ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි

ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි


ඇමති විජිත හේරත් කළ අභියෝගයට උදය ගම්මන්පිල හෙට (16) පිළිතුරු දෙයි

(15.10.2024 – 20:12 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය විජිත හේරත් කළ අභියෝගය තමන් පිළිගන්නා බවත්, හෙට (16) දිනයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තමන් ඊට ප්‍රතිචාර දක්වන බවත්, ‘පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල’ පවසනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා දින 3 ක් ඇතුළත ප්‍රසිද්ධ කරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් උදය ගම්මන්පිල ට අද (15) කළ අභියෝගය සම්බන්ධයෙනුයි.

එම අදාළ වාර්තා ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ නොකරන්නේ නම් තමන් ඒවා දින 7 ක් තුළ ප්‍රසිද්ධ කරන බවට ගම්මන්පිල ඊයේ (14) ප්‍රකාශ කළා.

චැනල් 4 නාලිකාව විසින් සිදුකළ වාර්තා වැඩසටහන සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් පිටු අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පසුගිය කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේ, දින 7 ක් තුළ එම වාර්තා ප්‍රසිද්ධ නොකළහොත් තමන් එම වාර්තා ප්‍රසිද්ධ කරන බවයි ෴


චීන ජාතිකයින් 460 ක් ගැන CID විමර්ශන

(15.10.2024 – 16:28 +0530 – hirunews.lk/sinhala)

චීන ජාතිකයින් 460 කට ආසන්න පිරිසක් මෙරට රැඳී සිටියදී ඉකුත් දින කිහිපයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මොවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන‍යක් ආරම්භ කර තිබෙනවා.

සැකකරුවන් සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බවයි මූලික විමර්ශනවලදි අනාවරණ වි ඇත්තේ.

නමුත් මොවුන් මෙරට රැඳි සිටිමින් රැකියා කිරීම් ගැන ආගමන විගමන නියාමන පනත යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.

මේ චීන ජාතිකයින් පිරිස මහනුවර, පල්ලෙකැලේ, නත්තරන්පොත, අතුල්කොට්ටේ සහ රාජකාරි යන ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ ෴


දොරගුළු විවෘත කළ සිහින නගරය Cinnamon Life

(15.10.2024 – 21:05 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදලක් ආයෝජනය කරමින් කොළඹ ඉදිකළ ‘සිනමන් ලයිෆ්’ අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අද (15) විවෘත කෙරුණි.

අද (15) ‘ON TOPIC’ තුළින් තොරතුරු ගෙන එන්නේ, දකුණු ආසියාවේ විශාලම හෝටලය වන සිනමන් ලයිෆ් පිළිබඳව ය.

කාමර 687 කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000 කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි.

නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නිසැකය.

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250 ක් සමඟින් 1,500 කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි.

+

https://www.cinnamonhotels.com/cinnamon-life-city-of-dreams-sri-lanka


පුද්ගල ඝාතනයකට ළමුන් දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට

(15.10.2024 – 19:57 +0530 – sinhala.adaderana.lk)

ළමා නිවාසයක ආරක්ෂාවට සිටි මුරකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ළමුන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පැපිලියාන ප්‍රදේශයේ ළමා නිවාසයක සිදුවූ එම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 16 ක සහ 17 ක පිරිමි ළමුන් දෙදෙනෙකි (2).

පැපිලියාන ප්‍රදේශයේ පිහිටි මෙම ළමා නිවාසයේ, අධිකරණ මගින් යොමුකරන ලද ළමුන් 12 දෙනෙකු නේවාසිකව රඳවා සිටී.

එහි පරිපාලන කටයුතු සඳහා කළමනාකාරවරියක් හා ප්‍රධාන පාලිකාවක් සිටින අතර, මුරකරු ලෙස කටයුතු කර තිබුණේ, සික්කු හේවගේ පියදාස ඩයස් නමැති අයෙකි.

අද (15) අලුයම ඔහු ළමා නිවාසයේ නොසිටීම හේතුවෙන් එහි භාරකරුවන් සහ ළමුන් එක්වී එම පරිශ්‍රය පරීක්ෂා කර ඇත.

එහිදී ඝාතනයට ලක්වූ මුරකරු පළමුවෙන් දැක තිබුණේ, එහි නේවාසිකව සිටින දරුවෙකි.

මෙම සිද්ධිය සිදුවීමට පෙර අද (15) අලුයම ළමා නිවස ආසන්නයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කර ඇති අතර, එය සොරාගත් පුද්ගලයා අදාළ ළමා නිවාසය තුළට දිවයන ආකාරය දුටු බව ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් අලුයම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් පිරිසකට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් ළමා නිවාසයේ පාලිකාවගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇත්තේ, අද (15) අලුයම 04:30 ට පමණය.

අද (15) පෙරවරුවේ මුරකරුගේ මළ සිරුර ළමා නිවාසයේ ළිඳ ආසන්නයේ තිබී සොයාගෙන ඇත්තේ එවැනි පසුබිමක් තුළදීය.

ඝාතනය සම්බන්ධයෙන් ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 17 ක ප්‍රධාන සැකකරු සහ අවුරුදු 16 ක පිරිමි ළමයෙකු පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සෙසු ළමුන්ගෙන් වෙන් කර වෙනත් කාමරයක රඳවා සිටි ප්‍රධාන සැකකරු සිය කාමරයේ ජනේලයේ රාමුව ගලවා පිටතට පැමිණ මුරකරු ඝාතනය කර ඇති බවය.

ඒ බාහිරින් පැමිණි අයෙකු විසින් මෙම ඝාතනය කරන්නට ඇති බවට පොලීසියට ඒත්තු ගැන්වීමේ අරමුණෙනි.

සැකකාර ළමුන්ගේ අරමුණ වී තිබුණේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථයෙන් මළසිරුර බෙල්ලන්විල වැවට දැමීමය.

ත්‍රිරෝද රථයේ හිමිකරු පැමිණීම හේතුවෙන් එය සොරකම් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් සැකකරුවන් මළසිරුර ළමා නිවාසයේ ළිඳ අසල දමා නැවතත් සිය කාමරවලට පැමිණ නිදාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ, අදාළ ඝාතනයට ළමා නිවාසයේ සිටින තවත් ළමයෙකු සම්බන්ධ වී ඇත්දැයි සෙවීම සඳහා විමර්ශන පවත්වන බවය.

ඝාතනයට ලක්වූ වයස අවුරුදු 80 ක් වූ සික්කු හේවගේ පියදාස ඩයස් දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් සංජය ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ පැවැත්වුණි.

+


පහුගිය ආණ්ඩු කාලේ කරපු වැඩ – සී අයි ඩී යට එක පිට එක වැඩ එයි (15.10.2024)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට රු. කෝටි 200 ක අයිස් ටෙන්ඩරයක් අරන් – ව්‍යාජ ලේඛන දීලා දෙපාරක්ම හොර වැඩේ කරලා

+


සුරාබදු ලොක්කන්ට රුපියල් ලක්ෂ 12 ගෙවන්න වෙයි

(15.10.2024 – lankadeepa.lk)

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුනගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් ලක්ෂ 12 ක වන්දියක් පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍යවරයාට ගෙවීමට වැටලීම කළ සුරාබදු නිලධාරීන් තිදෙනාට (3) අද (15) නියම කළේය.

ඖෂධාලයේ සේවකයන්ට රුපියල් ලක්ෂය (1) බැගින් සිය පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සුරාබදු නිලධාරීන්ටද ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු සේවකයන්ට රුපියල් 10,000/- බැගින් වන්දි ගෙවීමට රජයටද නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අල්ලස් කොමිසමට නියම කළේය.

සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද ඖෂධාලයක් පවත්වාගෙන යන ආයුර්වේද වෛද්‍ය කමල් බන්දුල වීරප්පෙරුම මහතාගේ සහ ඔහුගේ බෙහෙත් ශාලාවේ සේවකයන් සිව්දෙනෙකුගේ (4) මුලික අයිතිවාසිකම් කඩකළ බවට තීන්දු කරමින් මෙලෙස වන්දි ගෙවවීටට නියම කරන ලද්දේ සුරා බදු දෙපාර්තමේන්තුවේ බොරැල්ල මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති නන්දන පෙරේරා, සුරා බදු පරීක්ෂක තිලක්කුමාර සහ සුරාබදු නියාමක එන්.එස්. රත්නායක නැමැත්තන්ටය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සුරසේන, ප්‍රියන්ත පුනාන්දු සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් හමුවේ පෙත්සම විභාග කෙරිණි ෴


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට (2) රුපියල් කෝටි 11 ක දඩයක්

(15.10.2024 – lankadeepa.lk)

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන් දෙදෙනාට (2) රුපියල් කෝටි 11½ ක (11,50,00,000) දඩයක් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිලුම් ප්‍රනාන්දු මහතා අද (15) නියම කලේය.

මෙරටට ආවේනික දුම්බර අං කටුස්සන්, පලා කටුස්සන්, ඇහැටුල්ලන්, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් රැස් කිරීම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමෙන්තුව එක් විත්තිකරුවකුට චෝදනා 1067 බැගින් ගොනු කළ චෝදනා 2134 කට වරද පිළිගත් රුසියානු සිසුන් දෙදෙනාට (2) එලෙස දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරයා සම්පුර්ණ දඩ මුදල් ගෙවනතුරු විත්තිකාර රුසියානුවන් දෙදෙනාගේ (2) විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගත්තේය.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) නමැත්තන්ටය ෴


මහනුවරදී කොටු වුණු ‘ඔන්ලයින් චීන්නු’ හම්බන්තොටත් ඉඳලා

(15.10.2024 – lankadeepa.lk)

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ.

මෙම චීන ජාතිකයන් පිරිස හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වසරක කාලයකට වෙන්කරගෙන මසක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් එම මූල්‍ය වංචා සිදු කරගෙන ගොස් ඇතැයි ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ සොයාගෙන තිබේ.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව කියන මෙම සුපිරි හෝටලය සැප්තැම්බර් මස දොළොස් වැනි දින (12) සිට වසරක කාලයකට මෙම චීන ජාතිකයින් විසින් වෙන් කරවාගෙන තිබූ බවද ඔවුන් සීයකට (100) අධික පිරිසක් මසක් පමණ කාලයක් එහි රැඳී සිටිමින් මෙම ජාවාරමේදී සිට ඇති බවට බුද්ධි අංශමගෙන් ලබා දී ඇති තුරුතුරුවලදී හෙළිවී ඇතැයි ද වාර්තාවේ.

එම බුද්ධි තොරතුරු වලට අනුව අවස්ථා ගණනාවකදීම පොලිසිය එම සුපිරි හෝටලය පරීක්ෂා කර බලා එහි රැඳී සිටි සියයකට (100) අධික චීන ජාතිකයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පැවසේ ෴


සැක සහිත විදේශිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට

(16.10.2024 – 06:43 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ අපරාධ සිදුකළ බවට සැක කෙරෙන විදේශිකයින් 10 දෙනෙකු ඊයේ (15) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම, ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදීයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


හෝටලයක රැඳී සිටි තවත් විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

(16.10.2024 – 07:28 +0530 – sinhala.adaderana.lk)

හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්ගයේදී පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ (15) දිනයේ දී අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04 ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03 ක් හා කාන්තාවක් (01), කෙන්යානු ජාතික කාන්තාවක් (01) හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් (01) සිටි බවය.

අදාළ පිරිස අන්තර්ජාලය ඔස්සේ, මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20 ක්, රවුටර් 03 ක් සහ ජංගම දුරකථන 282 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *