රේගු නිලධාරීන්ගේ ක්‍රියාකලාපයෙන් බැටකන බහාලුම්රථ හිමිකරුවෝ
(13.11.2024 – 07:43 +0530 – sinhala.adaderana.lk)
රේගු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව ‘බහාලුම්රථ හිමිකරුවන්ගේ සංගමය’ පවසයි.
එහි සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, මේ වරාය අවට මාර්ගවල දැඩිරථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවය.
“ඔරුගොඩවත්ත, තොටලග සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල මාර්ගයේ තිබෙන අනාරක්ෂිත බව නිසා මෙම බහාලුම් වරාය පරිශ්‍රයේ රඳවාගෙන තමා පිට කරේ, බහාලුම් නිෂ්කාශනවල ඉඩපහසුකම් ලැබෙන පරිදි. නමුත් ඇමතිතුමාගේ පරීක්ෂාවෙන් පසුව, මොවුන් එක හෙළාම තීරණය කරලා තියෙනවා සියලුම බහාලුම් ප්‍රවාහන රථ වරායෙන් පිටතට එවලා මාර්ග තදබදයක් ඇති කරලා තියෙනවා විශේෂයෙන්ම ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස් කියන ස්ථානවල. විශේෂයෙන්ම පටවාගත් බහාලුම් ප්‍රවාහන රථවල තිබෙන බහාලුම්වල අනාරක්ෂිතභාවය සහ රියදුරන්ට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා. පොලිස්පතිට සහ රේගු අධ්යක්ෂවරයාට දැනුවත් කරලා තිබුණා. ඒ අනුව තමා වරාය පරිශ්‍රයේ මේවා නතර කරගෙන ක්‍රමවේදයක් ඔස්සේ එව්වේ.”
තමන් පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ බාහාලුම්රථ රියදුරන් මෙලෙස අදහස් පළ කළා :
“දැන් නම් දවස් තුනකටවත් අපිට යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පළිගැනීමක් හැටියට තමා මේක. මේ අයගේ ඇත්ත කිව්වා කියලනේ මෙහෙම කරන්නේ. අසාධාරණයි. අපිට කන්න නෑ…බොන්න නෑ…අපි අසරණ මිනිස්සු.
පාරට දාපු එක හරිම ප්‍රශ්නයක්. කුඩුකාරයෝ පිරිලා.
ඊයේ මගේ පර්ස් එකට වෙච්ච දෙයක් නෑ. එක තප්පරයක් ඇති නින්ද ගියාම ඔක්කෝම ඉවරයි.”
කෙසේ වෙතත් රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කළේ, රේගු ආඥා පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන ලෙස සිය සාමාජිකයින් දැනුවත් කර ඇති බවය ෴
+
+
වංචා දූෂණ සිද්ධීන් 15 ක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමර්ශන
(13.11.2024 – 09:11 +0530 – sinhala.adaderana.lk)
පසුගිය කාලසීමාව තුළ සිදුවූ බව කියන වංචා දූෂණ සිද්ධීන් 15 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පියවර ගෙන ඇති විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා සඳහන් මීට අදාළ පැමිණිළි 3,040 ක් ලැබී ඇති බවය.
“විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040 ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124 ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15 ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3 ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා” ෴
කස්සප හිමි හදිසියේම අගමැතියගේ කාර්යාලයට එයි | මෙන්න කස්සප හිමි අරගෙන ආපු ප්රශ්නය (13.11.2024)
+
ගල් පෙරලීමෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා
(13.11.2024 – 17:12 +0530 – hirunews.lk/sinhala)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ‘පොඩිමැණිකේ දුම්රිය’ එම ස්ථානයේ නවතා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
පවතින වර්ෂාවත් සමඟයි මෙසේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය – ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගල් පෙරලී ඇත්තේ.
ඒ මොහොතේ එම ස්ථානයෙන් ධාවනය වෙමින් තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා පැමිණි අංක 1005 දරණ පොඩිමැණිකේ දුම්රිය නවත්වාගෙන ඇත්තේ දුම්රිය රියදුරුගේ දක්ෂතාව මත බවයි දුම්රිය බලධාරීන් පවසන්නේ.
මේ හේතුවෙන් බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවත්වා තිබෙනවා.
දුම්රිය මාර්ගයට වැටී ඇති ගල් කඩිනමින් ඉවත් කිරිමට කටයුතු කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ ෴
ඡන්දය දාන්න පෞද්ගලික රැකියා කරන අයට නිවාඩු ලැබෙන හැටි මෙන්න
(13.11.2024 – 15:40 +0530 – hirunews.lk/sinhala)
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා අවස්ථාව ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හෙට (14) දින පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා ස්ථානයේ සිට ඡන්ද ප්‍රකාශ කරන ස්ථානය වෙත යාමට හැකිවන පරිදි වැටුප් සහිත විශේෂ නිවාඩුවක් ලබා දීමට අවශ්‍ය බවයි.
ඒ අනුව සේවා ස්ථානයේ සිට ඡන්දය ලබා දෙන ස්ථානය දක්වා කිලෝමිටර් 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයක (½) නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 40 ත් 100 ත් අතර නම් දින එකක (1) නිවාඩු කාලයක් ද, කිලෝමිටර් 100 ත් 150 ත් අතරනම් දින 1½ කාලයක් ද, කිලෝමිටර් 150 ට වඩා වැඩි නම් දින 2 ක නිවාඩු කාලයක් ද ලබා දීම සිදු කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ඡන්දය ලබා දෙන ස්ථානයට යාමට කාලය ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට සහ ඒමට නිවාඩු දීමට සිදුවන විට අවස්ථානුකුලව සේවා යෝජනකයන් විසින් ඒ සම්බන්ධයෙන් දින තුනක (3) නිවාඩුවක් ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසා සිටියා.
තව ද ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබා දීමටත් එසේ දෙනු ලබන නිවාඩු කාල සිමාව, අනියම් සේවා නියුක්තිකයන් ද ඇතුළුව සියළුම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු බවත් එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය මඟින් සේවා යෝජකයන්ට දැනුවත් කර තිබෙනවා ෴
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම
(13.11.2024 – 15:32 +0530 – hirunews.lk/sinhala)
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් විදේශ තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාල 07 ක් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව කුවේට්, ජපාන හා කටාර් තානාපති කාර්යාල, ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, කැනඩාවේ ටොරොන්ටෝ, ඉතාලියේ මිලාන්, ඩුබායි කොන්සල් ජනරාල් කාර්යාල හරහා මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව තුළදී ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීමට හැකි වන සේ සකසා ඇති ක්‍රම වේදය අනුවම විදේශ තානාපති කාර්යාල හරහා ද එම සහතික නිකුත් කිරීමට හැකි වන පරිදි රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව පවත්වා ගෙන යනු ලබන e-BMD දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව මුල් අදියරේ දී e-BMD දත්ත පද්ධතිය දැනට පරිලෝකනය කර ගබඩා කර ඇති මිලියන 45 කට ආසන්න උපත්, විවාහ හා මරණ සහතික පමණක් නිකුත් කිරීම සිදු කරනු ලබනවා.
මෙම සහතික 1960.01.01 දිනට පසු ලියාපදිංචි කර ඇති සහතික වන අතර දත්ත පද්ධතියේ මුල් අවස්ථාවේදී පරිලෝකනය වූ සහතිකයක් පසුව සංශෝධනය වී ඇත්නම් එවැනි සහතික ඇතැම් අවස්ථාවන්හි දී දත්ත පද්ධතිය තුළ යාවත්කාලීන වීමේ සුළු ප්‍රමාදයක් පැවතිය හැකි බවයි වාර්තා වෙන්නේ ෴
රේගු නිලධාරින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි
(13.11.2024 – 15:39 +0530 – sinhala.adaderana.lk)
රේගු නිලධාරීන් විසින් සිය රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.
අද (13) දහවල් මාධ්‍ය හමුවක් පවත්වමින් එම සන්ධානයේ සභාපති අමිල සංජීව මහතා ඒ බව පැවසීය.
අමාත්‍ය විජිත හේරත් මහතා ඉකුත් 07 වනදා කොළඹ වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවේදී බහාලුම් රථ හිමිකරුවන් සහ රියදුරන් විසින් තමන් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීමට විරෝධය පළකරමින් ඔවුන් රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමේ ක්‍රියාමාර්ගයක නිතර විය.
ඒ හේතුවෙන් බහාලුම් නිශ්කාෂණ කටයුතු බොහෝ ප්‍රමාද විය.
කෙසේ නමුත් මේ වනවිට රට තුළ මැතිවරණයක් පැවැත්වෙන විශේෂිත කාලසීමාවක පවතින බැවින්, කන්ටේනර් රථ ගාල්කිරීමට සිදුවීමෙන් ලොරි රථ රියදුරන්ට හා සහායකන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවීම සැලකිල්ලට ගෙන රාජකාරියට අදාළ කටයුතු පමණක් සිදුකිරීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවූ බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ අමිල සංජීව මහතා :
“අපට දැකගන්න ලැබෙනවා බහලුම් නිශ්කාෂණය කරන අංගනවල විශාල කන්ටේනර් රථ තදබදයක් ඇතිවී තිබෙනවා මේ ක්‍රියාමාර්ගයත් එක්ක. රට පවතිනේනේ විශේෂිත තත්ත්වයක.
හෙට (14) මහ මැතිවරණය පැවැත්වෙනවා. ඡන්ද අයිතිය සියලු දෙනාගේම අයිතියක්. ඒ නිසා ලොරි රථ රියදුරන්ට හා සහායකන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහ මැතිවරණය අවසන් වන තෙක් නොවැම්බර් මස 12 වන දිනට ප්‍රථම අපි රාජකාරී කළ ආකාරයෙන්, මහා මාර්ගයේ අවහිරතාවත් ඇති නොවන ආකාරයට වරාය පරිශ්‍රයේ බහාලුම් රථ රදවාගනිමින් යම්කිසි සීමාකිරීමකට ලක්ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා”.
“මෙම ගැටලුවලට පිළිගතහැකි විසඳුමක් ලැබිලා නැහැ. ඒ නිසා ලබන සඳුදා (18) දිනයේ සිට අපි නැවතත් අපේ සාමාජිකත්වයට දැනුම්දෙනවා නොවැම්බර් මස 12 වනදා අපි නිකුත්කළ උපදෙස් අනුව කටයුතු කරන්න කියලා” ෴
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක් (13.11.2024)
+
+
නිවැරදිව ඡන්දය භාවිතා කරන්නේ කෙසේද?
(13.11.2024 – 19:54 +0530 – hirunews.lk/sinhala)
2024 පාර්ලිමේන්තු ඡන්ද විමසීම ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි.
සුදුසුකම් ලබාඇති ඡන්ද දායකයෙකු ලෙස ඔබ නිවැරදිව ඡන්දය භාවිතා කිරීමට සූදානම්ද ?
පසුගියදා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී මෙරට ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් එක් දහස් තුන්සිය පනස් හතරදෙනෙකු (1,71,41,354) ලියාපදිංචිවී තිබූ අතර ඔවුන් අතරේ ඡන්දදායකයින් එක්කෝටි තිස් හය ලක්ෂ දහනවදහස් නවසිය දහසයක් (1,36,19,916) ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ඔවුන් අතරින් තුන් ලක්ෂ තුන්සිය දෙනෙකුගේ (3,00,300) ඡන්දය අවලංගු වී තිබුණා.
එලෙස ඡන්දය අවලංගුවීමට නිවැරදිව ඡන්දය භාවිතා නොකිරීමත් හේතුවක් වී තිබුණා.
නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කෙසේද ? දැන් අපි ඒ ගැන විමසා බලමු.
මෙවර පොළොන්නරුව්, මොණරාගල, කෑගල්ල යන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා ලැබෙන්නේ වෙනම ඡන්ද පත්‍රිකාවක්.
අනෙක් මැතිවරණ දිස්ත්‍රික්ක 19 සඳහා තවත් ඡන්ද පත්‍රිකාවක් ඔබට හිමිවනවා.
ඔබට ලැබෙන ඡන්ද පත්‍රිකාවේ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නම සහ සලකුණ නිවැරදිව මුද්‍රණය කර තිබෙනවා.
පළමුව ඔබ කැමති පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ කතිර සලකුණ, සලකුණු කිරීම අනිවාර්යයි.
ඉන් පසු ඔබේ අවශ්‍යතාවය මත මනාප එකක් (1), මනාප 2 ක් හෝ මනාප 3 ක් සලකුණු කළ හැකියි.
ඔබේ ඡන්ද පත්‍රිකාවේ පක්ෂයකට සහ ස්වාධීන කණ්ඩායමකට එකවර කතිරය බැගින් සලකුණු කළහොත් එය අවලංගු ඡන්දයක් ලෙසටයි සැලකෙන්නේ.
එමෙන්ම පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට එක් කතිරයක් සලකුණු කර මනාප 3 කට වැඩියෙන් සලකුණු කළ හොත් එහිදී මනාප අවලංගු වන අතර පක්ෂයට ලබාදුන් ඡන්දය පමණක් වලංගු වනවා.
ඔබේ ඡන්ද පත්‍රිකාවේ ඔබේ නම, ඔබේ ලිපිනය හෝ වෙනත් සලකුණක් ලකුණු කළහොත් එම ඡන්ද පත්‍රිකාවත් අවලංගු ඡන්ද පත්‍රිකාවක් ලෙසයි සැලකෙන්නේ.
එසේ නම් හෙට (14) උදෑසන 07:00 ට ආරම්භ වන රටේ අනාගතය වසර 5 කට තීරණය කිරීමේ බලය ලබාදෙමින් පැවැත්වෙන 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබේ වටිනා ඡන්දය නිවැරදිව වලංගු වන ආකාරයෙන් භාවිතා කිරීම ඔබේ වගකීමක් ෴
මැතිවරණ කාලයේ ආපදා දැනුම් දෙන්න විශේෂ දුරකතන අංක 6 ක්
(13.11.2024 – 18:50 +0530 – hirunews.lk/sinhala)
මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළදී යම් ආපදාවක් වේනම් එය දැනුම් දීමට විශේෂ දුරකතන අංක 06 ක් හඳුන්වා දී තිබෙනවා.
එම දුරකතන අංක :
- 070 211 7117 ,
- 011 366 8032 ,
- 011 366 8087 ,
- 011 366 8025 ,
- 011 366 8026 හා
- 011 366 8019
බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ විශේෂ වැඩසටහන ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්වයි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴