වෙසක් දන්සල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

වෙසක් දන්සල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්


වෙසක් දන්සල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

(28.05.2026 – hirunews.lk)

උදාවීමට නියමිත වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

එහිදී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව සියලුම පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා සහ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත මෙම උපදෙස් මාලාව යොමු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව දන්සල් සංවිධායකවරුන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු ලෙස,

සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු අතර, දන්සල පවත්වන ස්ථානය, සංවිධායකයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංක වැනි මූලික තොරතුරු ලියාපදිංචියේදී ඇතුළත් කළ යුතුයි.

සෞඛ්‍යාරක්ෂිතව දන්සල් පැවැත්වීම පිළිබඳව දන්සල් සංවිධායකයන්ව නිසි ලෙස දැනුවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු අතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර (ස්ථානීය රෙගුලාසි) වලට අනුකූලව කටයුතු කරන බවට වගබලා ගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

දන්සල් ආරම්භ කිරීමට ප්‍රථම සහ දන්සල පවතින අතරතුරදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ස්ථාන පරීක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බව තහවුරු කරගත යුතු බවත්, දන්සල ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් එහි දැක්වෙනවා.

තවද, හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නල ජලය දන්සල්වල ආහාර සැකසීමට සහ පරිභෝජනයට යොදාගත යුතු බවත් එසේ නොහැකි අවස්ථාවලදී ආරක්ෂිත ජල මූලාශ්‍රවලින් ජලය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

න්සල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන අවස්ථාවලදී අත් සේදීම සඳහා ජල පහසුකම් සහ අත් පිරිසිදුකාරක (Sanitizers / Soap) සපයා ඇති බව සහතික කළ යුතු අතර, දන්සල්වල ආහාර පිළියෙල කිරීම සහ පරිභෝජනය අතර කාලය පැය 04කට වඩා වැඩි නොවිය යුතු බවත් එම නිවේදනයේ සඳහන්.


දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු රෝහලට

(28.05.2026 – 22:23 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇත. ඉන් අනතුරුව ටිපර් රථයට පසුපසින් පැමිණි කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

+++

+++

(28.05.2026 – facebook.com/accident1stofficial/)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 189 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස සිමෙන්ති ප්‍රවාහනය ප්‍රයිම් මුවර් රථයක් (බල්කර් ) ගැටීමත් සමග ටිපර් රථය පසෙක තිබූ ආරක්ෂක වැටත් කඩාගෙන පහල බෑවුමට පෙරලීයෑමෙන් අද (28) රාත්‍රියේ සිදුවූ අනතුරකින් ටිපර් රථයේ රියදුරා ඇතළු තිදෙනෙකු (3) තුවල ලබා රෝහල් ගත කෙරුනා. ටිපර් රථයේ රියදුරාට බරපතළයි.

https://www.facebook.com/share/p/1LNEimx1rU


රටක් හැඬවූ දරු දෙදෙනාගේ (2) මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

(29.05.2026 – 09:12 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු (2) අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පසුපස තිබූ වංචාවක් අනාවරණය කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ.

පියා විසින් හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් තිබූ අවස්ථාවක, එහි තිබූ මෙට්ටයකට ගිනිගෙන හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් මෙම දරුවන් දෙදෙනා (2) මියගොස් තිබුණි.

මෙලෙස මරණයට පත්වූයේ එකම පවුලේ අවුරුදු 3 ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5 ක ගැහැණු දරුවෙකු ය.

සිද්ධිය පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, පෙර අනාවරණය වූ කරුණුවලට හාත්පසින් වෙනස් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාර පියා මඩකලපුව පොලීසිය විසින් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පෙරදී වාර්තා වූයේ පිළිකා රෝගයෙන් පෙළෙන සිය මව බැලීම සඳහා දරුවන් මඩකලපුවට පැමිණ ඇති බවය. නමුත් වෛද්‍ය හා පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, දරුවන්ගේ මවට කිසිදු පිළිකා රෝගී තත්ත්වයක් නොමැති බවයි. ඇය මේ වනවිට මාතර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ පසුවන බව හෙළි වී තිබේ.

සැකකරු සිය බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින්, මෙම අහිංසක දරුවන් දෙදෙනා (2) ද උපයෝගී කරගනිමින් විවිධ ප්‍රදේශවල සිඟමනේ යොදවා මුදල් උපයා ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සැකකරු තමන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පවසා තිබුණද, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළි වී තිබේ.

ඔහු ළඟ තිබූ ජාතික හැඳුනුම්පත බදුල්ල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට අයත් එකකි. එම හැඳුනුම්පත 2023 වසරේදී අස්ථානගත වූවක් වන අතර, එහි සැබෑ අයිතිකරු මේ වනවිට නීත්‍යානුකූලව නව හැඳුනුම්පතක් ලබාගෙන කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියි.

සැකකරු එම හැඳුනුම්පත භාවිත කරමින් කාලයක් තිස්සේ ජනතාව මුලා කර ඇත.

සැකකාර පියාට එරෙහිව මීට පෙර ද ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවල වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පවතින බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මියගිය දරුවන්ගේ මව ද මේ වනවිට පොලීසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි ෴

+++

මඩකළපුවේ දරුවන් දෙදෙනා (2) මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්

(29.05.2026 – hirunews.lk)

මඩකළපුව නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් දරුවන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දරුවන්ගේ පියා ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහු සිදුකළ පරස්පර ප්‍රකාශ සහ කරුණු කිහිපයක් මතයි පොලිසිය පියා අත්අඩංගුවට ගත්තේ.

සැකකරු පළමුව සඳහන් කර තිබුණේ තම බිරිඳට පිළිකාවක් වැළඳී මඩකලපුව රෝහලේ ප්‍රථීකාර ලැබීම හේතුවෙන් දරුවන් සමග අදාළ ලැගුම්හල වෙත පැමිණි බවයි.

කෙසේ වෙතත්, බිරිඳට පිළිකා රෝගයක් වැළඳී ඇති බවට අදාළ පුද්ගලයා සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එසේම, මොහු ව්‍යාජ හැඳුනුම්පතක් භාවිතා කරමින් දරුවන් සහ බිරිඳ සමග දිවයිනේ ප්‍රදේශ රැසක සිඟමනේ යෙදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුව බිරිඳ මොහු සමග බහින්බස් වීමක් ඇති වී වැඩිමහල් දරුවා සමග ඇගේ මවගේ නිවස පිහිටි බෙලිඅත්ත ප්‍රදේශයේ වෙත පිටව ගොස් ඇති බව සඳහන්.

පොලිසිය පැවසුවේ එම මව තම 9 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා සහ ඇගේ මව සමග අද (29) පස්වරුවේ මඩකලපුව පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශ ලබා දුන් බවයි.

හෙට (30) දිනයේදී දරුවන් දෙදෙනාගේ (2) පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතයි ෴


බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න – කොටුව අධිකරණයෙනුත් නියෝගයක්

(29.05.2026 – hirunews.lk)

2014 වසරේ ‘සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ’ රු. මිලියන 7.8 ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න , කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ

නීතිපති උපදෙස් මත පොදුදේපල පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ.

එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කරනු ලැබුවා.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතාකර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් ටීෂර්ට් දොළොස් දාහක් (12,000) මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට මෙම ටීෂර්ට් බෙදාහැර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියා ෴


ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

(29.05.2026 – hirunews.lk)

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) සභාපති ‘රවී නිශ්ශංක‘ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වෙනවා.

ඔහු මෙම ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව ලෙස පෞද්ගලික හේතූන් දක්වා ඇති බව සඳහන්.

අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව සිය හිතවතුන් වෙත පණිවිඩයක් යවමින් ඔහු දන්වා ඇති අතර, එහි “මගේ ධුර කාලය තුළ ඔබ ලබා දුන් සහයෝගය සහ දිරිගැන්වීම්වලට ස්තූතියි” යනුවෙන් ද සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව විමසීමක් කළ විට කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, ඔහු අවසන් වරට ඉකුත් බදාදා (මැයි 27) කාර්යාලයට පැමිණි බවත්, ඉන් අනතුරුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇති බවත් ෴


ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

(29.05.2026 – hirunews.lk)

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඒ ඔහු විසින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්දගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුවයි.

පත්වීම ලැබීමෙන් පසු සේවයට වාර්තා කළ දිනයේ තම සේවය අවශ්‍ය නොවන බවත් කාර්යාලයෙන් පිටව යන ලෙසත් සඳහන් කරමින් ලේකම්වරයා දැනුම් දුන් බව පවසමින් අතිරේක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.

එහි තීන්දුව ලබාදෙමින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කළේ, රාජ්‍ය නිලධාරියෙකු මෙලෙස අවමානයට හා මානසික කනස්සල්ලට ලක් කිරීමෙන් අමාත්‍යාංශ ලේකම්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම, රාජ්‍ය නිලධාරියෙකු පත් කිරීමේ ක්‍රියාපටිපාටින් ද උල්ලංඝනය කර ඇති බවයි.

ධුරයෙන් ඉවත්වෙන මහාචාර්ය කපිල පෙරේරා මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙක්.

ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයද හොබවනු ලැබුවා ෴


බදුරලියෙන් කිලෝ 3 කට අධික මත්ද්‍රව්‍ය පාර්සල් 60 ක් හමු වෙයි

(29.05.2026 – hirunews.lk)

බදුරලිය – තුඹගල්ල කන්ද ප්‍රදේශයේ මාර්ගයක් අසල කුඩා ප්‍රමාණයේ පාර්සල් 60 ක තිබී මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙසේ සොයාගෙන ඇත්තේ 3.362 Kg ක් පමණ වෙන ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් බවයි වාර්තා වෙන්නේ.

එහි වටිනාකම රු. කෝටි 5 ක් පමණ වෙන බවයි පොලිසිය පවසන්නේ ෴

+++

+


තෙවන (3) වරටත් පැවැත්වෙන ‘දෙරණ 24 පැයේ බත් දන්සල’ට සියල්ල සූදානම්

(29.05.2026 – 15:32 +0530 – sinhala.adaderana.lk)

24 පැය පුරා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල ‘ටීවී දෙරණ’ සංවිධායකත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රෙය්දී හෙට (30) සහ අනිද්දා (31) දිනයන්හිදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇත.

ඒ අනුව හෙට (30) පස්වරු 07 ට ආරම්භ වන දන්සල පසුදින පස්වරු 07 දක්වා පැවැත්වීමට නියමිතය.

වෙසක් පොහොය නිමිත්තෙන් ‘ටීවී දෙරණ’ සංවිධානය කරන මෙම දන්සල සංවිධාන කරන්නේ 2024 වසරේ සිටය.

එය මෙවර පැවැත්වෙන්නේ තුන්වැනි (3) වරටය.

‘ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය’ සහ ‘කොළඹ මහනගර සභාව’ මේ වෙනුවෙන් ‘ටී වී දෙරණ’ සමග අත්වැල් බැඳගනී.

+


වෙසක් නැරඹීමට කොළඹට එන ජනතාවට පොලිසියෙන් දැනුම්දීමක්

(29.05.2026 – 14:56 +0530 – sinhala.adaderana.lk)

මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත වෙසක් කලාප, තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිසිය මහජනතාවට දැනුම්දෙයි.

කොළඹ නගරය මූලික කරගෙන කොළඹ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය, කුරුඳුවත්ත, දෙමටගොඩ, මෝදර යන පොලිස් වසම් තුළ මෙම වෙසක් කලාප හා වෙසක් තොරණ පැවැත්වෙන අතර එම නගරය මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

විශේෂ රථවාහන සැලැස්ම : [පිටුව1][පිටුව2][පිටුව3][පිටුව4]

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *