අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි


අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට තෙල්දෙණිය පොලිසිය නයි මිරිස් වත් කරයි

(15.10.2024 – 10:30 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ රුවන් ශාන්ත ප්‍රියදර්ශන නැමැති පෙත්සම්කරු ඉදිරිපත් කළ ‘මූලික අයිතිවාසිකම් පෙත්සම’ යසන්ත කෝදාගොඩ සහ කුමුදුණී වික්‍රමසිංහ යන විනිසුරුවරුන් ඉදිරියේ ඊයේ (14) කැඳවූ අවස්ථාවේදීයී.

එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සදහන් කළේ, පොලිස් භාරයට ගනු ලැබූ සැකකරුවෙකුට සිදු කළ මෙම ක්‍රියාව ඉතා බරපතල සිද්ධියක් බවයි.

නීතිපතිවරයාට අමතරව පොලිස්පතිවරයා, තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් 11 දෙනෙක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පසුගිය 2023 ජනවාරි 27 වෙනිදා තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා නීතිවිරෝධීව රඳවා තබා ගනිමින් වදහිංසා කර ඇති බව ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’ කළ විමර්ශනයේදී තහවුරු වූ බව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

ඒ අනුව පොලිස්පතිවරයා ඇතුළු සෙසු වගඋත්තරකරුවන්ට නොතීසි යොමු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට නියෝග කරණු ලැබුවේ.

පෙත්සම දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි ෴


වංචා විමර්ශන නිලධාරින්ට මහනුවර නගර සභාවෙන් බුෆේ ලන්ච් එකක් – ප්ලේට් එකක් රු. 2300 යි

(15.10.2024 – dinamina.lk)

මහනුවර මහ නගර සභාව තුළ පසුගිය කාලය තුළ සිදුව තිබෙන රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වැඩකටයුතු සම්බන්ධව සොයා බැලීමට පැමිණි මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට නගර සභා පරිපාලනය විසින් රුපියල් ලක්ෂ ගණනක් වැයකර බුෆේ ක්‍රමයට සුපිරි ආහාර වේලක් ලබා දී තිබේ. පසුගිය 11 දින පැමිණ තිබෙන මෙම කණ්ඩායමට ප්‍රධාන ලේකම්වරයාට අමතරව මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස්වරිය ද ඇතුළත්ව සිට ඇති අතර පරීක්ෂණයට පැමිණි කණ්ඩායම නගර සභා පරිපාලනය මඟින් ලබාදුන් සංග්‍රහයක් බුක්ති විඳීම සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන් මහතා ද දෙපාර්ශ්වයෙන් කරුණු විමසීමක් සිදුකර ඇත.

වරිපනම් එකතු කිරීම, කඩ කාමර ටෙන්ඩර් කිරීම, නිවාස හා ව්‍යාපාරික ස්ථාන සැලසුම් අනුමත කිරීම, ටෙන්ඩර් ලබාදීම හා මිල දී ගැනීම්වල දී සිදුව තිබෙන මහා පරිමාණ වංචා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ විගණන වාර්තා හා විගණන විමසුම් ගණනාවක් නිකුත් වූ නමුත් ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ පරිපාලනය විසින් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නොතිබීම සම්බන්ධව බදු ගෙවන ජනතාව අවස්ථා ගණනාවක දී ප්‍රශ්න කර තිබිණි.

වංචා දූෂණ චෝදනා එල්ල වූ ඇතැම් සේවකයන් වසර 10-15 ක කාලයක් ස්ථාන මාරු නොලැබ නගර සභාවේම සේවය කරන බවත් පරිපාලනය ගනු ලබන එකම තීරණය ඔවුන් නගර සභාව තුළම එක් එක් දෙපාර්තමේන්තුවලට මාරු කිරීම පමණක් බවත් දූෂණයට එරෙහි නගර සභා සේවකයෝ පවසති.

මෙම කරුණුද ඇතුළත්ව නගර සභාවේ සේවා කටයුතු විධිමත් කිරීම, කසළ ඉවත් කිරීමේ ක්‍රියාවලිය සක්‍රිය කිරීම, ඒ සඳහා පවතින ගැටලු ආදි කරුණු රැසක් සාකච්ඡා කිරීමට අදාළ නිලධාරීන් පිරිස පැමිණ ඇත්තේ පෙරවරු 09:00 ටය. දහවල් 12:00 පමණ වනතුරු පැවැති සාකච්ඡාවට වංචා දූෂණ චෝදනා එල්ලවන නිලධාරීන් කිහිපදෙනකු ද සහභාගි වී ඇත.

සාකච්ඡාවෙන් අනතුරුව නගර ශාලාවේ බුෆේ ක්‍රමයට පනවා තිබූ දිවා ආහාරය මෙම පිරිස බුක්ති විඳ ඇත්තේ එකට වාඩිගෙනය. මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයකින් මෙම ආහාර ඇණවුම් කර තිබී ඇති අතර එක් කෑම පිඟානක වටිනාකම රුපියල් 2300 ක් පමණ යැයි දැන ගන්නට තිබේ.

මහනුවර මහ නගර සභාව මඟින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් මෙම දිවා ආහාරය වෙනුවෙන් වැයකර තිබෙන්නේ රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේ දී රජයේ ප්‍රතිපත්ති හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කරන ලෙස ජනපතිවරයා සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබෙන පසුබිමකදීය. මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කිරීමත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමත් සැලකිල්ලට ගනිමින් අදාළ දිවා ආහාරය සඳහා වැය වූ මුදල නගර සභා අරමුදලින් නොදරා ආහාර බුක්ති විඳි නිලධාරීන්ගෙන් හා සේවකයන්ගෙන් පෞද්ගලිකව අයකර ගැනීමට නගර සභා පරිපාලනය මේ වනවිට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ ෴


මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්

(15.10.2024 – lankadeepa.lk)

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහ ඔවුන්ගේ රටවල තානාපති කාර්යාල හරහා එම පුද්ගලයන්ගේ සැබෑ තොරතුරු සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර චීන ජාතිකයන් වැඩි පිරිසක්ද පිලිපීන, වියට්නාම් ජාතිකයන්ද සිටින බව පවසන පොලිසිය ඔවුන් ව්‍යාජ විදේශ ගමන් බලපත් භාවිතා කොට ඇති බවට ඇතිවූ සැකයක් මත එම විමර්ශන ආරම්භ කොට තිබෙන බව පොලිසිය කියයි .

අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටින ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ රටවලදී විවිධ අපරාධ සිදුකොට වෙනත් නම් වලින් විදේශ ගමන් බලපත් සකසාගෙන පැමිණ ඇති පුද්ගලයන් බවට සැක කරන බව පොලිසිය කියයි.

එසේ හෙයින් ඔවුන් පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කළ බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. ඔවුන්ගේ නම් සහ මුහුණු වල වැඩි වෙනස්කම් නොමැති වීම හේතුවෙන් එම විමර්ශන කටයුතු ඉතා සංකීර්ණ වී ඇති බවද පොලිසිය කියයි ෴


දකුණ කළුතර දුම්රිය ස්ථානයේදී දුම්රිය එන්ජිමක ගින්නක්

(15.10.2024 – lankadeepa.lk)

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

පෙරවරු 07:25 ට දකුණ කළුතර දුම්රිය ස්ථානයෙන් මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 326 දරණ දුම්රියේ පිටුපස එන්ජිමේ ගින්න හටගෙන තිබේ.

කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකකින් (2) ගිනි භටයින් අට දෙනෙකු (8) පැමිණ සිටී අයුරුද දැකගත හැකිවිය .

ගින්න මිනිත්තු තිහක (30) පමණ කාලයකදී පාලනය කර තිබූ අතර, එම දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගන්නා ලදී ෴

+

++++++++++

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 6080 දරණ ‘මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීමෙන් අද (15) උදෑසන සිදුවූ අනතුර :

+

දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(15.10.2024 – 18:27 +0530 – hirunews.lk/sinhala)

තලවාකැලේ සහ වටගොඩ අතරදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.

මේ නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයා පත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගනිමින් සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ ෴

+


පණු රෝගයකින් අනුරාධපුර – මහවැලි එච් කලාපයේ සෝයා ගොවියා හාන්සියි

(14.10.2024 – lankadeepa.lk)

අනුරාධපුර – මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000 ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු පැවසූහ.

මහවැලි එච් කලාපය තුල අක්කර 6000 ක පමණ භූමියක ගොවීන් විසින් මෙවර සෝයා වගාව සිදු කර ඇති අතර, මෙම පණු රෝගය හේතුවෙන් ඉන් අක්කර 2000 ක් පමණ සෝයා වගාවක් අතහැර දැමීමට තමන්ට සිදුව ඇති බව ඔවුහු පවසති.

ඉතා ඉහළ ආර්ථික සහ පෝෂණ වටිනාකමකින් යුතු සෝයා වගාවෙන් ගොවි මහතුන් ඉවත්වුවහොත් දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරියේදී රජයට විශාල මුදලක් වැය කර සෝයා බීජද සම්පූර්ණයෙන්ම මෙරටට ආනයනය කිරීමට සිදුවන බව මෙම ගොවීහු පෙන්වා දුන්හ.

සෝයා වගාව තුල මෙවර විශාල අස්වැන්නක් නිෂ්පාදනය වූවද පණු රෝගය හේතුවෙන් එම කරල් තුල සියයට අනුවක් (90%) පමණ සෝයා බීජ විනාශයට පත්ව තිබීම හේතුවෙන් තමන් එම අස්වැන්න නෙලීම මේ වන විට අතහැර දමා වෙන බව මෙහිදී පැවසූහ.

සෝයා වගාව සඳහා මෙම පනු රෝගය ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙම රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය නියම කිරීමට හෝ කිසිදු නිලධාරියකු මෙතෙක් කටයුතු කර නැති බවත් වගා ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීමට කිසිදු නිලධාරියකු පැමිණ නැති බවත් එම ගොවීහු පෙන්වා දුන්හ.

මුදල් ණයට ගෙන සහ රත්තරන් බඩු උකසට තබා මෙම වගාව සිදු කර ඇති බවත් මෙම පනු රෝගය හේතුවෙන් සිය සෝයා වගාවන් විනාශ වීම හේතුවෙන් කිසිවක් කියා ගැනීමට සිටින තමන් හට රජය මැදිහත් වී වන්දි මුදලක් ලබා දෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ ෴


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු

(15.10.2024 – lankadeepa.lk)

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර සහ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය කීය.

පානදුර සහ ඒ අවට ළමුන් ඉලක්ක කරගනිමින් මත්කරල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පළමු සැකකරු මත්කරල් 100 ක් සමග අත්අඩංගුවට ගෙන ඔහුගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙවන සැකකරු මත්කරල් දස දහසක් (10,000) සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු නිවසක සගවා තිබූ ඉතිරී මත්කරල් තොගය සොයාගත් බව පොලිසිය සදහන් කරයි.

මත්කරල් 10 ක් අඩංගු පැකට්ටුවක් රුපියල් 1500 ක මුදලකට අලෙවි කර ඇති බවට සැකකරුවන් ගේ ප්‍රකාශ වලින් හෙලිව ඇත ෴


අනුර ඔබ ප්‍රවේශමෙන් තීරණ නොගතහොත්, අමරිකාවට අහුවුනොත්, සිදු වන්නේ ඔබෙත්, රටෙත් විනාශයයි – නාගානන්ද කොඩිතුවක්කු

(15.10.2024 – facebook.com/naganandakodituwakkuofficialpage)

ඔබේ වචනය පිළිගෙන ඔබ ජනරජයේ විධායක ජනාධිපති ධූරයට පත්කලේ සහ ජනරජයේ පරම අධිකාරිය වන රටේ සමස්ථ ජනතාව හමුවේ ඔබ ප්‍රතිඥා දුන්නේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීවය, ඒකීය භාවය ආරක්ෂා කිරීමට ආරක්ෂා කිරීමට, මිස ඒ සියල්ල සුනු විසුනු කිරීමට නොවන්නේය.

කුමන බලපෑමක් මත හෝ ඊට පටහැනිව ක්‍රියාකිරීම දඬුවම් ලැබෙන (ධුරය අහිමි වීමට, දේපළ රාජසන්තක වීමට, පක්ෂය තහනම් වීමට හා ප්‍රජා අයිතිය අහිමි වීමට හේතුවන) බරපතළ වැරදි බව අනුර දැනගත යුතු වන්නේය.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1983 අගෝස්තු 08 සම්මත කල 6 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, හා ඒකීය රාජ්‍යයක් වන්නේය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, එක්සත්භාවය, හා දේශ පුර්ණත්වය ආරක්ෂා කිරීම රජයේ වගකීම වන්නේය.

TNA සංවිධානය ශ්‍රී ලංකාව තුල හා ඉන් පිටත වෙනම ඒකීය රාජ්‍යයක් පිහිටුවීමට (ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයකි – 2 ව්‍යවස්ථාව) අනුබලදීම, අනුග්‍රහය දැක්වීම, ධෛර්යදීම, හෝ දේශනා කිරීම සිදු කරයි. තමන් ඒ සඳහා පෙනී සිටින බව ITAK නායක සුමන්තිරන් විදේශ ප්‍රවෘත්ති පත්‍ර වලට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි.

එවැනි ප්‍රකාශ හා ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, එක්සත් භාවයට හා දේශ පුර්ණත්වයට තර්ජනයක් එල්ල කිරීම 6 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර දඬුවම් නියමවන වරදක් වන බව ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ජනතාවට ප්‍රතිඥා දුන් අනුර දැනගත යුතුයි ෴


තෙවන (3) පාසල් වාරය ගැන විශේෂ දැනුම්දීමක්

(15.10.2024 – 18:19 +0530 – hirunews.lk/sinhala)

2025.01.17 දින අවසන් වීමට නියමිතව තිබූ 2024 අධ්‍යයන වර්ෂයේ තෙවන (3) පාසල් වාරය තවත් සතියකින් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ අනුව තෙවන (3) වාරය මෙන්ම 2024 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන්නේ 2025.01.24 දිනෙන්.

තෙවන (3) වාර විභාගය පවත්වා සිසුන්ට ප්‍රගති වාර්තා ලබා දීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙස විදුහල්පතිවරුන් විසින් කරන ලද ඉල්ලීම් සලකා මෙලෙස තෙවන (3) පාසල් වාරය කල් දැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන නිලධාරීන් දැනුම්වත් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වෙන්නේ.

තෙවන (3) වාරය අවසන් වන 24 දින වන විට සියලුම සිසුන්ට තෙවන (3) වාර විභාගය පවත්වා ප්‍රගති වාර්තා ලබාදීම අවසන් කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය එම ලිපිය මගින් අවධාරණය කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *