’ ද එක් කරගනිමිනි.

එහිදී එක් වෙළෙඳසැලක තිබී මිනිසුන්ට තබා සතෙකුටවත් නොදිය යුතු මට්ටමේ ආහාර ද්‍රව්‍ය එම ස්ථානයේදීම නිලධාරීන් විසින් විනාශ කළේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලූ දෙවැනි වෙළෙඳසැලත් පළමු වෙළෙඳසැලට දෙවැනි වූයේ නැත.

වැටලූ තවත් වෙළෙඳසැල කල් ඉකුත් වූ පාන් තොගයක් අලෙවිය සඳහා තබා තිබියදී සොයාගත්තේය.

මේ අතර කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඇති තාවකාලික ආහාර වෙළෙඳෙසැල්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරික්ෂා කළේය.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පලතුරු, පලතුරු බීම සැකසීම සඳහා භාවිත කිරීමට සූදානම් කර තිබියදී සොයාගනු ලැබීය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *