සීඅයිඩීය මාව කැඳවනකල් බලාගෙන ඉන්නේ – නාමල් රාජපක්ෂ
(02.06.2026 – hirunews.lk)
පිල්ලෙයාන් බැලීමට යාම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් කැඳවන තෙක් බලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එසේ කැඳවන අවස්ථාවක තමන්ටද අසන්නට ප්‍රශ්න කිහිපයක් තිබෙන බවත් ඒ නිසා තමන් අදාළ කැඳවීම කරන තෙක් මග බලාගෙන සිටින බවත් ඔහු පැවසුවා.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මෙසේ ද පැවසුවා :
“පිල්ලෙයාන්ගේ කටඋත්තරය ගන්න ගිය මහත්තයා ඇයි වරෙන්තු කරුවෙකුගෙන් ප්‍රකාශයක් අරන් ඔහුව අත්අඩංගුවට ගත්තේ නැත්තේ කියන ප්‍රශ්නය මට අහන්න තියෙනවා. ඒ ප්‍රශ්නය අහන්න මට කටඋත්තරයක් ගන්න එන්න කියනකල් මම මේ බලාගෙන ඉන්නේ. වරෙන්තු මත සිටින අයෙක් තානාපති කාර්යාලකට ගෙනල්ලා ඔහු අත්අඩංගුවට නොගෙන කටඋත්තරයක් ලියා ගත්තේ කොහොමද? කියන ප්‍රශ්නය අපිට තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ආව වෙලාවේ ජනාධිපතිවරයාට හෝ ආරක්ෂක මණ්ඩලයට ඒ බව දැනුම් නොදී ඇයි ෆයිල් එක හංගගෙන හිටියේ කියන ප්‍රශ්නයත් මට අහන්න තියෙනවා.
ජනතාවට දුන්න පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකිව ආණ්ඩුව අද ජනතාව මත අසීමිත ආර්ථික පීඩනයක් පටවමින් සිටිනවා. ජීවන වියදම දිනෙන් ඉහළ යනවා. විදුලිබිල, ඉන්ධන මිල, ජලබිල සම්බන්ධව අද විශාල කථිකාවක් ජනතාව අතර ගොඩනැගී තිබෙනවා. එවැනි කාල සීමාවකදී ආණ්ඩුව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට කටයුුතු කරනවා වෙනුවට පැහැදිළිවම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් මේ ආත්මයට වෙන කෙනෙකුට ආණ්ඩුව නොදෙන බවට අභියෝග කරනවා.
ආණ්ඩුව මේ අභියෝගය කරන්නේ අපිට නෙවෙයි ජනතාවටයි. වැඩ කරලා, ජීවන වියදම් අඩු කරලා, රැකියා උත්පාදනය කරලා, ආයෝජකයෝ ගෙනල්ලා, සම්බුද්ධ ශාසනයත් බුද්ධ ධර්මයත් ආරක්ෂා කරලා ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කරනවා නම් ඒක යම්කිසි ආකාරයකට සාධාරණයි කියලා හිතන්න පුළුවන්.
ඒ මොකුත් නොකර ජනතාව මත දිනෙන් දින පීඩනය පටවලා ඒ පීඩනයට විරුද්ධව ජනතාව කතා කරත්දී ආණ්ඩුව බලහත්කාරයෙන් හරි අපි බලයේ ඉන්නවා කියන්නේ පුරවැසියන්ට තර්ජනය කිරීමක්.
අද මේ ආණ්ඩුව රුපියල් ට්‍රිලියනක් ගිණුමේ තියාගෙනත් ජනතාව මත පීඩනය පටවනවා. කොවිඩ් වසංගතයත් එක්ක එදා මුළු ලෝකයම වැසී තිබුණා. සංචාරකයෝ රටට ආවේ නැහැ. කර්මාන්ත වැහුණා. එසේ තිබියදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ආරක්ෂා කරමින්, ගොවි ජනතාව ආරක්ෂා කරමින් ආණ්ඩුව කටයුතු කළා. කන්න දෙකකට පොහොර නිකන් දුන්නා. අද මැදපෙරදිග යුද්ධයක් නිසා ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලැබෙන්නේ නැහැ. එදා කොවිඩ් අවස්ථාවේ තරම් සංචාරක කර්මාන්තයට රට වැහිලා නැහැ. යම් පසුබෑමක් තියෙන බව අපි පිළිගන්නවා. කර්මාන්ත ශාලා වැහිලා නැහැ. එසේ තිබියදීත් ලෝකයේ වැඩිම ලංසුව දීලා තෙල් මිලට ගන්න තැනට ආණ්ඩුව පත්වෙලා.
විදේශ ආයෝජන නැතුව ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක කරන්න විහිළුවක්. බලයට පැමිණි පසු මේ රටට ආපු ලොකුම විදේශ ආයෝජකයේ ටික රටින් එලවා ගත්තා. කිසිම ආයෝජකයෙකුට රටට එන්න නොදී දොර වැහුවා. දේශීය ආයෝජකයින් අතරින් තමන්ට හිතවත් කිහිප දෙනෙකුට පමණක් පිටරටින් භාණ්ඩ ගෙනත් හම්බ කරගන්න අවස්ථාව දීලා බලාගෙන ඉන්නවා. මෙහෙම කරලා ඒ තුළින් රටේ ආර්ථිකය වර්ධනය කරන්න බැහැ. තමන්ගේ ව්‍යාපාරිකයින් දැන් හම්බ කළා ඇතිනේ. දැන් අනිත් අයට මේ රටේ රැකියා උත්පාදනය කරලා රට දියුණු කරන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි මම ආණ්ඩුවට කියන්නේ.
සජිත් සමඟ මගේ කිසිම සීතල යුද්ධයක් නැහැ. අපි දෙන්න හම්බන්තොට අවුරුදු ගානක් එකට දේශපාලනය කළා. එයා ඒ පක්ෂයේ මම මේ පක්ෂයේ. ඒ හැම පාරකම මම හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා. එතුමා දැන් කොළඹ දිස්ත්‍රික්කට ඇවිත් ඉන්නවා. ඔහුගේ තාත්තයි මගේ තාත්තයි හැප්පුනා. දැන් මමයි සජිතුයි හැප්පෙනවා” ෴
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමෙරිකාවෙන් ලැබුණු TH-57 ‘සී රේන්ජර්’ හෙලිකොප්ටර් 10 ක් දිවයිනට ළඟා වෙයි
(02.06.2026 – hirunews.lk)
අමෙරිකානු එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ (Sea Ranger) වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා දහය (10) මේ වන විට මුහුදු මාර්ගයෙන් දිවයිනට ළඟා වී තිබෙනවා.

මෙම නව යානා එකතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයක්.
දිවයිනට ළඟා වූ මෙම හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කෙරෙන අතර, ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි.
මෙම යානා ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් (SAR) ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතයි ෴
දන්සැලකට හැදූ මාලු පාන් 550 ක් සිමෙන්ති පොළොවක දාලා : කටුකුරුන්දේ බේකරියකට නීතිමය පියවර
(02.06.2026 – hirunews.lk)
දන්සැලකට ලබා දීම සඳහා කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ බේකරියක නිෂ්පාදනය කරන ලද මාලු පාන් තොගයක් සෞඛ්‍යානුකූල නොවන අන්දමින් සිමෙන්ති පොළොව මත දමා තිබියදී සොයාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒවා ඊයේ (01) විනාශ කර දැමීමට පියවර ගෙන තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ දන්සැල් හා දන්සැල් සඳහා ආහාර නිෂ්පාදනය කරන ආයතන පරීක්ෂා කරමින් සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉකුත් (31) වැනිදා මෙම බේකරිය හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබෙනවා.

කටුකුරුන්ද ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දන්සැලක් සඳහා මාලු පාන් 2500 ක ඇණවුමක් මෙම බේකරියට ලබාදී තිබූ බවට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
එහිදී නිෂ්පාදිත මාලු පාන් තොගයක් පෙට්ටිවල අසුරා තිබූ අතර, අනෙක් මාලු පාන් 550 ක ප්‍රමාණය මෙලෙස බිම දමා තිබියදී සොයාගෙන තිබුණා.
මීට අමතරව, මෙම බේකරියේ සේවකයින් උඩුකය නිරුවත්ව සේවයේ යෙදී සිටි බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.
වෙසක් දිනයේත් ඊට පසු දිනත් කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ දන්සැල් 200 ක් පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක් කර තිබූ අතර, එහිදී සුළු වැරදි තිබූ ස්ථාන නිවැරදි කර ඒවා පවත්වාගෙන යෑමට ඉඩ ලබා දී තිබූ බවටද වාර්තා වුණා.
කෙසේ වෙතත්, සෞඛ්‍යානුකූල නොවන ආකාරයෙන් ආහාර ගබඩා කිරීම සම්බන්ධයෙන් මෙම බේකරියට එරෙහිව මේ වන විට නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන ඇතැයි ද කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරනවා.
කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගිහාන් මාලින්ද ප්‍රනාන්දු සහ කටුකුරුන්ද 02 මහජන සෞඛ්‍ය පරීක්ෂක එරංග ගුණරත්න යන නිලධාරින් මෙම ආහාර පරීක්ෂාව සඳහා එක්ව සිටියා ෴
ප්‍රා. ස. සභාපතිගේ අත්සන හොරට යොදලා සේවකයෝ එකොළහකට (11) පඩි ගෙවලා
(02.06.2026 – 13:30 +0530 – sinhala.adaderana.lk)
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සේවකයන් එකොළොස් දෙනෙකුට (11) පඩි ගෙවා ඇති බවට ප්‍රාදේශීය සභාවේ සභාපති චෝදනා කර තිබේ.
විමර්ශන කටයුත්තක් සඳහා අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටින කාලය තුළ මෙලෙස සිය අත්සන ව්‍යාජ ලෙස යොදා රුපියල් හය ලක්ෂ විසිපන්දහසකට (6,25,000) ආසන්න මුදලක් ප්‍රාදේශීය සභා සේවකයන් එකොළොස් දෙනෙකුට (11) පඩි වශයෙන් ගෙවා ඇති බවට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති චෝදනා කර තිබේ.
ඔහු මේ බව කියා සිටියේ සිය අත්සන වංචනික ලෙස යොදා සිදුකර ඇති බව පවසන මූල්‍ය වංචාවක් පිළිබඳව නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ නුවරඑළිය සහකාර පළාත් පාලන කොමසාරිස්වරියට අද (02) උදෑසන ලිඛිතව පැමිණිලි කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඔහු පවසා ඇත්තේ, අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයෙන් තමා කැඳවා විමර්ශනය සඳහා කොළඹ බන්ධනාගාර ගතව සිටින කාලය තුළදී පඩි ගෙවීම සඳහා අප්‍රේල් හත්වන (07) දිනට තමාගේ අත්සනක් ව්‍යාජව යොදා ඇති බවයි.
මේ අතර, පඩි ලබාදීම සඳහා පත්කර ඇති නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් පසුව තමාගේ අත්සන යෙදීම නිත්‍යානුකූලව සිදුවිය යුතු නමුත් නිලධාරීන්ගේ අත්සනට කලින් දිනයක තමාගේ අත්සන මෙලෙස යොදා ඇති බව ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් තමා ප්‍රාදේශීය සභාවේ නොමැති කාල පරාසය තුළ තමාගේ අස්සන වශයෙන් යොදා ඇති ව්‍යාජ අත්සන තමන් කිසිසේත් පිළිනොගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.
එලෙස ව්‍යාජ අත්සන් යොදා පඩි ලබාදීම සේම අත්සන ව්‍යාජව යොදා කූඨ ලේඛන සකසා ඇති බවටද තමන් සැක කරන බවද ඔහු පවසා තිබේ.
මේ පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකර කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඔහු අද ලිඛිත පැමිණිල්ලක් ලබාදී නුවරඑළිය පොලීසියෙන් හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර ඇත ෴
ජලභිතිකා මර්දනයට වසරකට රුපියල් බිලියන 5 ක් වැය කෙරේ
(02.06.2026 – 07:49 +0530 – sinhala.adaderana.lk)
ජලභීතිකා රෝගය පාලනය කිරීම සදහා වාර්ෂිකව රුපියල් බිලියන 5 කට අධික මුදලක් වැය කරන බව ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කළේ, 2030 වර්ෂය වන විට මෙරට සිදුවන ජලභීතිකා මරණ ශුන්‍ය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බවය.
රත්නපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා මේ බව සඳහන් කළේය :
“ලංකාවේ ජලභීතිකා මරණ ප්‍රමාණය ගත්තොත් මීට දශක 5 කට පෙර තිබුණ මරණ ප්‍රමාණය ඉතා ශීඝ්‍ර ලෙස පසුගිය වසර වෙද්දි අඩුවෙලා තියෙනවා. 2025 වසරේදී ලංකාවේ ජලභීතිකා මරණ 14 ක් වාර්තා වෙලා තියෙනවා. මේක 2030 දී බිංදුවක් කරගන්න කිසිවෙකුත් මැරෙන්නේ නැති රටක් නිර්මාණය කරන්න තමා අපේ පරමාර්ථය. 2024 දී සමස්ත මරණ සංඛ්‍යාව 20 ක්. මේ වර්සයේ මුල් කාර්තුව ඇතුළත මරණ 3 ක්. රජය සාමාන්‍යයෙන් වසරකට මිලියන 800 ක විතර ප්‍රමාණයක් වියදම් කරනවා. ඒ මිනිසුන් සඳහා පමණයි. සුනඛයින් සහ අනෙකුත් සතුන් සඳහා එන්නත් සඳහා රුපියල් බිලියන 2.5 ක් විතර වියදම් කරනවා. ඔක්කෝම ලෙස ගත්තම ජලභීතිකාව පාලනයට රජය වාර්ෂිකව රු. බිලියන 5 ක විතර මුදලක් වැය කරනවා.”
මෙරට සුනඛ ගහනය මිලියන 2.7 ක් පමණ වන බව ද ජාතික ජලභීතිකා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය නිරෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.
“ලංකාවේ ජලභීතිකා මරණ එක්ක බැලුවහම 99% ක්ම සුනඛ සපා කෑම්. සෑම මිනිසුන් 8 කටම සුනඛයෙක් ඉන්නවා කියන එක අපි දැනට භාවිත කරනවා ගණන් හදාගන්න. නමුත් මේක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. ජන කණ්ඩායම් අනුව වෙනස් වෙනවා. මේක සමහර වෙලාවට වෙනස් වෙනවා. අපි අනුමාන කරන සුනඛ ගහනය තමා මිලියන 2.7 ක සුනඛ ගහනයක් ඉන්නවා කියන එක” ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴