‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි

‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි


‘පාතාලයේ ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ හංවැල්ලම හුදකලා කරන්න සැරසෙයි

(14.12.2024 – 19:54 +0530 – sinhala.adaderana.lk)

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ නමැති අපරාධකරුගේ තර්ජන හමුවේ හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් රැසක් මේ වනවිට සිය නිවෙස් අත්හැර පළාගොස් තිබේ.

ඔහුගේ තර්ජන හේතුවෙන් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට පොලිස් ආරක්ෂාව ද යෙදවීමට පියවරගෙන ඇති බව පොලීසිය පැවසීය.

‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ නමැති අපරාධකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුළ සිය අපරාධ කටයුතු යහමින් සිදුකරමින් සිටී.

34 හැවිරිදි ඔහු මනුෂ්‍ය ඝාතන 5 කට පොලීසියට අවශ්‍යව සිටින අයෙකි.

ඒ අතරින් ‘බූරු මූණා’ ලවා 2022 වසරේ හංවැල්ලේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්වුණි.

ඊට හේතු වුයේ අදාළ ව්‍යාපාරිකයා ඔහුට කප්පම් මුදල් ලබානොදීමය.

එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 30 වනදා හංවැල්ල නෙළුවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම ද දැඩි ලෙස කතාබහට ලක්වුණි.

ඒ ලලිත් කන්නංගරට බස් රැකියාවක් පළමුව ලබාදුන් එම පුද්ගලයාගෙන් ද කප්පම් ඉල්ලා ඒවා ලබානොදීම නිසා ඝාතනය කිරීම හේතුවෙනි.

ඔහු විසින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කරන අතර එලෙස ඔහු විසින් තර්ජනය කරන හඬපටක් මාධ්‍යට නිකුත් කර තිබුණි.

‘බස් ලලිත්’ ගෙන් තර්ජන එන්න එන්නම තීව්‍රවීම හේතුවෙන් මේ වනවිට ව්‍යාපාරිකයන් රැසක් සිය නිවෙස් අත්හැර ගොස් තිබේ.

ඒ අතර ‘බස් ලලිත්’ ගේ උපදෙස් මත තම පවුලේ උදවිය ඝාතනයවීම නිසා සමහර ව්‍යාපාරිකයෝ තම නිවාස අතහැර ප්‍රදේශයෙන් පලාගොස් සැඟවී සිටිති.

‘බූරු මූණා’ විසින් ඝාතනය කළ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ සොයුරාට අයත් නිවසක් වසා දමා එහි හිමිකරු ගොස් ඇත්තේ, ‘ලලිත් කන්නංගර’ ගෙන් දිගින් දිගටම කප්පම් ඉල්ලා එල්ල වූ තර්ජන හේතුවෙනි.

හංවැල්ලේ තවත් සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් වසා දමා ඇත්තේ එහි හිමිකරුවන් ද නිවස අත්හැර ප්‍රදේශයෙන් පලාගොස් සිටීම හේතුවෙනි.

එමෙන්ම දිද්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ද සිය නිවස අද (15) අත්හැර ගොස් තිබේ.

‘බස් ලලිත්’ගේ තර්ජන හේතුවෙන් මීපේ ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරුයද දැක ගන්නට හැකිය.

‘බස් ලලිත්’ මෙලෙසම තවත් ඉන්ධන පිරවුම්හල් කිහිපයකින්ම කප්පම් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

‘බස් ලලිත්’ ඩුබායි හි සැඟව සිටියත් සිය බිරිය සහ දරුවන් දිඹුලාගල ප්‍රදේශයේ සඟවා ඇති බවට ද ආරක්ෂක අංශ සොයාගෙන තිබේ.

+


ආනන්තරිය පාපකර්මයක් : පුතුගෙන් මවට එල්ල වූ මාරාන්තික පොලුපහර

(15.12.2024 – 07:43 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික ආරවුලක් හේතුවෙන් සිදු වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුතා විසින් මවට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

අද (15) අලුයම් කාලයේදී එම ඝාතනය සිදුකර තිබුණේ ගොඩකවෙල, බිසෝකොටුව ප්‍රදේශයේදීය.

එලෙස මියගොස් ඇත්තේ, ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිද කාන්තාවකි.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මේ අතර ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු සඳහා පැමිණ සිටි පෙදරේරුවන් දෙදෙනෙකු (2) අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

එම ඝාතනය සිදුකර තිබුණේ සීදූව පොලිස් වසමේ 02 වන පටුමග ප්‍රදේශයේදීය.

එලෙස මියගොස් ඇත්තේ, ජුබිලි මාවත, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 36 ක් වන කැකිරාව ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

16.12.2024 – 07:48 +0530

ගොඩකවෙල – බිසෝකොටුව ප්‍රදේශයේදී පුද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් වයස අවුරුදු 82 ක කාන්තාවකට ඇයගේ පුතා විසින් තියුණු ආයුධයකින් පහරදී ඊයේ (15) ඝාතනය කර ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා.

ඒ අනුව, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතරතුරදී ඊයේ උඩවලව – ගුරු මඩයාය ප්‍රදේශයේදී සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54 ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


මීගොඩ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට

(15.12.2024 – 06:35 +0530 – sinhala.adaderana.lk)

මීගොඩ, නාගහවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඊයේ (14) රාත්‍රීයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙලස වෙඩිතබා ඝාතනය කර ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 32 හැවිරිදි එක් දරු පියෙකි.

මරණකරුගේ සහෝදරයාගේ නිවසේ සිට මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ තම නිවස වෙත යමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

නාඳුනන පුද්ගලයෙක් මෝටර් රථය නවතා ඇති අතර තවත් පුද්ගලයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි වැදීමෙන් පසු බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

එම වෙඩිතැබීම සිදුවන විට වයස අවුරුදු එකහමාරක් (1½) වු මරණකුරුගේ දියණිය සහ බිරිඳ මෝටර් රථයේ සිට ඇත.

මිය ගිය පුද්ගලයා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමෘද්ධි ප්‍රදාන කාර්යාලයේ, කාර්යාල සහායක නිලධාරීයෙකු ලෙස සේවය කර තිබේ.

නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විසින් ස්ථානීය පරික්ෂණය සිදුකරයි.

වෙඩි තැබු පුද්ගලයින් මේ වනතෙක් හඳුනාගෙන නොමැති අතර මීගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

+

+


‘රජරට රැජින’ හා ‘සාගරිකා’ එකිනෙක ගැටීම ගැන විමර්ශනයක්

(15.12.2024 – 16:00 +0530 – sinhala.adaderana.lk)

අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී ‘රජරට රැජින’ හා ‘සාගරිකා’ දුම්රියේ එංජිම එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ ‘රජරට රැජින’ දුම්රියේ එංජිම මාරු කිරීමේදී වැරදි පීල්ලේ ධාවනය වීම හේතුවෙන් එහි නවතා තිබූ ‘සාගරිකා’ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

අනතුරින් ‘සාගරිකා’ දුම්රියට දැඩි හානි සිදුව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියේ, එම දුම්රිය හෙට (16) උදෑසන ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි.

මෙම අනතුර හේතුවෙන් අද (15) පෙ.ව. 08:45 ට බෙලිඅත්තේ සිට අනුරාධපුර බලා ධාවනය වීමට නියමිතව තිබූ ‘රජරට රැජින’ දුම්රිය ද ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවිය ෴

+

+


මරු කපොලු වූ මෙරට සංචාරක ස්ථාන

(15.12.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසානය වනවිට සංචාරකයින් මිලියන 2.2 ඉක්මවා මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එවැනි පසුබිමක මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කිරීම බලධාරීන් සතු වගකීමක්.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය යොමු නොවුණු ස්ථාන කිහිපයක් පිළිබඳව ගාලු කොටුව සහ ඇල්ල ප්‍රදේශවලින් අපට වාර්තා වුණා.

අර්බුද ගණනාවකට මුහුණ පෑමෙන් පසුවත් මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් ස්ථාවර වෙමින් පවතින අතර වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් 1,873,000 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ හරහා උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.3 කට අධිකයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ වසර අවසානය වනවිට සංචාරකයින් මිලියන 2.2 ඉක්මවා මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

මෙම ඉහළ සංචාරක ආකර්ෂණය අඩු නොකර පවත්වාගෙන යාමට නම් සංචාරකයින්ට ලබාදෙන යටිතල පහසුකම් දිනෙන් දින වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වුවත් බලධාරීන් අතින් එය මගහැරුණු සිදුවීම් කිහිපයක්ම ‘හිරු ප්‍රවෘත්ති’ ඔස්සේ අවස්ථා ගණනාවකදී අප අනාවරණ කළා.

ඒ අතර ප්‍රධාන සංචාරක මර්මස්ථානයක් වන ඓතිහාසික ගාලු කොටුවේ මරු කපොල්ලක් පිළිබඳවත් අපට තොරතුරු වාර්තා වුණා.

සංචාරකයින් සඳහා මෙම ස්ථානයේ ගමන් කිරීමට වෙනම පදික මංතීරුවක් තිබුණ ද බොහෝ සංචාරකයින් කොටු පවුර මතින් ඇවිද යාමට හුරු වී ඇත්තේ අවට පරිසරය වඩාත් හොඳින් දැකගැනීමේ උනන්දුව නිසයි.

එහෙත් කොටු පවුර මත ඇති මෙම බෑවුම් සහිත ස්ථානය ඉතා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති අතර පසුගිය සමයේ දෙස් විදෙස් සංචාරකයින් 10 දෙනෙකු පමණ ඉන් ඇද වැටී තුවාල ලබා තිබුණා.

එහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා විදෙස් ජාතික කාන්තාවක් එම ස්ථානයෙන් ඇදවැටී තුවාල ලබා රෝහල්ගත කිරීමට ද සිදුවුණා.

රාවණා ඇල්ල ප්‍රදේශයත් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගත් ස්ථානයක්.

කෙසේවෙතත් ඒ අසල අනතුරු ඇඟවීමේ පුවරු දක්වා ඇති ස්ථානවලටත් ඉහළ ඇති ස්ථාන නැරඹීමට මෙරට සංචාරකයින් ගමන් කරන අයුරු ද එහිදී දැකගැනීමට හැකියාව පවතිනවා.

මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් වර්ධනය කරගැනීමට නම් සංචාරකයින්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කිරීම බලධාරීන් සතු වගකීමක්.

යම් හෙයකින් මෙවැනි සංචාරක මර්මස්ථානවලදී සංචාරකයෙකුට යම් ජීවිත හානියක් සිදුවුවහොත් එමගින් මෙරටට ඇතිවන කැළල තවත් ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල කරනු ඇති.

මේ අතර ඇල්ල සංචාරක කලාපය ද මේ වන විට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබෙනවා.

මෙහිදී පසුගිය සමයේ වැඩි අවධානයක් යොමු වුණේ සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම සඳහා බදුල්ල සිට බණ්ඩාරවෙල දක්වා ආරම්භ කළ කැලිප්සෝ සංගීත කණ්ඩායම ද සහිත දුම්රියයි.

කෙසේවෙතත් කැලිප්සෝ සංගීත කණ්ඩායම මේ වනවිට එහි දක්නට ලැබෙන්නේ නැහැ.

+


නියෝජ්‍ය කථානායක විශේෂඥ වෛද්‍යවරයෙක් ද? කෝසල නුවන් ජයවීර ඉංජිනේරුවෙක් ද ? සුදා ඔවුන්ගෙන් කෙලින්ම අසයි. (14.12.2024)

+

මර්වින්ට තිබ්බ ආචාර්ය පට්ටමවත් මේ කතානායකට තිබ්බේ නැහැ. මේ ඉන්න සෙට් එකම හොර උපාධිකාරයෝද? (15.12.2024)

+

“එකක් කඩතොලු මකා ගන්නට ගොසින් මට වුනු කාරියා…
දෙකක් කඩතොලු සදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා…”

+


(නොබෝ දිනකින්) බැසිල් රාජපක්ෂ ඇමරිකාවේදී අත්අඩංගුවට? (15.12.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *