හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට

හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට


හඳුනානොගත් උණ රෝගයකින් දින දෙකකදී (2) පස්දෙනෙකු (5) ජීවිතක්ෂයට

(11.12.2024 – 12:00 +0530 – hirunews.lk/sinhala)

යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 05 දෙනෙකු ගෙවුණු දින 02 තුළදී ජීවිතක්ෂයට පත් වී තිබුණා.

ඔවුන් වයස අවුරුදු 20, 28, 33, 42 සහ 65 යන වයස්වල පසුවූ අතර, එම රෝගීන් උණ සහ ශ්වසන අපහසුතා හේතුවෙන් දින ගණනාවක් යාපනය ශික්ෂණ රෝගලෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.

නමුත් ඔවුන් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම මරණවලට හේතුව මෙතෙක් සොයා ගෙන නොමැති අතර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මරණවලට හේතුව මී උණ බවට සැක පළ කරන බවයි.

+

+

+


යාපනය රෝහලෙන් අර්චුනාට අනතුරු ඇඟවීම්

(11.12.2024 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහල වෙතට පැමිණ රෝහල් කටයුතුවලට බාධා කරන්නේනම් ඔහුව අල්ලා යපනය පොලීසියට බාර දෙන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති පවසනවා.

රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, යාපනය ශික්ෂණ රෝහලට පැමිණ රෝහලේ දෛනික කටයුතු වලට බාධාකරමින් හැසුරුණු බව පවසමින් යාපනය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීම සමබන්ධයෙන් ඊයේ (10) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා සිටයේ, යාපනය රෝහලට දෛනිකව රෝගීන් 2,000 කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවටත් රෝහල කටයුතු නිසි ලෙසින් අධික්ෂණය කල යුතු මොහොතක කිසිදු දැනුම් දීමක් සිදු නොකට අදාල මන්ත්‍රීවරයා රෝහලට පැමිණ රෝහල් කාර්යමණ්ඩලයේ රාජකාරි වලට බාධා කොට තමන් මුණගැසීමට අනවසරයෙන් උත්සහ දරා ඇති බවයි.

එම අවස්ථාවේ තමන් මුණ ගැසීමෙන් අනතුරුව අදාල මන්ත්‍රීවරයාට ‘සර්’ යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසට තමන්ට විධානය කල අවස්ථාවේදී තමන් ඒය ප්‍රතික්ෂේප කොට ‘ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්’ යන්නෙන් ආමන්ත්‍රණය කිරීමට හැකි බව පැවසූ බවද ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව මන්ත්‍රීවරයා තමන්ට බැණ වදිමින් තමන් පර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවත් රෝහල් අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කරමින් තර්ජනය කළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

මේ හේතුවෙන් නැවත එවැනි කටයුත්තක් හෝ රෝහලේ රාජකාරි කටයූතු වලට අදාල මන්ත්‍රීවරයා විසින් බාධා කරන්නේනම් රෝහලේ ආරක්ෂක නිලධරීන් මාර්ගයෙන් මන්ත්‍රීවරයා යාපනය පොලීසියට භාරදීමට පියවර ගන්නා බවටද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා ෴


රුපියල් කෝටි 13 ක මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(11.12.2024 – 15:11 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කහතුඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර, හෙරොයින් කිලෝ ග්‍රෑම් 05 ක්, අයිස් කිලෝ 01 යි ග්‍රෑම් 600 ක් සග මත්පෙති 800 ක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 13 ක් පමණවන බවද සඳහන් ෴

අයිස් මත්ද්‍රව්‍ය 2kg ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20 ක තරුණයෙක් ෴


‘ඔන් මැක්ස් DT’ නඩුව පිළිබඳව අධිකරණයෙන් ලැබුණු නියෝගය

(11.12.2024 – 15:17 +0530 – hirunews.lk/sinhala)

‘ඔන් මැක්ස් DT’ මුදල් ආයෝජන ක්‍රමයේ ආයෝජනයන් සිදුකොට මුදල් අහිමි වූ තැන්පත්කරුවන් විසින් මේ දක්වා පැමිණිලි 2017 ක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ තුළින් ඔවුන්ට අහිමි වී තිබෙන මුදල රුපියල් බිලියන 2.96 ක් ලෙස ගණන් බලා තිබෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් ඉඩම් 31 ක් පමණ මේ වන විට තහනමට ගෙන තිබෙන බවත්, ඔවුන්ට අයත් විදේශවල තිබෙන වත්කම් පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශන මෙහෙයවන බවත්, එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර සිටියා.

මෙම පැමිණිල්ල අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සමාගමේ අධ්‍යක්ෂවරු ඇතුළු සැකකරුවන් නවදෙනෙකු (09) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

තවත් සැකකරුවන් තුන්දෙනෙකු (03) මේ වන විට විදේශගතව සිටින අතර, ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ සිට මේ දක්වා අදාළ ආයෝජනය ක්‍රමයේ මුදල් තැන්පත් කර මුදල් අහිමි වූ පුද්ගලයින් 865 දෙනෙකු විසින් පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව, මේ වනවිට සමස්තයක් ලෙස පැමිණිලි 2017 ක් ලැබී ඇතැයි සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඒ තුළින් ඔවුන්ට අහිමි වූ තැන්පත් මුදල්වල වටිනාකම රුපියල් බිලියන 2.96 ක් ලෙස ගණන් බලා තිබෙන බවත් පැවසුවා.

තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, ඉන් සැකකරුවන් දෙදෙනකුගේ (02) පරීක්ෂණ කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් දැනුම් දුන්නා.

මෙම සමාගමේ සැකකාර අධ්‍යක්ෂවරුන්ට අයත් දේපළ ඕස්ට්‍රේලියාව වැනි විදේශ රටවල පවතින බවට කරුණු අනාවරණය වී ඇති බවත්, ඒවා හඳුනාගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්වා සිටියා.

ඊට අමතරව මෙම සැකකරුවන්ට අයත් ඉඩම් 31 ක් තහනමට ගෙන තිබෙන බවත් ඔවුන් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහිදී මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සැකස් කළ යුතු බවයි.

ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 05 වැනිදා යළි කැඳවන ලෙසත්, එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත්, මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා ෴

+

+


අණ නොතකා පලාගිය ලොරියකට පොලිසියෙන් වෙඩි

(11.12.2024 – 11:30 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා පලායමින් තිබූ ලොරි රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

මෙම ලොරි රථය අම්බලන්තොට සිට නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ගවයින් බේරාගන්නා අවස්ථාවේ එහි තුළ අමානුෂික ලෙස රඳවා සිටි ගවයන් 07 දෙනෙකු මිය ගොස් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ මෙම ලොරි රථය පිළිබඳව පොලිසියට ඇතිවූ සැකයක් මත අම්බලන්තොට ඔරලෝසු කණුව අසල මාර්ග බාධකයේදී නවත්වන ලෙස සංඥා කර තිබුණා.

නමුත් පොලිස් සංඥා නොතකා ලොරි රථය පලායමින් සිටියදී පොලිස් නිලධාරීන් ලොරි රථය පිටුපස හඹා ගොස් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර, සැකකරුවන් ලොරි රථය යක්ගස්මුල්ල ප්‍රදේශයේ ඉඩමකට ඇතුල්කර පලා ගිය බවයි පොලිසිය පවසන්නේ.

පසුව අදාල ලොරි රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාකර ඇති අතර එහිදී අමානුෂික ලෙස රදවාසිටි ඉහත ගවයන් 27 දෙනා සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන් ෴


පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දුන් අයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

(11.12.2024 – 09:53 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු පොලිස් ඇපමත නිදහස් කිරීමට කටයුතු කර දෙන ලෙසට ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පුද්ගලයෙකු පසුගිය 01 වැනිදා දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.

මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් මුල්ලේරියා පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ සොයා බැලීමේදී අදාළ ඇමතුම් ලබාදුන් පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නොවන බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, එම දුරකතන අංකය ඔස්සේ විමර්ශන සිදු කර පසුගිය 06 වැනිදා මුල්ලේරියාව පොලිස් වසමේ කැළණිමුල්ල ප්‍රදේශයේදී එම ඇමතුම ලබා දුන් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වූ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මොහු පසුගිය නොවැම්බර් 26 වැනිදා දෙල්ගොඩ ප්‍රදේශයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයක සිදු වූ මංකොල්ලයක් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බවටත්, කොල්ලකන ලද රන් භාණ්ඩ විවිධ ප්‍රදේශවල උකස් කර ඇති බවටත්, අනාවරණය වී තිබෙනවා.

මෙම කොල්ලකෑමට අනුබල දුන් තවත් සැකකරුවෙකු (1) ඉහත සැකකරු මාර්ගයෙන් ඊයේ (10) කැලණිමුල්ල ප්‍රදේශයට ගෙන්වාගෙනයි මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 53 ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද රන්මාල 03 ක් උකස් කර තිබියදී සොයා ගෙන ඇති අතර, 2022 වසරේදී මුල්ලේරියාවේදී සිදු කළ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑමක් ද මෙම සැකකරු සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙ මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ඉසුරුපාය විරෝධතාව මැද පොලිසියට තුවාලකර ඇත්තේ බුද්ධි නිලධාරියෙක්

(11.12.2024 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ඉතා දුෂ්කර කාලයන්වලදී පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා නොදෙන්නේනම් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ‘සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

එහි කැඳවුම්කරු දිනුක බණ්ඩාර මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ (10) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.

මේ අතර, බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරීන් හතරදෙනා (4) ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියම කළා.

ඒ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පොලිස් නිලධාරීන් විසින් එම සංවර්ධන නිලධාරීන් සැකකටයුතු කිසිඳු දෙයක් සිදු නොකළ බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්.

එමෙන්ම, විරෝධතාව අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු බව පවසමින් පොලිසියට බාර දුන් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු බුද්ධි අංශ නිලධාරියෙකු බව අධිකරණයේදී අනාවරණ වුණා.

පාසල් වලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය දෙසැම්බර් 02 වනදා බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට ‘සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය’ මෙම විරෝධතාව සිදු කළා ෴


“කථානායක ජපානයේ සරසවියෙන් ඉගෙනගෙන නෑ” – තලතා කියයි

(11.12.2024 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කථානායක අශෝක සපුමල් රන්වල ජපානයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙකු නොවන බවත්, ඔහු එහි අධ්‍යාපනය ලබා නොමැති බවට එම විශ්ව විද්‍යාලයෙන් දැනුම්දුන් බවත්, හිටපු ඇමතිනි තලතා අතුකෝරළ පවසනවා.

මෙම තොරතුරු සත්‍ය නම් මෙරට තුන්වැනි (3) තනතුර හොබවන පුද්ගයයෙකු එවැනි අසත්‍ය තොරතුරක් පතුරවමින් රට අගාධයකට යොමු කර ඇති බවයි ඇය සඳහන් කළේ.

මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඊයේ (10) ඇමතිනිය මේ බව පැවසුවේ.

එහිදී ඇය මෙසේද සඳහන් කළා :

“පාර්ලිමේන්තුවේ සටහන් වෙලා තිබුණේ ‘ගරු ආචාර්ය අශෝක සපුමල් රන්වල’ කියන නමින් තමයි. අද (11) නිකන්ම මේ වෙබ් සයිට් එකේ ‘ගරු අශෝක සපුමල් රන්වල මහත්මයා’ හැටියට පත්වෙලා තියෙනවා. ‘ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලයේ’ තමයි එතුමා පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ කියලා සඳහන් වෙලා තියෙන්නේ.

එතකොට අපි ගාව තියෙනවා ‘ජපානයේ ෂින්ජුකු නගරයේ වසේඩා විශ්ව විද්‍යාලයෙන්’ ගෙන්නගත්ත එකක්, එකේ තියෙන්නේ එහෙම කෙනෙක් එහේ අධ්‍යාපනය ලබලා නැහැයි කියලා. කථානායක කියන පදවිය මේ රටේ තුන්වෙනි (3) තනතුර. ජනාධිපතිවරයා නැති වෙලාවක අගමැතිවරයා නැති වෙලාවක වැඩ බලන්න පත් වෙන්නේ කථානායකතුමා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමන්ලා, අග්‍ර විනිශ්චයකාරතුමා, අභියාචනාධිකරණ විනිශ්චයකාරතුමන්ලා, ඉහළ අධිකරණ විනිශ්චයකාරවරු, පොලිස්පතිවරයා විගණකාධිපති ඇතුළු මේ සියලු දෙනාගේම පත්වීම්, මේ ප්‍රධාන ඉහළ පෙළේ පත්වීම් ටික කෙරෙන්නේ මෙතුමා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්.

ඔබ හොඳට කල්පනා කරලා බලන්න අපි මොනතරම් අනතුරකට ද මේ මාලිමා ආණ්ඩුව රට දාලා තියෙන්නේ කියලා. පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඇවිල්ලා, බැලින්නම් මොකක්ද මේ කරලා තියෙන්නේ. මේ මුළු රටම හොරා කන තැනකට අද මේ පත්වීමත් එක්ක පත්වෙලා තියෙනවා, මේ කරුණු ඇත්ත නම්.”

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *