ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා
ශල්‍යාගාර ලාම්පු මිලදී ගෙන රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල වූ ජීව වෛද්‍ය ඉංජිනේරුවරයාට අධි චෝදනා
(17.12.2024 – 12:18 +0530 – hirunews.lk/sinhala)
2015 වසරේ ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වූ සුභසිංහ ආරච්චිගේ ජනප්‍රිය කරුණාතිලකට එරෙහිව අද (17) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදෙනු ලැබුවා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර අද (17) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ භාරදීම සිදුකළා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 25,000 ක මුදල් අප සහ රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටද විනිසුරුවරයා නියෝග කළා.
නඩු විභාගය අවසන් වනතුරු විත්තිකරුට විදේශගත වීම තහනම් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් නියෝග කළා.
ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවටත් විත්තිකරුට තවත් ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්රණ ජනවාරි මස 30 වැනිදා කැඳවීමටද නියම වුණා.
2015 වසරේ අප්‍රේල් මස 07 වැනිදා සහ 2016 වසරේ ජූලි මස 15 වැනිදා අතර කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයේ ජීව වෛද්‍ය ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කරමින් Techno Medies International සමාගමින් ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීම සඳහා අනුමත කිරීම තුළින් රජයට පාඩුවක් සිදුකොට ‘දූෂණය’ නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අල්ලස් පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
එම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 32 දෙනෙකු නම් කර තිබෙන අතර, නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 16 ක් ද ඉදිරිපත් කර තිබෙනවා ෴
විදෙස් ජාතික පවුලක්ම දියවැලකට හසුවෙයි
(17.12.2024 – 07:27 +0530 – sinhala.adaderana.lk)
හික්කඩුව වෙරළ තීරයේ දියනාමින් සිටි රුසියානු ජාතික සිව්දෙනෙකු (4) දියවැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී බේරාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අනතුරට පත් සිව්දෙනාගේ (4) දිවි බේරාගෙන ගොඩබිමට ගෙනැවිත් ඇති බව පොලීසිය පවසයි.
දිය අනතුරින් මුදාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 40 ක් හා කාන්තාව වයස අවුරුදු 39 ක්ද, දැරිවියන් දෙදෙනා අවුරුදු 07 හා 13 යන වයස් වල පසුවන එකම පවුලේ සාමාජිකයන් වන අතර ඔවුන් රුසියානු ජාතික බව පොලීසිය පවසයි.
හික්කඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් පරික්ෂක හේවගේ, පොලිස් කොස්තාපල් 96793 ඒකනායක, පොලිස් කොස්තාපල් 102748 දිසානායක හා පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ යන නිලධාරීන් විසින් මෙම දිවි බේරා ගැනීම සිදුකර ඇත ෴
සමාජ මාධ්‍ය හරහා සංසරණයවන අසත්‍ය පුවතක් : ‘ජනාධිපති ප්‍රධානය’ ගැන පොලිසියෙන් දැනුම්දීමක්
(16.12.2024 – 22:18 +0530 – hirunews.lk/sinhala)
සමාජ මාධ්‍ය හරහා සංසරණයවන අසත්‍ය පුවතක් පිළිබඳව පොලිසියෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
‘ජනාධිපති ප්රදානය’ යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳ ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණයවන බවත් වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස දන්වමින් එම ප්‍රවෘත්තිය සමග ව්‍යාජ සම්බන්ධතාවක්ද (Link) එහි සඳහන් කර ඇති බවත් පොලිසිය පවසනවා.
මෙම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවත්, රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ජාවේදී මහජනතාව හා ජනමාධ්‍ය චෙත එම තීරණය දැනුම්දීමට කටයුතු කිරීම රජයේ ක්‍රමවේදය බවත් පොලිසිය මහජනතාවට දැනුම්දෙනවා.
එවැනි පිළිගත් ක්‍රමවේදයක් ඔස්සේ රජය විසින් නිවේදනය නොකළ රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ සම්බන්ධ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තීන් ප්‍රචාරය කිරීමෙන් වළකින මෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවත් පදනමකින් තොර අසත්‍ය ප්‍රවෘත්තීන් පිළිගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙන් වළකින මෙන් මහජනතාවට ද දැනුම්දෙන බවත් පොලිසිය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴
ඉන්දියාවේ යටත් විජිතයක් වීමට කැමති වූ අනුර කුමරු … (17.12.2024)
+
ගිනි ගානට හාල් වික්ක 6 කට ලක්ෂ හතක (7) දඩයක්
(17.12.2024 – lankadeepa.lk)
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් හය දෙනකුට (6) රුපියල් ලක්ෂ හතක (7) දඩ නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වැඩි මිලට සහල් අළෙවි කිරීම සම්බන්ධයෙන් මෙම වෙළෙඳුන්ට එරෙහිව අධිකාරිය මගින් නඩු පවරන ලදුව වරද පිළිගත් එම වෙළෙඳුන්ට දඩ නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය.
විමර්ශන නිලධාරීන් පසුගිය 10 දා සිට ඊයේ (16) දක්වා දීපව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳුන් 342 දෙනකු නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බවත් පවසන සභාපති හේමන්ත සමරකෝන් මහතා ඔවුන්ට එරෙහිව ඒ ඒ මහෙස්ත්‍රාත් අධිකරණ වලදී නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි සදහන් කළේය ෴
නීතිපති ස්ථාවරයෙන් මහර සිරකරු ඝාතන නඩුව අවසන්
(17.12.2024 – 19:31 +0530 – sinhala.adaderana.lk)
මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව අවසන් කිරීමට නීතිපතිවරයා ගත් ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව නීතිපතිවරයා අද (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
ඒ අනුව නීතිපති ස්ථාවරය අබිබවා නීති කෘත්‍යය පවත්වාගෙන යා නොහැකි මහර සිරකරු ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු කටයුතු අවසන් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා තීරණය කළේය.
ඒ, කොවිඩ් වැළඳී ඇත්දැයි තහවුරු කර ගැනීමට පීසීආර් පරීක්ෂණයක් ඉල්ලා 2020 නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගාරයේ රැඳවියන් සිදුකළ උද්ඝෝණයට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමේදී රැඳවියන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වූ නීති කෘත්‍යය වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (17) යළි කැඳවූ අවස්ථාවේදීය.
එහිදී අදාළ මරණ සිදුකිරීම අපරාධයක් වන බැවින් ඊට සම්බන්ධ වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස වැලිසර මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් කර තිබියදී, ඊට අදාළ ඉදිරි පියවර නොගෙන නඩුගොනුව වසාදැමීමට නීතිපතිවරයා ගත් පියවර සම්බන්ධයෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කළේය :
“ස්වාමිනි, සාමාන්‍යයෙන් නඩු ගොනුවකට නීතිපති උපදෙස් දුන්නාට පස්සේ, යළි අධිකරණයේ කරුණු පැහැදිලි කරන්න අපි බැඳිලා නැහැ. සිද්ධිය වූ දින ගැටුම් මැඩපැවැත්වීමට නිලධාරින් කඳුළු ගෑස්, රබර් උණ්ඩ, අහසට වෙඩි තැබීම්, දණහිසෙන් පහළට වෙඩි තැබීම සිදුකර තිබෙනවා. නිලධාරින් දෙදෙනෙක් (2) රැඳවියන්ගේ භාරයේ සිටියදී බන්ධනාගාර ගබඩාව ගිනිගෙන රැඳවියන් 107 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිදුවීමේදී රජයේ දේපළවලට වූ අලාභය මිලියන 18.5 ක්. මෙහිදී බන්ධනාගාර අවි ගබඩාව කඩන්න ඉඩ තිබ්බා. ඒ වගේම බන්ධනාගාරයේ ගේට්ටුව කැඩුවානම් සිරකරුවන් 2000 ම පිටතට පැනයනවා. එවැනි තත්ත්වකයි මේ නිලධාරින් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සහ බන්ධනාගාර ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියා කරලා තියෙන්නේ. මියගිය පුද්ගලයින්ගේ ශරීරවලින් ගන්නා ලද වෙඩි උණ්ඩ කොටස් කිසිදු ගිනිඅවියකට ගැලපීම කරන්න බැහැ. එහෙම තත්ත්වයක නීතිපතිවරයා අදාළ දිනයේ බන්ධනාගාරය තුළ රාජකාරී කළ සියලු බන්ධනාගාර නිලධාරින්ට සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින්ට එරෙහිව චෝදනා ගොනු කරන්නද? මෙන්න මේ වගේ කුමන නෛතික ප්‍රතිපාදන යටතේ චෝදනා ගොනුකරනවා ද කියා දෙගිඩියාවක් තිබුණ නිසයි නීතිපතිවරයා නඩු ගොනුව වසා දැමීමට තීරණය කළේ. නීතිපතිගේ මතය අවසානාත්මක නැහැ. අතෘප්තියට පත් පාර්ශවයන්ට අභියාචනාධිකරණයට යන්න පුළුවන්. නීතිපතිවරයාගේ මතය ස්ථිරයි. අධිකරණ තීරණයකින් හැර නීතිපතිගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ.
පසුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සේනක පෙරේරා මහතා කරුණු දැක්වීය :
“ස්වාමිනි නීතිපතිවරයා මේ කියන්නේ මේ සියලු මරණ නීත්‍යානුකූලයි කියලාද? නීතිපතිවරයාගේ මතය අවසානාත්මක නැහැ. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූලද, නැද්ද කියලා තීරණය කරන්න ඕනේ නඩු විභාගයක් සිදුකරලා. නැතුව නඩුවක් නැහැ කියලා ගොනුව වහන්න බැහැ. බන්ධනාගාර ආඥා පනතින් රැඳවියන් පාලනය කරන්න මිසක් මරණය සිදුකරන්න බලය ලැබෙන්නේ නැහැ.”
දෙපාර්ශවයේම කරුණු සලකා බැලීමෙන් පසු වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විවෘත අධිකරණය හමුවේ සිය නියෝගය ප්‍රකාශයට පත්ළේය :
“මහෙස්ත්‍රාත්වරයාට නීතිපති බලය අභිබවා යන්න ව්‍යවස්ථාදායකයෙන් බලය දීලා නැහැ. නමුත් මෙම කරුණු සඳහන් කළ යුතුයි. නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 296 යටතේ එන මිනී මැරීමේ වරද ගැන පමණයි. මිනි මැරීමේ වරදට සංඝටක පරිපුර්ණ නොවුනත්, 298 යටතේ නොසැලකිලිමත්කමින් මරණය සිදුකිරීම යන වරදට සංඝටක පවතින බව මේ අවස්ථාවේත් අධිකරණයේ මතයයි. කෙසේ වුවද මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදුකිරීමට අධිකරණයට බලයක් නැහැ. අගතියට පත් පාර්ශවය විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමට අදාළව කරුණු සනාථ කිරීමේදී නීතිපති මෙම අධිකරණයේදී දැරු මතය සහ ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය දැක්වූ මතය අදාළ කරගන්න.”
ඒ අනුව නීතිපති ස්ථාවරය අභිබවා නඩු කටයුතු පවත්වාගෙන යාමට අධිකරණමය බලයක් නොමැති බැවින් මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩු කටයුතු අවසන් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා තීරණය කළේය.
+
+
රැවටෙන්න එපා !
(17.12.2024 – lankadeepa.lk)
ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසමින් ජනතාව නොමග යවනසුළු ව්‍යාජ දැන්වීම් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ’ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.
එම දැන්වීම්වල ඇති ‘ලින්ක් එක ක්ලික් කළ විට’ පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවද ඔහු පැවැසුවේය.
එසේම මෙම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එහි ඇති ‘ලින්ක් ක්ලික් කර’ එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් දමුණුපොළ මහතා පැවැසුවේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලාංඡනය සහ නම සහිතව සංසරණය වන දැන්වීම් පිළිබඳව අප පුවත්පත ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්’ විමසීමක් කළ අතර එහිදී ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ ප්‍රකාශ කර සිටියේ එම දැන්වීම් ව්‍යාජ ඒවා බවත් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම කාර්යාංශයේ නිල මුහුණුපොත් ගිණුමේ සටහනක් තබා ඇති බවත්ය.
මෙය යම් කිසි කණ්ඩායමක් විසින් සිදු කරන්නක් බවත් එවැනි දැන්වීම් වලට ජනතාව නොරැවටිය යුතු බවත් ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ‘ශ්‍රී ලංකා මහා බැංකුවෙන්’ ද අප පුවත්පත විමසීමක් කළ අතර එහිදී ‘ශ්‍රී ලංකා මහා බැංකුව’ ප්‍රකාශ කර සිටියේ කිසියම් වංචනිකයන් කණ්ඩායමක් ‘ශ්‍රී ලංකා මහා බැංකුවේ’ නිල ලාංඡන භාවිත කරමින් මුහුණු පොතේ ව්‍යාජ දැන්වීම් පළ කර ඇති බවත් එම වෙබ් අඩවිවලට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියේදී ගනු ඇති බවත්ය ෴
පෞද්ගලික බැංකුවක ගිණුම් වලින් මුදල් සොරකම්කරන ජාවාරමක්
(17.12.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)
මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක් ලෙස පෙනී සිටිමින් ‘ඔන්ලයින් බැන්ක් ඇප්’ හෙවත් ‘මාර්ගගත බැංකු ගිණුම් යෙදවුම’ යාවත්කාලීන කිරීම සඳහා කූඨ ලෙස මුදල් ලබා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබෙනවා.
මෙහිදී අදාළ ජාවාරම්කරුවන් විසින් මාර්ගගත බැංකු ගිණුම් යෙදවුම සවස 04 ට පෙර යාවත්කාලීන කළ යුතු බවත්, එසේ නොකළහොත් රුපියල් 3,800 ක පමණ මුදලක් දැරීමට සිදුවන බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම යෙදවුම යාවත්කාලීන කිරීමට එහි ‘පරිශීලක නාමය’ සහ ‘මුරපදය’ අදාළ ගිණූම් හිමියන්ගෙන් මෙම ජාවාරම්කාර පිරිස විසින් ඉල්ලා තිබෙනවා.
අන්තර්ජාල බැංකු සේවාවන් භාවිතයට ජනතාව පෙළඹීමත් සමග ඒ හරහා සිදුවන වංචා පිළිබද වාර්තාවීම් ද දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.
එසේම පසුගිය දින කිහිපයේ අන්තර්ජාල මුල්‍ය වංචා සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.
‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ ඉල්ලා සිටියේ, අන්තර්ජාල බැංකුකරණයේ යෙදෙන්නන් ‘පරිශීලක නාමය’ සහ ‘මුරපදය’ මෙන්ම ‘ඕ.ටී.පී කේතය’ ද කිසිදු පාර්ශවයකට ලබා නොදෙන ලෙසයි.
එසේම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ එවැනි වංචනික ක්‍රියාවකට හසු වුවහොත් ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි ෴
නව කථානායක ලෙස වෛද්‍ය ජගත් වික්රමරත්නව පත් කෙරේ
(17.12.2024 – 09:47 +0530 – sinhala.adaderana.lk)
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත් කර තිබේ.
ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය.
නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය.
10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි.
මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි.
නමුත් අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.
+
වනඅලියෙකු කැබ් රථයක ගැටී රියදුරුට බරපතල තුවාල
(17.12.2024 – 16:42 +0530 – hirunews.lk/sinhala)
වනඅලියෙකු කැබ් රථයක ගැටීමෙන් වනඅලියා මෙන්ම කැබ් රථ රියදුරා බරපතල තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ රියදුරා ප්‍රතිකාර පිණිස සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාල ලැබූ වන අලියා ඇවිද ගැනීමට නොහැකිව මාර්ගය අසල වූ වතුර වලකට වැටී සිටින බවයි පැවසෙන්නේ.
වවුනියාව, සෙට්ටිකුලම්, මන්නාරම මාර්ගයේ, පෙරියකාඩු ප්‍රදේශයේදී අද (17) දා අලුයමයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
සෙට්ටිකුලම පොලීසිය මේ පිළිබදව වනජීවී නිලධාරීන්ට දැනුම් දී ඇති අතර ඔවුන් වනඅලියාට ප්‍රතිකාර කිරීමට කටයුතු කර තිබෙනවා.
මාර්ගයේ ගමන් කළ වනඅලියා වාහනයට පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී රියදුරා කලබලයට පත්ව තිබෙනවා.
ඒ අවස්ථාවේදී කැබ් රථයේ වනඅලියා ගැටී තිබෙන බව පැවසෙනවා.
සෙට්ටිකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴