පාස්කු නඩුවෙන් පූජිත – හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි

පාස්කු නඩුවෙන් පූජිත – හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි


පාස්කු නඩුවෙන් පූජිත – හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි

(05.11.2024 – lankadeepa.lk)

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත් බවට චෝදනා කරමින් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුව බලරහිත කළ පංචපුද්ගල (5) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ විත්තිවාචක කැඳවීමට ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද (05) නියෝග කළේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබු හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කළ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක (2) තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එලෙස නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංචපුද්ගල (5) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් සිය රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව සිටි පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.

නීතීපතිවරයාගේ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරයා විසින් අදාළ නඩු විමසීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල (3) මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලද අතර එම විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් නඩු දෙකේ (2) පැමිණීල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීම් වලට අනුව විත්තියේ සාක්කි කැඳවීමකින් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණි ෴


ලොහාන් රත්වත්තේගේ රිය ගැන තවත් තොරතුරු එළියට

(04.11.2024 – lankadeepa.lk)

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත් එකක් බවට රත්වත්තේ යුවළ පැවසුවද එය වසර ගණනාවක සිට පරිහරණ කර ඇත්තේ රිමාන්ඩ් භාරයට පත්ව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බව පැහැදිලි විඩියෝ දර්ශන සාක්ෂි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් සුඛෝභෝගී නිවසක අංක තහඩු රහිත සැකකටයුතු සුඛෝභෝගී මෝටර් රථයක් තිබෙන බවට ඉකුත් මස 25 වෙනි දින මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනවලදී එම මෝටර් රථය ගාල් කර තිබෙන නිවස හිටපු රාජ්‍යඅමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රශි පබා රත්වත්තේට අයත් නිවසක් බවට අනාවරණය වී තිබිණි’.

ඒ අනුව ඇයගේ දුරකථන අංකය සොයාගත් පොලිසිය ඒ හරහා ඒ සිදු කළ විමසීමේදී වෙඩි තබාගෙන තම සැමියාගේ පෞද්ගලික ලේකම්වරයා වන වෙඩි තබාගෙන සිය දිවි නසාගත් සංජීව බස්නායක නැමැත්තා එම මෝටර් රථය මීට සති තුනකට (3) පමණ පෙරදී තමන්ට දැනුම් දී නිවසේ ගාල්කර ගිය බවය.

අනතුරුව පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ මෝටර් රථය ඉකුත් 26 වෙනි දින භාරයට ගත් අතර ඒ සමගම රත්වත්තේ පවුලම අතුරුදන් විය

පොලිස් භාරයට ගත් මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාළ මෝටර් රථයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ 2021 වසරේ ඔක්තෝම්බර් මස 07 වෙනි දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොස් තිබූ බවත් එම අවස්ථාවේදී මෝටර් රථයට සවිකර ඇත්තේ ky-6864 අංක දරණ මෝටර් රථයක ලියාපදිංචි අංක තහඩුව බවත් විමර්ශන වලදී අනාවරණය වීඇත.

එම අංකය සම්බන්ධයෙන් මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව හරහා සිදුකළ සොයා බැලීමේදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ කලින් බිරිඳට අයත් මෝටර් රථයේ ලියා පදිංචි අංකය බවට මේ වනවිට තහවුරු වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය ෴

+++++++

+


‘ආණ්ඩුවට ඕනෑ දේ පමණක් විකාශය කරන්නැයි’ ජනාධිපති ‘හිරු නාලිකාව’ට තර්ජනය කලා.. – උදය ගම්මන්පිල

(05.11.2024 – 15:50 +0530 – lankacnews.com)

‘සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාධ්‍යයට තර්ජනය කරන්නේ ආණ්ඩුවේ බහින කලාව උදා වුණාමග කිසිම ආණ්ඩුවක් තමන්ගේ දෙවන මාසයේ දී ආණ්ඩුවට තර්ජනය කරලා නෑ’ යයි සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී :

“ජනාධිපතිතුමා නම සඳහන් කරමින් ‘හිරු නාලිකාව’ට තර්ජනය කරනවා අපි දැක්කා. ‘හිරු නාලිකාව’ ඉතාම අභීතව විපක්ෂයේ මතය කියනවා. චන්ද්‍රිකා යුගයේ දී සිරිසේන යුගයේ දී ගෝඨාභය යුගේ දී වගේම රනිල් වික්‍රමසිංහ යුගයේ දීත් අපි ආණ්ඩු කර්කශව විවේචනය කරන විටත් රාජ්‍ය මාධ්‍ය අපට ඉඩ දුන්නා. දැන් අපේ කිසිම දෙයක් රාජ්‍ය මාධ්‍ය වල විකාශනය කරන්න එපා කියලා උපදෙස් ලැබිලා තිබෙන බව මාධ්‍ය ඇතුලෙන්ම අපට ආරංචි වෙනවා. ‘හිරු නාලිකාව’ට ජනාධිපතිතුමා තර්ජනය කරන්නේ රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යයත් හීලෑ කරගෙන ආණ්ඩුවට ඕනෑ දේවල් පමණක් විකාශනය කර ගන්නයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා පෙරහැරේ යන්නේ නිරුවතින්. ඒත් හැමෝම ඔබතුමාගේ ඇඳුම වර්ණනා කරනවා. ඒ අතරේ කවුරු හරි ඔබතුමාගේ නිරුවත පෙන්වන්න නිර්භීත වෙනවා නම් ඔබතුමා කළ යුත්තේ ඒ අයට ප්‍රශංසා කිරීම මිස ඒ අයට තර්ජනය කිරීම නොවේ. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් 58% ක් ඡන්දය දුන්නේ ජනපතිතුමන්ට විරුද්ධව. ඒ බහුතර මතයට මාධ්‍ය තුල අවස්ථාව ලබා දෙන්න සිදු වෙන බව ඔබතුමා පිලි ගන්න ඕනේ.

සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාධ්‍යයට තර්ජනය කරන්නේ ආණ්ඩුවේ බහින කලාව උදා වුණාම. කිසිම ආණ්ඩුවක් තමන්ගේ දෙවන (2) මාසයේ දී ආණ්ඩුවට තර්ජනය කරලා නෑ. ආණ්ඩුව දෙවන (2) මාසයේ දීම මාර්ගයට තර්ජනය කරන්නේ තමන්ගේ බහින කලාව දැනටමත් උදා වෙලා කියන එක ජනපතිතුමාම පිලි ගන්නා නිසාදැයි අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා” ෴

+


ජෙරම් එළවා දැමීමේ හේතුව හෙළි වෙයි (05.11.2024)

+


කෑගල්ල කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතනයට කෝටිපතියෙකුගේ බිරිඳ ඇතුළු 03 ක් අත්අඩංගුවට

(06.11.2024 – 08:32 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 4 ක් සිදුකළ විමර්ශන වලට අනුව පිළියන්දල – බෝකුන්දර ප්‍රදේශයේදී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැඟව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාර කාන්තාව පිළියන්දල – තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක් (2).

පසුගිය 27 වැනිදා සිදුවූ මෙම ඝාතන සිද්ධිය කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද විසින් මෙහෙයවා ඇති අතර, ඇය විසින් අපරාධ කල්ලි සාමාජිකයන් තුන්දෙනෙකු (3) ලවා එය සිදුකර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ සාමාජිකයින් බෝකුන්දර ප්‍රදේශයට කැදවා කුලියට ලබාගත් මෝටර් රථයක මොවුන්ව නංවාගෙන කෑගල්ල ප්‍රදේශයට ගොස් කෙම්පිටිය වලව්ව පෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මොවුන් රන්වල ප්‍රදේශයට පැමිණ නැවතත් ත්‍රීරෝද රථයකින් කෙම්පිටිය වලව්වට ගොස් එහි හාම්පුතුගේ අතපය බැද දමා මුඛය බැද ගෙල සිර කර ඝාතනය කර බිරිදට පහර දී මුදල් ඇත්දැයි සෝදිසි කර තිබෙනවා.

එහිදී විශාල මුදලක් ඇති බව සිතා වලව්වට කොල්ලකෑමට ගියද එහි තිබී රුපියල් දස දහසක (10,000) මුදලක් පමණක් හමුව ඇති අතර හාම්පුතුගේ අතෙහි තිබූ මුදුව ද රැගෙන, වලව්වේ තිබූ මෝටර් රථයෙන් සැකකරුවන් පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරුව සැකකාර කාන්තාව විසින් කොල්ලකෑ මුදුව විකුණා රුපියල් 1,65,000 ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් ඊයේ (05) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

+++++++

06.11.2024

+


සසුන වනසන රාවණ වෙස් ගත් චීවරධාරියා : පොල්ගහවෙල මලියදේව (04.11.2024)

+

05.11.2024

+


සහල් හිඟයට හේතුව මේකද ?

(06.11.2024 – 22:34 +0530 – sinhala.adaderana.lk)

බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ, බියර් නිෂ්පාදනය කරන්න ලබාගන්නා කැකුළු සහල් නිපදවන්නේ නාඩු වී ලබාගැනීමෙන් බවයි.

තවදුරටත් අදහස් දැක් වූ යූ.කේ. සේමසිංහ මහතා :

“බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ කැකුළු සහල්. නමුත් බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කැකුළු සහල් ලබාගන්නේ නාඩු වී වලින්. ඒ නිසා බියර් නිෂ්පාදනයට වැඩි ප්‍රතිශතයක් යොමු කළාම නාඩු සහල් නිපදවීම සඳහා අවශ්‍යකරන වී හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා.”

ගොවි සංවිධාන ද රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල පාලනයට කඩිනමින් මැදිහත් වන ලෙසටය.

තමන්ට මේ දක්වා පාලන මිලට සහල් නොලැබෙන බව වෙළඳසැල්හිමියන් ද චෝදනා කරයි.

ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක්ද නිර්මාණය විය.

මතුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය කෙරුණේ සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙසම පවත්වාගෙන යාමටයි ෴


දිලිත් ජයවීර ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට දෙන්න යන අලුත් ආදර්ශය

(06.11.2024 – 20:27 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු වැටුප හෝ වරප්‍රසාද නොලබා ජනතාවට සේවය කිරීමට තමා ඇතුළු ‘සර්වජන බලයේ’ නියෝජිතයන් සූදානම් බව එහි නායක ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අද (06) පස්වරුවේ පෑලියගොඩ දරමඩුවත්ත ප්‍රදේශයේදී පැවැත් වුණේ එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම ජනහමුව අමතමින් ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා :

“මෙවර පාර්ලිමේන්තුවට යන අපි සියලුදෙනාම පාර්ලිමේන්තුවේ වැටුපවත් වෙනත් වරප්‍රසාදවත් ගන්නේ නැහැ. ආපන ශාලාවෙන් කෑමවත් ගන්නේ නැහැ. ඒ කිසිදෙයක් අපිට අවශ්‍ය නැහැ. අපි වැඩ කරනවා ඔබ වෙනුවෙන්… කිසිම වරප්‍රසාදයකින් තොරව. මෙවර පාර්ලිමේන්තුවේ වෙනස ඒකයි. අපි යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට…අන්න ඒ ක්‍රමය වෙනස් කරලා අලුත් විදියට හදන්න.”

“මේ දේශපාලනය වෙනස් වෙන්න ඕනේ නම් අපි වගේ ව්‍යවසායකයෝ… මහන්සිවෙලා මුදල් උපයපු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ… වෙනත් රටවල වගේ. එතකොට ඒ මිනිස්සුන්ට පුළුවන් ජනතාව වෙනුවෙන් සේවය කරන්න. නැත්නම් ගිය වෙලාවේ ඉඳලා බලන්නේ කීයක් හරි හොරකම් කරන්න. ආණ්ඩුවට විසඳුම් දෙන්න බැරි නම් අපි විසඳුම් යෝජනා කරන්නම්. පදක්කමට ගහන්න කතිරය. ඔබේ ජීවිතය වෙනස් වෙයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *