දෙවැනි (2) ඉරාන නැව ඉන්දියාව බාරගන්නවා කිව්වත් ඒක කළේ නැහැ : චාමර සම්පත් දසනායක
දෙවැනි (2) ඉරාන නැව ඉන්දියාව බාරගන්නවා කිව්වත් ඒක කළේ නැහැ : චාමර සම්පත් දසනායක
(06.03.2026 – hirunews.lk)
දෙවැනි (2) ඉරාන නෞකාව බාරගන්නා බව ඉන්දියාව ප්‍රකාශ කළ ද ඊයේ (05) සවස 04:00 වනතුරු එය බාර නොගත් බවත් ශ්‍රී ලංකාවට එය බාරගන්නට දී ‘බෝලය පාස් කර’ නිහඬව සිටි බවත් මෙම තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමින්.
මෙම නැව් ගෙන්නුවේ ශ්‍රී ලංකාව නොවන බවත් මෙම නැව් පැමිණියේ ඉන්දියාවේ පැවති ආරක්ෂක අභ්‍යාසයකට සහභාගි වීමට බවත් එසේ පැමිණි නැව් ගැන වගකීමක් ඉදියාවට තිබෙන බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
“අපේ ජනාධිපතිතුමා ඉන්දියාවේ කරට අතදාගෙන ඉන්නේ. ඒ උනාට දන්නෙම නැතුව පිටිපස්සෙන් කෙළිනවා.
අපි කිහිපදෙනෙක් ඉරානයේ තානාපති කාර්යාලයට ගියා ශෝකය පළ කරන්න. එහිදී ඉරාන තානාපතිවරයා කිව්වා ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයාත් මෙම පුහුණුවට ඇවිල්ලා හිටියා කියලා.
එතකොට ශ්‍රී ලංකාවට එන්න කියලා අපේ නාවික හමුදාපතිවරයා කියල තියෙනවා කියලා ඉරාන තානාපතිවරයා අපිත් එක්ක කිව්වා.
නාවික හමුදාපතිවරයා එහෙම කියල තියෙන්නේ වගකීමක් ඇතුව ද නැද්ද කියල නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතුයි.
නැත්නම් නාවික හමුදාපතිවරයාට ඉවත් වෙන්න කියලා කියන්න.
මීට අමතරව පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් ප්‍රකාශ කළා.
මං අහන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කීදෙනෙක් ඉන්නවද? මේ බෝම්බ ගහපු දවසේ ඉඳලා මහමොළකරුවන් ගැන කියනවා. නමුත් නිවැරදිව මේ ගැන පරීක්ෂණ කරනවාද? යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴
+++
ඉරාන නාවිකයින් බේරා ගැනීමේ මෙහෙයුමට ශ්‍රී ලංකාවේ මානුෂීය මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට
(06.03.2026 – hirunews.lk)
ඉරාන ජාතිකයන් රැගත් ‘බුෂෙයාර්’ (Bushehr) නෞකාවේ ආපදාවට ලක්වූවන් බේරා ගැනීමේදී ශ්‍රී ලංකා රජය අනුගමනය කළ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර මානුෂීය මූලධර්මවලට ගරු කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මහලේකම්වරයාගේ නියෝජිත මාර්ක්-ආන්ඩ්‍රේ ෆ්‍රාන්චේ (Marc-André Franche) ප්‍රකාශ කළේ, මෙම සිදුවීමේදී ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල බවයි.
“එක්සත් ජාතීන්ගේ සම්මුතීන් සහ ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව මානුෂීය සහාය ලබා දීමට ශ්‍රී ලංකා රජය දක්වන අවධානය අපි අගය කරනවා. එමගින් ඔවුන් බහුපාර්ශ්විකත්වයට (multilateralism) ඇති කැපවීම, මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම සහ සාමය උදෙසා ඇති කැපවීම මනාව පැහැදිලි වනවා,” යැයි ඔහු සඳහන් කර තිබෙනවා ෴
+++
ප්‍රහාරයට ලක් වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගත් ශ්‍රී ලංකාවට ඉරාන විදේශ අමාත්‍යවරයාගේ ස්තූතිය
(06.03.2026 – hirunews.lk)
ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරානයේ ‘ඩේනා’ (IRIS Dena) යුද නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ශ්‍රී ලංකාවට සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා සමඟ දුරකථනයෙන් සිදුකළ සංවාදයකදී මෙම ස්තුතිය පළ කර ඇති අතර, ඉරාන නෞකාවන් සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉරානයට අයත් ‘ඩේනා’ යුද නෞකාව ඉලක්ක කර ඇමරිකාව සිදුකළ ප්‍රහාරය අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ ගාල්ල දකුණු වරාය නගරයට නාවික සැතපුම් 19 ක් ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමරිකාව විසින් ‘IRIS ඩේනා’ යුද නෞකාව ගිල්වා දමනු ලැබුවා ෴
+++
“යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි කරන්නේ අපිව ආරක්ෂා කර ගැනීම පමණයි” – ඉරාන තානාපති
(06.03.2026 – hirunews.lk)
ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ක්‍රියත්මක කර ඇති යුදමය ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස බලකරමින් මුස්ලිම් ප්‍රජාව විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් අද (06) කොළඹ, දවටගහ පල්ලිය අසලදී පැවැත්වුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කෝශ් (Alireza Delkhosh) ද එක්ව සිටීම විශේෂත්වයක්.
ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මගින් ඉරානයේ සිවිල් වැසියන් සහ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම ආක්‍රමණය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු දේශපාලන නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම විරෝධතාවයට එක්ව සිටියා.
විරෝධතාකරුවන් ඇමෙරිකාවේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කරමින් උද්ඝෝෂණ පුවරු ප්‍රදර්ශනය කළ අතර, ‘යුද්ධය නතර කරනු’, ‘තෙල් වෙනුවට ලේ එපා’ වැනි සටන් පාඨ කියමින් සිය විරෝධය පළ කළා.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන තානාපතිවරයා සඳහන් කළේ, “යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි අපිව ආරක්ෂා කර ගන්නවා විතරයි,” යනුවෙන්.
එසේම, ලෝක සාමය අපේක්ෂා කරන සියලු දෙනා මෙම අසාධාරණ යුද්ධයට එරෙහිව හඬ නැගිය යුතු බව ද තානාපතිවරයා සඳහන් කළා. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රටක් ලෙස සිටින අතරතුරම, මෙවැනි මානුෂීය සහයෝගීතාවයන් දැක්වීම අගය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.
විරෝධතාව හේතුවෙන් කොළඹ ටවුන් හෝල් අවට ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් ද එම ස්ථානයට යොදවා තිබුණා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාන තානාපතිවරයා, මෙසේ ද පැවසුවා :
“ඔබ දන්නා පරිදි පෙබරවාරි 28 වැනිදා අපි එක්සත් ජනපද රෙජිමයේ සහ ඊශ්‍රායල් රෙජිමයේ නීතිවිරෝධී ප්‍රහාරයකට ලක්වුණා. මෙම ප්‍රහාරය එල්ල වුණේ අපි එක්සත් ජනපදය සමග සාකච්ඡා කරමින් සිටින අතරතුරදීයි. ඒකෙන් දෙවැනි (2) වරටත් පෙන්නුම් කළේ මේ මාස අටට (8) එක්සත් ජනපදය කිසිදු සාකච්ඡාවක් විශ්වාස නොකරන බවයි.
ඔවුන්ට අවශ්‍ය වන්නේ අණ දෙන්න පමණයි. ඔවුන්ට අවශ්‍ය යමක් කියලා අනෙක් අය ඒ දේට අවනත වෙන එකයි. අපිට ඒකට එකඟ වෙන්න බෑ. අපි ඉරාන ජාතිකයින්. අපි ස්වාධීනයි. අපි බලවත්. අපිට අපිව ආරක්ෂා කර ගන්න පුළුවන්.
යුද්ධය පටන් ගත්තේ අපි නෙමෙයි. අපි කරන්නේ අපිව ආරක්ෂා කර ගන්න එකයි. අපි දිගටම අපිව ආරක්ෂා කරගන්නවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51 වන වගන්තියට අනුව. මගේ පණිවුඩය නම් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක්. ලංකා ශිෂ්ඨාචාරය සමග අපට සහයෝගීතාවයේ ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක්.
මම හිතනවා මේක තමයි වෙලාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමට විරුද්ධයි කියලා හැම රටකටම පණිවිඩයක් දෙන්න. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරලා අපි මධ්‍යස්ථයි කියන්න බෑ. මධ්‍යස්ථභාවය කියන්නේ සෑම කෙනෙකුටම ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර රෙගුලාසි ගැන සැලකිලිමත් විය යුතුයි කියන එක.”
+++
ප්‍රහාරයට ලක්වූ ‘අයිරිෂ් ඩෙනා’ නෞකාවේ සිටි 84 දෙනාගේ සිරුරු තැන්පත් කිරීමට ජංගම ශීතාගාර දෙකක් (2)
(06.03.2026 – hirunews.lk)
‘අයිරිෂ් ඩෙනා’ නෞකාවේ සිටියදී එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය ඉරාන නාවිකයින් 84 දෙනාගේ මල සිරුරු තැන්පත් කිරීම සදහා අඩි 40 ක දිගින් යුත් අධි ශීතාගාර කන්ටේනර් රථ දෙකක් (2) ඊයේ (05) පස්වරුවේ ගාල්ල ජාතික රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.
එක් (1) කන්ටේනරයක් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ලබා දී ඇති අතර, මුස්ලිම් ජාතිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් අනෙක් ශීතාගාර කන්ටේනරය රැගෙන ආ බවයි ‘හිරු වාර්තාකරු’ කියා සිටියේ.
මළ සිරුරු විශාල ප්‍රමාණයක් තැන්පත් කිරීම සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම අධි ශීතාගාර රැගෙන එනු ලැබුවා.
පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු මළ සිරුරු මෙහි තැන්පත් කිරීමට නියමිතයි ෴
+++
ගුවන් හමුදාවේ ප්‍රකාශකතුමා කොච්චර අසරණ වුණාද ? දේශපාලකයාට වඩා නිලධාරීන්ව ජනතාවට විශ්වාසයි (06.03.2026)
+
ඩ්‍රෝන යානා ආනයනය අලෙවිය හා අලුත්වැඩියාව ගැන පොලිසියෙන් දැඩි නීති
(06.03.2026 – hirunews.lk)
ඩ්‍රෝන යානා භාවිතා කරමින් මෙරට ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු රැස්කිරීම හෝ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට පවතින හැකියාව වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ, මේ යටතේ මෙරට තුළ ඩ්‍රෝන යානා ආනයනය කිරීම, අලෙවි කිරීම සහ අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමටයි පොලිස් මූලස්ථානය තීරණය කර ඇත්තේ.
පොලිස් මූලස්ථානය මගින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“ඩ්‍රෝන යානා භාවිතා කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කටයුතු සිදුකිරීමට, යම් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන එම තත්වය වළක්වාලීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බව ශ්‍රී ලංකා පොලිසියට නිරික්ෂණය වී ඇත.
මෙරට තුළ ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා ආනයනය කිරීම, වෙළඳාම් කිරීම, ක්‍රියාකරවීම සම්බන්ධව 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ සලසා ඇති ප්‍රතිපාදනවලට යටත්ව සිදු කළ යුතු වුවද ඇතැම් ආයතනයන් මඟින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් එම යානා මෙරටට ආනයනය හා අමතර කොටස් වෙළඳාම සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.
එබැවින් ඩ්‍රෝන යානා / නියමුවන් රහිත ගුවන් යානා හා අමතර කොටස් ආනයනය කරන ආයතන, මෙරට තුල ඩ්‍රෝන යානා අලෙවි කරන ව්‍යාපාරික ස්ථාන අළුත්වැඩියා කරන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන් 2010 අංක 14 දරණ සිවිල් ගුවන් සේවා පනතේ ප්‍රතිපාදන වලට යටත්ව එම කටයුතු පවත්වා ගෙන යාමට කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය අවධානය යොමු කරන ලෙසත්, ඒ සම්බන්ධ දත්ත පවත්වා ගෙන යාම සඳහාත් පොලිස්පතිතුමා විසින් සියළුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇත.”
කොච්චිකඩේ අනාරක්ෂිත දුම්රිය හරස් මගකදී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි
(06.03.2026 – hirunews.lk)
කොච්චිකඩේ, මාෂලස් පාරේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද (05) පස්වරුවේ මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් පියා සහ ඔහුගේ කුඩා දරුවා ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියට, මාෂලස් පාර හරහා ගමන් ගත් මෝටර් රථය ගැටීමෙන්මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ එහි රියැදුරු සහ ඔහුගේ අවුරුදු 03 ක් පමණ වන පිරිමි දරුවා රැඳී සිට ඇත.
දුම්රියේ ගැටීමෙන් මෝටර් රථයට හානි සිදුවුවද, පියාට සහ දරුවාට බරපතල තුවාල සිදුව නොමැති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා.
අනතුර සිදුවූ මෙම ස්ථානය දුම්රිය ගේට්ටු සේවකයින් නොමැති අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් බව ප්‍රදේශවාසීහු පවසනවා.
මෙවැනි ස්ථානවලදී රියැදුරන් වඩාත් විමසිලිමත් විය යුතු බව පොලිසිය නැවතත් සිහිපත් කර සිටියි.
කොච්චිකඩේ පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා ෴
යාපනය බෝට්ටු අනතුර ගැන කඩිනම් පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයාගෙන් නියෝග
(06.03.2026 – hirunews.lk)
යාපනයේ ගුරුනගර් ජැටියෙන් පිටත් වූ බෝට්ටුවක් පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
එමන්ම 13 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි යාපනය රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ.
යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ හා සාගර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් උපදෙස් ලබාදී තිබෙනවා.
අනතුරෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත අමාත්‍යවරයා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ අතර, ඔවුන්ට අවශ්‍ය සියලු සහන ලබා දීමට කටයුතු කරන බවයි ඔහු පවසා සිටියේ.
අනතුරට ලක් වූ බෝට්ටුවේ ධාවන යෝග්‍යතාව, මගීන් සංඛ්‍යාව නියමිත සීමාවන් ඉක්මවා තිබුණේද යන්න සහ මුහුදු ගමන් සඳහා වන ආරක්ෂිත ක්‍රියා පටිපාටි නිසි ලෙස අනුගමනය කළේද යන්න පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක්ද කැඳවා තිබෙනවා.
මුහුදේ අතරමං වූවන් සෙවීමේ සහ ගලවා ගැනීමේ කටයුතු ප්‍රමාදයකින් තොරව, පවතින සියලු සම්පත් භාවිත කරමින් දැඩි කරන ලෙස පොලිසියට සහ නාවික හමුදාවට උපදෙස් දී ඇති බවත් සඳහන් ෴
බැංකු කාඩ් දත්ත හොරෙන් අරන් බඩුගත් සිද්ධියට ඇප මත සිටි තරුණයා යළි රිමාන්ඩ්
(06.03.2026 – hirunews.lk)
වෙනත් පුද්ගලයින්ගෙන් තාක්ෂණිකව සොරාගත් බැංකු කාඩ් පත් දත්ත භාවිතා කරමින් අන්තර්ජාලයෙන් භාණ්ඩ හා සේවා මිලදී ගත් බව කියන සිද්ධියට අදාලව ඇප මත සිටි තරුණයෙකු ලබන 20 දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (6) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශනය ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධියට අදාල සැකකරුට පනවා තිබූ ඇප කොන්දේසි කඩ කර ඇති බවට පරිගණක අපරාධ අංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව එසේ නැවත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
සිද්ධියට අදාල සැකකරු 2023 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇපමත මුදා හැර තිබුණා.
සිද්ධියට අදාල සැකකරුට පනවා තිබූ ඇප කොන්දේසි මෙලෙස කඩ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් මෙලෙස පැවසුවා.
“ස්වාමීනි, මෙම සැකකරුට විදේශ ගමන් තහනමක් පනවා තියෙද්දී විදේශගත වී පැමිණ තිබෙනවා. මෙම සිද්ධියට අදාලව නැවත එම ගිණුම් වෙත ගොස් නව ජංගම දුරකථනයක් හරහා ඇක්සස් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. නැවත ලබා ගැනීමට තහනම් කරන ලද එම සිම්පත ලබා ගැනීමටද කටයුතු කර තිබෙනවා. නඩු භාණ්ඩ වශයෙන් තිබෙන පළමු ජංගම දුරකථනයේ රහස් මුර පදය අමතක යැයි ප්‍රකාශ කර තිබෙනවා.”
එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළ සිටියේ දෙවෙනි (2) ජංගම දුරකථන සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් කළා ද යන්නය.
ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැන්වූවා.
ඒ අනුව සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා ලබන 20 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු මෙම වංචාව සිදු කරන විට පාසල් යන වයසේ පසුවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වුවා ෴
‘කුඩු සළිඳු’ගේ රුපියල් කෝටි 2 ක දේපළ අත්හිටුවයි
(06.03.2026 – hirunews.lk)
විදේශගතව සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ‘සළිඳු මල්ෂික’ හෙවත් ‘කුඩු සළිඳු’ට අයත් රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් ඉඩමක් සහ නිවෙසක් භාවිත කිරීම අත්හිටුවීමේ නියෝගයක් ලබාගෙන ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.

එනම්, අද (06) සිට දින 07 ක කාලයක් එම දේපල පරිහරණය කිරීම අත්හිටුවමින් අධිකරණයෙන් නියෝග ලබාගෙන ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.
මෙම සිද්ධියට අදාලව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය එලෙස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
සළිඳු මල්ෂික හෙවත් ‘කුඩු සළිඳු’ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයාගත් මුදල් යොදවා, සිය සොහොයුරාගේ නමින් මෙම නිවෙස සහ ඉඩම මිලදී ගෙන තිබූ බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
පොලිස්පතිවරයා වෙත ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වත්කම් තහනම් කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වුණා.
මෙලෙස තහනමට ලක්කළේ අළුබෝමුල්ල, බෙල්ලන ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 02 කට අධික වටිනාකමකින් යුත් පර්චස් 21 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් නිවසක් සහිත ඉඩමක්.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි දින 07 ක කාලයක් සඳහා මෙම දේපළ ක්‍රියා විරහිත කිරීමට (Freezing Order) නියෝගය ලබාගෙන තිබුණේ නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසය විසින් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴