රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ


රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ පාස්කු නඩුවක තුන්වැනි (3) සැකකරු ලෙස නම් කෙරේ

(05.03.2026 – 19:07 +0530 – sinhala.adaderana.lk)

රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන (3) සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගත්තේය.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩදී අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීමේ චෝදනා යටතේය.

අනතුරුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90 ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් අවසර ලබාගත්තේය.

එවැනි පසුබිමක සලේ මහතාගේ නීතිඥයින් ඊයේ (04) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් ඉල්ලා සිටියේ සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම්භාරයේ තබාගැනීමේ නියෝගය ඉහළ අධිකරණයක අභියෝගයට ලක්කිරීමට සදහා මේ සම්බන්ධ නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසටය.

එමෙන්ම සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත්, ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් නීතිඥයින් ඉල්ලීමක් කළේය.

මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපත් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙකුත් ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේ සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තාකර නොමැති බව පවසමින්ය.

මෙවන් පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේය.

එමගින් ඔවුන් සඳහන් කර තිබුණේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනා (2) ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශන නොමග යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි (3) සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් කරන බවය.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු, මහෙස්ත්‍රාත්වරයාට සුදුසුයැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන්කර තැබීමට නියෝගකළ මහෙස්ත්‍රාත්වරයා නුදුරු දිනෙක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුනි.

+++

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක්

(05.03.2026 – 15:43 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගත හැක්කේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය බිඳහෙළීමේ ක්‍රියාවල නිරත වන පාර්ශවයන්ට සහ නීත්‍යානුකූලව පත් වූ ආණ්ඩු පෙරළා දැමීමට ඍජුව හෝ වක්‍රව දායකත්වය දැක්වූ පුද්ගලයින්ට එරෙහිව පමණක් බවය.

නමුත් සුරේෂ් සලේ මහතාට එවැනි වැරදි ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව පෙත්සම්කරු පෙන්වා දේ.

රටේ භෞමික අඛණ්ඩතාව බිඳහෙළමින් නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරළා දැමීමට ක්‍රියාකළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව එම පනත භාවිතා කිරීමට හැකියාව ඇති අතර, 2022 වසරේ සිදුවූ අරගලයට එරෙහිව ද මෙම පනත භාවිතා කිරීමට හැකියාව තිබූ බව පෙත්සම්කරු සඳහන් කරයි.

නමුත් පාස්කු ප්‍රහාරය තුළ එවැනි තත්ත්වයක් දක්නට නොලැබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරු, එය හුදෙක් ආගමික දෘෂ්ටිවාදයක් පදනම් කරගෙන සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී තිබෙන බවත් සඳහන් කළේය.

එසේම සුරේෂ් සලේ මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා සහ සාක්ෂි කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු කියා සිටියේය.

මහජන සුබසාධන නඩුකරයක් සේ සලකා තමන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සුරේෂ් සලේ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන චෝදනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඔහුට එරෙහිව ප්‍රමාණවත් චෝදනා නොමැති නම් අධිකරණයට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ ෴


+


හුණ්ඩුවේ ආණ්ඩුව ඇමරිකාවටද ? ඉරානෙටද ? (05.03.2026)

+


මේ ජේවීපීකාරයින්ගේ දේශපාලන ලිලිපුට්වාදය අවසන් කළ යුතුමයි (05.03.2026)

+

ඉරාන නැවට ගැහුවේ අපි තමයි… ඇමෙරිකාව ප්‍රහාරයේ වගකීම භාරගනී (05.03.2026)

+


අපේ විද්වත් සමාජය ගල් යුගයට චුට්ටක් මෙහායින් ඉන්නෙ – මහාචාර්ය ටියුඩර් වීරසිංහ (05.03.2026)

+


ඇමෙරිකානු හමුදාව ඉන්දියාව දෙසට – රට නොදන්න ආන්ඩුව දන්න රහස් (05.03.2026)

+

ඒබ්‍රහම් ලින්කන්ට ප්‍රහාරයක් – ට්‍රම්ප් න්‍යෂ්ටික අවි අතට ගනී – රුසියාවත් යුද්ධෙට පටල ගනී (06.03.2026)

+


ඉරාන නෞකාවට පහර දීම තුල තිබෙන ඇත්ත ගැටළුව කුමක්ද? (05.03.2026)

+


2025 මැයි මාසේ හදපු හාමුදුරුවන්ගේ අමුතු සමාගම ගල් අඟුරු ගෙන්නලා (05.03.2026)

+


මැදපෙරදිග යුද ගැටුම් සහ වත්මන් වාතාවරණය (06.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *