කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව නීතීපති වසා තබයි

(15.10.2024 – lankadeepa.lk)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇති නීතීපතිවරයා සිද්ධියට අදාළව නීතීපති දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන ගිය ගොනුවද වසා දැමීමට පියවර ගෙන ඇත.

විරෝධතාවයකදී බන්ධනාගාර රැඳවියන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීමේ සිද්ධිය අපරාධයක් බව වසර 03 ක කාලයක් තිස්සේ පැවැත්වු පශ්චාත් මරණ පරීක්‍ෂණය අවසානයේදී තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මීට වසර 1½ කට පෙර නියම කර තිබියදී නීතීපතිවරයා එලෙස පියවර ගෙන ඇත.

වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදුකළැයි කියන සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බව නීතීපතිවරයා අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණය කැඳවා තිබු පසුගිය අගොස්තු 30 වැනිදාය.

නීතීපතිවරයා වෙනුවට අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිගේ අත්සනින් යුතු ලිපියක් මඟින් අපරධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට ඒ බව දැනුම් දී ඇති අතර එහි පිටපත් රහස් පොලිසියේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ වැලිසර මහෙස්ත්‍රාත්වරයාටද යොමු කර ඇත.

සිද්ධියට අදාළ විමර්ශන උධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරීන්ගේ සහ රැඳවින්ගේ පෞද්ගලික ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නීත්‍යානූකූලව කටයුතු කර ඇති බවත්, නිලධාරීන් පෞද්ගලික ආරක්‍ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරීක්‍ෂණය කරන බවත් සඳහන් කරන නීතීපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතේ 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවද සඳහන් කර ඇත.

එහෙයින් මෙම සිද්ධියට අදාළව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවද දෙපාර්තමෙන්තුවේ පවත්වා ගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දැනුම් දී ඇත. පසුගිය ‘කොවිඩ්’ සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් තමන්ට ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී ඇත්දැයි දැන ගැනීම සඳහා ‘කොවිඩ්’ පරීක්‍ෂණ කරන ලෙසත් ‘කොරෝනා’ වයිරසය ආසාධනය වී බන්ධගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවයක් කළ බවත් ඒ අවස්ථාවේදී ඔවුන් කළහාකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණ ෴


බුද්ධිමත් මැතිසබයට Political IQ අභියෝගය | Lak Fm | උදය ගම්මන්පිල (16.10.2024)

+


රාජ්‍ය රහස් පනත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගම්මන්පිල අත්අඩංගුවට…?

(16.10.2024 – 14:10 +0530 – lankacnews.com)

‘රාජ්‍ය රහස් පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ (15) රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා’ යැයි ‘පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.

ඒ මහතා මේ අදහස් දැක්වූයේ අද (16) දින ‘පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ’ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය :

වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න නම් ඒක ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ඕනෑ

ඉදිරි දින හත (7) තුල ජනාධිපතිතුමා විසින් දැනට ප්‍රසිද්ධ කර නොමැති පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා ප්‍රසිද්ධ නොකලොත් මම ඒවා ප්‍රසිද්ධ කරන බවට පසුගිය සඳුදා (14) මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමාට මම අනතුරු ඇඟෙව්වා. මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමා ඊයේ (15) කිව්වේ මා සතු වාර්තාව ආණ්ඩුවට භාර දෙන්න දවස් තුනක් (3) කල් දෙනවා. ඒ වගේම මට වාර්තා ලැබුණු විධියත් සොයා ගන්න ඕනෙලු.

ගරු ඇමතිතුමනි, මම හඳ පෙන්නුවාම හඳ බලනවා වෙනුවට මගේ ඇඟිල්ල දිහා බලන්න එපා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයන්න ඕනේ. ‘මාළිමාවේ නායකයින් විපක්ෂයේ සිටින කාලයේ ප්‍රසිද්ධ කල යුතුයි කියලා ආණ්ඩුවට බල කල මේ වාර්තා දෙක (2) බලය ලැබුණු පසු ප්‍රසිද්ධ කිරීමට පැකිලෙන්නේ ඇයි’ කියන හේතුවයි විජිත හේරත් මැතිතුමා රටට හෙළි කල යුත්තේ. ‘මේ වාර්තා යට ගහන්න ආණ්ඩුව දක්වන උනන්දුවට හේතුවයි’ සොයන්න ඕනේ. මහජනතාවට ඇත්ත දැන ගන්න මේ වාර්තා ප්‍රසිද්ධ කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවාම ඔබතුමා මට කියන්නේ වහාම මගේ ළඟ තිබෙන වාර්තාවත් ආණ්ඩුවට භාර දෙන්න කියලා. නමුත් මම වාර්තාව ආණ්ඩුවට භාර දුන්නාම ඒක ප්‍රසිද්ධ කරන බවට කිසිම පොරොන්දුවක් නෑ. මගේ වාර්තාවත් ආණ්ඩුවට භාර දුන්නාට පස්සේ ආණ්ඩුව ඒක ප්‍රසිද්ධ නොකර සිටියොත් අපි මොකද කරන්නේ? ආණ්ඩුව කියන්නේ මේ තොරතුරු සදහටම අබිරහසක් කරන්න ආණ්ඩුවට උදව් කරන්න කියලා. ඒ නිසා ආණ්ඩුව මේ වාර්තා ප්‍රසිද්ධ කරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු මගේ ළඟ තිබෙන වාර්තා ආණ්ඩුවට භාර දෙන්න මම සූදානම් නෑ.

මෙම වාර්තා දෙක (2) සඟවා තබන්න ආණ්ඩුව උත්සාහ කිරීම මහජන මුදලින් සකස් කළ වාර්තාවල තිබෙන ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීමක්. මහජන මුදලින් සැකසු වාර්ථාවක අන්තර්ගතය දැනගැනීමට මහජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම මේවා සැඟවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති ජනතාවගේ සිතීමේ නිදහසට වැටකඩුළු බැඳීමක්. ඒ නිසා මේ වාර්තාව මා ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා මාව බය කරන්න විජිත හේරත් ඇමතිතුමාට බෑ. ප්‍රසිද්ධ කිරීමට පොරොන්දු නොවෙනවා නම් මම මේවා බාරදෙන්නෙත් නෑ. ආණ්ඩුව මේක ප්‍රසිද්ධ නොකලොත් දින 7 කින් පසු මම මේක අනිවාර්යෙන්ම ප්‍රසිද්ධ කරනවා. අපි යකාට බය නැති නිසා තමයි සොහොනේ ගෙවල් හදාගෙන ඉන්නේ. මාව අත්අඩංගුවට ගන්න. ඕනෑම වධයක් දෙන්න. ඒත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් අපි අද වගේම හෙටත් පෙනී ඉන්නවා.

පාස්කු ප්‍රහාරය කියන්නේ සමස්ත ජාතියම සංවේදි මාතෘකාවක්. පසුගිය ජනාධිපතිවරු දෙන්නෙක්ම (2) බලයට ආවේ පාස්කු වින්දිතයින්ට යුක්තිය ඉටු කරනවා කියලා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමාට විශාල ඡන්ද ගණනක් ලැබුණා මේ කාරණය සම්බන්ධයෙන් පෙනී සිටිය නිසා. එහෙම නම් මේ වාර්තා දෙක (2) ප්‍රසිද්ධ කරන්න දැන් පැකිලෙන්නේ ඇයි? මේ වින්දිතයින්ට ඇත්ත දැන ගන්න අයිතියක් නැද්ද? විපක්ෂයේ ඉන්න කාලයේ මේ වාර්තා ප්‍රසිද්ධ කළ යුතුයි කියා මාලිමාවේ නායකයින්ම කිව්වා දැන් අමතක ද?

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘මීයා’ කවුද?

මට වාර්තා ලැබුණු විධිය වහාම සොයා බලනවා කියා විජිත හේරත් ඇමතිතුමා කිව්වා. මට වාර්තා ලැබුණු විධිය නොවේ සොයා බැලිය යුත්තේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණු ආකාරයයි සොයා බැලිය යුත්තේ. ජාතික ආරක්ෂාව අනතුරට වැටෙන සංවේදි තොරතුරු වාර්තා දෙකේ (2) ‘ඇමුණුම්’ වල තිබෙන නිසා ඇමුණුම් ප්‍රසිද්ධ කරන්න එපා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මම මේ ඇමුණුම් කිසිසේත් ප්‍රසිද්ද කරන් නැ. මම ප්‍රසිද්ධ කරන්නේ වාර්තා පමණයි. අපේ අතට මේ වාර්තා ලැබුණු නිසා හොඳයි. නමුත් මට ලැබුණු ආකාරයටම මව්බිමේ සතුරන්ටත් මේ ඇමුණුම් ලැබෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු පිට කරන ‘මීයා’ කවුද කියන එක දැන්ම සොයා ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳයි.

ඉමාම් වාර්තාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගාව මාස තුනක් (3) තිබුණා. කාටවත්ම පිට වුණේ නෑ. නමුත් අනුර දිසානායක ජනාධිපතිතුමා බලයට ඇවිත් සති තුනක් (3) ගත වෙන්න කලින් මේ වාර්තා දෙකම (2) පිට වුණා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාතිව කටයුතු කළත් අනුර දිසානායක මැතිතුමාගේ කාර්ය මණ්ඩලය එතුමාට පක්ෂපාති නෑ කියන එක නේද? ඒ නිසා මට ලැබුණු විධිය හොයන එක පැත්තකින් තියලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වාර්තා පිට වුණේ කොහොමද කියන එක ගැන අපේ හේරත් ඇමතිතුමා දැන්ම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය රහස් පනත යටතේ ගම්මන්පිල අත්අඩංගුවට

මේ වාර්තා මම ප්‍රසිද්ධ කරන බව කියලා තිබෙන නිසාත් මේ වාර්තාවල ඇමුණුම් විධියට ජාතික ආරක්ෂාවට අතිශයින්ම සංවේදි බුද්ධි තොරතුරු විශාල ගණනක් ඇතුලත් වෙලා තිබෙන නිසාත් ඒවා ප්‍රසිද්ධ නොකළ යුතු බවට කමිටු විසින් නිර්දේශ කර තිබෙන නිසාත් මේ වාර්තා ප්‍රසිද්ධ කිරීමට පෙර ‘රාජ්‍ය රහස් පනත’ සහ ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත’ යටතේ මාව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳ ඊයේ (15) රාත්‍රියේ ආණ්ඩුවේ ඉහල පෙලේ සාකච්ඡාවක් පැවැති බව අපට ආරංචි වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අපට වාර්තා දෙන්න කට්ටිය ඉන්නවා වගේම තොරතුරු දෙන්නත් කට්ටිය ඉන්නවා. මට ලැබුණු වාර්තා දෙකේම සියළුම ඇමුණුම් තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ නායකයින්ටත් වඩා ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදි පුද්ගලයෙකු හැටියට මම ඒ කිසිම ඇමුණුමක් ප්‍රසිද්ධ කරන්නේ නෑ. ඒ නිසා ඒ ගැන ආණ්ඩුව බියට පත් විය යුතු නෑ. නමුත් ජනාධිපතිවරයා මේ වාර්තා දෙක (2) ප්‍රසිද්ධ නොකරන්නේ නම් වාර්තා දෙක (2) නම් මම ප්‍රසිද්ධ කරන බව මම ඉතා වගකීමෙන් කියනවා.

තොරතුරු ලඟ තබා ගැනීම අපරාධයක් ද?

මේ වාර්තා හෙලි නොකර මා ළඟ මෙතරම් කලක් තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කියනවා. මට මේ වාර්තාව ලැබුණේ ඔක්තෝම්බර් 10 දා. මේක සැබෑ වාර්තාව ද කියලා තහවුරු කරගෙන 14 දා මම මාධ්‍ය හමුවක් තියලා මා ලඟ වාර්තාව තිබෙන බවත් ජනාධිපතිතුමා දින හතක් (7) තුල ප්‍රසිද්ධ නොකලොත් මම ප්‍රසිද්ධ කරන බවත් කිව්වා. ඒ කියන්නේ මේ වාර්තාව මා ළඟ තිබිලා තිබෙන්නේ දින හතරයි (4). දින හතරක් (4) වාර්තාව ළඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් සති තුනකට (3) වැඩි කාලයක් ඒක ප්‍රසිද්ධ නොකර ලඟ තබා ගත් ප්‍රසිද්ධ කිරීමේ වගකීම තිබෙන ජනාධිපතිතුමා කෙතරම් බරපතල අපරාධකරුවෙක් ද? ඒ වගේම මාස තුනක් (3) වාර්තාව ලඟ තබාගෙන හිටිය හිටපු ජනාධිපතිතුමා ඊටත් වඩා බරපතල අපරාධකරුවෙකු වෙනවා නේද? ඒ නිසා මට විරුද්ධව පියවර ගන්න කලින් වත්මන් ජනාධිපතිතුමාටයි හිටපු ජනාධිපතිතුමාටයි දෙන දඬුවම මොකක්ද කියලා මහජන ආරක්ෂක ඇමතිවරයා විධියට විජිත හේරත් ඇමතිතුමා රටට කිව්වොත් හොඳයි.

2015 සිට 2018 දක්වා දූෂණ විරෝධි කමිටුවට ලැබුණු දූෂණ පිළිබඳ තොරතුරු අඩංගු ලිපිගොනු මාලිමාවේ නායකයින් ප්‍රදර්ශනය කරමින් ලඟ තබා ගත්තා. මම දවස් හතරක් (4) ලිපිගොනුවක් ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් නම් වසර නවයක් (9) පුරාවට මේ ලිපිගොනු ලඟ තබා ගත් මාලිමා නායකයින් කෙතරම් බරපතල අපරාධකාරයෝ ද? මට දඬුවම් කරන්න කලින් ඒ අයට දඬුවම් කරලා හිටියොත් හොඳ ආදර්ශයක් නේද ඇමතිතුමනි ?

වංචා දූෂණ පිළිබඳ තමන් සතු තොරතුරු ආණ්ඩුවට ලබා දෙන්න කියා මාලිමාවේ වසන්ත සමරසිංහ මැතිතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කලා. බයක් හැකක් නැතිව දැන් ජනතාව මේ තොරතුරු දෙන්නේ කොහොමද? මේ තොරතුරු දෙන්න ගිහින් ඒ ජනතාවටත් තොරතුරු තමන් ලඟ මෙතෙක් දවසක් තබා ගත්තා කියලා මට වගේ දඬුවමට ලක් වීමේ අවදානමක් ඇති වේද කියන සාධාරණ බය ඇති වෙනවා නේද? ඒ නිසා දින හතරක් (4) වාර්තාව ලඟ තබා ගැනීම බරපතල අපරාධයක් කියලා විජිත හේරත් ඇමතිතුමා කළ ප්‍රකාශය වහාම ඉල්ලා අස් කර ගන්න කියලා මම ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම ආණ්ඩුවෙන් මොන තර්ජන ආවත්, මාව අත්අඩංගුවට ගත්තත් මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතිය සහ සිතීමේ නිදහස වෙනුවෙන් ජනාධිපතිතුමා නොකලොත් ලබන සදුදා අපි මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරනවා.

++++++++

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කරන විශේෂ හෙළිදරව්ව | 2024 -10 -16

+


මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද දිලිත් ජයවීර මැතිවරණ සටන අරඹයි

(17.10.2024 – 13:29 +0530 – sinhala.adaderana.lk)

සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකත්ව අංක හිමිවීමෙන් පසු පළමුවරට අද (17) ගම්පහ දිස්ත්‍රික්තයේ මහාසංඝරත්නය බැහැදුටුවේය.

ඒ සඳහා පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන්ද එක්ව සිටියේය.

සර්වජන බලයේ නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහ සර්වජන බලය එම දිස්ත්‍රික් අපේක්ෂකයින් වන මහාචාර්ය චන්න ජයසුමන, මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ ගම්පහ විහාරස්ථානවලට පැමිණ මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

ඔවුන් මෙලෙස පැමිණියේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී මනාප අංක ලැබීමෙන් පසුවය.

ප්‍රථමයෙන්, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණි පිරිස සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමි බැහැදුටුවේය.

ඉන් අනතුරුව දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිස පැමිණියේ කැලණිය ශ්‍රී පඤ්ඤානන්ද විහාරස්ථානය වෙත පැමිණ එහි විහාරාධිපති අමරපුර සද්ධම්ම වංශ මහ නිකායේ අනුනායක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි බැහැදුටුවේය.

දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිස බියගම බෝධිරුක්ඛාරාමය වෙත පැමිණියේ ඉන් පසුවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *