2022 වසරේදී බාල දරුවකුට ලිංගික අපයෝජන කල තඹුත්තේගම ප‍්‍රකට විහාරාධිපති වල්සාදුවෙකුට වසර 30 ක සිරදඬුවම්
(28.05.2026 – lankacnews.com ඇසුරෙන්)
පැවිදිවීම සඳහා තම විහාරස්ථානයට පැමිණි 14 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවකු විහාරස්ථානයට පැමිණි පළමු දින රාත්‍රියේදීම බරපතළ ලෙස අපයෝජනයට කිරීමේ සිද්ධියකට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා 3 ක් ලබා සිටි විත්තිකාර විහාරාධිපති වල්සාදුවෙකු එකී අධි චෝදනා 3 ටම වරදකරු බවට තීන්දු කළ ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකාර වල්සාදුට වසර 30 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් (27දා) නියම කළේය.
ඊට අමතරව වින්දිත බාල වයස්කාර දරුවාට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර වල්සාදුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල ගෙවීම පැහැර හැරියොත් විත්තිකාර වල්සාදුට තවත් මාස 6 ක සිරදඬුවමක් ද නියම කළේය.
ඊට අමතරව විත්තිකාර වල්සාදුට පළමු චෝදනාවට රුපියල් 5000 ක්ද, දෙවැනි සහ තුන්වන චෝදනාවලට රුපියල් 15,000 බැගින්ද දඩ ගෙවන ලෙසට නියෝග කළ විශේෂ මහාධිකරණයේ විනිසුරු සඳුන් විතාන නියම කළ එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් චෝදනා 3 ට වෙන් වෙන් වශයෙන් තවත් මාස 4 බැගින් සිර දඬුවම් විත්තිකාර වල්සාදුට නියම කළේය.
එක් අධි චෝදනාවකට දස (10) වසර බැගින් වෙන් වෙන් වශයෙන් මෙම 30 වසරක සිරදඬුවම නියම කෙරිණ. තම සේවාදායක විත්තිකාර හිමිනම විවිධ අසනීප තත්ත්වයන්ගෙන් පෙළෙන අයකු බව මහාධිකරණයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විත්තිකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරංග මොහොට්ටි දැක්වූ කරුණු සැලකිල්ලට ගත් විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විත්තිකරුට නියම කළ බරපතළ වැඩ සහිත 30 වසරක සිරදඬුවම දස (10) වසරකින් එක්වර ගෙවී යා යුතු බවටද නියම කරනු ලැබීය.
මෙසේ බරපතළ සිරදඬුවම් නියම වූයේ තඹුත්තේගම හුරිගස්වැව තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති මුල්ලේරියාවේ විමලතිස්ස නමැති 65 හැවිරිදි වල්සාදුවෙකුටය.
2022 වසරේ මැයි මස 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් හුරිගස්වැව තලාකොළවැවදී මෙම අපරාධය සිදුකළ බවට නීතිපතිවරයා විසින් විත්තිකාර වල්සාදුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කොට තිබිණ.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ චමික ගුරුගේ විවෘත අධිකරණයෙන් ඉල්ලා සිටියේ, මෙවැනි අපරාධ කරන පුද්ගලයන්ට නීතියේ පවතින ප්‍රතිපාදන මත උපරිම දඬුවම් ලබාදෙන ලෙසයි.
මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර, නීතිපතිවරයා විසින් විත්තිකරුට අධි චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව වැඩිදුරට විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණය හමුවට යොමු කොට තිබිණ.
විත්තිකාර විහාරාධිපති වල්සාදු විසින් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ 14 හැවිරිදි බාලවයස්කාර දරුවා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.ඒ. කරුණාතිලක සහ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවූ තඹුත්තේගම පොලිස් නිලධාරීන් 7 දෙනකු මෙම නඩු විභාගයේ සාක්ෂිකරුවන් ලෙස කැඳවා තිබිණ.
14 හැවිරිදි වින්දිත බාල වයස්කාර දරුවා වෙනත් භික්ෂුන් වහන්සේ නමක විසින් පැවිදි කිරීම සඳහා විත්තිකාර මුල්ලේරියාවේ විමලතිස්ස නමැති තලාකොළවැව ශ්‍රී සම්බුද්ධ වාලුකාරාමාධිපති වල්සාදුට 2022 වසරේ මැයි මස 10 වැනි දින භාරදී ඇති බවත්, එදිනම රාත්‍රි විත්තිකාර වල්සාදු විසින් බාලවස්කාර වින්දිත දරුවා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කොට ඇති බවත්, අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
විත්තිකාර විහාරාධිපති වල්සාදු බාල වයස්කාර පිරිමි දරුවා අපයෝජනය කිරීමෙන් අනතුරුව, විහාරස්ථානයට පැමිණි පළමු දිනයේදීම රාත්‍රියේ විහාරස්ථානයෙන් පැනගොස් ඇති දරුවා මාර්ගයේ ගමන් කරමින් සිටියදී තඹුත්තේගම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගෙන දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට තඹුත්තේගම හැකි වූ බවද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් අනාවරණ විය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණයේ රජයේ අධිනීතිඥ චමික ගුරුගේ පෙනී සිටි අතර, විත්තිකාර විහාරාධිපති වල්සාදු වෙනුවෙන් නීතිඥ සුරංග මොහොට්ටි පෙනී සිටියේය. තඹුත්තේගම පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීය.
උපාලි ආනන්ද – අනුරාධපුර
වෙසක් උත්සවයට කඩිමුඩියේ සැරසෙන කොළඹ නගරයේ පුදුම ලස්සනක් | කොළඹ උසම තොරණ බොරැල්ලේ (28.05.2026)
+
මහා සුළං නිසා හැටන් පෙරපාසලකට විශාල ෆයිනස් ගසක් කඩා වැටී මහා විනාශයක් (28.05.2026)
+
‘පිරිසිදුකම ගැන හිතන්න’ – දන්සැල් සංවිධායකයින්ට සෞඛ්‍ය අංශ යළි සිහි කැඳවයි
(28.05.2026 – hirunews.lk)
පවතින සෞඛ්‍ය තත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් පිසින ලද ආහාර ලබාදෙන දන්සැල් සංවිධායකයින් ආහාර පිළියෙල කිරීමේ දී පිරිසිඳුකම සහ ගුණාත්මකභාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග විද්‍යා ඒකකයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය තිලංග රුවන්පතිරණ ප්‍රකාශ කළා.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, සිසිල් බීම දන්සැල් ලබාදීම වෙනුවට මේ දිනවල පැතිරයන සමහර බෝවන රෝග සම්බන්ධයෙන් ද සලකා තේ, කෝපි, රණවරා, කොත්තමල්ලි වැනි උණුසුම් පාන වර්ග සහිත දන්සල් සංවිධාන කරන ලෙසයි.
දන්සල් සූදානම් කරන, පවත්වන කාලයේ මෙන්ම දන්සැල නිමාකළ පසුවද ඒ කටයුතු සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අධීක්ෂණය සිදු වන බවයි විශේෂඥ තිලංග රුවන් පතිරණ වැඩිදුරටත් පවසා සිටියේ ෴
වැලිකඩ OIC ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට – අල්ලස් ගන්න OIC ට තවත් කාන්තාවක් උදවු කරලා
(28.05.2026 – hirunews.lk)
අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි දින අධිකරණයට ඉදිරිපත් නොකර මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ඉල්ලු බව කියන සිද්ධියට කාන්තාවක් ද සම්බන්ධ බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.
සිද්ධියට අදාල චීන ජාතිකයන් 19 දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා තවත් තැනැත්තියක් එක්ව කටයුතු කර ඇති බවට විමර්ශනයේ දී කරුණු අනාවරණය බව දන්වමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ බව අධිකරණයට දැන්වා සිටියා.
එම තැනැත්තිය සම්බන්ධයෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළා.
සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘සමන් ජයසිංහ’ යන අයයි.
පොලිස්පතිතුමා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරින් අධිකරණයට දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටියේ, ලද තොරතුරට අනුව සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයකට ගිය අවස්ථාව වන විටත්, විදේශ ගමන් බලපත්‍ර, නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර නොතිබූ බවයි.
එම අවස්ථාවේදී, මෙම සැකකරු ස්ථානාධිපතිවරයා වශයෙන්, මෙම විදේශ ගමන් බලපත්‍ර නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කළ බවද විමර්ශන නිලධාරින් අධිකරණයට කරුණු දැක්වූවා.
තවද මෙම ස්ථානාධිපතිවරයා විසින් මෙම චීන ජාතිකයින් 19 දෙනා සම්බන්ධයෙන් දවස් පහළොවකට (15) පසු අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ අධිකරණය නොමග යවා අදාල චීන ජාතිකයන් 19 දෙනාට පලා යෑමට අවස්ථාව සලසා දී ඇති බවයි.
එම චීන ජාතිකයන් 19 දෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා තවත් තැනැත්තියක් හා එක්ව කටයුතු කර ඇති බවද විමශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
එම තැනැත්තිය සම්බන්ධයෙන් සිද්ධියට අදාලව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න සඳහන් කර සිටියේ තම සේවාදායකයා හොඳ චරිතකින් යුතුව රාජකාරියේ කටයුතුවල නියැලුනු පුද්ගලයෙක් බවයි.
තවද සත්‍ය වශයෙන් කාර්යයට වඩා වෙනස් තත්ත්වයක් මෙම සිදුවීම පිටුපස තිබෙන බවත් එම චීන ජාතිකයන්ගේ පාස්පෝට් පොලිස් භාරයේ තිබුණ බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දැක්වූවා.
එසේම තම සේවාදායකයා රාජගිරියේ දී අත්අඩංගුවට ගන්නා ලද එම විදේශිකයන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බවත් මෙම විදේශිකයන් 19 දෙනා පලා ගොස් ඇති බැවින් ඔවුන් සතු විදේශ ගමන් බලපත්‍ර පොලිස් භාරයේ තිබූ බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාලව සැකකරුගේ ජංගම දුරකථන වාර්තා සහ විමර්ශනයට ගිය නිලධාරීන්ගේ ජංගම දුරකථන වාර්තා සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ලබා දෙන ලෙසද කොළඹ මධ්‍යම විමර්ශන කාර්යාංශයට දැන්වුවා.
එසේම සිද්ධියට අදාල චීන ජාතිකයන් 19 දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළා.
මෙම සිද්ධියට අදාල පූර්ණ විමර්ශනයක් කර මිළඟ දිනයේදී අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙස නියෝග කරමින් සැකකරු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අද (28) දහවල් 12:48 ට පමණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබුවා.
නීතිවිරෝධී මූල්‍ය ජාවාරම් සහ අනීතික ක්‍රියාකාරකම්වල නිරත වීමේ චෝදනාව මත විදේශිකයන් 120 දෙනෙකු රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් නිවාසයකදී වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.
මෙම විදේශීය ජාතිකයන් පිරිස අතර චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය වැනි රටවල වැසියන් වන අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන කටයුතු වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා ෴
දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට
(28.05.2026 – 17:56 +0530 – sinhala.adaderana.lk)
කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී දුම්රියේ ගැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සාලියපුර ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සාලියපුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවකි.
ස්වයං රැකියාවක නිරතව සිට ඇති ඇය අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ගොස් අයිස් පැකට් අළෙවි කර යතුරුපැදියෙන් ආපසු නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
කෙසේවෙතත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටු සවිකර නොමැති අතර දුම්රිය ගේට්ටු කරුවෙකුද නොමැති බවය.
එමෙන්ම දුම්රිය මාර්ගයේ දෙපස වංගු සහිත වීම හේතුවෙන් දුම්රිය මාර්ගයට පිවිසෙන තෙක් දෙපස මාර්ගය නොපෙනෙන බව ද ඔවුන් සඳහන් කර සිටී.
ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම දුම්රිය මාර්ගයේ තවත් මාරක අනතුරක් සිදු වීමට පෙර ඊට අවශ්‍ය නිසි පියවරයන් ගන්නා ලෙසය.
+++
+
චීනයෙන් ආ සැප බස් පිටරටක වගේ සැපක් දෙන මෙට්‍රෝ බස් සේවාව ගැන හිරුගෙන් සොයා බැලීමක් (28.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴