කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී

කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී


කාන්තාවන්ට අතවර කරමින් නිවෙස් කොල්ල කෑ දෙදෙනා (2) කොටුකර ගනී

(16.10.2024 – 20:05 +0530 – sinhala.adaderana.lk)

ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත් කරමින් කාන්තාවන්ට ලිංගික අතවර කර නිවාසවල භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු (2) ගෙන් යුත් කල්ලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, 21 හැවිරිදි තරුණයා හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින ඔහුගේ සුළු පියා මෙලෙස මෙම සොරකම් සිදුකරන බවයි.

කාන්තාවන්ට අතවර කර නිවාසවල භාණ්ඩ කොල්ලකන සොර කල්ලියක් දොම්පේ, වැලිවේරිය හා මල්වතු හිරිපිටිය යන ප්‍රදේශවල සැරිසරන බවට ‘අද දෙරණ’ පසුගිය සෙනසුරාදා (12) අනාවරණ කළේය.

එහි ආසන්තම සිදුවීම වාර්තාවුණේ පසුගියදා වැලිවේරිය ප්‍රදේශයෙනි.

එහි නිවසකට ඇතුළු වූ සොරුන් දෙදෙනා (2) කාන්තාවකට සිය සිව්හැවිරිදි දරුවා හා සැමියා ඉදිරිපිටදී අතවර කර භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබුණි.

ඒ වනවිටත් පොලිස් කණ්ඩායම් රැසක් බස්නාහිර පළාත. උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය හා ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

අදාළ සොරුන් දෙදෙනාගේ (2) ගමන්මග සම්බන්ධයෙන් අධ්‍යයනයක නිරත වූ මල්වතුහිරිපිටිය පොලීසියේ ස්ථානාධිපතිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින 6 ක නිදිවර්ජිත මෙහෙයුමකින් අනතුරුව අද (16) අලුයම ඔවුන් දෙදෙනාව (2) අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ නිවසක් කොල්ලකා පළා යමින් සිටියදී ය.

ඒ වනවිටත් ඔවුන් දෙදෙනා (2) සොරකම් සඳහා සැරසීයන නින්ජා ඇඳුමට සමාන ඇඳුමක් හැඳසිටි බව පොලීසිය පැවසීය.

ඔවුන් සතුව තිබී සොරකම් කරන අවස්ථා සඳහා භාවිත කරන ලද අවි ආයුධ කිහිපයක් ද සොයාගැනුණි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ, පසුගිය සැම්තැම්බර් 14 වනදා දොම්පේ ප්‍රදේශයේ නිවසකට ජනේලයක් ගලවා ඇතුළු වී රුපියල් ලක්ෂ 40 ක පමණ දේපොළ කොල්ලකෑ බවයි.

එම අවස්ථාවේදී අදාළ නිවසේ සිටි කාන්තාවගේ ඇඳුම් කපාදමා ඇයගේ සැමියා හා දරුවා ඉදිරිපිටදී අතවර කර පළාගිය බවද ඔවුන් පවසා ඇති බව සඳහන් ය.

අනතුරුව සොරුන් දෙදෙනා (2) මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ තවත් නිවසකට පෙර අයුරින්ම ඇතුළු වී එහි සිටි කාන්තාවගේ සහ සැමියාගේ ඇඳුම් ගලවා ගැටගසා එහි වූ දේපොළ සොරකම් කර තිබුණි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා (2) එහි සිටි කාන්තාවට අතවර කිරීමට සූදානම්වන අවස්ථාවේදී ඇයගේ සැමියා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ, ඇය මාස 3 ක දරුවකු සිටින මවක් බැවින් අතවර නොකරන ලෙසයි.

පසුව ඔවුන් නිවසෙහි වූ වටිනා භාණ්ඩ රැගෙන පළාගොස් තිබුණි.

පසුව ඔවුන් වැලිවේරිය හේනෙගම නිවසකට ද පෙර ලෙසම ජනේලයෙන් ඇතුළු වී එය ද කොල්ලකා ඇති බව වාර්තා වෙයි.

එහිදී අදාළ නිවෙස් කාන්තාවට ලිංගික අතවර කර එය නිවැසියන්ගේ ජංගම දුරකතනයෙන් රූපගත කර එම දුරකතන වැසිකිලියට දමා ඔවුන් පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අවිස්සාවේල, ඇහැලියගොඩ යන ප්‍රදේශවලද මේ අයුරින්ම ඔවුන් සොරකම් කළ බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය ෴


HPV එන්නත ලබාදීමෙන් රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට

(17.10.2024 – 10:10 +0530 – sinhala.adaderana.lk)

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන HPV එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු (5) රෝහල්ගත කර ඇතැයි අඟුරුවාතොට පොලීසිය පවසයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ අඟුරුවාතොට වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ හත්වන (7) වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියන් පස් දෙනෙකි (5).

මිල්ලනිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරි කණ්ඩායමක් පැමිණ එම පාසලේ හත්වන (7) වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 26 දෙනෙකු උදෙසා මෙම එන්නත ලබාදීම සිදුකර තිබුණි.

එන්නත ලබා ලබාදී මද වේලාවකින් අනතුරුව සිසුවියන් පස්දෙනෙකුට (5) හිසේ රුදාව, උදරය වේදනාව හා ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් මිල්ලනිය සෞඛ්‍යාය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින්ම රෝගාතුර වූ එම සිසුවියන් හල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම රෝහලේදී මූලික ප්‍රතිකාර ලබාදී වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා තිබේ.

එම සිසුවියන් මේ වන විට හොරණ දිස්ත්‍රික් රෝහලේ අංක 6 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව හොරණ රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

රෝගාතුර වූ සිසුවියන් සියලුදෙනාම වෙනුවෙන් වෙනිවැල්පිටිය පදිංචිකාරියන්ය.

පොලීසියටද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති අතර, අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ ෴


මැදපෙරදිග ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(16.10.2024 – 23:54 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

මැදපෙරදිග කලාපය තුළ පවතින ගැටුම් තත්ත්වය හමුවේ එහි ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාල රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය අවශ්‍ය උපදෙස් ලබාදෙන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සිදුවියහැකි හදිසි අවස්ථාවක දී ඒ පිළිබඳ විමසීම සඳහා 011 233 8812 හෝ 011 771 1194 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

අදාල නිවේදනය පහතින් දැක්වෙනවා :



ගෝඨාගේ ආර්ථික උපදේශකට ජනපතිගෙන් ලැබුණු ඉහළම තනතුර ගැන පෙරටුගාමීන් හෙළි කරයි

(16.10.2024 – 22:54 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයෙකු ලෙස සිටි ‘දුමින්ද හුලංගමුව’ බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

එහි මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පෙන්වා දෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ සමයේ මෙරට ආර්ථිකය විනාශ කිරීමට දායකත්වය දුන්නේ මොවුන් බවයි.

ඉදිරි මහ මැතිවරණය සදහා ජන අරගල සන්ධානය යටතේ තරග කරන අපේක්ෂකයින්ගේ සහභාගිත්වයෙන් ජන හමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැත්වුණා.

+


රටේ දරුවන් දස දහසක් උග්‍ර පෝෂණ ඌණතාවයෙන් බව සෞඛ්‍ය අංශ කියයි

(16.10.2024 – 18:34 +0530 – hirunews.lk/sinhala)

මෙරට අවුරුදු 5 ට අඩු දරුවන් දස දහසක් උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ, වයස අවුරුදු 5 ට අඩු දරුවන් 25,269 දෙනෙකු පෝෂණ ඌණතාවයෙන් පෙළෙන බවයි.

ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් සකස් කළ වාර්තාව පසුගියදා නිකුත් කළා.

එහි දැක්වෙන්නේ, වයස අවුරුදු පහට අඩු දරුවන් 10,323 දෙනකු උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළෙන බවයි.

ඉන් වැඩිම දරුවන් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994 ක්.

එමෙන්ම, උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙළෙන දරුවන් 930 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්, 629 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්, 622 නෙක් මහනුවර දිස්ත්‍රික්කයෙන් සහ දරුවන් 619 දෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25,269 දෙනකු පෝෂණ ඌණතාවයෙන් පෙළෙන බව ද පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් එවැනි දරුවන් 2,550 දෙනෙක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 2,245 දෙනෙක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 1,578 දෙනෙක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමයින් 1,340 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මෙරට අවුරුදු පහට (5) අඩු වයසට සරිලන ලෙස බර අඩු දරුවන් 215,386 දෙනකු සිටින අතර, ඉන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එම දරුවන් සංඛ්‍යාව 17,701 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද එවැනි දරුවන් 15,994 ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 15,376 දෙනෙක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අවුරුදු 05 ට අඩු, වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133,538 දෙනෙකු වාර්තා වී ඇති බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිවේදනය කරනවා.

ඉන් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 11,677 ක්.

වයසට සරිලන උස අඩු දරුවන් 10,177 දෙ‍නෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සහ දරුවන් 10,093 දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර, අවුරුදු පහට (5) අඩු, අධිබර දරුවන් 6,223 දෙනකු වාර්තා වී ඇති බව ජාතික පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාළව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය මඟින් නිකුත් කළ වාර්තාවේ සඳහන් ෴


පුංචිලෝකාන්තයේ ශෝකාන්තය – දින 16 කට පසු සිරුර හමුවෙයි

(16.10.2024 – 17:08 +0530 – hirunews.lk/sinhala)

පහරදී ඝාතනය කර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි 1000 ක පමණ ප්‍රපාතයකට තල්ලුකර තිබූ ත්‍රීරෝද රථ රියදුරුගේ මළසිරුර සොයාගෙන තිබෙනවා.

දින දහසයකට (16) පසුව අද (16) පස්වරුවේ පුංචි ලෝකාන්තයේ අඩි 500 ක පමණ ප්‍රපාතයට වැටී තිබිය දී මෙම සිරුර සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ හාලිඇල, රොසට්වත්තේ විවේකානන්දන් සුජීවන් (23) නැමති අවිවාහක තරුණයක්.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මීට පෙර තවත් අයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ත්‍රීරෝද රථ රියදුරා මඩොල්සිම පුංචි ලෝකාන්තය අසල ට රැගෙන ගොස් පහරදීමෙන් පසුව සිරුර පුංචිලෝකාන්තයේ ප්‍රපාතයට තල්ලුකර තිබෙන බවයි පැවසෙන්නේ.

එම සැකකරු මඩොල්සිම, බටාවත්ත ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රබොස් දයාලන් (34) නැමති එක්දරු පියෙකු බව වාර්තා වනවා.

හාලිඇල රොසට්වත්තේ පදිංචි ඝාතනයට ලක්වූ තරුණයා මඩොල්සිම බටාවත්තේ පදිංචි සැකකරු ගේ ත්‍රීරෝද රථය රුපියල් 350,000 ක මුදලක් ගෙවා මිලට ගෙන තිබෙනවා.

ඒ රුපියල් 13,000 බැගින් වාරික 36 කින් ලිසිං වාරික ගෙවීමේ පදනමට බව පොලිසිය පවසනවා.

මේ අතර සැකකරු හාලිඇල, ක්වින්ස්ටවුන්වත්තේ කාන්තාවක සමඟ විවාහ වී ඇති බවත් මොවුන්ට එක් කුඩා දරුවෙකු සිටින බව පැවසෙනවා.

එමෙන්ම සැකකරු ගේ බිරිද දරුවෙකු ප්‍රසූත කිරිමට බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිට්න බවයි පොලිසිය පැවසුවේ.

මැණික් ගල් කිහිපයක් සහ රන්භාණ්ඩ කිහිපයක් විකිණීමට යාමට ඇති බව පවසා ත්‍රීරෝද රථ රියදුරු කැටුව ගොස් තිබෙනවා.

ඒ අනූව ඉකුත් 30 වන දින රාත්‍රි මඩොල්සිම නගරයට ගෙන්වා ගෙන ඇති බවත්, මඩොල්සිම නගරයේ ඉන්ධන පිරවුම් හල අසල දී සැකකරු සහ ඔහුගේ මිතුරා මෙම ත්‍රීරෝද රථය ට ගොඩ වී තිබෙන බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ෴


මිරායි නිසා සතියක් වැසුණු දුම්රිය මග අද සිට යළි ඇරේ

(16.10.2024 – 16:37 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය අද (16) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, අද (16) පෙරවරුවේ සිටම සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා රූගත කිරීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ – කොටුවේ සිට ඇල්ල දක්වා පමණක් සීමා කෙරුණේ පසුගිය 09 වැනිදා සිටයි ෴


මාදම්පිටියේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

(16.10.2024 – 16:13 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35 ක පුද්ගලයෙක්.

සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර ඊයේ (15) රාත්‍රියේදී මාතර – කැකණදුර ප්‍රදේශයේදීද වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබිමෙන් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා ෴


පොලිසියට අල්ලස් දෙන්න හැදූ මත් ජාවාරම්කරු අත්අඩංගුවට

(16.10.2024 – 15:06 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු, පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබා දීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, සංජීව කුමාර හෙවත් ගල් සම්පත් නැමැති මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 12 ක් සිරගත වී මීට මාසයකට පමණ ඉහත දී නිදහස් වී පැමිණ යළිත් වරක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී තිබෙනවා.

සැකකරු මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ තමන්ට මත්කුඩු ජාවාරම කරගෙන යාම සදහා පොලිස් නිලධාරීන්ගෙන් බාධා එල්ල වන අතර, එය විසදා දෙන්නේ නම්, මසකට රුපියල් ලක්ෂය බැගින් ලබා දීමට හැකියාව පවතින බවයි.

ඒ අනුවයි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


අපිත් හිටියේ හොදම වෙලාව එනකම් | මෙන්න තියනවා ගහපු ගැහිලි සේරම | මාලිමාවට තුනෙන් දෙකක් (17.10.2024)

+


වෙළෙඳපොළේ සහල් හිඟයක්?

(17.10.2024 – 13:51 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාන සහල් මෝල් හිමියන් පසුගියදා පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බව පැවසුවද, තවමත් පාලන මිලට සහල් මිලදී ගත නොහැකි බවට ජනතාව මැසිවිලි නගනවා.

ජනතාව පවසන්නේ, වෙළෙඳපොළේ ‘කීරි සම්බා’ හැර අනෙකුත් සහල් වර්ගවල හිඟයක්ද පවතින බවයි.

එමෙන්ම නාඩු සහල් සඳහා රුපියල් 220 ත්, සම්බා සහල් සඳහා වන රුපියල් 230 ක පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් කරන බවට මහා පරිමාන සහල් නිෂ්පාදකයින් පැවසුවත් මේ වනවිටත් නාඩු සහ සම්බා සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 230 ඉක්මවූ අගයකටයි.

මේ අතර, පසුගිය කාලසීමාවේ වෙළඳපොළේ කීරී සම්බා කිලෝවක මිල රුපියල් 400 ක් දක්වා ඉහළ යාම හේතුවෙන් ගොවීන් යල කන්නය සඳහා වැඩි වශයෙන් කිරී සම්බා වගා කිරීමට කටයුතු කර තිබුණා.

මේ නිසා වෙළඳපොළට වැඩි වශයෙන් කීරී සම්බා නිකුත් වී ඇති අතර නාඩු, කැකුළු සහ සම්බා යන සහල් වර්ගවල හිඟයක් නිර්මාණය වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *