නිමක් නැති ඔන්ලයින් ජාවාරම් ගැන තවත් අනාවරණයක්
(26.10.2024 – 21:57 +0530 – sinhala.adaderana.lk)
අන්තර්ජාලය ඔස්සේ ජනතා මුදල් කොල්ලකමින් සිදුකරන ජාවාරම් තවමත් රට තුළ සිදුවෙමින් පවතී.
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මහා පරිමාණයෙන් ජනතා මුදල් කොල්ලකන ජාවාරම් සම්බන්ධයෙන් පසුගිය දිනවල තොරතුරු රැසක් වාර්තා වුණි.
කණ්ඩායම් වශයෙන් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් කොල්ලකෑ විදේශීය ජාතිකයින් මෙන්ම ඊට සම්බන්ධ විවිධ කටයුතු සිදුකළ ශ්‍රී ලාංකිකයින් ද වරින්වර විවිධ ස්ථානවලදී පොලිස් අත්අඩංගුවට පත්වුණි.
අන්තර්ජාල බැංකු ගනුදෙනුවලදී ලබාදෙන OTP හෙවත් එක්වරක් පමණක් ලබාදෙන මුර පද වංචනික ලෙස ලබාගනිමින් මෙන්ම තවත් ප්‍රධාන ක්‍රමෝපාය රැසක් ඔස්සේ මූල්‍ය වංචා සිදුවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් අනාවරණ කරගෙන තිබේ.
එක් ක්‍රමයක් ලෙස, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා සහ දුරකථන ඇමතුම් ඔස්සේ හඳුනාගන්නා විවිධ පුද්ගලයින් හට මුදල් ආයෝජනය කිරීමට පොළඹවා මොවුන් මුදල් ලබාගැනීම සිදුකරනු ලබයි.
ඊට අමතරව, සමාජ මාධ්‍ය හරහා හඳුනාගන්නා මැදි වයසේ සහ වැඩිහිටියන් සමග ව්‍යාජ ආදර සම්බන්ධතා ඇති කරගෙන එම විශ්වාසය මත විවිධ පැකේජයන් ලෙස මුදල් තැන්පත් කිරීමට පොළඹවා ගැනීමද මෙම සංවිධානාත්මක පිරිසේ තවත් උපක්රමයකි.
එමෙන්ම, සමාජයේ ප්‍රසිද්ධ චරිත ලෙස හුවා දක්වමින් ඇමතුම් ලබාදී විවිධ ව්‍යාපෘති සඳහා මුදල් ලබාගන්නා ජාවාරම් සම්බන්ධයෙන් ද මේ දිනවල තොරතුරු වාර්තා වෙයි.
මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් කොතෙකුත් තොරතුරු වාර්තා කළත් ජනතාව එම වංචනික කණ්ඩායම්වලට නිරන්තරයෙන් ගොඳුරු වන බව තවදුරටත් පෙනීයන කරුණකි.
+
ලොහාන්ගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නැති මෝටර් රථයක්
(26.10.2024 – 20:27 +0530 – sinhala.adaderana.lk)
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් අද (26) සොයා ගැණුනි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ බිරිඳ පොලීසියට සාක්ෂි දී ඇත්තේ, අදාළ රථය නිවසේ ගරාජයට ගෙනැවිත් දැමුවේ මීට දින කිහිපයකට පෙර මියගිය සිය පෞද්ගලික ලේකම්වරයා බවය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන ශෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය ශාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව මිරිහාන පොලීසිය නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නිවසට ගොස් එම රථය පරීක්ෂා කරනු ලැබීය.
ඒ පිළිබඳව හිටපු අමාත්‍යවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් පොලීසිය ප්‍රකාශයක්ද ලබාගෙන තිබේ.
ඊට අනුව හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව අදාළ නිවසේ පදිංචිව සිටින අතර මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්වූ රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා සති 3 කට පෙර අදාළ රථය සිය නිවෙසේ ගරාජයට ගෙනවිත් දැමූ බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.
ලියාපදිංචි අංක තහඩු සහ යතුරු නොමැති සුඛෝපභෝගී මෝටර් රථය මහත් පරිශ්‍රමයක් යොදා අද මිරිහාන පොලීසිය වෙත රැගෙන ගියේය.
හෙට (27) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් අදාළ රථය පරීක්ෂා කිරීමට නියමිත අතර ඉන් පසුව ඉදිරි විමර්ශන සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළේය.
++++++++
+
ලාංකිකයන් ප්‍රියකරන චීන ආහාර පාන අස්සේ සැඟවුණු රහස්
(26.10.2024 – 19:30 +0530 – sinhala.adaderana.lk)
චීනයෙන් මෙරටට ගෙන්වූ ආහාරපාන, ඖෂධ හා විටමින් වර්ග කල්ඉකුත් වූවායින් පසුව දින වෙනස් කර නැවත අලෙවි කරන ජාවාරමක් නීතියේ රැහනට හසුකරගැනීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට හැකිවුණි.
උකුස්සාගේ අද (26) අනාවරණය ඒ පිළිබඳවය.
කොල්ලුපිටියේ පිහිටි චීන අහාරපාන අලෙවි කරන ප්‍රසිද්ධ අලෙවිසැලක චීන ආහාරපාන, ඖෂධ වර්ග හා විටමින් වර්ග අලෙවි කරයි.
චීන ආහාරපාන සඳහා ප්‍රියතාවක් දක්වන ලාංකිකයන් මෙන්ම චීන ජාතිකයන්ද එම ස්ථානයට පැමිණෙයි.
එවන් පසුබිමක මෙහි කල් ඉකුත් වූ භාණ්ඩවල ලේබල් වෙනස් කර නැවත අලෙවි කරන බවට තොරතුරක් ලැබුණි.
ඒ අනුව පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමග ‘අද දෙරණ උකුස්සා’ ද එම ස්ථානයට ගියේය.
එහිදී සිදුකළ සොයාබැලීමේදී අදාළ තොරතුර තහවුරු කරගැනීමට හැකිවුණි.
ඒ අනුව අදාළ ස්ථානයේ තිබී කල් ඉකුත් වූ ආහාරපාන තොගයක් සොයාගත්තේය.
එහි තිබූ ඇතැම් භාණ්ඩවල කල්ඉකුත් වූ දිනයක්වත් සඳහන්ව නොතිබීමද විශේෂත්වයකි.
මේ එම වෙළෙඳසැලේ තිබී කල් ඉක්තු වූ ඖෂධ සහ විටමින් වර්ග තොගයක් ද සොයාගත්තේය.
අනතුරුව මහල් තුනකින් සමන්විත අදාළ වෙළෙඳසැලේ ගබඩාවට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.
ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණය කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.
+
පුංචි පුතෙකුට නිවසේදීම විදුලිසැර වැදී මරුට
(26.10.2024 – 13:36 +0530 – sinhala.adaderana.lk)
අත්තනගල්ල අලවල ප්‍රදේශයේ සිය නිවස තුළ සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 06 ක පමණ කුඩා දරුවකු විදුලි සැර වැදී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අත්තනගල්ල අලවල ප්‍රදේශයේ පදිංචිව සිටි තේජාන් දිනුවර නමැති 01 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.
ඊයේ (25) දහවල් කාලයේදී මෙම අනතුර සිදුවී ඇති අතර මියගිය දරුවා විදුලි සෙල්ලම් උපකරණ ගලවමින් සහ සවිකරමින් සෙල්ලම් කිරීමට නිරන්තරයෙන් ඇල්මක් දැක්වූ දරුවෙකු බව වාර්තා වෙයි.
ශීතකරණය යට තිබූ බැටරි කැබලි දෙකක් ගැනීමට ඒ දෙසට අත යොමු කිරීමේදී මෙලෙස විදුලි සැර වැදී තිබේ.
දරුවාට විදුලිසැර වදින අවස්ථාවේ මව සහ පියා නිවසේ වෙනත් කාර්යයක නිරතවී සිට ඇති අතර දරුවා ශීතකරණය අසල වැටී සිටින අයුරු දැක වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.
+
පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්
(25.10.2024 – 22:36 +0530 – sinhala.adaderana.lk)
පමුණුගම ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනෙකුට (2) පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.
බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණි ගම්වාසීන් පිරිසක් ඊයේ (24) පස්වරුවේ මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ, අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට (2) පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින්.
පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන්මාලයක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයින් දෙදෙනා (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි ෴
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය මාලිමාවට
(26.10.2024 – 23:23 +0530 – sinhala.adaderana.lk)
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබේ.
ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295 ක් ලබාගනිමිනි.
එහිදී පක්ෂ ලබාගත් ඡන්ද සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව මෙසේය :
(පක්ෂය – ලබා ගත් ඡන්ද සංඛ්‍යාව – හිමිකරගත් මන්ත්‍රී සංඛ්‍යාව)
- ජාතික ජන බලවේගය – 17,295 – 15
- සමගි ජන බලවේගය – 7,924 – 6
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,597 – 3
- පොදුජන එක්සත් පෙරමුණ – 2,612 – 2
- ස්වාධීන කණ්ඩායම – 2,568 – 2
- පොදුජන එක්සත් නිදහස් සන්ධානය – 1,350 – 1
- ජාතික ජනතා පක්ෂය – 521 – 1
- දෙවන පරපුර – 388 – 0
- ජනසෙත පෙරමුණ – 50 – 0
ලැගුම්හලකදී වයසක අයෙක් රවටා රන් සහ මුදල් සොරාගෙන
(26.10.2024 – 21:03 +0530 – hirunews.lk/sinhala)
ලැගුම්හලකදී පුද්ගලයකු රවටා රු. 12,00,000 කට අධික වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු (2) සහ බස් කොන්දොස්තරවරයකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අදාල පුද්ගලයාට කොළඹ ප්‍රදේශයේදී කාන්තාවක් හමුවී ඇතිකර ගත් සුහදතාව මත ලැගුම්හලකට ගොස් තිබෙනවා.
ඒ මොරටුව නගරයට නුදුරු ස්ථානයක්.
එහිදී මෙම පුද්ගලයා නාන කාමරය තුළට ගිය පසුව කාන්තාව රු.40,000 ක මුදලක්, ජංගම දුරකථනය, අත් පළඳනාව හා රන්මාලයක් රැගෙන පළාගොස් තිබෙන බව පැවසෙනවා.
අනතුරුව එම පුද්ගලයා ලැගුම්හලෙන් එළියට පැමිණ එම කාන්තාව ගැන සොයා තිබෙනවා.
ඒ අවස්ථාවේ එම පුද්ගලයාට තවත් රූමත් කාන්තාවක මුණගැසී කතා කළ බවයි පැවසෙන්නේ.
ඇති වූ විශ්වාසය මත එම කාන්තාව සමග මොහු නැවත ලැගුම්හල වෙත ගොස් තිබෙනවා.
එතැනදී ඔහුට නින්ද යෑමෙන් පසුව මේ කාන්තාවත් ඔහුගේ රන් අත් පළඳනාව සොරාගෙන පළාගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
එම සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් 1,12,000 කට අධික බවද පොලිසිය සඳහන් කරනවා.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර සොරාගත් රන් භාණ්ඩ බස් කොන්දොස්තරවරයකු ළඟ තබා ගැනීමට දුන් බවට කරුණු අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය විමර්ශන සිදුකරනවා ෴
මහ ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදීම ඇරඹේ
(27.10.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අද (27) දින සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් එම කටයුතු අද (27) දිනයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන්නේ නැහැ.
නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග නිවෙස් වෙත බෙදාහැරිය යුතු අපේක්ෂක නම් ලැයිස්තුව මෙතෙක් තැපැල් දෙපාර්තමේන්තුව වෙත නොලැබීම ඊට හේතුව බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ ‘හිරු ප්රවෘත්ති අංශය’ට කියා සිටියා.
මහ මැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 07 වනදා දක්වා සිදුකෙරෙනවා.
එසේම, ලබන 03 වනදා ඊට අදාළව විශේෂ දිනයක් ලෙසටයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.
ලබන මස 07 වනදා දක්වා නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණේ නම් තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර තම නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි වනවා.
මේ අතර, ලබන මස 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 716 ක් වාර්තා වී තිබෙනවා.
ඉන් බහුතරය නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ පැමිණිලි බවයි එම කොමිෂන් සභාව සදහන් කළේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴