අල්ලස් ලබා ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු සිව්දෙනෙකුට (4) බරපතල වැඩසහිත වසර 35 ක් බැගින් සිරදඩුවම් නියම කෙරේ

අල්ලස් ලබා ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු සිව්දෙනෙකුට (4) බරපතල වැඩසහිත වසර 35 ක් බැගින් සිරදඩුවම් නියම කෙරේ


අල්ලස් ලබා ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු සිව්දෙනෙකුට (4) බරපතල වැඩසහිත වසර 35 ක් බැගින් සිරදඩුවම් නියම කෙරේ

(06.11.2024 – 12:56 +0530 – hirunews.lk/sinhala)

බස් රථ අමතර කොටස් ලබා දීමට අල්ලස් ගත් ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරින් සිව් දෙනෙකුට (4) බරපතල වැඩ සහිතව වසර 35 බැගින් සිරදඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.

මෙම සිදුවීම 2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා පංචිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට අදාළව ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට මෙම දඩුවම් නියම කර තිබෙනවා.

ඊට අමතරව එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින් දඩ නියම කරන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ නියෝග කළා ෴


‘ගාල්තැන්න කපුවා’ගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ

(06.11.2024 – lankadeepa.lk)

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක කපුවාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු ‘මිට්සුබිෂි මොන්ටේරෝ’ වර්ගයේ සුඛෝපභෝගී ජීප්රියක් සිය බාරයට ගත් බව තෙල්දෙණිය පොලිසිය කියයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි එම සුඛෝපභෝගී ජීප් රිය අත්අඩංගුවට ගෙන තිබේ.

කපුවාට අයත් බව කියන එම ‘CC JR-5556’ අංකය සඳහන් ජීප් රිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකට අනුව එම අංකයට ලියාපදිංචි කළ තවත් ‘මොන්ටේරෝ’ වර්ගයේ සුඛෝපභෝගී ජීප් රියක් කුලියාපිටිය ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි නීත්‍යානුකූල හිමිකරුගෙන් විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ගල්තැන්නේ ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගී ජීප් රිය තෙල්දෙණිය කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරීන් බාරයට ගෙන තිබේ .

මෙම කපුවාගේ ගාල්තැන්නේ පිහිටි වාහන අංගනයේ සැක කටයුතු වාහන දොළහක් (12) පමණ තිබෙන බව පවසන පොලිසිය ඩිෆන්ඩර් රථ, මොන්ටේරෝ වර්ගයේ ජීප් රථ, කාර් රථ ඇතුළු වාහන ගණනාවක් ඇති බවද පොලිසිය කියයි.

එම වාහන වල චැසි අංක සහ එන්ජින් අංක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයට ලබා දී ඇති බවද පොලිසිය කියයි ෴


තවත් ‘ඩිෆෙන්ඩරයක්’ වෙන්නප්පුවෙන් සොයා ගනී

(06.11.2024 – lankadeepa.lk)

ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ‘ඩිෆෙන්ඩර්’ රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු (2) සමග අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනකි.

රජයය අයත් වාහන පහක් (5) නිවසක සගවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ‘ඩිෆෙන්ඩර්’ රථය සොයා ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ‘ඩිෆෙන්ඩර්’ රථයේ ලියා පදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය කියයි ෴


‘වරාය නගරයේ’ පඩි හුටපටයක්.. සේවකයින් පිරිසක් ‘පෝට් සිටි පිවිසුමේ’ වාඩිවෙයි (06.11.2024)

+


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි

(06.11.2024 – lankadeepa.lk)

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර දුම්රිය බිංගෙයි ගැටී දුම්රියේන් ඇද වැටී බරපතළ තුවාල ලබා අද (06) පස්වරුවේ දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ ඇමරිකාවේ සිට ශ්‍රී ලංකා වේ සංචාරයක් සදහා පැමිණ නානුඔය සිට ඇල්ල බලා උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික විදේශීය සංචාරක තරුණියකි.

මැය දුම්රියේ ගමන් කරමින් සිටියදී උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර අංක 19 දුම්රිය බිංගෙය අසලදී දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදී දුම්රිය බිංගෙයි ගැටි දුම්රියෙන් ඇද වැටී තිබේ ෴


චෝදනාවලින් නිදහස් වූ වෛද්‍ය සාෆි දුන් සැර පිළිතුර

(06.11.2024 – 20:24 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලික වාසි වෙනුවෙන් තමන් බිලිදීම ගැන කනගාටු වන බවත්, තමන්ට සිදු වූ අසාධාරණය තවත් කෙනෙකුට සිදු නොවීමට නීතිය පැත්තෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පවසයි.

කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සාෆි සහබ්දීන් :

“පුද්ගලික වාසි වෙනුවෙන් තමන්ගේ තනතුර ඉහළ දමාගන්න මාව බිලිදීපු එකගැන කනගාටුවෙනවා. තමන්ගේ හැකියාව තුළින් ඉදිරියට යන්නේ නැතුව මං වගේ අහිංසක මනුස්සයෙක්ව, පවුලක් විනාශ කරලා ඉදිරියට ගියඑක ගැන නීතිමය පියවර ගන්වා. ඒ සම්බන්ධව මගේ නීතිඥවරයත් එක්ක සම්බන්ධවෙලා අනිවාර්යයෙන්ම තව කෙනෙකුට මෙවන් දෙයක් සිදු නොවෙන්න නීතිය පැත්තෙන් ගන්න පුළුවන් පියවර ඔක්කොම ගන්නවා”.

+


ජාවාරම්කරුවකුගේ රුපියල් කෝටි 10 ක දේපළ තහනම්

(06.11.2024 – lankadeepa.lk)

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික ‘වසන්ත සුරේන්ද්‍ර පෙරේරා’ හෙවත් ‘ක්ලබ් වසන්ත’ ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘පලනි ශිරාන් ක්ලෝරියන්’ නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 10 කට ආසන්න දේපල මුදල් විශුද්ධ කිරීමේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ක්‍රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කර තහනමට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.

එම ජාවාරම්කරු ප්‍රබල මත් ජාවාරම්කාරියක් වන ‘කුඩු සෙල්වි’ගේ පුත්‍රයෙකි.

තහනම් කළ දේපල අතර ‘ක්ලබ් වසන්ත ඝාතනයෙන්’ අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට (2) පලායාම සඳහා සූදානම් කර තිබූ බෝට්ටුව සහ එන්ජිම ද වන බව පොලිසිය සඳහන් කරයි.

එම සංවිධානාත්මක අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් විශාල දේපලක් උපයාගෙන ඇති බවට ලද තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වූ තොරතුරු අනුව එම දේපළ තහනම සිදුකර ඇත.

එම අපරාධකරු 2013 වසරේදී වත්තල හැඳල බලගල පාරේ ඉඩමක් මිලදීගෙන 2018 වසරේ ඉදිකර තිබූ සුඛෝභෝගී දෙමහල් නිවස, 2022 වසරේදී මිලදී ගෙන තිබූ රුපියල් ලක්ෂ 90 පමණ වටිනා සුඛෝ භෝගී මෝටර්රථයක්, රුපියල් ලක්ෂ 70 ක රන්භාණ්ඩ මෙන්ම ‘ක්ලබ් වසන්ත ඝාතනයෙන්’ අනතුරුව වෙඩික්කරුවන් දෙදෙනාට (2) මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පලායාම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කර හලාවත පුද්ගලයෙකුගෙන් මිලදීගෙන තිබූ බෝට්ටුව සහ එන්ජිමද තහනම් කල දේපල අතර වන බව පොලිසිය සඳහන් කරයි.

මේ අනුව ‘ක්ලබ් වසන්ත ඝාතනය’ විදේශගතව සිට මෙහෙයවා ඇත්තේ ‘මොහොමඩ් ඉම්රාන්’ නොහොත් ‘කන්ජිපාණී ඉම්රාන්’, ‘ලන්දුවා හන්දි සුජීව රුවන් කුමාර’ නොහොත් ‘ලොකු පැටි’, ‘පලනි ශිරාන් ක්ලෝරියන්’ හා ‘පලනි රිමෝශන්’ යන්න සිව් දෙනා (4) බවට අනාවරණය විය.

‘පලනි ශිරාන් ක්ලෝරියන්’ නැමැත්තා මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ඉන්දියාවේ බන්ධනාගාර ගතව සිටින බව පොලිසිය කියයි ෴


ගුවන්තොටේ සල්ලි මාරු කරන්න අවසර ලැබුණු බැංකු මෙන්න

(06.11.2024 – lankadeepa.lk)

කටුනායක, බණ්ඩාරනායක ජාක්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) ‘පිටත් වීමේ පර්යන්තයෙහි’ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කටුනායක, බණ්ඩාර නායක ජාත්‍යන්තර ගුවන් කොටු පොළේ (BIA) ‘පිටත් වීමේ පර්යන්තයෙහි’ ව්‍යවහාර මුදල් කවුළු 5 ක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු සහ විදේශ ව්‍යහාර මුදල් ව්‍යාපාරයේ නියුක්ත සීමිත වෙළෙඳුන් වෙතින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා, ආයතන පහක් විසින් ලංසු ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වසර 3 ක කාල සීමාවක් සඳහා පහත සඳහන් ආයතන වෙත ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම පැවරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කුමා ඉදිරිපත් කළ නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

  • කවුළු අංක 25 රුපියල් මිලියන 798.028 + බදු සහිත මුදලකට ලංකා බැංකුව වෙත
  • කවුළු අංක 02 රුපියල් මිලියන 633.662 + බදු සහිත මුදලකට සම්පත් බැංකුව වෙත
  • කවුළු අංක 04 රුපියල් මිලියන 381.364 + බදු සහිත මුදලකට කොමර්ෂල් බැංකුව වෙත
  • කවුළු අංක 10 රුපියල් මිලියන 299,064 + බදු සහිත මුදලකට තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත
  • කවුළු අංක 11 රුපියල් මිලියන 225.689 + බදු සහිත මුදලකට හැටන් නැෂනල් බැංකුව වෙත

අලුත් අවුරුද්දේ (2025) පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්

(06.11.2024 – lankadeepa.lk)

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82 ක් පමණ වේ. එම සම්පුර්ණ ප්‍රමාණයම, ප්‍රදානයක් ලෙස ලබා දීමට මහජන එන සමුහාණ්ඩුව විසින් එකඟතාව පළකර ඇත. මෙම රෙදි තොගයට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවන ලද නියැදිය ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA) මඟින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, එම රෙදි පාසල් සිසුන්ගේ භාවිතය සඳහා සුදුසු බවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව, 2025 වර්ෂය සඳහා සියලුම පාසල් හා පිරිවෙන් සිසුනට නිල ඇඳුම් රෙදි සපයා දීම සඳහා වන චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴


ඩඩ්ලි රුපියල් කෝටි 10 ක් අනුරට දුන්නා.. සංවාද පිටපත් මා සතුයි..

(07.11.2024 – 00:01 +0530 – lankacnews.com)

ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි දහයක (10) මුදලක් වත්මන් ජනාධිපති අනුර දිසානායකට ලබා දුන් බව ‘ජන අරගල සන්ධානය’ පවසයි.

එම පක්‍ෂයේ පාර්ලිමේන්තු අපේක්‍ෂක ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසන්නේ ඊට අදාල ‘දුරකතන චැට්’ තමා සතු බවය.

තමන් පවසන්නේ අසත්‍ය නම් නඩු දමන ලෙස අභියෝග කරන බවත් ඔහු පැවසීය.

ඩඩ්ලි සිරිසේනලා විසින් ජනාධිපතිවරුන් පත් කිරීමට ධනය විසි කරන බව පැවසූ ඔහු ‘රත්න සහල් අධිපති’ විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට රුපියල් කෝටි 50 ක් ලබා දුන් බව ද පැවසුවේය.

අනුර දිසානායක ජනාධිපති ධුරයට පත් වූ පසු කෙඳිරියක් පවා නොමැතිව සිටින්නේ මුදල් ගත් නිසා බව ඔහු පැවසුවේ ‘ජන අරගල සන්ධානය’ විසින් සංවිධානය කර තිබූ ගම්පොළ ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමිනි.

+


රන්ජන් ඇතුළු පක්ෂෙට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් – ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයකටත් චෝදනා (06.11.2024)

+


ගජමුතු දෙකක් (2) සමග භික්‍ෂුවක් අත්අඩංගුවට…

(07.11.2024 – 08:40 +0530 – lankacnews.com)

මහනුවර ගලගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් විසින් රු. ලක්ෂ 40 ක් පමණ වටිනා ගජ මුතු දෙකක් (2) විකිණිමට උත්සහ කිරිමේදි එම හිමි නම අත්අඩංගුවට ගැනිමට මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ නිලධාරින් පියවර ගෙන ඇත.

එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ගජ මුතු දෙකක් (2) රු. ලක්ෂ 40 ක මුදලකට අලෙවි කිරිමට සුදානම් වන බවට ලද තොරතුරක් මත වනජිවි නිලධාරින් උපාය දුතයෙකු යොදාගෙන (05) දින සිදු කල මෙහෙයුමකදි ගජ මුතු දෙක (2) සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ගලගෙදර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර හිමි නම (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ සහ සහකාර අධ්‍යක්ෂක මධ්‍යම ප්‍රසාන්ත විමලදාස යන මහතුන්ගේ උපදෙස් පරිදි මධ්‍යම වනජිවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක කැළුම් පතිරණ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැටලිම සිදු කර ගජ මුතු දෙක සහ සැකකාර හිමි නම අත්අඩංගුවට ගෙන ඇත.

රංජිත් රාජපක්ෂ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *