ජලභීතිකා රෝගය වැළඳී අවුරුදු හතක (7) දරුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

ජලභීතිකා රෝගය වැළඳී අවුරුදු හතක (7) දරුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි


ජලභීතිකා රෝගය වැළඳී අවුරුදු හතක (7) දරුවෙක් ජීවිතක්ෂයට පත්වෙයි

(08.11.2024 – 09:52 +0530 – hirunews.lk/sinhala)

නෙළුව මාවනාන ප්‍රදේශයේ අවුරුදු හතක (7) පිරිමි දරුවකු ජලභීතිකා රෝගය වැළඳී අද (07) දින ජිවිතක්ෂයට පත්වු බව නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

මෙම දරුවාගේ නිවසට මීට මාස දෙකකට (2) පමණ පෙර අසල්වාසී නිවසකින් බලු පැටවකු රැගෙන විත් තිබු අතර එලෙස රැගෙන ආ බලු පැටවා විසින් මෙම දරුවා සපා කෑමකට ලක් කොට තිබු බව එම කාර්යාලය වැඩිදුරටත් කියා සිටි.

දරුවාගේ දෙමාපියන් විසින් සපා කෑමට ලක්වු දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රැගෙන ගොස් නොමැති බවත් ඉන් සතියකට පමණ පසු බලු පැටියා නිවසින් අතුරුදන්ව තිබු බවත් එම සුනඛයාට බොහෝ දුරට ජලභීතිකා රෝගය වැළඳී මිය යන්නට ඇති බවට සැක කරන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසා සිටිනවා.

මෙම සපා කෑමට ලක්වු දරුවාට පෙරේදා (06) දින හුස්ම ගැනීමේ අපහසුතාවය සහ උණ හේතුවෙන් නෙළුව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව උඩුගම රෝහලටත් එම රෝහලෙන් කරාපිටිය ජාතික රෝහලටත් මාරුකර යවා තිබෙනවා.

කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම දරුවා ඉතාමත් අවාසනාවන්ත ලෙස ඊයේ (07) දහවල් දෙකට පමණ ජිවිතක්ෂයට පත්වු බව රෝහල මගින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කල බව එම කාර්යාලය සදහන් කරයි.

නොදන්නා ස්ථානයක සිට රැගෙන එන සතුන් සුරතල් කිරීමෙන් තොරව සති දෙකක (2) පමණ කාලයක්වත් අවම වශයෙන් වෙන් කර තැබිය යුතු බවත් එම කාලය තුළදී ඔවුනට අවශ්‍ය ජල භීතිකා එන්නත ලබාදිම සිදු කල යුතු බව නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියා සිටිනවා.

ජලභීතිකා එන්නත් කොපමණ ලබාදී තිබුණද යම් සුනඛයකු හෝ ක්ෂීරපායි සතෙකුගේ සපා කෑමකට ලක්වුයේ නම් ජලභීතිකා රෝගය වැළඳීමේ අවදානමක් පවතින බවත් සපාකෑමකට ලක්වු අවස්ථාවක ප්‍රථමයෙන්ම හොඳින් ගලායන ජලයට එම තුවාලය නිරාවරනය කරමින් සබන් ගා මිනිත්තු විස්සක් (20) පමණ හොඳින් සෝදා ඉන්පසුව එම සුනඛයාට එන්නත් ලබාදුන් විට ලැබෙන ‘එන්නත් කාඩ් පත’ ඇත්නම් එයද රැගෙන ඉක්මනින් රජයේ රෝහලක් වෙත සපා කෑමට ලක්වු පුද්ගලයාව රැගෙන යන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරනු ලබයි.

එලෙස සපාකෑමකට ලක්වු අවස්ථාවක ආදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුම්වත් කිරිමටත් සපා කෑම සිදු කල සුනඛයා හෝ සත්වයා මිය ගියහොත් එම සුනඛයාගේ හිස වෙන් කර රෝහල වෙත යැවීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද එම කාර්යාලය හරහා සිදු කෙරනවා.

ජලභීතිකා රෝගය වෛරසයක් මගින් ක්ෂීරපායී සතුන්ගෙන් මිනිසාට සෑදෙන මාරාන්තික රෝගී තත්වයක් වන අතර මෙය මිනිසාට බෝවන්නේ ආසාදිත සතෙකුගෙ ඛේටය (කෙල), සතා සපා කෑමෙන් – සීරීමක් ඇති තැනකින් – සම කැඩුණු තැනකින් හෝ ශ්ලේෂ්මල පටලයකින් මිනිස් සිරුරට ඇතුලු වීමෙන්.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වන අතර හිසරදය හා උණ, ජලභීතික රෝගයේ මුලින්ම ඇතිවෙන රෝග ලක්ෂණ වන බවත් පසුව එය දරුණු හැසිරීම්, පාලනය කළනොහැකි කලබලකාරී හැසිරීම් දැක්වීම, ජලයට ඇති අකමැත්ත ආදී ලක්ෂණ දක්වා වැඩි වන බවත් අවසානයේ සිදුවන ශ්වසන අපහසුතාවයන් හේතුවෙන් මරණය සිදු වන බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසා සිටිනවා.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයේ ප්‍රධාන වාහකයා සුනඛයා වුවද බළලුන්, මුගටියන්, නරියන් ලේනුන් ආදී වෙනත් ආසාධිත ක්ෂීරපායි සතුන් මගින් ජලභීතිකා රෝගය මිනිසාට වැළදිය හැකි අතර ශ්‍රී ලංකාව තුල වසරකට සමාන්‍යයෙන් ජලභීතිකා මානව මරණ 20-30 අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් ඉන් වැඩිපුර මරණ සංඛ්‍යවක් සිදුවන්නේ සුනඛ සපාකෑම් මගින් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගයට ප්‍රධාන හේතුව වන, සුනඛයන් එම රෝගයට එරෙහිව එන්නත් නොකිරීම සහ රොගීන් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු නොවීම අවසානාවන්ත තත්වයන් බවත් නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ නම් ජලභීතිකා රෝගය සියයට සියයක්ම වලක්වා ගත හැකි රෝගයක් බවයි සෞඛ්‍ය අංශ පවසා සිටින්නේ ෴


පාසල් ඉගෙනීම් කටයුතු සඳහා වට්ස්ඇප් භාවිතය ගැන අලුත් චක්‍රලේඛයක්

(08.11.2024 – 16:20 +0530 – sinhala.adaderana.lk)

පාසල් අධ්‍යාපන කටයුතු සහ සන්නිවේදනය සඳහා ‘සමාජ සන්නිවේදන යෙදවුම්’ භාවිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම අමාත්‍යංශ ලේකම්, ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය විසින් අදාළ චක්‍රලේඛය සියලුම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇත.

අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ට අතපසු වූ අධ්‍යාපන අවස්ථා ආවරණයට ‘වට්ස්ඇප්, වයිබර් හා ටෙලිග්‍රෑම්’ වැනි සමාජ සන්නිවේදන මෙවලම් භාවිත කිරීම හඳුන්වා දුන් අතර මේ වනවිටත් එම යෙදවුම් දරුවන් භාවිත කරමින් සිටින බවය.

ඒ හේතුවෙන් ඇති වෙන අහිතකර බලපෑම් සම්බන්ධයෙන් මේ වනවිට අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් පවතින බව ද එහි සඳහන්ය.

ඒ අනුව සන්නිවේදන යෙදවුම් භාවිතයේ දී පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස සියලු ගුරුවරුන් හා අදාළ පාර්ශවයන් වෙත දැනුම්දී තිබේ.

පාසල් ප්‍රධානීන් / නියෝජ්‍ය විදුහල්පති / සහකාර විදුහල්පති / අංශ ප්‍රධාන ගුරුවරුන් අදාළ සන්නිවේදන සමුහයේ (Whatsapp වැනි) පරිපාලක (Admin) ලෙස කටයුතු කරමින් නිරන්තර අධීක්ෂණය හා නියාමනය යටතේ ගුණාත්මක මට්ටමින් සන්නිවේදන සමූහය පවත්වාගෙන යා යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා වෙන්කර ඇති පාසල් කාලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගෙන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සජීවීව සිදු කිරීමෙන් විෂය නිර්දේශය ආවරණය කිරීමට කටයුතු කළ යුතු අතර විෂය නිර්දේශ ආවරණය සඳහා සන්නිවේදන සමූහ භාවිතයෙන් වැළකිය යුතුය.

අධ්‍යාපන කටයුතු සඳහා සන්නිවේදන යෙදවුම් භාවිත කරන්නේ නම්, සුහුරු තාක්ෂණික උපකරණ පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බව සහතික කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

විශේෂයෙන් ප්‍රාථමික අංශයේ සිසු දරුවන් විසින් පාසලට රැගෙන ආ යුතු ඉගෙනුම් ද්‍රව්‍ය උපකරණ ආදිය පිළිබඳව දැනුම් දීමේදී විධිමත් සැලැස්මකින් යුතුව ප්‍රමාණවත් කාලයක් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම කළ යුතුය. ඒ පිළිබඳව සිහිකැඳවීම් යොමු කිරීම් සඳහා පමණක් සන්නිවේදන යෙදවුම් භාවිතය සීමා කිරීම සුදුසු වේ.

සිසුන් විසින් නිවසේ දී සිදුකළ යුතු අභ්‍යාස හා පැවරුම් ආදිය සිසුන්ට ලබාදීම් පාසල් පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අතරතුර පැහැදිලි කිරීමෙන් පමණක් සිදුකළ යුතු අතර දෙමාපියන් සහ පවුලේ අනෙක් සාමාජිකයින්ද අපහසුතාවයට පත් කරමින් ඉහත සන්නිවේදන යෙදවුම් මේ සඳහා යොදා නොගත යුතු බව තරයේ අවධාරණය කරමි.

පොදුවේ සලකන කල්හි මෙවැනි සන්නිවේදන යෙදවුම් භාවිතයේදී කිසිදු අයුරකින් සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන සහ ඔවුන් මානසික පීඩනයට ලක්විය හැකි ආකාරයේ පණිවුඩ, වීඩියෝපට, ඡායාරූප, හඬපට, නිවේදන ආදී කිසිවක් යොමු කිරීම සිදුනොකළ යුතු අතර එවැනි සිදුවීම් වාර්තා වුවහොත් ඒ සම්බන්ධව විනයානුකූලව දැඩි පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ලබන බව දන්වා සිටිමි.

රාජකාරිමය වශයෙන් සහ අධ්‍යාපන සංවර්ධනයට අදාළ වන ආකාරයේ සන්නිවේදන යෙදවුම් සමූහයන්වලට අමතරව අවිධිමත් ලෙස පාසල් ප්‍රජාව හා ගුරුවරුන් සම්බන්ධ කර ගනිමින් පවත්වාගෙන යනු ලබන සන්නිවේදන යෙදවුම් සමූහ මඟින් පාසලේ කිර්තිනාමයට හෝ පාසල් ප්‍රජාවට සහ සිසු දරුවන්ට විය හැකි හානි සම්බන්ධව අදාළ සමූහයන්හි පරිපාලකයින් විසින් පූර්ණ වගකීම දැරිය යුතු වේ. ඒ හා සම්බන්ධයෙන් මතුවන ගැටලුවලදී රටේ පවතින පොදු නීතිය සහ තොරතුරු සන්නිවේදන පනත අනුව නීතිමය පියවර ගනු ලබන බව ද දන්වමි ෴


බස්නාහිර පළාත් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින දෙකක් (2) නවතී

(08.11.2024 – 16:55 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් (2) වසා තැබීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්.එල්. ධම්මිකා කේ. විජයසිංහ මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවය ෴

පාර්ලිමේන්තු ඡන්ද විමසීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය දින දෙකක් (2) වසා තැබෙනවා.

ඒ අනූව ලබන 13 සහ 14 දින දෙකේ (2) එම ප්‍රධාන කාර්යාලය වසා තැබෙන බවයි පැවසෙන්නේ ෴


ඡන්දෙට පාසල් නිවාඩු දෙන්නේ මෙහෙමයි

(08.11.2024 – 10:23 +0530 – sinhala.adaderana.lk)

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් නැවත ආරම්භය නොවැම්බර් 18 වනදා සිදුකෙරෙන බවය.

2024 මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2024.11.12 දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය.

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීම මත ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අදළා ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙයි ෴


හාලිඇල – වැලිමඩ මාර්ගයේ නායයෑමක්

(08.11.2024 – 17:33 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල – වැලිමඩ මාර්ගයේ 100 km ආසන්නයේ නායයෑමක් සක්‍රීය වී ඇති බැවින් මාර්ගය භාවිතයේදී සැලකිලිමත් වන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරනවා.

එමෙන්ම, ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අනුව පළමු මට්ටමේ නායයාම් අවදානම් ලෙස, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර සහ හාලි ඇල යන ප්‍රදේශත්, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රදේශනම්කර තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, ගලිගමුව, රඹුක්කන, බුලත්කොහුපිටිය, වරකාපොළ, අරණායක, යටියන්තොට, රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති ප්‍රදේශ වන්නේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි ෴


හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ සැප රිය එකලස් කළ එකක් දැයි සැකයක් ?

(08.11.2024 – 19:15 +0530 – sinhala.adaderana.lk)

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් සුඛෝපභෝගී ජීප් රථය එකලස් කළ එකක් බවට ලද තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව රථය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකෙරුණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට අයත් ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය නීතිවිරෝධීව එකලස් කළ එකක් බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව සේනසිංහ මහතාගේ නිවස පසුගියදා පරීක්ෂා කෙරුණ ද සැකසහිත රථයක් එහිදී හමුවූයේ නැහැ.

පසුව ඒ පිළිබඳ විමර්ශන වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට යොමුකර තිබේ.

එවන් පසුබිමක අද (08) පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, සේනසිංහ මහතාගේ නිවසේ එකලස් කරන ලද බවට පැවසෙන මෝටර් රථයක් ඇති බවට තොරතුරක් ලැබුණු බවය.

පසුව සේනසිංහ මහතාගේ නිවසේ සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී, සේනසිංහ මහතාගේ කොල්ලුපිටිය නිවසේ සුඛෝපභෝගී රථයක් ඇතැයි හෙළිවූ බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේය.

පසුව නිවස පිළිබඳ කරුණු සොයා එහි එම සැකකටයුතු රථය ඇතැයි තහවුරු කර ගැනීමෙන් පසුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු (2) සමග එම නිවසට ගොස් රථය පරීක්ෂා කළ බව විමර්ශන නිලධාරීන් පැවසුවේය.

එම ජීප් රථය 2010 දී මෙරටට ගෙන්වා 2022 වසරේදී ලියාපදිංචි කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ හෙළි කළේය.

සෝදිසියේදී පරීක්ෂා කළේ, රථයේ චැසි අංකය පමණක් බවත් එය එකලස් කළ රථයක්දැයි සොයාගැනීමට නම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ යුතු බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස විමර්ශන නිලධාරීන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රය යටතේ මෙම රථය මෙරටට ගෙන්වා ඇති බවය.

එය නීත්‍යනුකූල ලෙස 2022 වසරේදී ලියාපදිංචිකර ඇති බව ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මෙම විමර්ශන සිදුකිරීම සඳහා පොලීසියට බලපෑම් ද එල්ල වී ඇති බව නීතිඥවරයා සඳහන් කළේය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ සහකාර පොලිස් අධිකාරී මිහිඳු අබේසිංහ මහතා පැවසුවේ, ජීප් රථය පිළිබඳ විමර්ශන සඳහා පොලීසියට කිසිවකුගෙන් හෝ බලපෑමක් එල්ල නොවූ බවය.

කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය, මෙම රථය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර විමර්ශනයේ ප්‍රගතිය කඩිනමින් දැනුම්දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මෙහිදී කොටුව මහෙස්ත්‍රාත්වරිය නියෝග ක‍ළේ, රථය රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා සුජීව සේනසිංහ මහතාගේ රියදුරෙකු මාර්ගයෙන් පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන ගොස්, එම වාර්තාව ලැබෙන තෙක් එය සේනසිංහ මහතාට ලබාදෙන ලෙසය.

ඒ අනුව අද (08) දහවල් කොල්ලුපිටිය නිවසට පැමිණි විමර්ශන නිලධාරීන් ප්‍රශ්නගත V8 රථය රැගෙන ගියා.

එය සුජීව සේනසිංහ මහතාම රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා පදවාගෙන ගියා.

රස පරීක්ෂවරයා වෙත යොමු කිරීමෙන් පසු සේනසිංහ මහතා තම රථය ආපසු පදවාගෙන ගියා.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *